ප්‍රතිසංස්කරණ මුවාවෙන් කන්තලේ රක්ෂිතය වනසන මැණික් ඉල්ලම් ජාවාරමක් ගැන ‘හිරු CIA’ හෙළි කරයි

ප්‍රතිසංස්කරණ මුවාවෙන් කන්තලේ රක්ෂිතය වනසන මැණික් ඉල්ලම් ජාවාරමක් ගැන ‘හිරු CIA’ හෙළි කරයි

ෆෝන් එක කනේ ගහන් ගිහින් අහිමි වුණු කකුල | හමුදා කෙල්ල කෝච්චිය යට | දන්නෙත් නෑ කකුල නෑ කියලා – හිරි වැටිලා (20.11.2026)

බූන්දි කෑමත් ප්‍රශ්නයක් වන ලකුණු : සාම්පල 16 න් 13 ක්ම අවුල්

ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට දීමේ ව්‍යාපෘතියට එරෙහිව වසන්ත මුදලිගේ අධිකරණයට

ව්‍යාජ KDK නිෂ්පාදනවලට හසු නොවන්න – පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

මස්කෙළිය පාසලක සිසුන් 36 කට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් රෝහල්ගත කෙරේ

ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යළි නිරාවරණය කෙරේ

රු. මිලියන 47.6 ක් වංචා කළ චීන කටු වෛද්‍යවරයාට රු. ලක්ෂ 47 කට අධික දඩයක් : රු. ලක්ෂ 08 ක වන්දියක් ගෙවන්නත් නියෝග


ප්‍රතිසංස්කරණ මුවාවෙන් කන්තලේ රක්ෂිතය වනසන මැණික් ඉල්ලම් ජාවාරමක් ගැන ‘හිරු CIA’ හෙළි කරයි

(20.11.2026 – hirunews.lk)

අතීත උරුමයක් වන කන්තලේ ජලාශය ආශ්‍රිත භූමියේ හා වන සංරක්ෂණයට අයත් රක්ෂිත වනාන්තරයේ ඇති මැණික් සහිත වටිනා ඉල්ලම් පස් කොල්ලකෑමේ ජාවාරමක් හේතුවෙන් එහි සුන්දර පරිසර පද්ධතියට මේ වනවිට එල්ල වන්නේ දැඩි බලපෑමක්.

‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු ලබාදුන් ගම්වාසීන් පවසන්නේ මෙම ඉල්ලම් පස් රැගෙනයාමේ ජාවාරම රාත්‍රී කාලයේදී ජයටම සිදුවන බවයි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කන්තලේ ජලාශය දෙවන අග්බෝ රජු විසින් නිමවා ඇති බව සැලකෙන අතර එහි ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහතර දහසක් (1,14,000).

මේ කලාපයේ සුන්දරත්වය විඳ ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් වැලනොකැඩී පැමිණෙන අතර එය මෙරටට ආර්ථිකය සරුසාර කිරීමට නොමද රුකුලක් සපයා තිබෙනවා.

එවන් තත්ත්වයක් තුල කන්තලේ ජලාශය නැරඹීමට පැමිණෙන ජනතාව ද අවධානමට යොමුකරමින් මෙම කලාපයේ ස්ථාන කිහිපයක අක්‍රමවත්ව බැකෝ යන්ත්‍ර යොදා කැණීම් සිදුකර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

සාමාන්‍ය මිනිසුන්ට එලෙස නීතිය ක්‍රියාත්මක කල ද බැකෝ යන්ත්‍ර යොදා කැපු මැණික් ඉල්ලම් සහිත පස් ටිපර් යොදා වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් ඇති බවයි ගම්වාසීන් සඳහන් කරන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ කන්තලේ ජලාශයෙන් – වෙන්ඩ්‍රාසන් වැවට ජලය නිකුත් කරන බට හතර නමින් හැඳන්වෙන ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

මෙම කලාපය සංවේදී පරිසර කලාපයක් ලෙසට රජයෙන්ම මෙලෙස දැන්වීම් පවා ප්‍රදර්ශනය කර ඇති පසුබිමක ගස්වැල් වනසමින් දැවැන්ත පරිසර හානියක් සිදුකර තිබීම විමතියට කරුණක්.

මෙම ස්ථානයේ අලි වැට ආරක්ෂා කිරීම සඳහා මුරපොළක් ද ස්ථාපිත කර ඇති පසුබිමක රාත්‍රී කාලයේ මැණික් ඉල්ලම් ජාවාරම සිදුකළ අයුරු එහි සිටි පුද්ගලයෙකු ‘හිරු සී.අයි.ඒ.’ වෙත හෙළි කළා ෴


ෆෝන් එක කනේ ගහන් ගිහින් අහිමි වුණු කකුල | හමුදා කෙල්ල කෝච්චිය යට | දන්නෙත් නෑ කකුල නෑ කියලා – හිරි වැටිලා (20.11.2026)

+


බූන්දි කෑමත් ප්‍රශ්නයක් වන ලකුණු : සාම්පල 16 න් 13 ක්ම අවුල්

(20.11.2026 – hirunews.lk)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳපොළෙන් ලබාගත් බූන්දි සාම්පල 16 න් 13 කම හානිකර රසායනික අඩංගු බව තහවුරු වී තිබෙනවා.

මේ පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න කියා සිටියේ, හානිකර රසායනික අඩංගු බූන්දි අලෙවි කළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි.

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආනයනික අයිස් ක්‍රීම්, කිරි තේ හා සිරප් වර්ගවල ක්ෂුද්‍රජීවි සීමා ඉක්මවා තිබූ සාම්පල 21 ක් කාර්මික තාක්ෂණ ආයතනයට යොමුකර තිබෙන අතර ඊට අදාළ වාර්තා මේ වන විට ලැබී තිබෙනවා.

ඒවාට ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීමට එම සමාගම් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරන බවද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළා ෴


ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට දීමේ ව්‍යාපෘතියට එරෙහිව වසන්ත මුදලිගේ අධිකරණයට

(20.11.2026 – hirunews.lk)

මෙරට වැඩිහිටි ජනතාවගේ දත්ත ජෛව මිතික දත්ත එකතු කර ඉන්දියානු සමාගමකට ලබා දී ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා රජය විසින් ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් ඉල්ලා ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයෙකු වන වසන්ත මුදලිගේ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා.

එම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය අදාළ සමාගමට පැවරීමට ගෙන ඇති කැබිනට් තීරණය සහ ඊට අදාළව ඩිජිටල් ආර්ථික ඇමතිවරයා විසින් ඉකුත් මැයි මස 27 වැනිදා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් ,මුදල් අමාත්‍යංශයේ ලේකම් , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා, Gov Tech ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම ඇතුළු 29 දෙනෙකු මෙම පෙත්සමයෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.

මෙරට වැඩිහිටි ජනතාවට ජනතාවට ඩිජිටල් හැඳුනුම් පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ ජූනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබූ බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙන අතර ඊට අදාළ ව්‍යාපෘතිය සහ ඊට අදාළ සියලු දෑ පැවරීමේ ලිපියක් ලිපියක් 2026 මැයි මස 27 වැනි දා ඩිජිටල් අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කර තිබෙන බවද පෙත්සමයෙහි සඳහන්.

මෙම ජෛවමිතික දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියේදී මෙරට ජනතාවගේ කළු ඉංගිරියාව, මුහුණේ හැඩය ඇතුළු වැදගත් දත්ත ලබාගැනීම ඉන්දියානු සමාගමක් සමාගමක් වෙත පැවරීම සිදුවන බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

මහජනතාව දැනුවත් කිරීමකින් තොරව සහ විනිවිද භාවයකින් තොරව මේ ව්‍යාපෘතියට අදාල තීරණ ගැනීම අදාළ බලධාරීන් විසින් සිදුකර ඇති බවටයි පෙත්සම්කරු චෝදනා කර සිටින්නේ.

එලෙස ජෛව මිතික දත්ත ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාට එකී පනතේ 6(2) වගන්තිය යටතේ බලයක් නොමැති බවට නීතිපතිවරයා 2016 වසරේ නිරීක්ෂණ විසින් නිරීක්ෂණ පෙර ලබාදී ඇති බවද පෙත්සමහි සඳහන් වෙනවා.

එසේම එවැනි ජෛව මිතික දත්ත රැස්කර රජයේ හෝ පෞද්ගලික ආයතන වලට ලබාදිය නොහැකි බවද, එවැන්නක් ජාතික ආරක්ෂාවට ජනතාවගේ ස්වෛරී භාවයට හානියක් වන අතර එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද සිදුවන බවයි පෙත්සම්කරු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

එසේ තිබියදී ජනතාවගේ වැදගත් ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමක් වෙත ලබාදී ඩිජිටල් හැදුනුම් පතක් නිකුත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට රජයේ ගෙන තිබෙන තීරණය අත්තනෝමතික මෙන්ම ජාතික ආරක්ෂාවට සහ පුද්ගලික නිදහසට අනතුරුදායක බවයි පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත්තේ.

එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ‘සර්ටියෝරාරි රිට් ආඥාවක්’ නිකුත් කරන ලෙසද, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එසේම මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් අදාල ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතර තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලීමක් කරනවා ෴


ව්‍යාජ KDK නිෂ්පාදනවලට හසු නොවන්න – පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

(20.11.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාව තුළ KDK සන්නාමය යටතේ අවසරයකින් තොරව නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

KDK සන්නාමය විසින් නිකුත් කර ඇති මහජන නිවේදනයකට අනුව, ඇතැම් පාර්ශ්වයන් ශ්‍රී ලංකාව තුළ අවසර නොලත් KDK නිෂ්පාදන අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි සඳහන්.

ඒ අනුව, KDK නිෂ්පාදන මිලදී ගැනීමේදී බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් පමණක් ඒවා ලබාගන්නා ලෙස එම ආයතනය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අවසර නොලත් අලෙවි මාර්ග හරහා නිෂ්පාදන මිලදී ගැනීමේදී ව්‍යාජ හෝ අවසර නොලත් භාණ්ඩ ලැබීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, එවැනි නිෂ්පාදන සඳහා වලංගු වගකීම් සහතික, බලයලත් අලෙවියෙන් පසු සේවා සහ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රමිති හා ලේබල් කිරීමේ අවශ්‍යතාවලට අනුකූලතාව නොමැති විය හැකි බව ද පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ KDK නිෂ්පාදන සඳහා බලයලත් බෙදාහරින්නා වන්නේ Elite Radio & Engineering Company (Pvt) Ltd. ආයතනය බව ද නිවේදනය මඟින් අවධාරණය කර ඇති අතර, එම ආයතනය සහ එහි බලයලත් අලෙවි ජාලය හරහා සැපයෙන KDK නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) අදාළ සහතිකකරණ හා ලේබල් කිරීමේ අවශ්‍යතාවලට අනුකූල බව සමාගම සඳහන් කරනවා.

මේ අතර, KDK සන්නාමය අවසරයකින් තොරව භාවිත කිරීම සහ නිෂ්පාදන ආනයනය, ප්‍රවර්ධනය හා අලෙවි කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බව ද දැනුම් දී තිබෙනවා.

ඒ යටතේ 2025 වසරේදී ආරම්භ කළ ඇතැම් නීතිමය ක්‍රියාමාර්ග අදාළ පාර්ශ්වයන් අතර ඇතිකරගත් එකඟතා මත අවසන් කර ඇති බවත්, අවසර නොලත් KDK නිෂ්පාදන සම්බන්ධ කටයුතු නතර කිරීමට එම පාර්ශ්වයන් එකඟ වී ඇති බවත් නිවේදනයේ සඳහන්.

KDK නිෂ්පාදනයක් හෝ අලෙවිකරුවකුගේ බලයලත්භාවය පිළිබඳ සැකයක් පවතින්නේ නම්, මිලදී ගැනීමට පෙර Elite Radio & Engineering සමාගමෙන් තහවුරු කරගන්නා ලෙස ද පාරිභෝගිකයන්ට දැනුම් දී තිබෙනවා ෴


මස්කෙළිය පාසලක සිසුන් 36 කට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් රෝහල්ගත කෙරේ

(20.11.2026 – hirunews.lk)

මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (20) උදෑසන 08:45 ට පමණ පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් 96 දෙනෙකු උදෑසන ආහාරය ලබාගෙන පන්ති කාමරවල සිටියදී මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ සිසුන් 36 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝහල්ගත කළ සිසුන්ගෙන් 30 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, සිසුන් දෙදෙනෙකු (2) සහ සිසුවියන් තිදෙනෙකු (3) තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණ වී නැති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴


ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යළි නිරාවරණය කෙරේ

(20.11.2026 – hirunews.lk)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන අද (20) යළි නිරාවරණය කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ වැඩ හිඳින ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මැදුරට ඉහළින් ඉදිකර ඇති මෙම රන් වියනේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 වසරේදී ආරම්භ කර තිබුණා.

කාලයත් සමඟ රන්පත් අවර්ණ වීම සහ ක්ෂය වීම හේතුවෙන් රන් වියනේ පැවති අලංකාරය අඩුවීම මෙම ප්‍රතිසංස්කරණයට හේතු වී තිබෙනවා.

වර්ග අඩි 2,900 කින් සමන්විත රන් වියනේ සමස්ත පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය භාවිත කරමින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ඉංජිනේරු සමාගම්වල තාක්ෂණික උපදෙස් සහ දේශීය සමාගම් රැසක දායකත්වය ලබාගෙන තිබෙනවා.

මීට අමතරව රන් වියනේ ලෝහමය සැකිල්ල, රන් නෙළුම්මල් සහ අනෙකුත් අලංකරණ අංග ද ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

රන් වියනට ඉහළින් පිහිටි කොත් කැරලි ද්විත්වය සිංගප්පූරුවේ රෝයල් ඉන්සිග්නියා සමාගම විසින් දඹරනින් නිර්මාණය කර ඇති අතර, ජපානයේ ඉවාසාකි සමාගමේ නවීන ආලෝකකරණ පද්ධතියක් ද ස්ථාපිත කර තිබෙනවා.

මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිවරුන්ගේ අනුශාසනා සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මඟපෙන්වීම යටතේ, විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබෙනවා.

අද (20) පැවති නිරාවරණ උත්සවයට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, තායිලන්තයේ ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තායි දූත පිරිස සහ දියවඩන නිලමේවරයා ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

1987 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මෙම රන් වියන මීට පෙර 2002 සහ 2018 වසරවලදී ද ප්‍රතිසංස්කරණය කර තිබුණා.

ශ්‍රී දළදා මාලිගාවේ සුවිශේෂී වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වන රන් වියන, දෙස් විදෙස් බැතිමතුන්ගේ විශේෂ අවධානයට ලක්වන ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුත් නිර්මාණයක් ලෙස සැලකෙනවා ෴


රු. මිලියන 47.6 ක් වංචා කළ චීන කටු වෛද්‍යවරයාට රු. ලක්ෂ 47 කට අධික දඩයක් : රු. ලක්ෂ 08 ක වන්දියක් ගෙවන්නත් නියෝග

(20.11.2026 – hirunews.lk)

ව්‍යාපාර කටයුත්තක් සඳහා යැයි පවසමින් පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් රුපියල් මිලියන 47.6 මුදලක් ආපසු නොදී වංචා කිරීම සම්බන්ධයෙන් නඩු හතරකට (4) අදාළව වරදකරු කෙරුණු චීන කටු විද්‍යාව සම්බන්ධ වෛද්‍යවරයෙකුට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් අද (20) රුපියල් 47,60,000 ක දඩ මුදලක් නියම කළා.

එම නඩු හතරට (4) අදාළව රු. ලක්ෂ 8 ක වන්දි මුදලක් ද අධිකරණයෙන් එම චූදිතයාට නියම කරනු ලැබුවා.

එසේම එක් එක් නඩුවට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කරනු ලැබුවා.

කළුබෝවිල ප්‍රදේශයේ චීන කටු වෛද්‍ය සායනයක් පවත්වාගෙන යනු ලබන ‘ප්‍රසාද් දේශප්‍රිය’ නමැති වෛද්‍යවරයෙකුටයි එසේ දඬුවම් නියම කර ඇත්තේ.

එම නඩු හතරට (4) අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් නියම කළ දඩුවම් මෙසේය :

  • පළමු (1) නඩුව වෙනුවෙන් මාස 6 ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, එය වසර 5 කට අත්හිටවූ අතර රුපියල් ලක්ෂ 20 ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ දෙකක (2) වන්දි මුදලක් ද නියම කළා.
  • දෙවන (2) නඩුව අදාළව මාස 6 ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, එය වසර 5 කට අත්හිටුවූ අතර රුපියල් ලක්ෂ 20 ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ දෙකක (2) වන්දි මුදලක්ද නියම කළා.
  • තෙවන (3) නඩුවට අදාළව මාස 3 ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, එය වසර 5 ට අත්හිටු වූ අතර රුපියල් 360,000 ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක්ද නියම කළා.
  • සිව්වන (4) නඩුවට අදාළව මාස 3 ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, එය වසර 5 ට අත්හිටුවූ අතර රුපියල් ලක්ෂ 4 ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ දෙකක (2) වන්දි මුදලක්ද නියම කළා.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පී සුදර්ශන මංගල, ජීවන්ත ජයතිලක හා තිලංක පොල්ගම්පොළ යන නීතිඥවරුන් දෙපළ මගින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එම නියෝගය නිකුත් කළා.

ව්‍යාපාරිකයකු වන සුදර්ශන මංගල සිය නීතිඥවරු මගින් පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ, ඔහු කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි.

එසේ ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුර 2010 වසර දී විත්තිකාර වෛද්‍යවරයා හඳුනා ගැනීමට ලැබුණු බවත්, ඔහු වෘත්තියෙන් චීන කටු ආශ්‍රිත ප්‍රතිකාරකම භාවිත කරමින් කළුබෝවිල දුටුගැමුණු මාවත ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිටි බවද පැමිණිලිකරු නීතිඥවරු මගින් අධිකරණයට දැනුම්දී තිබුණා.

තමන් විත්තිකරු දැනහඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සේවා ස්ථානය වෙත අවස්ථා කිහිපයකදී ගිය බවත්, ඒ අවස්ථාවේදී විත්තිකරුගේ ව්‍යාපාර කටයුතුවලට බව පවසමින් නැවත ලබා දෙන පොරොන්දුව මත අවස්ථා කිහිපයකදී ඔහු තමාගෙන් මුදලක් ලබාගත් බවත්, ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.

2022 නොවැම්බර් මස සිට 2023 වසරේ මාර්තු මස දක්වා කාලය තුළ ඔහු තමාගෙන් එලෙස රුපියල් මිලියන 47.6 ක මුදලක් එසේ ලබාගත් බවද පැමිණිලිකරු පෙන්වාදී තිබුණා.

විත්තිකාර පුද්ගලයා තමන්ගෙන් ලබාගත් මුදලින් රු. මිලියන 47.6 ක මුදලක් ගෙවීම සඳහා නුගේගොඩ පෞද්ගලික බැංකුවක ඔහුගේ නමින් තිබෙන ගිණුමක් හරහා තමාට චෙක්පත් පහක් ලබාදී තිබූ නමුත් එම චෙක්පත් පහම අගරුවී තිබූ බවද ඔහු පවසා තිබුණා.

එම සිද්ධියෙන් පසු විත්තිකරු පිළිබඳව සැකයක් ඇතිවූ බැවින් තමන් විත්තිකරුට ලබාදී තිබූ සෙසු රුපියල් මිලියන 40 ක මුදල නිරන්තරයෙන් ඉල්ලා සිටි බවද ඒ අවස්ථාවේදී විත්තිකරු චෙක්පත් හතරක් (4) ලබාදී තිබූ නමුත් ඉන් රුපියල් මිලියන විස්සක (20) අගරු චෙක්පත් දෙකක් (2) ලබාදී තමාව රැවටීමට ලක් කර ඇති බවද ඔහු නීතිඥවරු මගින් අධිකරණයට පෙන්වා දී තිබුණා.

විත්තිකාර වෛද්‍යවරයා තමාගෙන් රුපියල් මිලියන 47.6 ක මුදලක් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී වංචාවක් කර ඇති බැවින් තමාට එම මුදල් නැවත ලබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස හා සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පැමිණිලිකරු සිය නීතිඥවරු වන ජීවන්ත ජයතිලක හා තිලංක පොල්ගම්පල යන අය මගින් කරුණු දක්වමින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

වන්දි මුදල් ගෙවීම සඳහා මෙම නඩු පෙබරවාරි 02 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර දඩ මුදල් ගෙවීම සඳහා මෙම නඩු මැයි 11 වැනිදා නැවත කැඳවීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤