2025/2026 ආදායම් බදු වාර්තා ගොනුකිරීමට සහන කාලයක් : 14-12-2026 දින දක්වා

2025/2026 ආදායම් බදු වාර්තා ගොනුකිරීමට සහන කාලයක් : 14-12-2026 දින දක්වා

පොලිස් නිල සුනඛ බලඇණියට නෙදර්ලන්තයෙන් රු. ලක්ෂ 20 බැගින් වටිනා සුනඛයන් 40 ක්

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාර 16 ක් – රියැදුරු පළා යයි

අලුත්ගම STF කඳවුරේ වැටලීම් ඒකකයේ සැරයන්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට – මත්ද්‍රව්‍ය සැපයීම ගැනත් තොරතුරු හෙළිවෙයි

වැරදි කරන රියැදුරන් අල්ලන්න කොළඹට AI කැමරා – දඩ කොළය තැපෑලෙන් නිවසට

හදවත දන් දුන් ‘දිනුක’ගේ අවසන් ප්‍රාර්ථනයට ජීවය දුන් ‘වෛද්‍ය අනිල් අබේවික්‍රම’ගේ විශ්වකර්මය

පෙරහරකට යැයි ගෙන්වාගෙන ඝාතනය කරලා – සිරුර වළදැමූ කැස්බෑව ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි


2025/2026 ආදායම් බදු වාර්තා ගොනුකිරීමට සහන කාලයක් : 14-12-2026 දින දක්වා

(29.11.2026 – sinhala.adaderana.lk)

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ගොනුකිරීමේ අවසන් දිනය ලෙස නියමිතව තිබූ 2026 නොවැම්බර් 30 වන දින වෙනුවට, ලබන 2026 දෙසැම්බර් මස 14 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි සියලුම තැනැත්තන් නොවැම්බර් 30 දිනට පෙර සිය බදු වාර්තා ගොනු කළ යුතු වේ.

කෙසේ වෙතත්, මෙවර ප්‍රථම වරට බදු වාර්තා ගොනුකරන සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර, ඒ හේතුවෙන් නොවැම්බර් මාසය තුළ දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී පද්ධතියේ තදබදයක් හටගෙන ඇත.

මෙම පද්ධතිමය ප්‍රමාදයන් නිසා බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට නියමිත දිනට පෙර වාර්තා ඉදිරිපත් කිරීමට අපහසුතා මතු වී තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර සිය බදු වාර්තා ගොනු කරනු ලබන බදු ගෙවන්නන් සඳහා දණ්ඩන පැනවීම්, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම් හෝ පනත යටතේ වන වෙනත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වාර්ෂිකව බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යන බැවින්, ඉදිරි වර්ෂවලදී නියමිත අවසන් දිනට පෙර හැකි ඉක්මනින් සිය බදු වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත්, ලැබී ඇති මෙම සහන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී ෴


පොලිස් නිල සුනඛ බලඇණියට නෙදර්ලන්තයෙන් රු. ලක්ෂ 20 බැගින් වටිනා සුනඛයන් 40 ක්

(29.11.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය වැටලීම්, පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ අපරාධ විමර්ශන සඳහා පුහුණු කිරීමට නෙදර්ලන්තයේ සිට සුනඛයන් 40 දෙනෙකු අද (29) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්ත කිරීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇත්තේ වයස අවුරුද්දක (1) පමණ පසුවන ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd), ලැබ්‍රඩෝ (Labrador), මැලිනොයිස් (Malinois) සහ බීගල් (Beagle) යන වර්ගවලට අයත් නුපුහුණු සුනඛයන් පිරිසක්.

මෙම සුනඛයන් එක් අයෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන බවයි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

විශේෂත්වය වන්නේ දීර්ඝ කාලයකට පසු ‘බීගල්’ වර්ගයේ සුනඛයන් ද පොලිස් දෙපාර්තමේන්තුව සඳහා මෙරටට රැගෙනවිත් තිබීමයි.

එම සුනඛයන් විශේෂයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ සහ වැටලීම් කටයුතු සඳහා පුහුණු කිරීමට නියමිතව තිබෙනවා.

නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නුවර වෙත රැගෙන ආ මෙම සුනඛයන් අද (29) අලුයම 01:38 ට කටාර් ගුවන් සේවයට අයත් QR-658 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

එම සුනඛයන් භාර ගැනීම සඳහා මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

විශේෂ පුහුණුවකින් අනතුරුව මෙම සුනඛයන් දිවයිනේ විවිධ අපරාධ විමර්ශන, මත්ද්‍රව්‍ය වැටලීම් සහ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ රාජකාරි සඳහා යෙදවීමට නියමිතයි ෴


පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාර 16 ක් – රියැදුරු පළා යයි

(29.11.2026 – hirunews.lk)

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වීරකැටිය ප්‍රදේශයේදී පොලිසිය එම ලොරි රථයට වෙඩි තබා තිබෙනවා.

අද (29) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී සැකකරුවෙකු සමග ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි රියැදුරු පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වීරකැටිය – දෙබොක්කාව ප්‍රදේශයේ රාත්‍රී විශේෂ මෙහෙයුමක නිරතව සිටියදී සැකකටයුතු ලොරි රථයක් නවත්වන ලෙස සංඥා කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ ලොරි රථය පොලිස් අණ නොතකා වීරකැටිය – කොටබෝව දෙසට ධාවනය කර ඇති බව සඳහන්.

අනතුරුව ලොරි රථය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් ඊට වෙඩි ප්‍රහාර 16 ක් එල්ල කර වීරකැටිය – උඩයාල හන්දියේදී එය නවතාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ලොරි රථයේ රියැදුරු රථයෙන් බැස පළාගොස් ඇති අතර, එහි සිටි වීරකැටිය – මිද්දෙණිය පාරේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ලොරි රථය පරීක්ෂා කිරීමේදී බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 15 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් ගමන් කළ බව කියන රිදී පැහැති මෝටර් රථයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ලොරි රථය වැඩිදුර විමර්ශන සඳහා වීරකැටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

පළාගිය රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලිසියේ උපදෙස් මත වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


අලුත්ගම STF කඳවුරේ වැටලීම් ඒකකයේ සැරයන්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට – මත්ද්‍රව්‍ය සැපයීම ගැනත් තොරතුරු හෙළිවෙයි

(29.11.2026 – hirunews.lk)

අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ වැටලීම් ඒකකයට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) සිදුකළ වැටලීම් දෙකකදී (2) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා (2) සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 340 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (28) පස්වරු 06:12 ට පමණ දර්ගා නගරය – හතර කණුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 470 ක් සමග 42 හැවිරිදි පුද්ගලයෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහුට මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඊයේ (28) රාත්‍රී 08:40 ට පමණ මීගම – පහේ කණුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 870 ක් සමග 45 හැවිරිදි සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැරයන්වරයා අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ වැටලීම් ඒකකයට අනුයුක්තව සක්‍රීය රාජකාරියේ නිරතව සිටි අයෙකු බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා (2) අද (29) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. ගයන්ග හසන්ත මාරපන සහ කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් කිරිඇල්ලගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනවා.


වැරදි කරන රියැදුරන් අල්ලන්න කොළඹට AI කැමරා – දඩ කොළය තැපෑලෙන් නිවසට

(29.11.2026 – hirunews.lk)

රථවාහන වැරදි සිදු කරන රියැදුරන් හඳුනා ගැනීමේ අරමුණින් කොළඹ නගරය ආශ්‍රිතව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සමන්විත කැමරා (AI Cameras) සවි කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය සැලසුම් කර ඇති බවට රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපුටා දක්වමින් ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

එහි පළමු අදියර එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව, රථවාහන වැරදි සිදු කරන රියැදුරන් මෙම කැමරා ඔස්සේ හඳුනාගෙන ඊට අදාළ දඩ පත්‍රිකා තැපැල් මාර්ගයෙන් නිවෙස් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴


හදවත දන් දුන් ‘දිනුක’ගේ අවසන් ප්‍රාර්ථනයට ජීවය දුන් ‘වෛද්‍ය අනිල් අබේවික්‍රම’ගේ විශ්වකර්මය

(29.11.2026 – hirunews.lk)

එංගලන්තයේ ඉහළ වැටුප් සහ වරප්‍රසාද සහිත වෘත්තීය අවස්ථා අතහැර මව්රටේ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සිය දැනුම සහ අත්දැකීම් කැප කළ විශේෂඥ හෘද හා උරස් කුහර ශල්‍ය වෛද්‍ය අනිල් අබේවික්‍රම පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, හදිසි අනතුරකින් මොළය මියගිය වේයන්ගොඩ ප්‍රදේශයේ 19 හැවිරිදි ‘දිනුක සඳරුවන්’ගේ හදවත අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 14 හැවිරිදි පිරිමි දරුවෙකුට සාර්ථකව බද්ධ කිරීමට ඔහු ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත්වීමත් සමගයි.

මෙම සංවේදී සිදුවීමේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ මීට මාසයකට පමණ පෙර ‘හිරු ටීවී’ ඔස්සේ විකාශය වූ වකුගඩුවක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් දුටු ‘දිනුක’, තමන්ට ද වකුගඩුවක් පරිත්‍යාග කළ හැකිදැයි සිය පියාගෙන් විමසා තිබීමයි.

” ‘හදිසියේ හරි, කවද හරි, මොනවා හරි වුණොත් තාත්තේ මම මගේ වකුගඩු දෙක කාට හරි දන් දෙනවා’ කිව්වා. ඒක අපේ ඔළුවේ තිබ්බනේ. මටයි මගේ නෝනටයි මතක් වුණා අපි මේ අවයව ටික දෙමු කියලා.” යනුවෙන් ‘දිනුක’ගේ පියා ‘හිරු’ වෙත අදහස් දක්වමින් පැවසුවා.

තම පුත්‍රයා අහිමි වීමේ අසීමිත වේදනාව මධ්‍යයේ වුවද ඔහු එදා ප්‍රකාශ කළ උතුම් අදහස සැබෑවක් කරමින් තවත් ජීවිත කිහිපයකට ජීවත්වීමේ වරම ලබාදීමට ‘දිනුක’ගේ මව්පියන් ඒ අනුව තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, ‘දිනුක’ගේ හදවත 14 හැවිරිදි දරුවාට බද්ධ කිරීම ද වෛද්‍ය කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ කටයුත්තක් වුණා.

පසුගිය 26 වැනිදා ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල දක්වා ‘දිනුක’ගේ හදවත රැගෙන ඒමට ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටර් යානයක් සූදානම් කර තිබුණද, පැවති අධික වර්ෂාව හේතුවෙන් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා.

ඒ අනුව, පොලිසියේ සහාය ඇතිව ගිලන් රථයකින් විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළ එම හදවත කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කළා.

‘විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම’ගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායම පැය හතකට (7) අධික කාලයක් සිදුකළ සංකීර්ණ සැත්කමකින් අනතුරුව දිනුකගේ හදවත 14 හැවිරිදි දරුවාට සාර්ථකව බද්ධ කිරීමට සමත් වුණා.

මෙරට සාර්ථකව සිදුකළ තුන්වැනි (3) හදවත් බද්ධ කිරීමේ සැත්කම මෙය වන අතර, එම දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සුවිශේෂී සැත්කමට නායකත්වය දුන් ‘විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම’ගේ වෘත්තීය ජීවිතය ද බොහෝ දෙනෙකුට ආදර්ශයක් සපයන කතාවක්.

මෙරට පළමු සාර්ථක හදවත් බද්ධ කිරීමේ සැත්කමට නායකත්වය ලබාදුන් වෛද්‍යවරයා වන ඔහු ශ්‍රී ලංකාවේ හදවත් බද්ධ කිරීමේ ඒකකය ආරම්භ කිරීමට ද පුරෝගාමී වූ අයෙක්.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ‘විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම’, රුහුණු විශ්වවිද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා.

අනතුරුව එංගලන්තයේ රාජකීය ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ සාමාජිකත්වය හිමිකරගත් ඔහු 2011 වසරේදී හෘද හා උරස් කුහර ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලබා ගත්තා.

2013 සහ 2014 වසරවලදී එංගලන්තයේ නිව්කාසල්හි ෆ්‍රීමන් (Freeman) රෝහලේ හදවත් සහ පෙනහළු බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම සමග එක්ව විශේෂ පුහුණුවක් ලබා ගැනීමට ද ඔහුට අවස්ථාව හිමිව තිබුණා.

එහිදී නවීන ශල්‍ය වෛද්‍ය තාක්ෂණය මෙන්ම සංකීර්ණ හදවත් සහ පෙනහළු බද්ධ කිරීමේ සැත්කම් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් රැසක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

එංගලන්තයේ තවදුරටත් රැඳී සිටින ලෙස තමන් සේවය කළ රෝහලෙන් ඉල්ලීම් කර තිබියදීත්, ඉහළ වැටුප් සහ වරප්‍රසාද සහිත එම වෘත්තීය අවස්ථා අතහැර යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු තීරණය කළ බව සඳහන්.

ඒ, විදෙස් රටකදී තමන් ලබාගත් දැනුම සහ අත්දැකීම් මව්රටේ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් යෙදවීමේ අරමුණින්.

එදා විදේශගතව විශාල මුදලක් වැය කර සිදුකර ගැනීමට සිදුවූ මෙවැනි සංකීර්ණ හදවත් බද්ධ කිරීමේ සැත්කම් අද මෙරට රජයේ රෝහල් තුළදීම සිදුකර ගැනීමට ශ්‍රී ලාංකික රෝගීන්ට අවස්ථාව උදා වී ඇත්තේ ඔහු ඇතුළු වෛද්‍ය කණ්ඩායම්වල කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

තම ජීවිතයෙන් සමුගනිද්දී තවත් ජීවිතවලට පණ දෙන්නට ‘දිනුක’ දුටු සිහිනයත්, එම සිහිනය සැබෑ කිරීමට ඔහුගේ මව්පියන් ගත් උතුම් තීරණයත්, ඊට සිය වෛද්‍ය නිපුණතාව එක් කළ ‘විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම’ ඇතුළු සමස්ත වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ කැපවීමත් මනුෂ්‍යත්වය පිළිබඳ අපූරු පණිවුඩයක් සමාජයට ලබා දෙනවා.

තවත් දරුවෙකුගේ පපුව තුළ සිය හදවත ස්පන්දනය වීමට ඉඩ සලසමින් අකාලයේ දිවියෙන් සමුගත් ‘දිනුක සඳරුවන්’ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සිදුකිරීමට නියමිතයි.

+++

+


පෙරහරකට යැයි ගෙන්වාගෙන ඝාතනය කරලා – සිරුර වළදැමූ කැස්බෑව ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි

(29.11.2026 – hirunews.lk)

මිතුරෙකු හමුවීමට කැස්බෑව ප්‍රදේශයට ගොස් අතුරුදන් වූ 30 හැවිරිදි නර්තන ශිල්පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලදී මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ නර්තන ශිල්පියාගේ සිරුර කහතුඩුව – හෙරලියාවල, පොල්ගස්ඕවිට දේවාල පාරේ පිහිටි පුරන් කුඹුරු යායක වළ දමා තිබියදී සොයාගෙන ඇති බවයි කැස්බෑව පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාව – ඉලුක්තැන්න, කරුවලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ඩී. දුෂ්මන්ත සඳරුවන් නමැති 30 හැවිරිදි විවාහක නර්තන ශිල්පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (28) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම (3) බෙර වාදන ශිල්පීන් වන අතර, ඔවුන් අතර හිටපු යුද හමුදා සෙබළෙකු සහ දේවාලයක කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු ද සිටිනවා.

ඝාතනයට ලක්වූ නර්තන ශිල්පියා මෙම සැකකරුවන් තිදෙනාගේම (3) මිතුරෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

එහිදී, පෙරහරක නර්තනයකට සහභාගී වීමට ඇති බව පවසමින් පසුගිය 23 වැනිදා සැකකරුවන් මෙම නර්තන ශිල්පියා කැස්බෑව ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති බව සඳහන්.

එලෙස පැමිණි නර්තන ශිල්පියා කහතුඩුව – හෙරලියාවල දේවාල පාරේ පිහිටි ඊශ්වර දේවාලය පිටුපස කාමරයකට රැගෙන ගොස් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයෙන් අනතුරුව සිරුර විශාල ගමන් බෑගයකට දැමීමට උත්සාහ කර ඇති සැකකරුවන් එය කළ නොහැකි වීම හේතුවෙන් අලවංගුවකින් පහරදී සිරුරේ අස්ථිවලට හානි කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පසුව සිරුර ගමන් බෑගයක දමා ඝාතනය සිදුකළ ස්ථානයේ සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි පුරන් කුඹුරු යායකට රැගෙන ගොස් වළ දමා ඇති අතර, ගමන් බෑගය ද ඒ අසල ඉවත දමා තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර, සිය සැමියා අතුරුදන් වී ඇති බවට ඝාතනයට ලක්වූ නර්තන ශිල්පියාගේ බිරිඳ පසුගිය 24 වැනිදා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

කැස්බෑව ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බව සිය සැමියා අවසන් වරට තමන්ට දැනුම් දුන් බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඒ ඔස්සේ කැස්බෑව පොලිසිය සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනයේ තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 36 සහ 37 යන වයස්වල පසුවන පොල්ගස්ඕවිට, කහපොළ සහ මඩපාත ප්‍රදේශවල පදිංචිකරුවන්.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤