නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් (3) තිස්සේ තරුණියන් බිය ගැන්වූ සිද්ධියට මතුගම තරුණයකු රිමාන්ඩ්
නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් (3) තිස්සේ තරුණියන් බිය ගැන්වූ සිද්ධියට මතුගම තරුණයකු රිමාන්ඩ්
(25.02.2026 – hirunews.lk)
පරිගණක ක්ෂේත්‍රයෙහි රැකියාව කරමින් තරුණියන්ගේ නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් (3) තිස්සේ තරුණියන් බිය ගැන්වූ බව කියන මතුගම තරුණයකු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ ‘තරිඳු දිල්රංග’ නමැති තරුණයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක කරණු දක්වමින් කියා සිටියේ සැකකරු විසින් ‘එමි අංක’ වැරදි ව්‍යාජ අන්තර්ජාල සබඳතා සහ දුරකථන භාවිතා කරමින් තරුණියන්ගේ දුරකථනයන්ට (හැක්කර) අනවසරයෙන් ඇතුළු වී නිරුවත් වීඩියෝ බාගත කරගෙන ඇති බවය. එසේ බාගත කරගත් වීඩියෝ තරුණියන්ගේ වට්ස් ඇප් අංකය වෙත යොමු කර එවැනි නිරුවත් දර්ශන ඉල්ලා ඇති බවත්, එසේ නොකළහොත් පවතින වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවටත් සැකකරු විසින් පැමිණිලිකාර තරුණියන්ට තර්ජනය කර ඇති බවයි.
කළුතර හා පානදුර ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු (2) 2023 වසරේදි කරන ලද පැමිණිලි අනුව විමර්ශනයකර සැකකරු අත්අඩංගුවට ගත් බවද පැවසුවා.
සැකකරු විසින් ‘එමි අංක’ හඳුනා ගැනීමට නොහැකි දුරකථන සබඳතා සහ දුරකථන භාවිතා කරමින් මෙම අපරාධ සිදුකර ඇති බවත්, වි.පි.එන්. ඔස්සේ ෆෙස්බුක් හා වට්ස් ඇප් පහසුකම් ලබාගෙන ඇති බවත්, අධිකරණ නියෝග පරිදි අදාළ තොරතුරු ෆේස්බුක් සමාගම විසින් ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසුවා.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරු ලැබෙන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් ද නිකුත් කළා ෴
පානදුර ළමා නිවාසයකින් බාලවයස්කාර දරුවන් 06 ක් පලා යයි
(25.02.2026 – hirunews.lk)
පානදුර, නල්ලූරුව ගාලු පාරේ පිහිටි ‘ළමා සංවර්ධන මධ්‍යස්ථානයක’ රඳවා සිටි බාලවයස්කාර පිරිමි ළමුන් හය දෙනෙකු (6) එම මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කරනවා.
මෙසේ පලා ගොස් ඇත්තේ වයස අවුරුදු 12 ක දරුවන් පස්දෙනෙකු (5) සහ 16 හැවිරිදි වියේ පසුවන එක් (1) දරුවෙක්.
ඊයේ (24) වැනිදා පස්වරු 03:50 ත් (25) වැනිදා මධ්‍යම රාත්‍රී 12 ත් අතර කාලය තුළ මොවුන් මෙලෙස පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම ළමා නිවාසයේ පාලිකාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විවිධ අධිකරණ නියෝග මගින් මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද දරුවන් පිරිසක් මෙලෙස පලා ගොස් ඇති බවත්, අද (25) දහවල් වනතුරුත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
පලා ගිය දරුවන් කොළඹ 02, පුවක්පිටිය, පොල්ගස්ඕවිට, නුගේගොඩ, කොට්ටාව සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ උපදෙස් මත පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දරුවන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴
ලංකා විදුලිබල මණ්ඩලයේ පැය 6 ක සංකේත වැඩ වර්ජනයක්
(25.02.2026 – hirunews.lk)
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හෙට (26) සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතයි.
ඒ අනුව හෙට (26) දහවල් 12:00 සිට පස්වරු 06:00 දක්වා පැය 6 ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.
+
ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් – යෝෂිතට එරෙහි නඩුව සංශෝධන සහිතව ඉදිරියට
(25.02.2026 – hirunews.lk)
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ‘ඩේසි ෆොරස්ට්’ එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා.
විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා මගින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද (25) නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වාර්තාව තුළින් වෛද්‍යවරු නිර්දේශ නිකුත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධි චෝදනාවලින් ඇය නිදහස් කරන ලෙස නියෝග කළා.
ඒ අනුව නඩුවේ පළමු විත්තිකරු වූ යෝෂිත රාජපක්ෂට පමණක් සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කරමින් ඔහුට එරෙහිව නඩුව පවරා පවත්වාගෙන යෑමට කටයුතු කළ බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා ෴
ආබාධිත දරුවන්ට ලබා දෙන මුදල් පෞද්ගලික පරිහරණයට භාවිතා කළැයි හිටපු සමාජ සේවා නිලධාරියෙකුට ඇප
(25.02.2026 – hirunews.lk)
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසිනි අත්අඩංගුවට ගත් කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.
සැකකරුට රු. ලක්ෂ දෙක (2) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) සහ රුපියල් 15,000 ක මුදල් ඇපයක් අධිකරණයෙන් නියම කරනු ලැබුවා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසයක් විසින් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
කුඩා පේදුරු ආරච්චිලාගේ සමන් ජයරත්න නමැති කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ හිටපු සමාජ සේවා නිලධාරියකු මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවා.
මෙම සැකකරු ඊයේ (24) වැනි දින පස්වරු 12:45 ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය මඟින් එක් දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000 ක අධ්‍යාපන ආධාර මුදල, දරුවන් දෙදෙනෙකුගේ (2) නමින් ලබාගෙන එම මුදල් අදාළ දරුවන්ට ලබා නොදී පුද්ගලික පරිහරණයට යොදා ගත් බවට ඇති චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුයේ ෴
රන් මුදුව වෙනුවට ‘රන් ආලේපිත පිත්තල මුදුවක්’ තබා ගිය ‘මුදු හොරා’
(25.02.2026 – hirunews.lk)
තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පාරිභෝගිකයෙකු ලෙස පැමිණ, රන් මුදුවක් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් 50,000ක් වටිනා නියම රන් මුදුවක් සොරාගෙන ඒ වෙනුවට ‘රන් ආලේපිත පිත්තල මුදුවක්’ තබා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තලවකැලේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ (24) දින මෙම සොරකම සිදුව ඇති අතර, සැකකරු වෙළෙඳසැලට පැමිණ තමන්ට කුඩා ප්‍රමාණයේ රන් මුදුවක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර, එහිදී සේවකයින් පෙන්වූ මුදු කිහිපයක් පරීක්ෂා කරන අතරතුර, සැකකරු තම දකුණු අතේ සඟවාගෙන පැමිණි රන් ආලේපිත පිත්තල මුදුවක් ඉතා සූක්ෂ්ම ලෙස නියම රන් මුදු ගොඩට මුසු කර ඇති බවට සීසීටීවී දර්ශනවලින් පැහැදිලි වන බව පොලිසිය පවසනවා.
අනතුරුව මෙම පුද්ගලයා තමන්ට ගැළපෙන මුදුවක් එහි නොමැති බව පවසා වෙළෙඳසැලෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු පිටව ගිය පසු වෙළෙඳසැල් සේවකයින් විසින් රන් මුදු තොගය නැවත පරීක්ෂා කිරීමේදී, ඒ අතර තිබූ රන් ආලේපිත පිත්තල මුදුවක් හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පසුව වෙළෙඳසැල් හිමිකරු විසින් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී, සැකකරු විසින් සිදුකළ මෙම සූක්ෂ්ම මාරු කිරීම පැහැදිලිවම අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද පෙලිසිය පවසනවා.
ඒ අනුව,එම ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා ෴
මිරිහාන සහ කොහුවල නිවෙස් බිඳ දේපළ හා පාපැදි සොරාගත් සැකකරු දැලේ
(25.02.2026 – hirunews.lk)
මිරිහාන සහ කොහුවල පොලිස් බලප්‍රදේශවල සිදුවූ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් සහ පාපැදි සොරකම් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සොරාගත් දේපළ රැසක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
අදාළ පොලිස් බලප්‍රදේශවලින් වාර්තා වී තිබූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (24) දින මෙම වැටලීම සිදු කර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොරා ගන්නා ලද පාපැදි ඇතුළු වටිනා දේපළ රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සොරාගත් දේපළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනවා ෴
‘මහා ජනහඬ’ සංවිධානයේ නායකයෝ රනිල් හමුවෙති
(25.02.2026 – hirunews.lk)
විපක්ෂය නියෝජනය කරන ‘මහා ජනහඬ’ සංවිධානයේ නායකයන් අද (25) පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දේශපාලන කරුණු රැසක් ගැන සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඉදිරියේදී විපක්ෂ බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම ඇතුලු කරුණු ගණනාවක් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවට මහා ජනහඬ සංවිධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් , අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර ඇතුලු පිරිසක් එක්ව තිබෙනවා.
එජාප පාර්ශවයෙන් ඒ සඳහා වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල, සාගල රත්නායක ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
‘මහා ජනහඬ’ සංවිධානයේ නායකයන් මීට පෙරාතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්වරුන්ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා ෴
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන (2) වෙඩික්කරුගේ පැටිකිරිය
(25.02.2026 – 20:38 +0530 – sinhala.adaderana.lk)
අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය අත්අඩංගුවට ගත් දෙවන (2) වෙඩික්කරු ගැන කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිව තිබේ.
නාවික හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකු වන ඔහු ‘කරන්දෙණිය සුද්දා’ගේ විශ්වාසවන්තම හා දක්ෂතම වෙඩික්කරු බව වාර්තා වේ.
සැකකරු බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු ඝාතන හයකට අදාළ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇතැයිද මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ.
මේ වනවිට අදාළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් දෙදෙනා (2) ඊට ආධාර අනුබල දුන් කණ්ඩායමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ඝාතන සිද්ධියේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතයෙන් වෙඩිතබා ඇත්තේ මෙම දෙවන වෙඩික්කරු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා ඔහුගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යවෙත නිකුත් කර තිබුණි.
එවන් පසුබිමක අදාළ පුද්ගලයා මොනරාගල, නක්කල, ටැංවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශවාසියෙකුගෙන් තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව මොනරාගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඊයේ (24) රාත්‍රියේ අදාළ නිවස වටලා සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව ඔවුන්ගේ ඡායාරූප මගින් සැකකරුවන් පිළිබඳ තහවුරු කරගත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය, ඔවුන්ව දැඩි රැකවල් මැද කොළඹට රැගෙන ආවේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා (3) ගෙන් අයෙක් කනංකේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ‘මනෝජ් උදයංග’ නම් හිටපු නාවික හමුදා සෙබළයා ය.
ඔහු ‘රූබස් රමේෂ්’ යන නමින්ද පෙනී සිට ඇති අතර, එම නමින් විදෙස් ගමන් බලපත්‍රයක්ද තිබී ඇතැයි පොලිසිය පවසයි.
වසර 11 ක පමණ කාලයක් නාවික හමුදා සේවයේ සිට ඉන් නීත්‍යානුකූලව ඉවත්වූවෙක් ද වේ.
එලෙස සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව කිසිදු රැකියාවක් සිදුනොකළ සැකකරු, දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙක් වන අතර, අත්අඩංගුවට පත්වන විටත් ඔහු සතුව හෙරොයින් හා කුෂ් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇත.
සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින කාලයේදී ඔහු සහ ‘කරන්දෙණිය සුද්දා’ අතර සම්බන්ධතා ගොඩනැඟී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර වෙඩික්කරු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ගෙන් අයෙක් ‘දිනුජන සඳරුවන්’ වන අතර, ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
ඔහු නීතීඥවරයා ඝාතනය සඳහා වෙඩික්කරුන් පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයා බවට පොලිසිය සැකකරයි.
ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකුම ‘කරන්දෙණිය සුද්දා’ගේ සමීපතමයන් බවද වාර්තා වේ.
අත්අඩංගුවටගත් අනෙක් සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි ‘කැළුම් සුජීව’ නැමැත්තෙකු වන අතර, ඔහු සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් අයෙක් ය.
එම සැකකරු මාර්ග සංවර්ධන කටයුතුවල නිරත අයෙකු වන අතර, ඔහු මොනරාගල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සෙසු සැකකරුවන් සමග සිට ඇතැයි හෙළිවී ඇත.
ඔහු මීට සති දෙකකට (2) පමණ ඉහතදී සෙල්ලකතරගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක නිරතව සිටියදී අපරාධකරුවකු වන ‘පෙතියාගොඩ සංඛ’ නැමැත්තා දුරකතනයෙන් ඔහු අමතා, “කොල්ලෙක් ඉන්නවා, වැඩට ගන්න” යනුවෙන් පවසා ඝාතනය සඳහා පැමිණි රියදුරු එහි එවා ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව එහි වැඩ නිමවීමෙන් පසුව ඔවුන් දෙදෙනා (2) මොනරාගල ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර, මීට දින 5 කට පමණ ඉහතදී ‘පෙතියාගොඩ සංඛ’ නැමැත්තා නැවත දුරකථන ඇමතුමක් ලබාදී වෙඩික්කරු ද අදාළ නිවසට එවා ඇති බව වාර්තා වේ.
+++
අකුරේගොඩ ඝාතනයේ දෙවැනි (2) වෙඩික්කරුත් අත්අඩංගුවට… දකුණේ වෙඩි තැබීම් රැසකම වෙඩික්කරු ලෙසත් කටයුතු කරලා (25.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴