(30.07.2017 – divaina.com)
ලොව දියුණු රටවල් පවා නිහඬව සිටියදී වාර්තාගත අභියෝගයක්
ලංකාව නම් කොච්චර කළත් දියුණු වෙන්නේ නැහැ කියලා බොහොමයක් දෙනා බොහොමයක් කතා කිව්වත් එය මුසාවක් යෑයි සපථ කරන්නට වෛද්‍ය විද්‍යාව හදෑරූ ශ්‍රී ලාංකික පිරිස් මේ වන විට සමත් වෙලා.
මෙවර අපට අහන්න දකින්න ලැබුණේ ලංකාවේ පළමු වතාවට පාදයක් බද්ධ කළ විශ්මයජනක ශල්‍යකර්මයක් ගැනයි. එය ලෝකයේම සිදුවූ පස්‌වැනි පාද බද්ධ කිරීමේ ශල්‍යකර්මයයි.
පාද බද්ධය සිදුකිරීමෙන් පසු…
සැත්කම සිදු කරන අතරතුර..
එහි අපූර්වත්වයෙන්, වික්‌ෂිප්ත වෙමින් ඒ පිළිබඳව සොයා බලන කල දැක ගන්නට ලැබූ තොරතුරු අනුව අනුරාධපුර ශික්‌ෂණ මහ රෝහල පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ පළමු වරට අවයව බද්ධ කිරීමේ ක්‍රියාවලියෙහි නවමු පිටු ත්‍රිත්වයක්‌ම පෙරළා ඇති බැවි සනාථ වීමම ආශ්චර්යයක්.
වසර 2016 ජූලි 23 වැනිදා අග්න්‍යාසය බද්ධ කිරීමක් සහ එම වසරේ ජූනි 3 වැනිදා මොළය මිය ගිය වයස අවුරුදු තුනහමාරක් වන බිලිඳෙකුගේ වකුගඩු දෙකක් වයස අවුරුදු හතළිස් හතරක රෝගියකුට බද්ධ කිරීමක් සහ මෙවර පාදයක් අහිමිව සිටි පුද්ගලයකුට වෙනත් අයෙකුගේ පාදයක් ගෙන බද්ධ කිරීමත් ලංකාවේ පළමු වතාවට සිදු කර ඇත්තේ අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ, රුධිර වාහිනි සහ අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජොයෙල් අරුඩ්චෙල්වම් මහතාගේ පූර්ණ මැදිහත්වීම මතයි. බස්‌නාහිර මධ්‍යම හෝ දකුණු පළාත්වල ප්‍රධාන රෝහල් ඇසුරෙහි වෛද්‍ය විද්‍යාවේ නවමං සොයා යන මාවත් විවර වන බවට සාධක දක්‌නා ලැබෙන මෙවන් යුගයක උතුරු මැද පළාතේ රෝහලක මෙලෙස වාර්තා රැසක් බිහිකිරීමට මූලිකත්වය ගැනීම පිළිබඳව රජරට ජනතාව ආඩම්බර විය යුතුමයි.
මිනිසෙකුගේ පාදයක් අහිමි වනවාය කියන කාරණය ඉස්‌සර නම් අපට අරුමයක්. පාද අහිමි වු පුද්ගලයන් ගැන මුලින්ම අපට දැනගන්න ලැබෙන්නේ, 1914 කාලයේදී. ඒ ඔස්‌ටි්‍රයා කුමාරයකු මරා දැමීම හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුර දිග යැමෙන් ආරම්භ වූ පළමු ලෝක යුධ සමයේදීයි. ලක්‌ෂ ගණනක් මිය ගිහින් තවත් ලක්‌ෂ ගණනකගේ අත් පා අහිමිව ආබාධ සහිත පුද්ගලයන් මෙලොව ඇති බවට තොරතුරු වාර්තා වෙන්න පටන් ගත්තේ ඔය කියන පළමු ලෝක යුද්ධයෙන් පසුවයි. මේ ආබාධ සහිත වූවන් යළි සුවපත් කරන්නට වෛද්‍යවරු දෙවිවරු මෙන් පිහිටට ආවේ නවීන ශල්‍ය වෛද්‍ය විද්‍යාවට පිංසිදුවන්නටයි.
ලෝකයේ දියුණු යෑයි සම්මත රටවල් නිහඬව සිටිද්දී ශ්‍රී ලාංකේය වෛද්‍යවරු අභියෝග භාරගනිමින් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයන් සිදු කිරීමට පෙළඹීමම ලාංකිය අප ලද භාග්‍යයක්.
අපේ රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරු හැත්තෑ පස්‌දෙනෙක් සිටිනවා. සෙසු වෛද්‍යවරු හාරසියයක් ඉන්නවා. හෙදියන් ඇතුළු සෞඛ්‍ය කනිෂ්ඨ කාර්යයමණ්‌ඩලයේ පිරිසත් බොහොම කැපවීමෙන් කටයුතු කරනවා. මේ දකින්න ලැබෙන්නේ අපේ රෝහලේ සාමුහිකත්වයේ කැපවීමේ ප්‍රතිඵල අනුරාධපුර රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා සිය කාර්යය මණ්‌ඩලයේ සේවාව අගය කළේ ගෞරවපූර්වකවයි.
ලෝකයේ පාද බද්ධකිරීමේ පළමු ශල්‍යකර්මය සිදුකොට ඇත්තේ කැනඩාවේදියි. ශල්‍යකර්මයකදී ඉවත් කළ පාදයක් වෙනුවට තවත් පාදයක් බද්ධ කරමින් ඒ පළමු වාර්තාව තැබුයේ 2005 වසරේදියි. 2011 දී දෙවැනි පාද බද්ධය ස්‌පාඤ්ඥයේ දීත් තෙවැනි සහ සිව්වැනි පාද බද්ධ වාර්තාවන් 2012 වසරේදී තුර්කියේදීත් තබා ඇත්තේ ලෝක ශල්‍ය වෛද්‍ය ඉතිහාසය අලුත් කරමින්. ඒ ඉතිහාස පොතට ලංකාවේ ශ්‍රී නාමය එක්‌කරන්නට ලැබුයේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුඩ්චෙල්වම් මහතාගේ නොපසුබට වීර්යයයයි.
කොළම්පුරේ ඉපැදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව උගත් ජොයෙල් වෛද්‍යවරයා අනුරපුරයට යන්නේ සිය පළමු පත්වීම් ලිපිය රැගෙනයි. අවයව බද්ධ කිරීම පිළිබඳ ශල්‍ය වෛද්‍ය විද්‍යාව නවසීලන්තයේදී උගෙන ගන්නා ඔහුගේ සිහිනය හැකි තරම් නව බද්ධකිරීම් සිදු කොට ජීවිත රැක ගැනුමයි.
අනුරාධපුර රෝහලේ එකපිට වාර්තා ත්‍රිත්වයක් තැබූ ඔහු එම රෝහලේ , මෙතෙක් සිදු කොට ඇති වකුගඩු බද්ධ කිරීම් අසූවෙන් පනහක් ම සිදු කර ජීවිත යළි උපද්දවා ඇත්තෙක්. විශේෂඥ වෛද්‍ය ජොයෙල් මේ තරම් අභියෝග භාර ගන්නේ රෝහල තුළ සෙසු වෛද්‍යවරු හෙදියන් ඇතුළු සමස්‌ත කාර්යය මණ්‌ඩල අතර ඇති සහයෝගිතාවය නිසා බව අමතක කරන්න හොඳ නැහැ.
මම හැම මොහොතකම බලන්නේ ඉගෙන ගෙන තියෙන දෙයින් මිනිස්‌සුන්ට මොනවා හරි පිහිටක් වෙලා සහනයක් ලබා දෙන්න. සායනවලට එන රෝගින් අපි දිහා බලන්නේ “අනේ කොහොමහරි මාව සුවපත් කර දෙන්න” කියන ආයාචනය ඇස්‌වල ලියා ගෙන. අපි එය අවබෝධ කර ගන්න ඕනෑ. මේ පාදය බද්ධ කළ ශල්‍යකර්මයට භාජනය කළ වයස අවුරුදු තිස්‌දෙකක රෝගියා විවාහකයි. දරුවෝ ඉන්නවා. කිසියම් අනතුරකදී වම් පාදයට ඇතිවූ දරුණු තුවාලත් එක්‌ක දැනට වසරකට විතර පෙර රෝහල් ගත වුණා. ඒ වන විටත් ඔහුගේ පාදයේ රුධිර වාහිනි දරුණු ලෙස හානි වෙලා තිබුණා. යථා තත්ත්වට ගන්න බොහොම දුෂ්කර නිසා පාදය ඉවත් කරන්න අපට සිදු වුණා. මේ රෝගියා පසුකාලීනවත් නිසි වෙලාවට පසුප්‍රතිකාර සඳහා සායනවලට සහභාගි වෙනවා. ඔහුගේ වයස ජීවන තත්ත්වය රැකියාවක නිරතවීමට අපහසුතාවය ගැන මගේ හිතේ වරින් වර කම්පනයක් ඇතිකළා. මොහු පසුකාලීනව කිහිලිකරු ආධාරයෙන් ඇවිද්දා.
මේ අතරේ අපේ වෛද්‍ය කණ්‌ඩායම් විවිධ අත්හදා බැලීම් සිදුකරමින් බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කරමින් සිටියා. වරක අග්න්‍යාශය බද්ධ කිරීමට අපි යොමු වුණෙත් ඒ වගෙයි. ඒ රෝගියා දැන් හොඳ සුවයෙන් ඉන්නවා.
පාදයක් බද්ධ කරන්න අවශ්‍ය පසුබිම සකසා ගනිමින් ඊට සුදුසු අවස්‌ථාවක් එනතුරු අපි බලාගෙන හිටියේ. ලංකාවේ කොහේ වුණත් මොළය මිය ගිය රෝගීන් ගැන වාර්තා වන සෑම අවස්‌ථාවකම අනුරාධපුර හෝ මහනුවර වකුගඩු ඒකක වල ඇති වකුගඩු පොරොත්තු ලේඛන වල කාට හෝ වකුගඩු බද්ධ කරන්න අපි කටයුතු කරනවා.
මේ අතරේ අපි අර පෙර කී රෝගියාට පාදයක් බද්ධ කළ හැකි වුවහොත් ඒ සඳහා අවශ්‍ය පරීක්‌ෂණ රුධිර ගන සාම්පල චර්ම පරීක්‌ෂණ ස්‌නායු වගේම පාදයේ දිග හැඩය පාට මේ සියල්ල ගැන වාර්තා සකස් කර තිබුණා. මේක අපට කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ නිතරම පැවතියා.
මේ අතරේ තමයි, නිධන්ගත රෝග තත්ත්වයක් හේතුවෙන් මොළයට රුධිරය වහනය වූ රෝගියෙක් අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළු වන්නේ. ඔහුගේ වයස අවුරුදු පනස් දෙකක්. ඕ නැමැති රුධිර ඝණය ඇත්තෙක්. දිනෙන් දින ඔහුගේ තත්ත්වය සුව නොවන පැත්තට යන බව දකින්න ලැබුණා. ඒ වගේම දැඩිසත්කාර ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කණ්‌ඩායම මේ රෝගියාගේ තත්ත්වය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කළා. ඔවුන් නිතරම බැලුවේ එම රෝගියා සුව කරන්න. කෘත්‍රිම ස්‌වසන යන්ත්‍රයට සවි කර සිටියදීත් අවශ්‍ය සියලුම ප්‍රතිකාර පර්යේෂණ කළත් ඔහු සුව නොවන බවට වාර්තා වන බවත් මොළය මිය ගොස් ඇති බව තහවුරු වූ බවත් ඔවුහු කියා සිටියා. ඒ අනුව අපි තීරණයකට ආවා ඒ රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත අරන් අවයව ලබා ගන්න. ඔහුගේ හෘදය පෙනහලු හොඳ තත්ත්වයෙන් තිබුණෙ නැහැ. වකුගඩු දෙක මහනුවර මහ රෝහලේ රෝගීන් දෙදෙනකු සඳහා ලබාගැනීමට මහනුවර අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකරණ ඒකකයෙන් පැමිණියා. අපි වයස තිස්‌දෙකේ රෝගියාගේ පාදය හා සමාන ලක්‌ෂණ බාහිර පෙනුම සියල්ල අනුව පාදය බද්ධ කිරීම සඳහා ලබා ගන්නට තීරණය කළා.
මේ සඳහා අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වන ප්ලාස්‌ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අමිල රත්නායක, අස්‌ථි හා විකලාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුවන් විඡේසිංහ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලෙවන් කාරියවසම් යන තිදෙනා සිය න්‍යායික හා ප්‍රායෝගික දැනුම උපරිමයෙන් යොදමින් මා සමඟ දැඩි වෙහෙසක් ගත්තා. සෙසු වෛද්‍යවරුන් වන වෛද්‍ය වරුණ පතිරණ, වෛද්‍ය මිතුන් ගමකුඹුර, වෛද්‍ය පූර්ණිමා සහ වෛද්‍ය සුජිත් හැකි සෑම කැපවීමක්‌ම කළා. අපට සිටින හෙද කාර්යය මණ්‌ඩලයත් කනිෂ්ඨ සෞඛ්‍ය සේවා කාර්යය මණ්‌ඩලයත් සීමා සහිතයි. නමුත් එදින සේවය නොකරන හෙදියන් පවා පැමිණ අපට ඔවුන්ගේ උපරිම සහාය ලබා දුන්නා. මේ කටයුත්ත සාර්ථක වෙන්න මේ හැම දෙනාගේම උදව් උපරිමයෙන්ම අවශ්‍ය වුණා. අපි විසි හතරවැනිදා සඳුදා උදේ දහයට පමණ ශල්‍යකර්මය ආරම්භ කළා. මුලින්ම මොළය මිය ගිය රෝගියාගේ වකුගඩු දෙක ඉවත් කර මහනුවරට
රැගෙන යන්න ක්‍රමවේදය සකස් කළා. අනතුරුව තවත් ඖෂධ ලබා දෙමින් රෝගියා කෘතිම ස්‌වසන යන්ත්‍රයේ ආධාරයෙන් හෘද ස්‌පන්දනය පවත්වා ගනිමින්, පාදය ඉවත් කර ගැනීමේ ශල්‍ය කර්මය කළා. ඒ අතර පාදය අවැසි රෝගියා යාබද ශල්‍යාගාරයේ සූදානම් කළා. මේ කටයුතු සියල්ලම නිමා කරන්න පැය නවයකට වැඩිවේලාවක් ගත වුණා. අවසන් අදියර වෙද්දී අපට හොඳාකාරවම පැහැදිලි වුණා මෙය සාර්ථකයි කියලා. අපේ සිරුර ස්‌වභාවිකවම හැඩගැහිලා තියෙන්නේ බාහිරින් අපට ලබා දෙන යමක් ප්‍රතික්‌ෂේප කරන්න. මේ රෝගියාටත් ඒ අවදානම ජීවිත කාලය පුරාම තියෙනවා. ඒ නිසා අපි ඔහුට දිගුකාලීන ඖෂධ ලබා දෙනවා. කාලයක් යන විට මෙය සාමාන්‍ය තත්ත්වයට පත් වේවි”
පාදය අහිමි වූ තිස්‌දෙහැවිරිදි ඔහු යළි දෙපා හිමිකරුවෙක්. වැඩක් පොළක් කරගෙන රටට දැයට බරක් නැති තම බිරිඳ දරුවන් සමඟ දෙපයින් ඇවිද යා හැකි යථා ත්ත්ත්වයට පත්ව ඇත්තෙක්.
මේ ශල්‍යකර්මය ඔස්‌සේ අපට තවත් චකිතයක් ඇතිකරවන ශල්‍ය වෛද්‍ය ක්‍රමවේදයක මතකයක් අවදි කළා. ඒ තමයි ප්ලාස්‌ටික් ශල්‍යකර්ම. අප මෙතෙක් ප්ලාස්‌ටික් ශල්‍යකර්ම සිදුකිරීම පිළිබඳ පුළුල් දැනුමක් ලබා නොතිබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ. ලොව සුපතල පොප් ගායක මයිකල් ජැක්‌සන්ගේ පෙනුම තවදුරටත් සුන්දර කරගැනීමේ අටියෙන් ඔහුගේ මුහුණ ප්ලාස්‌ටික් සැත්කමකට ලක් කළ බව අප එකල අසා තිබුණා ඔබට මතක ඇති. එසේ නම් මේ පාද බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ප්ලාස්‌ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු කුමකටද?
මගේ කාර්යය භාරය සිරුරේ බාහිර ශල්‍යකර්මවලදී වැදගත් වෙනවා මොකද, සිරුරේ බාහිර පෙනුම සකස් කිරීමේදී පර්යන්ත ස්‌නායු පිළිබඳව දැඩි විමසිල්ලක් අවධානයක් අවශ්‍යයි. මාංශ පේෂි බද්ධ කිරීමේදී, රෝගියාගේ පෙර ස්‌වභාවය හා හාත්පසින් වෙනස් ස්‌වභාවයක් මතු නොවන පරිදි බාහිර පෙනුම සකස් කළ යුතු වෙනවා. මේ සඳහා මාංශ පේෂි සහ පර්යන්ත ස්‌නායු එකිනෙක බද්ධ කිරීමේ ක්‍රමවේදයන් ගැන දැඩි අවධානයෙන් ශල්‍ය කර්මය සිදුකළ යුතුයි. එසේ කියා සිටියේ අනුරාධපුර මහ රෝහලේ ප්ලාස්‌ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අමිල රත්නායක මහතායි.
ඔහු ප්ලාස්‌ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඔස්‌ටේ්‍රලියානු රෝහල් ඇසුරින් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලද අයෙක්. දහසක් රිය අනතුරුවලදී ශල්‍යකර්මයන්ට බඳුන් කරන්නා වූ රෝගින්ගේ අභ්‍යන්තර පෙනුම යථා පරිදි සකසන්න ඔහු දැඩි කැපකිරීම් කළ වෛද්‍යවරයෙක් බව සිහි කරනු වටියි.
මිය ගිය වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයා පිංවන්තයෙක්. අද වන විට ඔහුගේ අවයව ගෙන යළි ජීවය ලැබූ තිදෙනෙක් මේ මිහිමත සිටිනවා. පාද බද්ධයෙන් සුවපත් වූ රෝගියා හැරුණු විට, මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ, මොළය මිය ගිය රෝගීන්ගේ වකුගඩු ගෙන බද්ධ කළ හැකි පොරෝත්තු ලේඛනයේ පළමුවැන්නාත් දසවැන්නාත් අද සැනසිල්ලේ හුස්‌ම ගන්නේ මිය ගිය ඔහුට පින් සිදුවන්නටය.
ඔවුනට මේ වකුගඩු ලැබුණේ, මහනුවර රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධිකරණ ඒකකයේ තිදෙනාට ද පිං සිදුවන්නටයි. සහකාර සම්බන්ධිකරණ හෙද නිලධාරීන් වන ආර්. එම්. ජයවර්ධන, අනුර රත්නායක සහ සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී අරුණ අබේසිංහ යන මහත්වරු දිව
රෑ නොතකා මහ මග දුර ගෙවා ගොස් අවයව රැගෙන විත් රෝගීන්ට බද්ධ කිරීමට අවශ්‍ය පසුබිම සකසනු නොවන්නට මේ වකුගඩු රෝගීන් අදටත් ඉහළ අහසට සුසුම් හෙලමින් සිටිනු ඇත.
මහනුවර රුධිර කාන්දුකරන ඒකකයේ වසර දෙකක් තුනක් කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු පනස් දෙකක් වන වව්නියාවේ එස්. මාදවන් සහ වයස අවුරුදු පනස් හතක් වන හඳුන්ගමුවේ ඒ . ජී. ප්‍රේමචන්ද්‍ර අනුරාධපුරයෙන් ගෙන ආ වකුගඩු වලින් යළි උපන් බව කියන්නේ ආඩම්බරයෙන්. වකුගඩු ශල්‍ය විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා මේ රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සිදු කළේ සිය යුතුකම ඉටුකරමිනුයි. මොළය මිය ගිය රෝගීන්ගේ වකුගඩු ගෙන බද්ධ කිරීමේ ශල්‍යකර්ම අතරේ මහනුවර රෝහලේ දී සිදු කළ එකසිය තුන්වැනි සහ එකසිය හතරවැනි ශල්‍යකර්ම මෙයයි. විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා රටට ජනතාවට මේ ඔස්‌සේ පණිවුඩයක් දුන්නේ මහජන හිත සුව පිණිසයි.
මොළය මිය ගිය රෝගියකුගේ අවයව ලබා ගන්න රජයේ රෝහල් මේ සිදු කරන වැඩපිළිවෙළ නිසි ක්‍රමවේද අනුව යාවත්කාලින වන්නේ නම්, මහජනතාවට මහා ලොකු සෙතක් වෙනවා. මොකද අද ලෝකය වගේම ශ්‍රී ලංකාව ගත්තාම වකුගඩු මුදලකට විකිණීමේ ජාවාරමක් අපේ ඇස්‌වලට වැලි ගහලා සිදු කෙරෙනවා. මොළය මිය ගිය රෝගීන්ගේ වකුගඩු, වගේම දැන් ලංකාවේ අවයව බද්ධකිරීමේ ශල්‍ය කර්ම දියුණු නිසා සෙසු අවයව ලබා දෙන්න ඔවුන්ගේ ඥාතින් ඉදිරිපත් වෙනවා නම්, අපි එක දම්වැලක පුරුක් වගේ, මේ කාර්යය සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකි වෙනවා. රෝගියෙක් බවට පත්වන ඕනෑම කෙනකුට ජීවිතයේ වටිනාකම දැනෙනවා. අපි එකතු වෙලා මේ කටයුතු තවත් සාර්ථක කර ගත යුතුයි.
අනුරාධපුරය මහනුවර වගේම සෙසු නගරවල අද සෞඛ්‍ය පහසුකම් දියුණුව තිබෙන බව නොරහසක්. අවයව දන්දීම ඔස්‌සේ ජීවිතයක් රැක ගැනුමටත් රටට වැඩදායි පුද්ගලයකු ලෙස යළි සමාජගත වීමේ අවස්‌ථාව උදාකර දෙන්නට හැකි වන්නේ නම්, මේ භවය තුළ කළ යුතු තවත් පිංකමක් නැති තරම් ….
– සමන්තී වීරසේකර