රු. ලක්‍ෂ පහකට (5) වඩා මුදලින් ගෙවුවොත් විශාල බද්දක් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

රු. ලක්‍ෂ පහකට (5) වඩා මුදලින් ගෙවුවොත් විශාල බද්දක් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කළ චීන්නු හතරට (4) රු. කෝටි 7 කට වැඩි දඩයක්


රු. ලක්‍ෂ පහකට (5) වඩා මුදලින් ගෙවුවොත් විශාල බද්දක් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

(23.11.2026 – lankacnews.com)

අනුමත බැංකු සහ විද්‍යුත් ගෙවීම් පද්ධතියෙන් බැහැරව රුපියල් ලක්ෂ පහ (500,000) ඉක්මවා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක අත්පිට මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් බදු වගකීමකට යටත් වීමට සිදුවන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට හා ව්‍යාපාරික ප්‍රජාවට අනතුරු ඇඟවීමක් සිදුකරයි.

යම් ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකු තම වියදම් හෝ වත්කම් අත්පත් කරගැනීම් නීත්‍යනුකූල බැංකු මාර්ග ඔස්සේ තහවුරු නොකර මුදල් නෝට්ටු මඟින් සෘජුව පියවන්නේ නම්, අදාළ මුදල බදු ගණනය කිරීමේදී ‘අඩු කළ හැකි පිරිවැයක්’ ලෙසපිළිගනු නොලැබේ.

මෙම රෙගුලාසිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කරන එම නිලධාරියා පෙන්වා දෙන්නේ, යම් ආයතනයක් රුපියල් මිලියනයක (ලක්ෂ 10) මුදලක් චෙක්පත් හෝ බැංකු හුවමාරු භාවිත නොකර අත්පිට මුදලින් කිසියම් වියදමක් ලෙස ගෙවුවහොත්, එම රුපියල් මිලියනය ව්‍යාපාරයේ වියදමක් ලෙස සැලකීම බදු නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස එම මුදල ද ව්‍යාපාරයේ ශුද්ධ ලාභයට එක්වන අතර, සියයට 30 ක ආයතනික ආදායම් බදු අනුපාතයට යටත් ආයතනයකට එම මුදල මත පමණක් රුපියල් 300,000 ක අතිරේක බදු මුදලක් රජයට ගෙවීමට සිදුවනු ඇත.

මෙම නීතිය ඉඩම්, දේපළ සහ මෝටර් රථ වාහන මිලදී ගැනීම් සඳහා වඩාත් තීරණාත්මක ලෙස බලපාන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස අයෙකු රුපියල් මිලියන 9 කට ඉඩමක් මිලදී ගෙන පසුව එය රුපියල් මිලියන 10 කට විකුණන්නේ යැයි උපකල්පනය කළහොත්, සාමාන්‍ය බදු ක්‍රමවේදය යටතේ ප්‍රාග්ධන ලාභය වන්නේ මිලියන 1 කි. බදු අයවිය යුත්තේ එම ලාභය මත පමණි.

නමුත් අනතුර එම ඉඩම මිලදී ගැනීමේදී රුපියල් මිලියන 9 ක මුදල බැංකු පද්ධතියෙන් බැහැරව අත්පිට මුදලින් ලබාදී තිබුණහොත්, එම රුපියල් මිලියන 9 ක අත්පත් කරගැනීමේ පිරිවැය බදු අරමුණු වෙනුවෙන් ශූන්‍ය ලෙස සලකනු ලැබේ. ඒ අනුව, ඉඩම විකිණූ සම්පූර්ණ මුදල වන රුපියල් මිලියන 10 ම ලාභයක් සේ සලකා සමස්ත වටිනාකමටම ඉහළ බදු මුදලක් ගෙවීමට ඉඩම් හිමියාට සිදුවේ.

රාජ්‍ය බදු යාන්ත්‍රණයට හසුනොවන ‘කළු සල්ලි’ හෙවත් සමාන්තර ආර්ථිකය නියාමනය කිරීම, මූල්‍ය විනිවිදභාවය ආරක්ෂා කිරීම සහ ඩිජිටල් ගෙවීම් දිරිගැන්වීම මෙම දැඩි තීරණවල මූලික අරමුණය ෴


සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කළ චීන්නු හතරට (4) රු. කෝටි 7 කට වැඩි දඩයක්

(23.11.2026 – sinhala.adaderana.lk)

සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ චීන ජාතිකයන් සිව් දෙනෙකුට (4) කලවාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් රුපියල් 7,64,00,000 දඩයක් නියම කර තිබේ.

ආරක්ෂිත සතුන් 300 කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීම, සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 143 කට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර චීන ජාතිකයින් සිව්දෙනාට (4) මෙම දඬ මුදල නියම කළ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කෘමි සත්ත්ව විශේෂ හා උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කළ චීන ජාතික පිරිමින් තිදෙනෙකු (3) හා කාන්තාවක් (1) පසුගිය 09 වනදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔවුන් කලවාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබු අතර නඩුව අද (23) කැදවු අවස්ථාවේදී කලවාන මහෙස්ත්‍රාත් ඩී.එම්. යසස්ත්‍රී ප්‍රියංගිකා දිසානායක මහත්මිය විසින් අදාළ දඩ මුදල නියම කළ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤