අයවැයෙන් ඉල්ලීම් ඉටු නොවීම ගැන සාකච්ඡා කරන්න GMOA ශාඛා සමිති සඳුදා (23) රැස්වෙයි
රු. බිලියන 4 කට ආසන්න මුදලක් වංචා කළ සමාගම් අධ්යක්ෂවරු දෙදෙනා (2) දෙසැ. 04 දක්වා රිමාන්ඩ්
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ නොදුන් නිසා ඖෂධ අලෙවිසැල් හිමිකරුට තියුණු ආයුධ ප්‍රහාරයක්
බලංගොඩදී තාප්පයක් කඩා වැටී 7 හැවිරිදි දරුවෙකු මරුට
නින්දවූර් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු (2) අතුරුදන්
අයවැයෙන් ඉල්ලීම් ඉටු නොවීම ගැන සාකච්ඡා කරන්න GMOA ශාඛා සමිති සඳුදා (23) රැස්වෙයි
(21.11.2026 – sinhala.adaderana.lk)
අයවැය තුළින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වූ කරුණු ඉටු නොවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා (23) දින සියලුම ශාඛා සමිති රැස්වීමක් කැඳවීමට එම සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන සඳුදා (23) දහවල් 12 සිට 2 දක්වා වූ කාලය තුළ මෙම ශාඛා සමිති රැස්වීම පැවැත්වීමට නියමිත අතර එම කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගැනීමට නියමිතය.
එමෙන්ම ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය විධායක සභාවට පැවරෙන අතර ඒ අනුව ඉදිරියේදී විධායක සභාව වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ පසුගිය වසර දෙක (2) තුළ පමණක් තමන්ට නියමිත හිමි දීමනාවලින් සැලකිය යුතු කොටසක් කැප කොට රුපියල් ලක්ෂ 44,000 කට අධික මුදලක් රටට සහ රජයට ඉතිරි කළ බවය.
කෙසේ නමුත් වෘත්ත්කයින් ලෙස වෛද්‍යවරුන්ට සිදුවන ආර්ථික අසාධාරණයට සාධනීය සහනයක් මෙවර අයවැය තුළන් බලාපොරොත්තු වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
එහෙත් පසුගිය නොවැම්බර් 12 වැනි දින ඉදිරිපත් කරන ලද අයවැය තුළ වෛද්‍යවරුන්ගේ සියලු සාධාරණ ඉල්ලීම් නොසලකාහැර තිබූ බවත් ඒ පිළිබඳ දිවයින පුරා සමස්ත වෛද්‍ය ප්‍රජාව තුළම දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇති බවත් එම සංගමය පෙන්වා දී ඇත.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධව පසුගිය 19 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව කැඳවූ බවත් එහිදී වෛද්‍ය ප්‍රජාව වෙනුවෙන් කරුණු 5 ක් අයවැය හරහා ලබා ගැනීමට යෝජනා වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
එහිදී 2018 වසරේදී අනුමත සමස්ථ DAT දීමනාව වහාම ලබාදීම, DAT දීමනාව සහ අමතර රාජකාරි / නිවාඩු දින දීමනා, බදුවලින් නිදහස් කිරීම, වසර 2 ක් පුරා අත්හිටුවා ඇති අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන්වල 1/3 නැවත ගෙවීමට කටයුතු කිරීම, සුදුසුකම් සපුරන ලද වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය අනුව ප්‍රවාහන පහසුකම් සඳහා අන්තර්ග්‍රහණය කිරීම සහ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් අයවැය හරහා ලබා ගැනීමට කටයුතු කිරීමට යෝජනා වූ බව එම සංගමය පෙන්වා දී ඇත.
එමෙන්ම ඉදිරි සතිය තුළදී මෙම කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවත් පෙන්වා දෙන එම සංගමය ඉදිරි සතිය තුළදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමටද නියමිත බවද සඳහන් කළේය.
තවද වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව නිසි අවධානය යොමු කර සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත ෴
රු. බිලියන 4 කට ආසන්න මුදලක් වංචා කළ සමාගම් අධ්යක්ෂවරු දෙදෙනා (2) දෙසැ. 04 දක්වා රිමාන්ඩ්
(21.11.2026 – sinhala.adaderana.lk)
ආයෝජකයන් 2,000 කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී මුදල් රැස්කර, එම මුදල් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගම් දෙකක (2) අධ්යක්ෂවරු දෙදෙනා (2) දෙසැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අදාළ සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අධ්යක්ෂවරුන් තිදෙනෙකු (3) අතරින් දෙදෙනෙකු (2) ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
එම සමාගම් දෙක (2) සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80 ක් ලැබී ඇති බව ද වාර්තා වේ.
මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි එම සමාගම් දෙක (2) විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 4 කට ආසන්න බව ද අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොටිතුවක්කු මහතාගේ, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් හා නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ ෴
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ නොදුන් නිසා ඖෂධ අලෙවිසැල් හිමිකරුට තියුණු ආයුධ ප්‍රහාරයක්
(21.11.2026 – hirunews.lk)
කහටගස්දිගිලිය නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැලක හිමිකරුවෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදෙන ආකාරය එම වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි ඖෂධ අලෙවිසැලේ හිමිකරු පවසන්නේ.
ඖෂධ ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකුට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ නිකුත් කළ නොහැකි බව දැනුම්දීමෙන් පසු, ඊට උරණ වූ අදාළ පුද්ගලයා තියුණු ආයුධයක් රැගෙන පැමිණ පහරදී ඇති බව සඳහන්.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඖෂධ අලෙවිසැලේ හිමිකරු කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
එහි දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඔහු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ පහරදුන් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවට ද තුවාල ලැබූ පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරනවා ෴
බලංගොඩදී තාප්පයක් කඩා වැටී 7 හැවිරිදි දරුවෙකු මරුට
(21.11.2026 – sinhala.adaderana.lk)
බලංගොඩ, බැංකියාවත්ත ප්‍රදේශයේදී තාවකාලිකව ඉදිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් ඊට යටවූ හත් හැවිරිදි (7) පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (21) පස්වරු 01:15 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අල්මිනාරා විද්‍යාලයේ දෙවන (2) ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෙල්වරාජ් රවිඳු රක්ෂාන් නමැති දරුවෙකු වේ.
දරුවාගේ මව මිදුල අතුගා කසළ ඉවත් කර නැවත පැමිණෙන අවස්ථාවේදී තාප්පයට යටවී සිටි සිය පුත්‍රයා දැක තිබේ.
අනතුරුව දරුවා වහාම ත්‍රිරෝද රථයකින් බලංගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් සඳහන් කළේය.
මෘත ශරීරය බලංගොඩ මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (22) සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++
+
වැඩිහිටි නිවාස 600 දක්වා ඉහළට
(21.11.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාස ප්‍රමාණය 600 දක්වා වැඩි වී ඇති බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිඳුකුල ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පසුගිය සැප්තැම්බර් වනවිට ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි නිවාස 496 ක් පවතින බවට වාර්තා වූ බවයි.
දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස සංගණනය කිරීමේ කටයුතු පසුගිය ඔක්තෝබර් 01 වනදා ආරම්භ කර තිබූ බවයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයා කියා සිටියේ ෴
නින්දවූර් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු (2) අතුරුදන්
(21.11.2026 – sinhala.adaderana.lk)
නින්දවූර් මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු (3) ගෙන් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන් වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, අනතුරට පත් තරුණයින් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන නින්දවූර් රෝහලට ඇතුළත් කර ඇති බවය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 සහ 23 යන වයස්වල පසුවන නින්දවූර් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි (2).
අතුරුදන් වූ තරුණයින් දෙදෙනා (2) සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්, ප්‍රදේශවාසීන් සහ නින්දවූර් පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ ෴
බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ ඩීසල් කාන්දුවක්
(21.11.2026 – sinhala.adaderana.lk)
බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) උදෑසන ඩීසල් කාන්දුවක් සිදුව තිබේ.
එම කාන්දුවන ඩීසල් එහි ඇති කානු පද්ධතිය හරහා පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් උදෑසන සිට බාල්දි සහ බූලි රැගෙන ඩීසල් එක්රැස් කරන අයුරු දක්නට ලැබුණි.
+++
+
පන්නිපිටිය අබලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක ගින්න නිවා දමයි
(21.11.2026 – hirunews.lk)
පන්නිපිටිය-දෙපානම ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක අද (21) පෙරවරුවේ ඇතිවූ ගින්න මේ වනවිට නිවාදමා තිබෙනවා.
ගින්න නිවා දැමීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ රථ 4 ක්, දෙහිවල- ගල්කිස්ස මහ නගර සභාවේ සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ එක (1) බැගින් යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ගින්න ඇතිවන අවස්ථාවේ එහි එක් (1) පුද්ගලයෙකු සිට ඇති අතර ඔහු නිරුපද්‍රිතව මුදාගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා ෴
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴