රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු රු. ලක්ෂ 1,200 න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු රු. ලක්ෂ 1,200 න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
(17.07.2026 – 19:55 +0530 – sinhala.adaderana.lk)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හරක්කටාගේ බිරිඳගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200 ක මුදලින් කොටසක් හිමිනමක් ලවා ඉහළ පොලිස් නිලධාරින්ට ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) දැනුම් දුනි.
ඒ අදාළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ අරුණ වරුෂහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
ඉදිරිපත්වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ජූලි 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ නැමැත්තා රැඳවුම් භාරයේ සිටියදී සහන සැලසීමට රුපියල් ලක්ෂ 1200 ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස යළි කැඳවා තිබුණි.
මෙහිදී විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම කියා සිටියේ, ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් නදුන් චින්තක හෙවත් හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තිය ලබාදුන් ප්‍රකාශයක් මේ වනවිට විමර්ශන නිලධාරින්ට ලැබී ඇති බවය.
“ස්වාමිනි, පසුගිය නඩුවාරයේ මා අධිකරණයට සඳහන් කළා ප්‍රශ්නගත අල්ලස් මුදල මෙම සැකකරුවන්ට ලබාදුන්නේ යැයි කියන නදුන් චින්තක හෙවත් හරක්කටාගේ බිරිඳ වන ‘මහේෂිකා මධුවන්ති’ නැමැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව මහේෂිකා මධුවන්ති නැමැත්තිය මේ සිදුවීම සම්බන්ධයෙන් ඇයට කියන්න තියෙන සියලු කාරණා සඳහන් කරලා කරපු වීඩියෝ ප්‍රකාශයක් ඇතුළත් CD තැටියක් මේ වෙද්දි අපිට ලබාදී තිබෙනවා. ඒ වගේම අදාළ අල්ලස් මුදල ලබාදීමෙන් පසු එහි අරමුණු ඉටු නොවීම නිසා ඒ පිළිබඳ විමසීම් කරලා මේ සැකකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කර ඇති දුරකථනයද මේ වෙද්දි විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.”
“මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව ‘නිර්මල බණ්ඩාර’ හෙවත් ‘හර්බි’ නැමැත්තා මුලින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වුණා මේ පළමු සැකකාර චරිත් අබේසිංහ අල්ලස් මුදල පිළිබඳ කතා කරගැනීමට දුන් දුරකථන ඇමතුම ඉන්දියාවේ සිට ලබාගත් බවත්, එම අවස්ථාවේ අනිත් සැකකරුවන් දෙදෙනාද (2) ඔහු සමඟ සිටින බව චරිත් අබේසිංහ පැවසූ බව.”
“ඒ අනුව ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුණා මෙම සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු මස 03 වනදා එකම ගුවන් යානයකින් ඉන්දියාවට ගිහිල්ලා නැවත තිදෙනාම එකට 2023 මාර්තු 07 වනදා දිවයිනට පැමිණ ඇති බව. එමෙන්ම හර්බි නැමැත්තා සහ මෙම සැකකරුවන් තිදෙනාගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරපුවාම තහවුරු වුණා ‘හර්බි’ නැමැත්තා කියන කතාව සත්‍යය බව.”
මෙහිදී විමර්ශනයේදී අනාවරණය වූ සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධතා සහ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ හිමිනමක් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට කරුණු වාර්තා කළේය.
“ස්වාමිනි, මේ සිද්ධියට අදාළව නම් කියවුණු අය අතර පමණක් දුරකථන ඇමතුම් 1,300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට ඉහළ පොලිස් නිලධාරින් සම්බන්ධ බවට නම් කියවුණා.”
“අල්ලස් ලෙස ලබාගත් මුදලින් යම් කොටසක් මෙම සැකකරුවන්ට සම්බන්ධ හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරින්ට ගොස් ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ හිමිනම කවුදැයි මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන්නම්.”
“ඒ වගේම මේ සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් අල්ලස් ලබාගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් මේ වෙද්දි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.”
අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා ඇප අයැදුමක් සිදුකළේය.
“ස්වාමිනි දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාර සහතිකයක් ඉදිරිපත් කරන අල්ලස් නඩුවක නඩු භාණ්ඩ ලෙස අල්ලස් ලෙස ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම අල්ලස් මුදල ලබාගද්දි අත්අඩංගුවට ගැනීම සිදුවෙලා තියෙන්නත් ඕනේ.”
“නමුත් මෙහිදී එවැන්නක් ඉදිරිපත් වී නැහැ. ඒ වගේම මේ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස සිටින්නන් සියල්ල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නම් කියවෙන අය. මේවා ස්වාධීන සාක්ෂි ලෙස සලකන්න බැහැ. මගේ සේවාදායකයාගේ වයස අවුරුදු 2½ ක් වූ තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මේ වෙද්දි පියා නොදැකීම නිසා කතා නොකරන තත්ත්වයක පත්වෙලා. ඒ වගේම එම වයසේ දරුවන් තිදෙනෙක් (3) එකට බලාගැනීම මවට විශාල ගැටලුවක්.”
“ඒ වගේම මොහුට තියෙන හෘදයාබාධ රෝගී තත්ත්වයට දෛනිකව ප්‍රතිකාර ලබා නොගතහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ සියලු කරුණු සුවිශේෂි කරුණු ලෙස සලකා මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”
එසේම සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් සිදුකළේය.
“ස්වාමිනි, එක්තරා ජනාධිපති නීතිඥයෙක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී කියලා තියෙනවා.මගේ සේවාදායකයාගේ පියා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ නෛතික සංශෝධන නිසා තමයි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් විශාල පිරිසක් එළියට එන්න බැරුව ඇතුළේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ස්වාමිනි ඔවුන් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් වෛරයෙන් පසුවන්නේ.”
“එබැවින් මොහුට බන්ධනාගාරය ඇතුළේ ජීවිත තර්ජනයක් තියෙනවා. මීළඟ කාරණය තමයි මගේ සේවාදායකයා අධික ලෙස sleep apnea රෝගයෙන් පීඩා විදිනවා. රාත්‍රී කාලයේදී ඔක්සිජන් ලෙවල් එක ඉතාම අඩු මට්ටමකට බහිනවා. කාබන්ඩයොක්සයිඩ් ලෙවල් එක ඉතාම ඉහළට නගිනවා. එකවර හුස්ම නතරවෙනවා. හුස්ම නැවතුනාම ආයේ එන්නේ නැතිවෙන්න පුළුවන්.”
“මේ නිසා ඔහු CPAP මැෂින් එකක් දෛනිකව රෑට භාවිත කරනවා. බන්ධනාගාරය තුළදී එය භාවිත කිරීමේ හැකියාවක් ඔහුට නැහැ. දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොලැබුනහොත් මොහු හෘදයාබාධයකට හෝ ආඝාදයට ගොදුරු වෙන්න පුළුවන්. මේ විමර්ශනය කෙළවරට ඇවිල්ලා තියෙන නිසා තවදුරටත් මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරගෙන කරන්න විමර්ශනයක් ඉතිරි වී නැහැ. එබැවින් මේ සියල්ල සුවිශේෂි කරුණු ලෙස සලකා මගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජුලි මස 28 වනදා ලබාදීමට දින නියම කර සැකකරුවන් තිදෙනාම එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
+
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
(17.07.2026 – hirunews.lk)
කඩුවෙල – කොරතොට, වදුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් තොරතුරු රැසක් ද අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ඊයේ (16) රාත්‍රී 09:30 ට පමණ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කඩුවෙල, වැලිහිද පාර ප්‍රදේශයේ පදිංචි ‘භාෂණ ප්‍රගීත් ඒසාන්’ නමැති 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඝාතනයට ලක්වූ තරුණයාට මත්ද්‍රව්‍ය චෝදනා ඇති බවද පොලිසිය සඳහන් කළා.
ඝාතනයට ලක්වූ තරුණයාට දින කිහිපයක සිට තරුණියක් ඇමතුම් ලබාදී ඇති බවත්, ඇයගේ මාර්ගයෙන් මෙම තරුණයා ඝාතනය සිදුවූ ස්ථානයට ගෙන්වාගෙන ඇති බවටත් මේ වන විට සැකකෙරෙන බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම අදාළ තරුණිය ද දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බව ද මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කර, අදාළ ස්ථානයට පැමිණ එම මත්ද්‍රව්‍ය ලබාගන්නා ලෙස ඝාතනයට ලක්වූ තරුණයාට දුරකථනය මඟින් දැනුම්දී ඇති බවටයි දැනට වාර්තා වන්නේ.
මේ අතර මියගිය තරුණයා අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ යතුරුපැදියකින් බව හෙලිවී ඇති අතර, ඒ අනුව එහි හිමිකරුයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සපත්තු දමා ගැනීමට යම් කාලයක් ගතවූ බැවින් තම මිතුරා පිටත්ව ගිය බවයි.
මේ අතර වෙඩි වැදී මියගිය තරුණයා ළග තිබී කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට රුපියල් 9,500 ක මුදලක් තැන්පත් කරන ලද රිසිට්පතක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ගිණුම සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකයි.
වෙඩි පහරවල් 6 ක් පමණ එල්ල වී සිටි තරුණයා ප්‍රදේශවාසීන් එක්ව හෝමාගම මුලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානය නිරීක්ෂනය කිරීම සඳහා කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් පී.ජී.ඩී. කරුණාරත්න ද පැමිණියා.
මෙම වෙඩි තැබීමත් සමඟ වසරේ මේ දක්වා කාලය තුල සිදුවූ සමස්ථ වෙඩි තැබීම් සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ යන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 13 ක්.
වෙඩි තැබීම්වලින් මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ෴
ISIS මතවාදීන් 129 ක් ගැන තොරතුරු ලැබිලා – රවී, ශානි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා
(17.07.2026 – 20:33 +0530 – sinhala.adaderana.lk)
සහරාන් හෂීම් ඇතුළුව ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාදයට අනුව ක්‍රියාකරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි මසදී රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත් ඒ පිළිබඳ ‘රවී සෙනෙවිරත්න’ සහ ‘ශානි අබේසේකර’ යන අය නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ අද (17) චෝදනා කළේය.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලූ අවස්ථාවේදීය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලකළ සහරාන් හෂීම් ඇතුළුව ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ බවට ජනක් ද සිල්වා කොමිසම් වාර්තාවේ සඳහන් කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවය මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ 2019 ජනවාරි 31 වැනිදා.”
“ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාද මෙරට තුළ ක්‍රියාත්මක කරන පුද්ගලයින්ගේ නම් එම වාර්තාවේ ඇතුළත් වුණා. තොරතුරු සම්භාරයක් ලැබී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගත් පියවර කුමක්ද? ඊට අමතරව 2018 වසරේ පාකිස්තානු බුද්ධි අංශය ද ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට මෙරට ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුණා.”
“මෙතරම් තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් කටයුතු නොකළේ ඇයි ?” යනුවෙන් ප්‍රශ්න මතුකළ ජනාධිපති නීතිඥවරයා මෙලෙස වගකීම් විරහිතව ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා වර්තමානයේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
“වරක් එක් නඩුකරයට එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ලබාදී තිබූ දිවුරුම් පෙත්සමක සඳහන් කර තිබුණා 2017 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා සිට ප්‍රහාරය සිදුවන අවස්ථාව දක්වා සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් සිදූකළ සහ සිදුකිරීමට සූදානම්ව සිටි අන්තවාදී ක්‍රියා පිළිබඳව වාර්තා 97 ක් පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ බව. එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ බවත් එහි සඳහන්.”
“ඊට අමතරව මාවනැල්ල බුදුපිළිම ප්‍රහාර සිද්ධිය, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම වැනි සිද්ධීන් සමග සහරාන් සහ අනුගාමිකයන්ගේ සම්බන්ධය අනාවරණ වී තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු වන කෝනාර බණ්ඩාර ඔවුන් සැඟවී සිටින බව සැකකෙරෙන ස්ථාන පිළිබඳවත් තොරතුරු ලබාදී තිබුණා.”
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණා නම් පාස්කු ප්‍රහාරය ඇතිවෙන්නේ නැහැ කියා ද එම නිලධාරියා වරක් කොමිසමකදී ප්‍රකාශකර තිබෙනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
“2019 අපේල් මස 04 වැනිදා ඉන්දීය රෝ බුද්ධි අංශය මෙරටට දැනුම් දී තිබුණා සහරාන් ප්‍රමුඛ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට. මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පිටපත් යොමුකර තිබුණා.”
“එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ කාර්යාලයට යවා තිබෙන්නේ 2019 වසරේ අප්‍රේල් මස 09 වැනිදා. නමුත් එය රවී සෙනවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නාගහවත්ත වෙත යොමු කර තිබෙන්නේ 2019 වසරේ අපේල් මස 16 වැනිදා. එය නියෝජ්‍ය පොලිස්පතිවරයා අධ්‍යක්ෂවරයා වෙත යවා තිබෙන්නේ අපේල් මස 22 වැනිදා. ඒ කියන්නේ ප්‍රහාරය එල්ල වී පසුදා.”
“මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ජනක් ද සිල්වා කොමිසමට ප්‍රකාශයක් ලබාදී තිබුණා. ඔහු සඳහන් කර තිබුණා සම්මන්ත්‍රණයක් සඳහා තමා 2019 අපේල් 07 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණියේ අපේල් 13 වැනිදා බවට. යළි සේවයට වාර්තා කළේ අප්‍රේල් මස 16 වැනිදා බවත් ඔහු සඳහන් කර තිබුණා. එම ලිපිය රවී සෙනවිරත්න මහතාගේ කාර්යාලයෙන් පිටතට ගොස් තිබෙන්නේ 19 වැනිදා.”
“එම ලිපියේ සඳහන් සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වන විටත් දැන සිටි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ‘මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් නැහැ ස්වාමීනී’ යනුවෙන් රවී සෙනවිරත්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශකර තිබුණා” යනුවෙන් චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙවැනි පුද්ගලයින් පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳව වර්තමාන පරීක්ෂණය සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
පෙත්සම වැඩිදුර සලකාබැලීම ලබන 21 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.
+
“අවුරුද්දකට 50 කට වැඩිය මැරෙනවා…” ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් රට බේරා ගන්න අලුත් වැඩක්
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴