ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් විශේෂ තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් ආතර් සී. ක්ලාක් ආයතනයේ දී

ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් විශේෂ තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් ආතර් සී. ක්ලාක් ආයතනයේ දී


ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් විශේෂ තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් ආතර් සී. ක්ලාක් ආයතනයේ දී

(22.11.2026 – sinhala.adaderana.lk)

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය විසින් ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් සංවිධාන කළ විශේෂ තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මේ සඳහා නවීන තාක්ෂණික උපකරණ හඳුන්වාදීම, ඒ පිළිබඳ ප්‍රායෝගික පුහුණු සැසි පැවැත්වීම හා තාක්ෂණික හුවමාරුව සඳහා සූදානම් ව ඇති නිෂ්පාදන ආකෘති ඇතුළත් තාක්ෂණික නිර්මාණ ප්‍රදර්ශනයක් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත්ව තිබිණි.

අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් බඳවාගත් තරුණ උපාධිධාරී පර්යේෂණ සහායකයින්ගේ දායකත්වය ඇතිව නිර්මාණය කරන ලද පර්යේෂණ ප්‍රතිඵල, මූලාකෘති මට්ටමෙන් ඉදිරියට ගිය වාණිජකරණයට හා තාක්ෂණික හුවමාරුව සඳහා සූදානම් ව ඇති නිෂ්පාදන ආකෘති සහ තාක්ෂණික නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය මෙහි දී විශේෂයෙන් වැදගත් විය.

ඊට අමතරව ආතර් සී. ක්ලාක් ආයතනයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08 ක් මූලික කර ගනිමින්, දිට්වා සුළි කුණාටුව නිසා හටගන් ගංවතුරෙන් යට වූ ප්‍රදේශවලට අදාළ සිතියම් කිරීම් සහ ජංගම යෙදුම වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත බාර දීම මෙහිදී සිදු විය.

මෙම ආයතනයේ විශේෂඥ දැනුම මගින් අලුත්වැඩියා කරන ලද පර්යේෂණාගාර උපකරණ කට්ටල වයඹ විශ්වවිද්‍යාලය වෙත නිල වශයෙන් බාර දීමද මෙහිදී සිදු කෙරිණි.

ඒ සමගම මෙම කාර්යය සඳහාම ස්ථාපිත කළ උසස් තාක්ෂණික දෘඩාංග ප්‍රතිසාධන විද්‍යාගාරය (High Tech Hard Wear Recovery Lab) විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් මෙහි දී සිදු විය.

පර්යේෂණ ආයතනවල භාවිතයෙන් ඉවත්කර ඇති සංකීර්ණ විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ පරිගණක උපකරණවල උසස් දෘඩාංග ප්‍රතිසාධනය කිරීම ඉදිරියේ දී මෙම විද්‍යාගාරය තුළ සිදුවනු ඇත.

බිම්මල් වගා කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද වන නිරවද්‍ය පාරිසරික පාලන පද්ධතිය (Precision Environmental Control System) සහිත සුහුරු බිම්මල් වගා ගෘහ උෂ්ණත්ව පාලන පද්ධතිය හඳුන්වා දීම සහ ඒ පිළිබඳ වැඩමුළුව ද මෙහිදී පැවැත්විණි.

විදාතා මධ්‍යස්ථානවල විද්‍යා හා තාක්ෂණ නිළධාරීන් 50 දෙනෙකු හා බිම්මල් වගාකරුවන් 25 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ පුහුණු සැසියක් පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා, ජාතික ගැටළුවලට විද්‍යාත්මක පර්යේෂණ මගින් සැබෑ විසඳුම් සෙවිය යුතු බවත්, ඒ සඳහා මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන අතර දැනට වඩා ශක්තිමත් සහයෝගීතාවක් අවශ්‍ය බවත්, එය ගොඩනැගීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මේ වන විට මූලිකත්වය ගෙන ඇති බවත් පැවසීය.

ඒ සඳහා එක් වී සිය දායකත්වය සහ අත්දැකීම් බෙදා ගන්නා ලෙස විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, රජයේ දෙපාර්තමේන්තු සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අමාත්‍යවරයා මෙහි දී ආරාධනා කළේය.

එමෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමට මෙන්ම ඉහල තාක්ෂණ සේවා හා පර්යේෂණ සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමටත් එක ලෙස කටයුතු කරන බවත් පැවසීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤