වරාය බේරගන්න විමල් වීරවංශ ගහපු ගේම

වරාය බේරගන්න විමල් වීරවංශ ගහපු ගේම

*********************************************

වරාය බේරගන්න විමල් වීරවංශ ගහපු ගේම

(02.02.2021 – 23:07 +0530 – lankaleadnews.com)

කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුවක් බවත් එය හෑල්ලුවට ලක් කරන්නේ එදා ‘යහපාලන ආණ්ඩුව’ හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (02) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය :

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව දිගු කලක් තිස්සේ ඇදෙමින් තිබූ ගැටළු සහගත සංවාදය ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ ඉතාමත් යහපත් තීන්දුවකින් අවසන් කෙරුණා. විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාව අනුව, කොළඹ වරායේ ඉතාමත් වැදගත් පර්යන්තය වූ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. උපායමාර්ගික වශයෙන් වැදගත්, වැඩි ගැඹුරක් සහිත පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. ඒ වගේම තව වසර කිහිපයකින් ඊට යාබදව ඇති ජෝන් කීල්ස් සමාගම සතු SAGT පර්යන්තය ද වරාය අධිකාරිය සතුවන විට එම පර්යන්ත දෙකම පාවිච්චි කරලා ප්‍රතිඅපනයනය එසැනින්ම කිරීමේ හැකියාව ලැබෙන්නේ ද නැගෙනහිර පර්යන්තය හිමි වන පාර්ශ්වයටයි.

පක්ෂයක් ලෙස මුල සිටම අපගේ ස්ථාවරය වුණේ ‘සෞභාගයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් ආකාරයට කොළඹ වරාය සංවර්ධනය කළ යුතු බවයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 58 වැනි පිටුවෙහි ඒ බව මෙසේ සඳහන්ව තිබෙනවා. ‘කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහාලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නංවන අතර ජාත්‍යන්තර මගී පර්යන්තයක් අලුතින් ආරම්භ කෙරේ. දැනට මෙහෙයුම් නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර එහි ඉතිරි කොටස ද නොපමාව ඉදි කරනු ඇත. බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික ආයෝජකයන් ද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ. නැඟෙනහිර පර්යන්තය සහ SAGT අතර කොටසෙහි නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා ඇති ශක්‍යතාව අධ්‍යයනය කෙරේ.’ ඒ ප්‍රතිපත්තිය අනුව යමින් තමයි ඊයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ. නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සහ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම යන කටයුතු දෙකටම අදාළ කැබිනට් පත්‍රිකාව සැකසී ඇත්තේ 69 ලක්‍ෂයක ජනවරමක් ලැබුණු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බව අවධාරණය කළ යුතුයි.

දැන් ඇතැමුන් බබ්බු වගේ, දැන දැනම නැඟෙනහිර පර්යන්තය සහ අනෙකුත් පර්යන්ත එක සමාන බව හඟවන්න හදනවා. ඒක තක්කඩිකමක්. ඒ නිසා ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුව ඉතාමත් නිවැරදිව ගැනීම පිළිබඳව අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස අපගේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටිනවා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන විට සටන් කිරීමට ඒ ආණ්ඩුව ඇතුළේ කිසිවකු සිටියේ නැහැ. එළියේ සිටින ජනතාවගේ වේදනාව අහන්න එදා ඒ ආණ්ඩුවේ කිසිවකු සිටියේ නැහැ. එළියේ නඟපු ජනතා හඩට එදා නායකත්වය දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ හිටි අප පමණයි. ‘රතු කමිසධාරීන්’ එදා රනිල් වික්‍රමසිංහගේ ‘ඔඩොක්කු කුක්කෝ’ වෙලා හීන් කෙඳිරියක් පමණක් නඟලා, හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන තෙක් බලා සිටියා.

නමුත් නැඟෙනහිර පර්යන්තය සුරැකීමේ සටන ඇතුළේ ‘පොහොට්ටුවේ’ වෘත්තීය සමිතිය, ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂවල වෘත්තීය සමිති ඉදිරියෙන්ම හිටියා. ඒ වගේම ආණ්ඩුව ගොඩනැගීමට කැප වූ ජාතික බලවේග මේ සටනේදී පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළා. ඒ වගේම අපත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් ‘නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පූර්ණ වශයෙන් වරාය අධිකාරිය මගින් සිදුකළ යුතුයි’ කියන ස්ථාවරය ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් මේ සෑම කරුණක්ම ඉතාමත් මැනවින් අධ්‍යයනය කරලා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති උපායමාර්ගික වැදගත්කම නිවැරදිව තක්සේරු කරලා, ඒ වගේම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව අද ගෙන ඇත්තේ ඓතිහාසික තීන්දුවක්.

මුල් අවස්ථාවේදී නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍යවේදී ඔබ අපෙන් විමසන විට අපි සැමවිටම කිව්වේ ‘තීරණාත්මක කැබිනට් පත්‍රිකාවක් මගින් අවසන් තීන්දුව ඒවි. එතෙක් ඉවසන්න’ කියලයි. ඒ තීරණාත්මක කැබිනට් පත්‍රිකාව තමයි ඊයේ (01) රැගෙන එනු ලැබුවේ. එමගින් තමයි අවසන් තීන්දුව ගනු ලැබුවේ. අපට විශ්වාසයක් තියෙනවා, ‘ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යතුමන් නායකත්වය දෙන ආණ්ඩුවක් රටට අහිතකර තීන්දු ගැනීමට තල්ලු වෙන්නේ නැහැ’ කියා.

නැඟෙනහිර පර්යන්තයෙහි උපායමාර්ගික වැදගත්කම වටහාගෙන එය වරාය අධිකාරිය යටතේ පූර්ණ වශයෙන් තබාගෙන සංවර්ධනය කළ යුතුයි, කියන ස්ථාවරයේ සිටිමින් සටන් වැදුණු අපේ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු මහා සංඝරත්නයට ද වෘත්තීය සමිති ඇතුළු සියලු ජාතික බලවේගවලට ද අපගේ කෘතවේදීත්වය, ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. එදා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු ‘හිවල් සමාජ ප්‍රබුද්ධ මහත්වරු’ ඒ ‘යහපාලන ආණ්ඩුව’ ජාතික සම්පත් විකුණන විට කටක් ඇරියාද? එදා දඹර අමිල වැනි හාමුදුරුවරු, සරත් විජෙසූරිය වැනි ආචාර්යවරුන් රටට අහිතකර තීන්දු ගන්නා විට කටක් ඇරියාද?

මෙන්න මෙතැන තමයි වෙනස තිබෙන්නේ. අපේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවුණු බලවේගයම තමයි ආණ්ඩුව නිසි මඟ රැගෙන යාම සඳහා පුරෝගාමී වන්නේ. ඒක ආණ්ඩුවේ යහපත වෙනුවෙන් සිදුවන දෙයක්. ආණ්ඩුවේ ඇස් වහලා වැරදි පාරේ ගෙන යාම තමයි ආණ්ඩුවට කරන අයහපත. රටට, ආණ්ඩුවට කරන යහපත වන්නේ මහජනයාට සංවේදී ආකාරයට ආණ්ඩුව පවත්වා ගෙන යාමට සහාය වීම. එම ස්ථාවරයේ ඉඳගෙන තමයි අපි මේ ප්‍රශ්නයේදීත් කටයුතු කළේ. අපි හිතනවා මේක වැදගත් ජයග්‍රහණයක් කියලා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන වෙලාවේ ‘බකන් නිලාගෙන’ හිටපු සමහර උදවිය අද මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න හදනවා. ඒ අයගේ දේශපාලන පරාජිකත්වය ගැන අපි පුදුම වන්නේ නැහැ. මේක ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු ආණ්ඩුවේ සහ මුළුමහත් ජනතාවගේ ජයග්‍රහණයක් බව යළිත් අවධාරණය කරනවා”

+++++++++++++++++++++++

වරාය වෘත්තීය සමිති මීළඟ ඉලක්කය හෙළිකරයි

(02.02.2021 – 13:54 +0530 – sinhala.adaderana.lk)

අද (02) පැවැති අමාත්‍ය මණ්ඩලයේ තීරණය දැනුම්දීමෙන් පසු වරාය වෘත්තිය සමිති 23 ක නියෝජිතයින් හා වරාය සේවකයින් අතර හමුවක් අද (02) පෙරවරුවේ නැගෙනහිර පර්යන්තයේදී පවත්වා තිබුණි.

එහිදී අදහස් දැක්වූ වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ, ‘අද නැගෙනහිර පර්යන්තය අපේ පැත්තට ආවාය කියලා කර පහත්කරන් හිටියොත් බටහිර පර්යන්තය හදලා ඉවර කරයි. නැව් ටික එතනට ගන්න පුළුවන්. ඒ නිසා මින් ඉදිරියට අපි සැලැස්මක් ඇතිකර ගන්න ඕනේ. හෙටම අපි පටන් ගන්න ඕනේ ගැන්ට්‍රි දොඹකර මිලදී ගැනීමේ ක්‍රියාවලිය. පරිගණක ක්‍රියාවලිය, සේවක සැලසුම් ආදිය කඩිනමින් ආරම්භ කළ යුතුයි. නැත්නම් අපි මෙතනට වෙලා කයිවාරු ගහයි.. අරකෙ වැඩේ යයි. බටහිර පර්යන්තයේ වැඩ කරගෙන යයි’ යනුවෙනි.

මේ අතර කොළඹ වරාය බටහිර පර්යන්තය, ඉන්දීය රජය හා ජපාන රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව සංවර්ධනය කිරීම සඳහා වන යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ යෝජනාවට රට පුරා විරෝධතා මතුවීමත් සමග වරාය වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් පසුගිය දා ආරම්භ කර තිබුණි.

ඒ එම යෝජනාව හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා වෘත්තිය සමිති අතර ඊයේ (01) පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවය.

ඒ අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට ඊයේ (01) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ‘කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කමිටුවේ නිර්දේශය වන්නේ නැගෙනහිර ජැටියේ පරිපාලනය සියයට සියයක් වරාය අධිකාරියට ලබාදිය යුතුයි. බටහිර ජැටියේ මූලික කොටස් අප පාලනයේ තබාගෙන අවශ්‍ය නම් ඉතිරි කොටස් ආයෝජනයට අවසර ලැබෙනවා’ යනුවෙනි.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, ‘ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික ආයෝජනය සමග සිදුකරන බව දැක්වෙනවා’ යනුවෙනි.

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, ‘බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට 2019 වසරේ ජපානය සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුමට අනුවද යන්නේ, නැත්නම් අදානි සමාගම සමග ඉදිරියට ගෙනියන්නද බලාපොරොත්තු වෙන්නේ?’ යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, ‘බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියානු හා ජපාන ආණ්ඩු සමාගම් නම් කරනවා’ යනුවෙන් පැවසීය.

එහිදී යළිත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විමසා සිටියේ, ‘බටහිර පර්යන්තය සංවර්ධනය කරනවා නම් පිටතට ලබාදෙන ආයෝජනයේ ප්‍රමාණය කොපමණද? ඒක 85% ක් කියලා තමයි ආරංචි වෙන්නේ. රජයට 15% ක් තබාගෙන’ යනුවෙනි.

එහිදී,”අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමත කළේ මීට පෙර අනුගමනය කළ කොන්දේසි. ආයෝජනය කර සංවර්ධනය කරන සමාගමට 85% ක්. වරාය අධිකාරියට 15% යි. ගිවිසුම් කාලය අවුරුදු 35. ඒ සමාන වූ කොන්දේසි මත ලබාදෙනවා,” ලෙස අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් දක්වමින් සඳහන් කළේ 2023 සහ 2024 වනවිට නැගෙනහිර පර්යන්තයත් බටහිර පර්යන්තයේත් ඉතා ඉක්මණින් වැඩ අවසන් කිරීම බවය.

2035 වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සැලැස්ම අනුව උතුරු පර්යන්තයේ දියකඩනය ස්ථාපිත කිරීම තුළින් තවත් පර්යන්ත 3 ක් හිමිවන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

***************************************

(03.02.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඊයේ හමුවූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සදහන් කළා.

‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ කොළඹ වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධ කටයුතු 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සිදු කිරිමට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු මෙලෙස මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා හා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා අතර හමුව සිදුව තිබීම විශේෂත්වයක්.

ද හින්දු පුවත්පත වාර්තා කළේ 2019 වසරේ මැයි මාසයේදී කොළඹ වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය, සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ත්‍රෛපාර්ශ්වික ගිවිසුම සම්බන්ධයෙන් එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා අවධානයට ලක්කර ඇති බවයි.

එම ගිවිසුමට අනුව කොළඹ වරායේ උපාය මාර්ගික පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51% ක අයිතියක් සහ ජපානය සහ ඉන්දියාව 49% ක් හිමිවන පරිදි ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එකඟතාවකට පැමිණ තිබුණා.

ඉන්දියාවේ අදානී සමාගම සහ ජපාන සමාගම එක්ව අදාළ ව්‍යාපෘතිය සඳහා ආයෝජන කිරීමට අපේක්ෂා කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 700 ක්.

කෙසේ වෙතත් මේ වන විට තීරණය කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා එම ආයෝජන සහයෝගීතාව ලබාගැනීමටයි.

නැගෙනහිර පර්යන්තයට අදාළ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව ඉන්දියාව කනස්සල්ලෙන් පසුවන බවටද මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා එම හමුවේදී අවධානය යොමු කොට තිබෙනවා.

එමෙන්ම අදාළගිවිසුම ඉවත් කිරීම සම්බන්ධයෙන් විකල්ප යෝජනාවක් තවමත් ඉන්දියාවට ලබාදී නොමැති බවයි හින්දු පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ද හින්දු පුවත්පතට අනුව ඉන්දියාව මේ සම්බන්ධව දැනුවත් වී ඇත්තේ ඊයේ (02) ප්‍රකාශයට පත් කළ කැබිනට් තීරණ හරහායි.

මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක අදාළ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය විසින් ඉවත් කරගත් දෙවන අවස්ථාව මෙය බවත් හින්දු පුවත්පත වාර්තා කරනවා.

එහි දැක්වෙන්නේ එලෙස ඉවත් කරගත් පළමුවැන්න ජනතා රජය සමග ඇතිකරගත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම බවයි.

මේ අතර කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය සඳහා විදෙස් සමාගම් හවුල් කර ගැනීමට දුන් කැබිනට් අනුමැතියට එරෙහිව අද (03) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පත්‍රිකා බෙදාදීමක් සිදුවුණා ෴

***************************************

(03.02.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රමුඛ අපනයනකරුවන්ගේ සංසදය මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් සමඟ අපනයන ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊට මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සහභාගි වූ බවයි මහබැංකුව සඳහන් කළේ.

අපනයනකරුවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර, දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ඉදිරියේදී කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමුව තිබෙනවා ෴

***************************************

(03.02.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයින් ප්‍රේෂණ ලෙස මෙරට එවනු ලබන ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙකක් (2) ගෙවීමට ඉදිරිපත් වූ අයවැය යෝජනාව මේ වන විට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වාණිජ බැංකු මහබැංකුවෙන් ඉල්ලා ඇත්තේ විදෙස් ප්‍රේෂණවලින් සියයට 10 ක් අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමට පෙර පැවති ක්‍රමවේදය අනුව පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් මගින් උපයා ගත් බව වාණිජ බැංකු පෙන්වා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *