නීල් කුමාර රණවකගේ ‘නිහඬ රාත්‍රිය’

(22.07.2012 – divaina.com)

නීල් කුමාර රණවක විදේශීය රටක ජීවත්වෙන ලාංකීය සංගීතයට බෙහෙවින් ඇලුම්කරන ගායන ශිල්පියෙක්‌. ප්‍රංශයේ ප්‍රධාන පෙළේ හෝටෙල් සංකීර්ණයක පිළිගැනීමේ නිලධාරියකු වශයෙන් සේවය කරන නීල් මීට පෙර ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සේවය කළ අයෙක්‌. එහි සේවය කරන කාලේ “සිතාරා” සංගීත කණ්‌ඩායමේ ගායන ශිල්පයෙක්‌ සහ වාදන ශිල්පියෙක්‌ හැටියට කටයුතු කළ ඔහු තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

නීල් කුමාරගේ සංගීත ගුරුතුමා වන්නේ ටී. ෂෙල්ටන් පෙරේරා මහත්මායි. කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළ නීල් ගුවන් විදුලියේ මංචි ගීත මේලා, පිපිදෙන ගායක පරපුර, නැවුම් මිහිර වැඩසටහන් ඔස්‌සේ ගීත ගායනා කිරීමෙන් එකතු වී තිබෙනවා. කලක්‌ රුහුණු සේවයේ සරල ගී ශිල්පියෙක්‌ ලෙසට සේවය කළ ඔහු ඒ තුළින් තම ගායන හැකියාවන් තවතවත් ඔපවත් කරගෙන තිබෙනවා.

වර්තමානයේ ප්‍රංශයේ ජීවත්වන ඔහු ඒ රටේ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලබන සංගීත ප්‍රසංග සඳහාත් ගායකයකු හා වාදන ශිල්පියකු ලෙසටත් සහභාගි වෙනවා.

වසර ගණනාවක්‌ පුරාවට ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය ගීත රැසක්‌ ගායනා කරමින් තම රසිකයන් අතරට පැමිණි නීල් පසුගියදා ස්‌වනිර්මාණ ගීත ත්‍රිත්වයක්‌ ඔවුන් වෙනුවෙන්ම ඉදිරිපත් කළා. එම ගීත ත්‍රිත්වයේ එක්‌ ගීතයක්‌ වන “මේ නිහඬ රාත්‍රියේ” ගීතය විරහ ගීතයක්‌ ලෙසිනුත් “දැතේ සවිය” ගීතය කළුගල් කඩා ජීවත් වන මනුෂ්‍යයකුගේ ජීවිතේ දුක්‌ ගැහැට පිළිබඳවත් ලියවී තිබෙන අතර මේ දිනවල ගුවන් විදුලියේ ඇසෙන “තරු උදාවෙලා” ගීතය ආදරය කියා ගැනීමට පමා වූ තරුණයකුගේ ගීතයක්‌ ලෙසිනුත් නිර්මාණය වී තිබෙනවා. මේ ගීත වල ගී පද නිමල් වීරසිංහ, රංජනී විතානගේ සහ ක්‌වින්ටන් ජෝර්ජ් විසින් නීල් හට නිර්මාණය කර දී තිබෙනවා. විශාරද චන්ද්‍රදාස බෝගොඩ සහ නිමල් ගුණසේකර විසින් තනු නිර්මාණයෙන් සම්බන්ධ වී ඇති මේ ගීත ත්‍රිත්වය අවිස්‌සාවේල්ලේ මැණික්‌ වීඩියෝ ආයතනය විසින් පටිගත කර තිබෙනවා.

මේ ගීත අතුරින් තරු උදාවෙලා ගීතයට මේ දිනවල රූප රචනාවක්‌ නිර්මාණය කරන නීල් කුමාර එය ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ තව නොබෝ දිනකින් විකාශය වනු ඇති බවයි අප සමග ප්‍රකාශ කළේ.

මෑත කාලයේ තරුණ ගායික ගායිකාවන් අතර පවතින තරගකාරීත්වය හමුවේ මේ ගීත ත්‍රිත්වයෙන් එක්‌ ගීතයක්‌ හෝ ජනප්‍රිය වේවි යන බලාපොරොත්තුව ඇතිවයි ඔහු මෙම ගීත ත්‍රිත්වය රසිකයන් අතරට ඉදිරිපත් කර ඇත්තේ.

පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකික මිතුරු කැළ කළ උද්යෝගිමත්කම නිසාවෙන් මෙම ස්‌වනිර්මාණ ත්‍රිත්වය රසිකයන් අතරට ඉදිරිපත් කළ ඔහු , ඉරියේදී ගුවන් විදුලි නාලිකාවලින් සහ රූපවාහිනී නාලිකාවලින් මෙම ගීත ත්‍රිත්වය ජනප්‍රිය කරගැනීමට සහයෝගයක්‌ ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා.

– ලක්‌මිණි

++++++++++++++++++++++++++++++++++

ඈත දුරු රටේ තනිවෙලා – නීල් කුමාර රණවක

===================================