බෙර වාදන ශිල්පී ‘දුෂ්මන්ත’ගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට

බෙර වාදන ශිල්පී ‘දුෂ්මන්ත’ගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට

අපි හෙට (30) වර්ජනය කරන්නෑ.. නමුත් සහාය දෙනවා.. කළු සතියක්.. – GMOA


බෙර වාදන ශිල්පී ‘දුෂ්මන්ත’ගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට

(29.11.2026 – sinhala.adaderana.lk)

කැස්බෑව ප්‍රදේශයේදී ‘දුෂ්මන්ත සඳරුවන්’ නමැති 30 හැවිරිදි විවාහකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණවී තිබේ.

ඒ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළෙකුද වන ‘මංජු’ විසින් සිදු කළ අනාවරණයකිනි.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ, දුෂ්මන්ත සිය බිරිඳ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කරන බව තමන් දැන සිටි බැවින් මෙම ඝාතනය සිදු කළ බවය.

ඒ අනුව මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් බෙර වාදන සහ නර්තන ශිල්පියෙකු වූ ඔහු ඉකුත් නොවැම්බර් 22 වැනිදා පස්වරුවේ කැස්බෑව ප්‍රදේශයේ සිටින මංජු නමැති මිතුරෙකුගේ දැනුම්දීම මත කඨින පිංකමක බෙර වාදනය සඳහා සහභාගි වීමට යන බව බිරිඳට පවසා සිය යතුරු පැදියෙන් පිටවගොස් ඇත.

පසුදිනයෙත් සිය සැමියාගෙන් කිසිදු තොරතුරක් නොලැබීම මත ඔහුගේ බිරිඳ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉකුත් 23 වැනිදා පස්වරුවේ පැමිණිල්ලක් සිදු කළාය.

අනතුරුව කැස්බෑව ප්‍රදේශයට ගොස් මංජු නමැති සිය සැමියාගේ මිතුරා හමුවී සැමියා පිළිබඳ තොරතුරු විමසීමේදී ඔහු පවසා ඇත්තේ දුෂ්මන්ත එහි නොපැමිණි බවය.

ඒ අනුව ඉකුත් 26 වැනිදා ඇය කැස්බෑව පොලිසියට ද සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැමිණිලි සිදු කිරීමට පියවර ගත්තාය.

එම පැමිණිල්ලට අනුව මංජු නමැත්තා සහ තවත් පුද්ලයින් කිහිප දෙනෙකු කැස්බෑව පොලිස් ස්ථානය වෙත කැඳවා කටඋත්තර ලබාගෙන තිබුණ ද දුෂ්මන්ත පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමුව තිබුණේ නැත.

ඒ අතරතුර දුෂ්මන්තගේ බිරිඳට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ රුපියල් 120,000 ක මුදලක් ගිනුම්ගත කළහොත් දුෂ්මන්තව නිදහස් කරන බව පවසමිනි.

එවන් පසුබිමක, දුෂ්මන්ත අතුරුදන්ව දින 6 ක් ගතවීමෙන් පසු ඊයේ (28) රාත්‍රියේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු පොලිස් ස්ථානයට පැමිණ තොරතුරක් ලබාදී තිබුණි.

එහිදී ඔත්තුකරු පවසා ඇත්තේ අතුරුදන්වූ දුෂ්මන්ත, මංජු නමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවටය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර එහිදී දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන CCTV දර්ශන සොයාගැනුණි.

එහිදී පොලිසිය හිටපු යුද හමුදා සෙබළෙකුද වන මංජු නමැත්තා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකරු වන මංජු නමැත්තා අනාවරණ කර තිබුණේ, දුෂ්මන්ත සිය බිරිඳ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කරන බව තමන් දැනසිටි අතර සිය නිවසට පැමිණි දුෂ්මන්ත හෙරළියාවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් වෙත රැගෙන ගිය බවටය.

එහිදී මිතුරන් සිව්දෙනෙකු (4) සමග එක්ව දුෂ්මන්ත දේවාලයේ පිටුපස කාමරයකට රැගෙන ගොස් පොලුමුගුරු වලින් පහරදී ඝාතනය කළ බවද ඔහු පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳ සිරුර බෑගයක් තුළ දමා ඝාතනය කළ ස්ථානයට මීටර 500 ක් පමණ දුරින් වූ වගුරුබිමට ගෙන ගොස් වළදැමූ බවත්, යතුරු පැදිය සහ දුෂ්මන්තගේ ගමන් මල්ල සැඟවූ බවය.‍

අද (29) පස්වරුවේ ගොඩගැනුණු සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) අද (29) පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

මේ අතර ඝාතනය සිදුකරන ආකාරය එක් සැකකරුවකු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පසුව මකාදමා ඇති අතර එම ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතා සඳහන් කළේ කප්පම් ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බවය ෴


අපි හෙට (30) වර්ජනය කරන්නෑ.. නමුත් සහාය දෙනවා.. කළු සතියක්.. – GMOA

(29.11.2026 – lankacnews.com)

මෙවර අයවැය යෝජනාවලිය සඳහා වෛද්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් රජය මෙතෙක් නිශ්චිත පිළිතුරක් හෝ සාකච්ඡාවක් හෝ ලබා දී නොමැති බවට චෝදනා කරමින්, හෙටින් ආරම්භ වන සතිය ‘කළු විරෝධතා සතියක්’ ලෙස නම් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මහනායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා මේ බව අනාවරණය කළේය.

මෙරට රැඳී සිටිමින් මහජනතාවට සේවය සලසන විසිහතර දහසකට (24,000) අධික වෛද්‍යවරුන් පිරිසක් තම සංගමය නියෝජනය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

වෛද්‍යවරුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත අවස්ථා හතරකදීත්, අග්‍රාමාත්‍යවරිය වෙත අවස්ථා දෙකකදීත් (2), සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත අවස්ථා තුනකදීත් (3) වශයෙන් මේ වන විට ලිපි නවයක් (9) යොමු කර ඇති නමුත්, මෙතෙක් කිසිදු සාකච්ඡා අවස්ථාවක් ලබා දී නොමැති බව වෛද්‍ය එපිටකඩුව මහතා පැවසීය.

මීට පෙර පැවති සෑම රජයක්ම වෘත්තිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දුන් නමුත්, වත්මන් රජය වෛද්‍යවරුන් නොසලකා හැර තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය. මේ පිළිබඳව දැනුවත් වූ මහනායක සහ අනුනායක හිමිවරුන්ද අදාළ කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළේ යැයි ඒ මහතා සඳහන් කළේය.

වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ වර්ජන ක්‍රියාමාර්ගයකට මෙතෙක් යොමු නොවූ බවත්, සාකච්ඡා සහ සම්මන්ත්‍රණ මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට තවදුරටත් උත්සාහ කරන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන් මහජනතාවට පීඩාවක් ඇති විය හැකි තීරණාත්මක අවස්ථාවකට තල්ලු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු වගකීමක් බවද, පවතින තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් හෙට (30) සිට ‘කළු විරෝධතා සතිය’ ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤