තම පුතා බඹර ප්‍රහාරයෙන් බේරගන්න ගිය පියා මරුට

තම පුතා බඹර ප්‍රහාරයෙන් බේරගන්න ගිය පියා මරුට


තම පුතා බඹර ප්‍රහාරයෙන් බේරගන්න ගිය පියා මරුට

(18.11.2025 – hirunews.lk)

බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයෙන් සිද්ධිය වාර්තා වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය අයෙගේ එකම පුතා නිවස ඉදිරිපිට පාපැදියෙන් සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

ඒ අතරතුර එම පුත්‍රයා බඹර ප්‍රහාරයකට ලක්ව ඇති අතර පුතාගේ කෑගැසීමට පියා දුවගෙන පැමිණි බවයි පැවසෙන්නේ.

එහිදී පියා විසින් බඹර ප්‍රහාරයෙන් තම පුතාව බේරා ගැනීම සඳහා සිය කමිසය ගලවා පුතාව වසා බදාගෙන තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා (2) බඹර ප්‍රහාරයෙන් බේරාගෙන මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පියා මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

අනතුරුව පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙන බවද එම ආරංචිමාර්ග පැවසුවා.

මියගිය තැනැත්තාගේ බිරිඳ විදේශගතව සිටින අතර නිවසේ ජීවත්ව ඇත්තේ පියා සහ (11) හැවිරිදි පුතා පමණක් බවයි පොලිසිය පවසන්නේ.

+++

+


කඩුවෙල රනාලේ කාඩ්බෝඩ් කම්හලක ගින්නක්

(19.11.2025 – lankadeepa.lk)

කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) අලුයම ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

ගිනි නිවීම් කටයුතු සදහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න පාලනය සදහා කටයුතු කර ඇත.

සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව නවගමුව පොලිසිය පවසයි.

+++

+


සත්ව මස් සමඟ අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවා අල්ලයි

(18.11.2025 – lankadeepa.lk)

අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවා වනසතුන්ගේ මස් තොගයක් සමග අද (18) දින වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, විහාරබුලන්කුලම පදිංචි 49 හැවිරිදි කපුවෙකි.

කැබැල්ලාමස්, ඉබිමස්, මීමිනි මස් කිලෝ හයකට (6) ආසන්න ප්‍රමාණයක්ද ඉබි බිත්තර 14 ක්, ගල් ඉබ්බන් 06 දෙනෙකු හා ඇත් දළයෙන් කළ පළදනාවක් මෙම කපුවාගේ නිවසේ තිබියදි වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමන්ට කිසිවෙකු විසින් හුනීයමක් සිදුකර ඇති බැවින් එම හුනීයම ඉවත් කිරිම සදහා පුජාවක් කිරිමට තමන්ට හිතවත් අයෙකු විසින් මෙම මස් හා කිරි ඉබ්බන් ලබාදුන් බව කපුවා විසින් ප්‍රකාශ කළ බව වනජීවි නිලධාරිහු පවසයි.

+++

+


මහා සඟරුවන ත්‍රි‘මලයට

(18.11.2025 – lankadeepa.lk)

මේ ආණ්ඩුවේ ඇත්තෝ කියනවා ඒ අය බුදුපිළිමය අත්අඩංගුවට ගත්තේ බුදු පිළිමයේ ආරක්ෂාවටලු. අපි අහනවා එහෙම නම් මහා සංඝරුවනට පහර දුන්නේ සාසනයේ ආරක්ෂාවටදැයි කියලා යැයි සීනිගම පුෂ්පාරාමාධිපති අකුරල මංජුලතිස්ස අමරපුර මූලවංශ මහා නිකායේ ලේඛකාධිකාරී හිමියෝ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථ බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලේ සිද්ධියේ නිරීක්ෂණයට අද (18) ත්‍රිකුණාමලයට වැඩම කර පැවැත්වු මාධ්‍ය හමුවකදි මෙම ප්‍රශ්නය මතු කළේය.

අමරපුර මූලවංශ මහානිකායේ සංඝරත්නය ප්‍රශ්නයට තුඩුදුන් බෝධිවර්ධන දහම් පාසල තිබෙන ස්ථානයට වැඩම කිරීමට ප්‍රථම තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිමිවරු දෙපළගේ සුවදුක් විමසා පිරිත් සජ්ඣායනා කිරීමක්ද සිදු කළහ.

අමරපුර මූලවංශ මහානිකායේ සංඝරත්නය ප්‍රමුඛ මහා සඟරුවන ප්‍රශ්නගත ස්ථානයට වැඩම කර සිද්ධිය සොයා බලද්දී හදිසියේම මිහින්තල රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියෝද වැඩම කළහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේඛකාධිකාරීය අකුරළ මංජුල තිස්ස හිමියෝ බුද්ධ ප්‍රතිමා වහන්සේ අත්අඩංගුවට ගන්න ආපු පොලිසියේ උසස් නිලධාරියකු කියනවා අපි නිරාගමිකයි අපි ආගම් විරෝධීයි කියලා. මේක මහා භයානක ප්‍රකාශයක්. මේ ප්‍රකාශය මුළු ලෝකයම ප්‍රචාරය වෙච්ච වීඩියෝ දර්ශන වල පවා තියෙනවා. ඒ දර්ශනවලම තියෙනවා ස්වාමීන් වහන්සේලාට පහර දෙන එක. මේ නිසා අපි කියන්නේ ත්‍රිකුණාමලය බහු ආගමික ප්‍රදේශයක් විදියට බෞද්ධ වුණත් ඉස්ලාම් වුනත් කතෝලික වුණත් හින්දු අයකු වුනත් තම තමන්ගේ ආගම් මත දැරීම සහ ආගම් ඇදහීමේ නිදහස හැමෝටම තිබිය යුතුයි කියලා.

+++

+++

+


තංගල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් (2) මරුට

(18.11.2025 – hirunews.lk)

තංගල්ල උණාකූරුව වැව අසල වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු (2) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ අඹු සැමි යුවලක් වන අතර ඔවුන් වයස 68 සහ 59 යන වියේ පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස වෙඩි තබා තිබෙන්නේ වෙළෙඳසලක් තුළ බව සඳහන්.

මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

+++

+


පක්ෂයට පිටින් ගිය සීතාවක සර්ව ජන මන්ත්‍රි පක්ෂයෙන් දොට්ට

(18.11.2025 – lankadeepa.lk)

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (18) පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට එරෙහිව ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සහාය දුන් සර්වජනබලය පක්‍ෂයේ මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

එම ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින්, ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් විසින් සහාය දක්වා ඇති බවට අනාවරණය වී ඇතැයි එම පක්‍ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි.

පක්ෂය දැනුම්දී තිබුණු තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් බව ද එම පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා අදාළ මන්ත්‍රීවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

එහිදී ඡන්ද 23 ක් හිමිකරගනිමින් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී පී.කේ. ප්‍රේමරත්න මහතා පත්විය.

පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 6 කට පසුව එම සබාවේ බලය පිහිටුවීම මෙහිදී කැපී පෙනේ ෴


දවසට රුපියල් 4300 යි සුද්දන්ට ත්‍රීවීල් විකුණන ජාවාරමක තොරතුරු මෙන්න (18.11.2025)

+


අනාගත ලේ වැගිරීමක වගකීම අනුර කුමාර දිසානායක බාරගන්න ඕනේ, මේ සියල්ල ඔහු පාවාදීලා ඉවරයි (18.11.2025)

+


කෝච්චියට ගල් පෙරළෙයි! – ප්‍රපාතයට නොයා 99න් බේරුණු හැටි මෙන්න (18.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *