(17.03.2018 – sarasaviya.lk)
වසර දොළහකට පමණ පසු යළිත් මම ඔහුගේ කැදැල්ල සොයා ගියෙමි. ඒ වන වටත් සුපුරුදු ලෙසම අප පිළිගන්නට පැමිණියේ ඔහුය. ‘ඩගී’ යන ආදරණීය නාමයෙන් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුන්වන ඩග්ලස් රණසිංහ මහතා අසලම උන්නේ උස් මහත් වූ දරුවෙකි.
මම ඔහු දෙස විමසුම් සහගත බැල්මක් හෙළීමි. මගේ සිත වටහා ගත් බැවින්දෝ ඩගී අයියා ඔහු අසලම උන් පුතුව හඳුන්වා දුන්නේ මා පුදුමයට පත් කරමිනි.
‘‘හරියටම ශ්‍රී බෝධි පුතා මං පුංචි කාලයේ වගේමයි’’
ඩග්ලස් රණසිංහ මහතා ගේ ඒ වචන පෙළ සමඟ පුතුගේ උවනට නැඟුණේ සිනහවකි. ඒ සිනහව අතරෙන් මගේ සිතට පිවිසියේ ඔහු දුටු පළමු දිනයයි.
මුහුණට වැටුණු කැරැළි කොණ්ඩය උස්ව බැඳ තිබිණි. පියවර එක, දෙක තබමින් ඇවිද ගිය මේ කුඩා ළදරුවා එක්වරම බිම ඇද වැටෙන්නේ තවමත් ඔහුට හරිහැටි පා නඟා ඇවිද යන්නට නොහැකි නිසාය.
එහෙත් එහි වගේ වගක් ඔහුට නොවේ. වීරිය ගෙන නැඟිටින ශ්‍රී බෝධි ටික දුරක් ගොස් ඇද වැටෙයි. එදා වැටි වැටී නැඟිට්ට කුඩා ළදරුවා අද උස් මහත් වූ දඟකාරයෙකි.
‘‘පුංචි කාලේ වැටි වැටි ඇවිද්ද පුතා ද කියලා හොයා ගන්නවත් බැහැ’’
ඒ අතීතය සිහිපත් කිරීම නිසාදෝ ශ්‍රී බෝධි පුතුගේ සිතේ ඇති වූයේ කෝල බවකි. එය නොහඟවන්නට මෙන් පුතු තමා අසල උන් අම්මාගේ උරහිස මත හිස හංගා ගත්තේය.
ඩග්ලස් රණසිංහ මහතාගේ දයාබර බිරිය කුමාරි මහත්මිය සිය පුතු තුරුළු කර ගත්තේ සොම්නසෙනි.
‘‘මෙයා මෙහෙම හිටියට තාත්තා වගේ රඟපානවා’’
ඈ පැවසුවේ ශ්‍රී බෝධි පුතුගේ දස්කම් පිළිබඳය. 8 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න ඔහු පාසල් යන්නේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ය.
‘‘තාත්තාගෙන් පසුව පුතාත් රංගන ක්ෂේත්‍රයම තෝරා ගනීවිද?’’
ඔවුන්ගේ කතාබහ අතරතුර මම විමසීමි.
‘‘ඒක ගැන තවම මට වචනයක් කියන්න බැහැ. ඒ වගේම ඒ සඳහා බල කිරීමක් මම පුතාට කරන්නෙත් නැහැ. නමුත් යමක් තෝරා බේරා ගැනීමට හැකි වයස පැමිණි විටෙක රංගනය පිළිබඳ මම පුතුට කියලා දෙනවා. ඔහුට ගැළපෙන චරිතය තෝරා ගන්න මා උදව් කරනවා. ඒ වනතුරු ඔහු අධ්‍යාපන කටයුතුවල නියැළේවි.’’
පුතාගේ දක්ෂතා පිළිබඳ හඳුනන ඩග්ලස් රණසිංහ මහතාගේ අදහස් අසා සිටින ශ්‍රීබෝධි පුතු පවසන්නේ අපූරු කතාවකි.
‘‘අම්මා නම් කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලයි. ඒත් පන්තියේ යහළුවෝ කියන්නේ නළුවෙක් වෙන්න කියලයි’’
පුතුගේ සිනහ හඬ මුළු නිවෙසෙහිම ලැගුම් ගනියි.
‘‘තාත්තා නම් කියන්නේ දෙන්නම වෙන්න කියලයි’’
වෛද්‍ය වෘත්තියේ නියැළෙමින් රංගන කටයුතුවල නියැළීමට අද කිසිදු අපහසුවක් නොවේ. එය අපූරු ආදර්ශයක් ද වන්නේය.
මේ අතර තිදෙනාටම ලැබෙන විවේකයේ කාලය ඔවුන් යොදවන්නේ ව්‍යායාම කිරීමටය.
‘‘ඉඳලා හිටලා ලැබෙන විවේකය ඇතුළේ නිතරම අපි නුගේගොඩ වැලි පාර්ක් එකේ ව්‍යායාම කරන්නට යන්නේ බොහොම කැමැත්තෙන්.’’
කුමාරි, තාත්තාටත් පුතාටත් අමතක වූ යමක් මතක් කර දෙන්නීය.
‘‘සති අන්තයේ නම් එතැන සංගීත කණ්ඩායමක් ඇවිත් ගීත කියනවා. ආපසු නිවෙසට පැමිණෙන්නට පිටත් වෙන්නේ අපි ඒ ගීතවලටත් සවන් දෙමින් මඳ වේලාවක් එතැන රැඳිලයි.’’
ඒ කතාබහ අතරතුර ඇගේ ආදර සංග්‍රහ විඳින්නට ද අපට හැකි වෙයි.
‘‘ආහාරපාන සැකසෙන්නේ හැමෝගෙම කැමැත්තටද?’’
‘‘ඩග්ලස් කැමැති ගමේ කෑමවලට. විශේෂයෙන්ම පලතුරුවලට, කොළවලට, එළවළුවලට එයා වඩාත් ප්‍රියයි. පුතා කැමැති විවිධ කෑම වර්ග ආහාරයට ගන්නටයි. ඒ අතරින් ක්ෂණික කෑම වර්ගවලට පුතා වඩාත් ප්‍රියයි.
ඒත් දැන් අපි ඒ තෙල් සහිත ක්ෂණික කෑම වර්ග පාලනයෙන් යුතුව ගන්නට ඔහුට නීති පනවලයි තියෙන්නේ. ඒ ඔහු තවත් මහත් වුණොත් ඒක හොඳ නැති නිසා.’’
පුතුගේ මෙන්ම සැමියාගේ සෞඛ්‍ය පිළිබඳ වදවන ඇය දවස ආරම්භ කරන්නේ අලුයම පහට පමණය. බොහෝ වෙලාවට උදෑසන රූගත කිරීම්වලට සහභාගි වන සැමියාට ටී එක සාදා දීමෙන් ඇගේ දවස ආරම්භ වෙයි.
‘‘ඩග්ලස් රූගත කිරීම්වලට සහභාගි වුණාට පස්සේ පුතාව පාසලට යවන්න ඕන නිසා උදෙන්ම මම උයනවා. එයා පාසලට ගියාට පස්සෙයි නිවසේ සියලුම අස්පස් කරන කටයුතු ආරම්භ වෙන්නේ.
නිවසේ සියලුම කටයුතු කෙරෙන්නේ මගේ අත් දෙකෙන්ම තමයි.’’
‘‘ශ්‍රීබෝධිගේ පාසල් වැඩ කටයුතු සොයා බලන්නේ කවුද?’’
‘‘වැඩිපුරම ඒකට මහන්සි වෙන්නේ කුමාරියි. ඊට අමතරව මමත් එයාට පාඩම් කියා දෙනවා. පන්තියකට එයාව පිටට යවන්නේ නැතිව ගුරුවරයකු ගෙදරටම එන නිසා කුමාරිට පැවරෙන පුතාගේ වගකීම තරමක් පහසු වෙලා.’’
ඩග්ලස් රණසිංහ මහතා සිය බිරියට පැවරුණු වගකීම්වලින් ඇය නිදහස් කරන්නේ එලෙසය. ශ්‍රීබෝධි පුතු උපදින්නට පෙර ඇය රැකියාවක් කළ ද ඉන් ඈත් වන්නේ පුතු ගැනම සිතාය.
ශ්‍රී බෝධි පුතු මේ දෙපළ අතරට පැමිණෙන්නේ අපූරු අයුරෙනි. එමෙන්ම ඔහුට තැබූ නම පිටුපස ද ඇත්තේ අපූරු කතාවකි.
‘‘මොකක් ද ඒ කතාව?’’
‘‘මමයි කුමාරියි නිතරම වගේ ශ්‍රී මහා බෝධිය වඳින්න කැමැතියි. දවසක් එහෙම වඳින්න ගිය වෙලාවක එතැන සිටිය කපු මහත්තයෙක් අපට විශේෂයෙන් කතා කළා.
මොනර පිලකින් හැදුව අවානක් වනමින් ඔහු ලැබෙන්න ඉන්න දරුවාට කියමින් සෙත් පැතුවා.
ඒත් සමඟම තවත් මොනවද තිබෙන ප්‍රාර්ථනා කියලා ඔහු ඇසුවා. එතකොට ගෙදර කටයුතු අවසාන කර ගන්නත් අවශ්‍ය යැයි අප කිව්වා. ඒ සියල්ලටම සෙත් පතලා නුල් බැන්දා.
එතැනින් ආවට පස්සේ දරුවෙක් ලැබෙන්න ඉන්න එකට බොරුවට සෙත් පතා ගත්තේ ඇයි කියලත් කුමාරි මගෙන් විමසුවා. මොකද ඒ වන විට එහෙම දෙයක් ගැන අපි දැනගෙන සිටියේ නැහැ.
ඒත් කොළඹ ඇවිත් අපි වෛද්‍යවරයා හමුවුණාට පස්සෙයි කුමාරිට දරුවෙක් ලැබෙන්න ඉන්න වග දැන ගත්තේ.
මේ නිසා ශ්‍රී මහා බෝධිය ළඟදී ඒ ගැන මුලින්ම දැනගත්ත නිසා ශ්‍රීබෝධි කියලා නම තිබ්බා. ඒ නමට පස්සේ තිබෙන ‘ඉන්ද්‍රඛීල’ කියන නම තිබ්බේ ඒ වනතුරුත් සිදුවුණු කිසිම දෙයකට ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී සිටිය නිසාත්.’’
‘ශ්‍රීබෝධි ඉන්ද්‍රඛීල රණසිංහ’ කියන නම පුතාට ලැබුණේ එලෙසිනි. ඩග්ලස් – කුමාරි යුවලගේ ජීවිතවල එකම අරමුණ ශ්‍රීබෝධි පුතුය. ශ්‍රීබෝධිට සොඳුරු අනාගතයකට පාර කපන්නට ඔවුහු වෙහෙසෙති.
ඒ සොඳුරු සෙනෙහසට මැදි වී ශ්‍රීබෝධි පුතු කල දවස ගෙවන අයුරු අමිත් අයියාගේ කැමරා කාචයට හසු වූයේ සැණෙනි. ඒ සෙනෙහසට සමු දුන් අපි ඔවුන්ගෙන් සමුගතිමු.
– තිලානි ශානිකා විතානාච්චි
(සේයාරූ – අමිත් එස්. සේනාරත්න)
+++++++++++++++++++++++++++++++++++++
හය මාසයක් ඉවසන්න බැරි වුණා… අන්තිමේදී මට ඔක්කොම නැති වුණා – ඩග්ලස් රණසිංහ
(17.03.2018 – deshaya.lk)
ඔබේ ළමා කාලය ගෙවුණේ කුරුණෑගලදී.. එහෙම නේද..?
ඔව්… කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති තෝරවතුර ගමේ තමයි මම ඉපදුණේ. තෝරවතුර ගම ඒ අවට තියෙන ගම් එක්ක බැලුවොත් හරි කුඩා ගමක්. නමුත් ඒ පළාත හඳුන්වන්නෙ තෝරවතුර පළාත කියලයි. ඒ පොඩි ගමේ පවුලේ හතරවැනියා විදිහට මම ඉපදුණා. මට වඩා වැඩිමල් අක්කලා තුන්දෙනයි, මල්ලයි, නංගිලා දෙන්නයි මට ඉන්නවා. අද මගේ ලොකු අක්කා නවකතා කතුවරියක්. ඇය මල්කාන්ති ගුණරත්න. ඒ වගේම මගේ පවුලේ බඩපිස්සි තිලකා රණසිංහ. ඉතින් අපි පසුකාලීනව කලාවට සම්බන්ධ වුණා.
ඔබේ මව්පියෝ කලාවට සම්බන්ධ අය නෙමෙයිද..?
කලාකාමී අදහස් ඒ දෙන්නා තුළම තිබ්බා. මගේ අම්මා ගුරුවරියක්. මගේ තාත්තට ඉඩකඩම් තිබ්බා. තාත්තා නීතිඥවරයෙක් වෙන්න ඉගෙන ගෙන තිබ්බට තිබුණු වතුපිටි බලාගෙන ඒ දේවල් කරගෙන ඉන්න තාත්තට සිද්ධ වුණා.
ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම ශාන්ත ආනා විද්‍යාලයේ ඉගෙන ගත්තා. හැබැයි අපේ පවුලේ එක සම්ප්‍රදායක් තිබුණා. ඒ ගමේ පාසලට පන්තියක් දෙකක් හරි යන්න ඕනෙ. ඉතින් අපි හෝඩියේ පන්තියේ ඉගෙන ගත්තේ ගමේ පාසලෙන්. ඊටපස්සෙ තමයි කුරුණෑගල ශාන්ත ආනා විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ.
පුංචි කාලෙ මොනවගේ චරිතයක්ද..?
දඟයි… අධ්‍යාපනයට වගේම මම ක්‍රීඩාවටත් යොමුවෙලා හිටියා. පාසල් කාලෙදී දිවීම, පැනීම, බොක්සිං, කෙඩෙට් වගේ ක්‍රීඩා මම කළා. ඒ වගේම මම පන්තියේ පළවෙනියා හෝ දෙවැනියා වුණා. පාසලේ සාහිත්‍ය සංගමයේ නිලතල දැරුවා. ඒ පසුබිම පසුකාලීනව මට ගොඩක් වැදගත් වුණා.
කොහොමද කලාවට සම්බන්ධ වුණේ…?
පාසල් අධ්‍යාපනයට පස්සෙ මගේ පියාගේ ලොකුම හීනය වෙලා තිබුණේ මාව නීති විද්‍යාලයට ඇතුළත් කරන්න. ඉතින් මම නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් ඒ ඇවිත් ඉන්න අතරතුරේ මගේ ලොකු ආසාවක් ඇතිවුණා හමුදාවට හරි පොලීසියට හරි බැඳෙන්න. ඉතින් නීති විද්‍යාලයේ ඉඳිද්දී මම එස්.අයි කෙනෙක් වෙන්න ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණා. හැබැයි ගෙදරින් නම් වැඩිය කැමැත්තක් තිබුණේ නෑ. ඒකට කැඳවීමකුත් ලැබිලා ඒකෙනුත් මම සමත් වුණා. කොහොමහරි ඔය කාලයේදීම හමුදාවට පිරිස ගන්න එක කල්ගියා. ඔය අතරේ මට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාව මුණගැසුණා. සතිස් අයියා මාව හෙන්රි ජයසේන මහතාට හඳුන්වලා දුන්නා. ඒ මාර්ගයෙන් මට හෙන්රි අයියගේ හුණුවටේ කතාවේ ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. එහෙමයි මගේ කලා ජීවිතය හුණුවටේ කතාවේ කෝප්‍රල්ගේ චරිතයෙන් ඇරඹුණේ. ඒක හුණුවටේ කතාවේ ඉතාම ජනප්‍රිය චරිතයක් වුණා.
ඔයා පොලීසියට ගැලපෙන්නෙ නෑ. ඔයාට පොලීසිය ගැලපෙන්නෙත් නෑ
ඊටපස්සෙ ඔබට සිනමාවට එකතුවෙන්න අවස්ථාව ලැබුණා. එහෙම නේද..?
ඔව්.. හුණුවටේ කතාව ලංකාවේ අස්සක් මුල්ලක් නෑර යමින් තියෙන වෙලාවේ අපට පුතේ මඟක් නැතේ කියන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තවත් නිර්මාණයක් හෙන්රි අයියම අධ්‍යක්ෂණය කළා. ඒකත් හුණුවටේ කතාව වගේම රට පුරාම වේදිකාගත වුණා. මම ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑවා.
එතකොට ඔබට අර පොලීසියට යන්න තිබුණු ආසාව නැතිවුණාද…?
ඔව්නෙ… හුණුවටේ කතාවේ විජේරත්න වරකාගොඩ මහත්තයත් රඟපෑවා. ඉස්සර වරක් අයියා පොලීසියේ සේවය කරලා තිබුණේ. ඉතින් වරක් අයියා දවසක් මට හරි ලස්සන කතාවක් කිව්වා. ඒ තමයි මල්ලි.. ඔයා ගැන දැන් මම හොඳට දන්නවා. ඔයා පොලීසියට ගැලපෙන්නෙ නෑ. ඔයාට පොලීසිය ගැලපෙන්නෙත් නෑ… කියලා කිව්වා. මට ඒක හරි තදින් වැදුණා. අනිත් එක ඒ වෙද්දී මම කලාවට යොමුවෙලා ඉවරයි. ඒ වෙද්දී නීතිය පිළිබඳ අධ්‍යාපන කටයුතු ඔහේ කරගෙන ගියා මිසක් ඒ තරම් උනන්දුවකුත් මගේ තිබුණේ නෑ. ඒ නිසා පොලීසියට යන එක මම අතහැරියා. ඒ කාලේ අදට වඩා නාට්‍ය ලෝකෙ විශාල පිබිදීමක් තිබුණා.
බොහෝ කලාකරුවන්ට වඩා විදෙස් නිර්මාණවේදීන් ඇසුරු කරන්න ඔබට අවස්ථාව ලැබුණා…?
ඔව්.. විදෙස් නාට්‍යවේදීන් අපේ රටට ඇවිත් නාට්‍ය පුහුණුවීම් කළා. ඒ පුහුණුවීම් හරහා මම නාට්‍ය කිහිපයකම රඟපෑවා. පීටර් පොටර් නම් නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ ෂේක්ස්පියර්ගේ නාට්‍යයක මමත් රඟපෑවා. ඒ අතරේ චිත්‍රපටවලටත් මට ආරාධනා ලැබුණා. හුණුවටේ කතාෙව් විශේෂ දර්ශනයක් බලන්න ආපු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නාට්‍ය අවසානයේ දී මාව මුණගැහිලා මාව ඇවිත් මුණගැහෙන්න කියලා කිව්වා. පහුවදාම මම ඔහු මුණගැහුණාම අක්කර පහේ සමරේගේ චරිතය මට කරන්න අවස්ථාව ලැබුණා.
අක්කර පහ සමරේගේ චරිතය වෙනුවෙන් ඔබට ලොකු ඇගයීමක් ලැබුණා නේද…?
ඔව්… අධ්‍යක්ෂකවරයෙක් විදිහට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මාව ලොකු ඇගයීමකට ලක් කළා. ඔහු වරක් මට මගේ චිත්‍රපටයේ වීරයාව ඩග්ලස්ෙගන් බේරගන්න ලොකු අමාරුවක් වුණා කියලා කිව්වා. ඒ වගේ දෙයක් ලෙහෙසියෙන් අධ්‍යක්ෂකවරයෙක් කියන්නෙ නෑ.
කලා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කෙටි චිත්‍රපටයකට ඔබ දායක වුණා නේද..?
ඔව්.. ඒක ඇත්ත. මගේ ජීවිතේ ඒකෙන් වෙනස් වුණා. ඒ භාවනා කියන කෙටි චිත්‍රපටයට දායක වීමයි. ඒක පෝල් විල්ස් කියන ජර්මන් ජාතිකයෙක් විසින් අධ්‍යක්ෂණය කරපු නිර්මාණයක්. ඔහුට ඉන්දියාවේ ගෞරවපූර්ව පුරවැසිභාවය පවා දීලා ඉන්දියාවට කතා කළා. නමුත් පෝල් තෝරාගත්තේ ලංකාවයි. ඔහු භාවනා කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා. ඒවගේම ඔහු මාව සහය අධ්‍යක්ෂණයටත් එකතු කරගත්තා. අවසානයේ දී මම සිනමාව ගැන ඉගෙන ගන්න පෝල්ගේ උපදෙස් මත එංගලන්තයේ film school එකට ඇතුළත් වුණා. අවුරුදු තුනක උපාධියක් මම එහෙදී හැදෑරුවා.
අවුරුදු තුන අවසානයේ දී ඔබ ලංකාවට ආවද…?
නෑ.. අවුරුදු තුන අවසානයේ දී මගේ ගුරුතුමා පෝල්, එන්න හදිස්සි වෙන්න එපා. ඔයා ඩ්‍රාමා කෝස් එකකුත් කරලා එන්න.. අපි මෙහේ සිනමා සහ නාට්‍ය පාසලකුත් පටන් ගමු. කියලා කිව්වා. ඒක ඊළඟට මගේ අරමුණ වුණා. ඒ නිසා අවුරුදු තුන ඉවරවෙලා ලංකාවට එන්නෙ නැතිව මම එකදිගට අවුරුදු අටක් නවයක් ඒ රටේ හිටියා.
ලාංකික කලාකරුවෙක්ට නොලැබෙන අවස්ථාවකට ඔය අතරේදී ඔබ පයින් ගැහුවා නේද…?
ඔව්.. නාට්‍ය පාඨමාලාව ඉවරවෙද්දී දෙන්නෙක්ට ලන්ඩන් සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නෙ හරිම කලාතුරකින්. ඒක කලාරෙුවෙක්ට ලැබෙන අහඹු අවස්ථාවක්. පිටරට කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙනවා කියන්නෙ හරිම වාසනාවක්. මට ඒ වාසනාව ලැබුණා. හැබැයි මම ඒ වාසනාවට පයින් ගැහුවා. ඒකට හේතුව වුණේ මට ලංකාවට යන්න ලොකු ඕනකමක් තිබුණා. මෙහේ මගේ ගෙදර අයව බලන්න මට ඕනෙ වුණා. අනිත් එක තමයි පෝල් එක්ක සිනමා පාසලක් හදන්න මට තිබුණු හීනය. ඒ නිසා මම ඒ අයගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. අපි මේක ඔබට රත්තරන් බන්දේසියක තියලා පිළිගන්වනවා. ඔබ ඒකට පයින් ගහනවා… කියලා ඒ අය මට කිව්වා. අවුරුදු අටක් එංගලන්තයේ හිටපු මම තව හය මාසයක් ඉවසගෙන ඉන්නෙ නැතිව ලංකාවට ආවා.
ඒ එද්දී ඔබේ හීනය සුණුවිසුණුවෙලා තිබුණා නේද..?
ඔව්.. ඇත්තටම මම ලංකාවට එද්දී මගේ ජීවිතේ කඩාගෙන වැටුණා. මම ලංකාවට එනකොට පෝල්ට සිරෝසිස් හැදිලා පෝල් ජර්මනියට ගිහින්. ටික කාලයකින් පෝල් නැතිවුණා. සිනමා පාසලත් ඉවරයි. බලාපොරොත්තුත් ඉවරයි. ලැබුණු අවස්ථාවත් ඉවරයි. ඔය කාලේදී මට චිත්‍රපට පොකුරකටම ආරාධනා ලැබුණා. හැබැයි ගස් වටේ දණගහන, බඩගාන චිත්‍රපටවල රඟපාන්න මම කැමති වුණේ නෑ. ඒ නිසා මම ඒ හැමදෙයක්ම ප්‍රතික්ෂේප කළා.
කොහොමද බිරිය, දරුවා එක්ක ගෙවන ජීවිතේ…?
ගොඩක් සතුටින් ඒ ජීවිතේ ගෙනියනවා. මම විවාහ වුණේ සන්ධ්‍යා කුමාරි එක්ක. අපිට එක පුතෙක් ඉන්නවා. ඒ ශ්‍රීබෝධි ඉන්ද්‍රඛීල රණසිංහ. දැන් පුතාට වයස අවුරුදු දාසයයි.
ඔබ ටෙලිනාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළා…?
ඔව්.. මුලින්ම මම රන්මසු උයන කියන නාට්‍ය කළා. ඊටපස්සෙ මම සසර චක්‍ර කියලා තවත් ටෙලිනාට්‍යයක් කළා. ඊළඟට මම දැන් මගේ ලොකු අක්කගේ නවකතාවකින් ටෙලිනාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
++++++++++++++++++++++++++++++++
විරාගයේ සිරිදාසට ගන්න හිටියේ විජය කුමාරතුංගව – ඩග්ලස් රණසිංහ සිනමා අතීතාවර්ජනය
(19.02.2017 – divaina.com)
• තිරයේදී වැඩිපුර ආදරය කළේ අනෝජාට
• රමණි බර්තොලමියුස් මුලින්ම රඟපෑවේ මාත් එක්‌ක
සිනමාව හෝ වේවා වේදිකාව හෝ වේවා ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි රංගනයෙන් සිය ප්‍රතිභාව විදහා දක්‌වන්නට සමත් වූ විශාල පිරිසක් සිටිය හැකි වූවත්, රංගන පෞරුෂය කෙනකු තුළ පිහිටන්නේ ඉතා කලාතුරකිනි. රංගන පෞරුෂය යනු කඩවසම් බව හෝ හැඩිදැඩි බව නොවේ. සිනමා තිරය මත හෝ වේදිකාව මත යම් රංගන ශිල්පියෙකුගේ රූපකාය ඇඳුණු සැනින් ප්‍රේක්‍ෂකයා තුළ මතුවන ආකර්ෂණීය හැඟීම ඒ සියල්ලට එහා ගිය එකකි.
ඩග්ලස් රණසිංහ මහතා සතුව ඒ රංගන පෞරුෂය බිඳකුදු නොඅඩුව ඇත්තේය. එනයින්ම ඔහු රංගනයේ යෙදෙන සියලු නිර්මාණයන් ප්‍රේක්‍ෂකයා තුළ ගැඹුරු හැඟීමක් මතු කරන්නට සමත්ය. හුණුවටයේ කතාව, අපට පුතේ මගක් නැතේ, අක්‌කර පහ, විරාගය, යුගාන්තය, යුවතිපති මේ ආදී නිර්මාණ රැසක මතකය ඒ බව සාධාරණීකරණය කරන බව අපේ විශ්වාසයයි. ඒ සිනමා අතීතාවර්ජනය ඔහු මෙලෙස අප සමග බෙදාහදා ගත්හ.
සිනමාවට එන්න හිතගියේ වේදිකාවේ කරපු කැපකිරීම් නිසාද?
මගේ පළමු වේදිකා නාට්‍ය තමයි හුණුවටයේ කතාව. එහි මම රඟදක්‌වන්නේ බොහොම දඩබ්බර රළු පරළු කෝප්රල්වරයෙකුගේ චරිතයක්. ඒ දවස්‌වල යුද්දෙට මම ගියා ගෑණි ගෙදර තියා කියන ගීතය බොහොම ජනප්‍රියවුණා. ඉස්‌සර ඒ දර්ශනය නාට්‍යයෙන් පසුවත් බොහෝ තැන්වල නැවත රඟදක්‌වලා පෙන්වන්න සිද්ධවුණා. ඊට පසුව මම කලේ ඊටහාත්පසින්ම වෙනස්‌ම චරිතයක්. ඒ අපට පුතේ මගක් නැතේ වේදිකා නාට්‍ය නිර්මාණයේ. එතැනදී මම රඟදැක්‌වූයේ බොහොම අහිංසක චරිතයක්. එය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක්.
හුණුවටයේ කතාවට ඒ දවස්‌වල ලැබුණ ප්‍රතිචාර කොහොමද?
ඇත්තම කිව්වොත් මම ලංකාවේ හැම තැනම ඇවිද්දේ හුණුවටයේ කතාව නිසයි.
හෙන්රි ජයසේනයන් ඔබේ රංගන පරාසය කොහොමද දුටුවේ ?
නාට්‍ය නිෂ්පාදකවරයෙක් විදිහට ඔහුට තියෙනවා නළුවෝ ගැන හොඳ ඉවක්. ඒක ඔහු ඔප්පු කරලා පෙන්නුවා.
ඒ කොහොමද?
හුණුවටයේ කතාවේ දරදඬු චරිතයක් ලබාදීලා අන්තිමේ අපට පුතේ මගක් නැතේ වේදිකා නිර්මාණයේ බොහොම අහිංසක සංවේදී චරිතයක් භාරකිරීමෙන් මම ඒ බව දුටුවා. අපට පුතේ මගක් නැතේ නාට්‍යයේ චරිතය කරපු වෙලාවේ සත්‍ය කතාන්දරයට හිතට ගත්තා වැඩියි කියලා ඔහු මට නොයෙක් වතාවලදී කිව්වා.
එතකොට ඔබ ප්‍රසිද්ධ සිනමාවට පිවිසුන විදිහ තවම පැවසුවේ නැහැ ?
ඒකත් හරියට දෛවෝපගත විදිහට තමයි සිද්ධවුණේ. හුණුවටයේ කතාව වේදිකා නාට්‍ය ලුම්බිණියේ පැවැති අවස්‌ථාවක එහි ප්‍රධාන ආරාධිතයා විදිහට පැමිණියේ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහත්මයා. එතැනදී වේදිකාව පිටුපසට ඇවිත් ඔහු ඇහැව්වා කෝ අර නළුවා කියලා.
එහෙම කිව්වේ ඔබටද?
ඔව්. සොල්දාදුවා කෝ කියලා තමයි ඇහැව්වේ.
එතකොට ඔබට මොකද කිව්වේ ?
මම වේෂ නිරූපණයන් ඉවත්කරලා තිබුණ හින්දා එක්‌වරම මේ ඔහුමද කියලා හඳුනාගන්න අපහසු වුණා. අන්තිමේ ඔහු මට කිව්වා මාව ඇවිත් හමුවෙන්න කියලා කිව්වා. එතැනදී හෙන්රි අයියා ලස්‌සන කතාවක් කිව්වා.
ඒ මොකක්‌ද?
ඔන්න ඔන්න මගේ හොඳම නළුවා හොරකම් කරන්න යනවා කියලා. ඒ වුණාට අන්තිමේ හෙන්රි අයියා මට ආදරයෙන් වගේ කිව්වා අනිවාර්යයෙන්ම පලයං කියලා.
අන්තිමේ ඔබට ලෙස්‌ටර් මහත්මයාව හමුවෙනවා?
එතැනදී මට අක්‌කර පහ චිත්‍රපටයේ සමරෙගේ චරිතයට ලැබෙනවා.
අපට පුතේ මගක් නැතේ වේදිකා නාට්‍යය හින්දත් ඔබට සුවිශේෂී චරිතයක් ලැබෙනවා නේද?
අපට පුතේ මගක් නැතේ නාට්‍ය බලන්න ආපු ඩී. ජී. එල්. පෙරේරා එහිදී මගේ හැකියාවන් දැකලා රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ රෝමියෝගේ චරිතය ලබාදුන්නා.
අක්‌කර පහ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන්වෙලා ආචාර්ය ලෙස්‌ටර් මහත්මයා ඔබට අපූරු කතාවක් කිව්වා කියන්නේ ඇත්තද?
මේ කතාව තියෙනවා ද ලෝන්ලි ආටිස්‌ට් (හුදකලා කලාකරුවා) කියන කෘතියේ. අක්‌කර පහේ ප්‍රධාන චරිතය වුණ සේනගෙ චරිතය කළේ මිල්ටන් ජයවර්ධන. මම සමරෙ. අක්‌කර පහ චිත්‍රපටයේ වීරයා සේන. හැබැයි මේ වීරයාව සමරෙ (ඩග්ලස්) ගෙන් බේරාගන්න ගොඩක් මහන්සිවෙන්න වුණා කියලා තමයි කිව්වේ.
අක්‌කර පහ තිරගතවෙනකොට මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ ?
මගේ හීරෝව ඩග්ලස්‌ගෙන් බේරාගත්තේ බොහොම අමාරුවුණා කියන කතාව හරියට ප්‍රසිද්ධවුණා. බොහෝ දෙනෙක් කිව්වා නවකතාවෙන් සමරෙ ඉවත්වුණාට චිත්‍රපටයට ලොකු හානියක් වගේම අඩුපාඩුවක් වුණා සමරෙ චිත්‍රපටයේ මැද්දෙන් ඉවත්වීම කියලා. ආපහු සමරෙ මදකොට හෝ ගෙනආවා නම් හොඳයි කියන තැන ඒ කාලේ බොහෝ දෙනෙක් හිටියා.
රෝමියෝ ජුලියට් හි රෝමියෝ ගැනත් කතා නොකරම බැහැ නේද?
රෝමියෝ ජුලියට් හි ගේල්ස් රාධා කියන බර්ගර් තරුණියක් සමග තමයි මම රඟපෑවේ.
ඔබ කාලයක් විදෙස්‌ගත වුණා නේද?
මට හිතුණා රඟපෑම ගැන වැඩිදුර ඉගෙන ගැනීම සඳහා විදෙස්‌ගත වෙන්න. ඒ අනුව තමයි මම විදෙස්‌ගත වුණේ. මට ඒ වෙලාවේ චිත්‍රපට පහකට ආරාධනා ලැබුණා. ඒ එකකටවත් බැහැ කියලා තමයි මම ලංකාවෙන් ගියේ.
ඔබ ආපහු ලංකාවට ආවේ ?
මම විදෙස්‌ගතවෙලා අවුරුදු අටකට නවයකට පසුව තමයි නැවත ලංකාවට ආවේ.
ලංකාවට ආවට පසුව නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා නේද?
යුගාන්තය, තන ගිරවි, විරාගය, යුවතිපති, සාරංගා වගේ නිර්මාණ රැසකට ආරාධනා ලැබෙනවා.
යුගාන්තය ගැනත් කතා කරමු ?
රමණී බර්තොලමියුස් මුලින්ම රඟපෑවේ මාත් එක්‌ක. ඒ කාලේ ඇය පුංචි කෙල්ලක්. මටයි එයාට රඟපෑම ගැන කියාදෙන්න වුණේ. ලෙස්‌ටර් උන්නැහේ මට ඒක භාරකළා. අප අතරින් වෙන්වුණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ පළමු රංගනය සිදුවුණේ මේ නිර්මාණය හරහායි. රිචඩ් ද සොයිසා චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම ආධුනිකයි. ඔහු අපිට හිටපු දක්‍ෂ වේදිකා නළුවෙක්. යුගාන්තයේදීත් ලෙස්‌ටර් මට අපූරු කතාවක් කිව්වා. වේදිකාවේ රංගනය අමතක කරලා ස්‌විච් ඔන් කරන්න පුළුවන් සිනමා රංගනයට ඇසිල්ලකින් කියලා කිව්වා. ලෙස්‌ටර්ගේ ඔය කතාවට ගොඩක් දෙනෙක්‌ගේ හිත රිදිලා තිබුණා.
යුගාන්තය වගේම විරාගයත් සුවිශේෂයි නේද?
විරාගයේ මගේ රඟපෑම් කළ සියලුම දර්ශන රැඳිලා තිබුණා නම් අද ඔයිට වඩා ඒ ගැන කතා කරනවා. තිස්‌ස අබේසේකර විරාගයේ පිටපත මට ගෙදරට ගෙනැවිත් දීලා අපූරු කතාවක් කිව්වා.
ඒ මොකක්‌ද?
ඩගී විරාගයේ සිරිදාසගේ චරිතයට මම ගන්න හිටියේ විජය කුමාරතුංග. නමුත් මගේ පිටපතේ තියෙනවා එක දර්ශනයක්. ඒක ඩගී ඔයාට වගේ ඔහුට කරන්න බැහැ. ඒක නිසයි මම ඔයාව ගන්නේ. ඔය කතාව ඔහු මගේ මුහුණටම කිව්වා.
චිත්‍රපටය තිරගතවෙන කොට අධ්‍යක්‍ෂවරයා මොකද කිව්වේ ?
ඔහු මට ඒ දර්ශනය ගැන කිව්වා නිසා මම ඒකට විශේෂ අවධානයක් යොමුකළා. නමුත් අන්තිමේ ඒ දර්ශනය තිබුණේ නැහැ.
ඩග්ලස්‌ට සිනමාවේ සංකීර්ණ චරිතය වගේම පෙම් චරිත පවා ලැබිලා තියෙනවා නේද?
අමරනාත් ජයතිලකගේ ආදර ගීතය බොහොම සංවේදී චිත්‍රපටයක්. එහිදී මම සබීතා පෙරේරා සමග රඟපෑවා. රෝමියෝ ජුලියට්‌ට මට තියෙන්නේ වෙනස්‌ම ආදරයක්. ඒක මගේ පළමුවැනි ආදර කතාව. ඒක පැත්තකින් තියලා තියෙන්නේ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. සුනිල් ශාන්ත ජීවිතේට චිත්‍රපට පසුබිම් ගායනයට සම්බන්ධවෙලා නැහැ. හැබැයි ඔහු කියපු එකම සහ අවසාන ගීතය තමයි මයි ඩී්‍රම්ස් ආ රෝසස් කියන ගීතය. ඒ ගීතය පද රචනා කළේ මර්සිලින් ජයකොඩි පියතුමා. සාරංගා තමයි මම හුඟාක්‌ම ආදරය කරන චිත්‍රපටය.
තිරයේදී වැඩිපුරම පෙම්කරන්න ලැබුණේ කාටද?
මට මතක විදිහට අනෝජා වීරසිංහ. සාරංගා, නිවන් දකිනා ජාති දක්‌වා, ආදර චාරිකා, කැලෑ මල් චිත්‍රපටවල තමයි මම ඇයත් සමග ආදර ජවනිකා රඟපෑවා.
ඒ කාලේ ඔබට කැපිලි කෙටිලි තිබුණේ නැතිද?
මම ලංකාවට ආපහු ආපු වෙලාවේ මාව පිළිගත්තේ වෙනස්‌ම පරපුරක්. මගේ සමකාලීනයෝ නෙමෙයි. ඔවුන් ටිකක් සැලිලා හිටියේ. ඒ කාලේ මටත් හරියට අන්ඩර්කටින් තිබිලා තියෙනවා. ඒ කතාව මට කිව්වේ එච්. ඩී. ප්‍රේමරත්න. මම ආපහු ලංකාවට ආපු වෙලාවේ මගේ පරපුරේ කට්‌ටිය මාව දෑතින් පිළිගත්තේ නැහැ. ඒ දවස්‌වල මාත් එක්‌ක වැඩකරන්න අමාරුයි කියලා ගොඩක් දෙනෙක් කතාවක් පැතිරුවා. ඒක හැබැයි මම ඉක්‌මණින් දැනගත්තා. ඒක දැනගත්තෙත් එච්. ඩී. ප්‍රේමරත්න හින්දා.
ඒ කොහොම වුණත් ඔබ එච්. ඩී. ප්‍රේමරත්න මහත්මයාගේ නිර්මාණ රැසක වැඩකරනවා ?
ඒ දවස්‌වල මට ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ හමුවෙන්න එන්න කියලා තිබුණා. එතැනදී ඔහු මට කිව්වා මොකක්‌ද මේ ඩගී ඔයත් එක්‌ක වැඩකරන්න බැහැ කියන්නේ. මම ඒ වෙලාවේ ඇහැව්වා කවුද එහෙම කිව්වේ කියලා. කියපු අය පස්‌සේ කියන්නම්. ඔයා දැන් මෙයත් එක්‌ක කතා කරන්න. ඊට පසුව මම කතාකළේ එච්. ඩී. ප්‍රේමරත්න සමග. එච්. ඩී. මට කතා කරලා කිව්වා මගේ හිතේ තියෙනවා ඔයාව චිත්‍රපටයකට ගන්න. නමුත් මේ ඇහෙන කතා නිසා මම ඔයාව ගන්නේ කොහොමද කියලා. මම ඒ වෙලාවේ එච්. ඩී. ට කිව්වා ඔයා පොඩි අවදානමක් අරගෙන මාත් එක්‌ක මුලින් වැඩකරන්න බලන්න කියලා. ඊට පසුව මුලින්ම මම එච්. ඩී. ගේ කුලගෙය චිත්‍රපටය රඟපෑවා. අන්තිමේ එයාගේ අවසාන චිත්‍රපටය වුණ උඩුසුළගේ පවා මම රඟපෑවා. මට ඔහුගේ පාලම යට චිත්‍රපටයේ විතරයි රඟපාන්න බැරිවුණේ.
– දිනේෂ් විතාන
+++++++++++++++++++++++++++++++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴