අකුරේගොඩ ද්විත්ව ඝාතන සැලැස්ම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතන සැලැස්ම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි


අකුරේගොඩ ද්විත්ව ඝාතන සැලැස්ම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

(16.02.2026 – 19:20 +0530 – sinhala.adaderana.lk)

තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව (2) අද (16) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පවසන්නේ, නීතිඥවරයාගේ වාහනය ඇති ස්ථානය සම්බන්ධයෙන් ඔත්තු ලබාදී ඇත්තේද මෙම සහෝදරයින් දෙදෙනා (2) බවය.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද (16) පස්වරුවේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මෙම තරුණයින් දෙදෙනාව (2) අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ප්‍රදේශයේදීය.

නවගමුවවේ පදිංචිකරුවන්වන ‘නදුන් කවීෂ’ සහ ‘සනෝජ් කෝකිල’ යන ඔවුන් දෙදෙනා (2) වයස අවුරුදු 20 සහ 24 වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.

එම දෙදෙනාගෙන් (2) සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

විදෙස්ගතව සිටින අපරාධකරුවන් වන ‘තරිඳු මධුසංඛ’ නොහොත් ‘ටුටූ” සහ ‘මෝදර නිපුන” යන අයගේ මෙරට තුළ ‘අයිස් ජාවාරම’ මෙහෙයවනු ලබන්නේ මෙම සහෝදරයින් දෙදෙනා (2) බව පොලීසිය සඳහන් කරයි.

විදෙස්ගත අපරාධකරුවන් දෙදෙනා (2) මෙම සහෝදරයින් අමතා ‘දවස් 7 කට වාහනයක් රෙන්ට් එකට ගනින්, සුද්දා අයියාගේ වැඩක් තියෙනවා, ඒක කරන්න ඕනේ’ යැයි පවසා ඇත.

ඒ අනුව සහෝදරයින් දෙදෙනා (2) කොට්ටාවේ ආයතනයක් වෙත ගොස් කුලී පදනම මත කළු පැහැති මෝටර් රථයක් ලබාගෙන තිබුණි.

පසුව තවත් පුද්ගලයෙක්, සහෝදරයින් අමතා පවසා ඇත්තේ කොටිකාවත්තේ යම් ස්ථානයකට ගොස් එහි පැමිණෙන ත්‍රීරෝද රථයකින් ලබාදෙන ගිනිඅවි සහිත පාර්සලයක් ලබාගන්නා ලෙසටය.

එය රැගෙන නීතිඥවරයා ඝාතනයට ලක්වූ සුපිරි වෙළෙඳසැල අසලට යන්නැයි එම පුද්ගලයා , සහෝදරයින් දෙදෙනාට (2) පවසා තිබේ.

පසුව ඔවුන් වෙඩි තැබීම සිදුවූ දිනයේ, සිද්ධියට පැය කිහිපයකට පෙර අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැල ආසන්නයට ගොස් ඒ ආසන්නයේ නවතා තිබූ තවත් මෝටර් රථයකට ගිනිඅවි සහිත පාර්සලය භාරදී ඇත.

මෙම ගිනිඅවි භාවිත කරමින් අදාළ නීතිඥවරයා ඝාතනය කිරීමට නියමිත බව මෙම සහෝදරයින් දෙදෙනා (2) සතියක පමණ කාලයක සිට දැනුවත්ව සිට ඇතැයි පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ නීතිඥවරයා සිය බිරිඳ ඇයගේ කාර්යාලයෙන් නංවා ගෙන සෑම දිනකම පිටත්ව යන්නේ පස්වරු 04:30 ත් – 05:00 ත් අතර වේලාවේදී බවය.

සහෝදරයින් දෙදෙනා (2), ඝාතනයට ලක්වූ නීතිඥවරයාගේ රථය සම්බන්ධයෙන් ඔත්තු බලා ඇති අතර වෙඩිතැබීම සිදුවූ දින එය සුපිරි වෙළෙඳසැලේ රථගාලේ නවතා ඇතැයි වෙඩික්කරුවන්ට ඔත්තුව දී ඇත්තේද ඔවුන් දෙදෙනාය (2).

අනතුරුව වෙඩික්කරුවන් රැගත් මෝටර් රථය එහි පැමිණ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය කර තිබුණි.

ඒ අතරවාරයේ සහෝදරයින් දෙදෙනා (2) ඉන් පිටත්ව හෝකන්දර දෙසට ගමන් කර තිබුණි.

ඝාතනයට අදාළ CCTV දර්ශන සහ තවත් කරුණු රැසක් ඔස්සේ විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අනාවරණ කරගත්තේ වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදී ඇත්තේ මෙම මෝටර් රථයෙන් බවය.

ඒ අනුව දින 7 ක් සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය යළි භාරදීම සඳහා මෙම සහෝදරයින් දෙදෙනා (2) අද (16) පස්වරුවේ කොට්ටාවේ ආයතනය වෙත යමින් සිට තිබුණි.

ඒ අතරතුර එය ලුහුබැඳ ආ පොලිස් නිලධාරීන් මෝටර් රථය සිය භාරයට ගෙන සහෝදරයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් දෙදෙනාගෙන් (2) සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩික්කරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ වී තිබේ.

වෙඩි තැබීමට ආ වෙඩික්කරුවන් අතරින් එක් අයෙක් (1) පන්නිපිටියේ හෝටලයකට පැමිණ ඇත්තේ වෙඩිතැබීමට දින 3 කට පෙරය.

පසුව එහි පැමිණි තිබූ සහෝදරයින් දෙදෙනා (2) වෙඩික්කරුට ‘අයිස්’ සහ අවශ්‍ය පහසුකම් සපයා ඇත.

අනෙක් වෙඩික්කරු එම හෝටලයට පැමිණ ඇත්තේ වෙඩි තැබීම සිදුවූ දින බවට පොලීසිය අනාවරණ කරගෙන ඇත.

ඒ අනුව මෙම ඝාතනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් සහෝදරයින්ට මුදල් ලැබී නොමැති අතර ඔවුන්ට ‘අයිස් මත්ද්‍රව්‍ය’ ලබාදී තිබේ.

පොලීසිය පැවසුවේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිත කරන සැකකාර සහෝදරයින් දෙදෙනා (2) ‘අයිස් ජාවාරම’ සිදුකර ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීමෙන්, බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මඟපෙන්වීමෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

මේ අතර ඝාතනයට ලක්වූ නීතීඥවරයා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු අද (16) පස්වරුවේ පිටිගල, ගොඩමුණ පවුලේ සූසාන භූමියේදී සිදුකෙරුණි.

ඒ පවුලේ ඥාතීන් හා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි නීතීඥවරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

තලංගම, අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයට කිලෝමීටරයක් (1) පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ ඉකුත් සිකුරාදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්විය.

ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලාය.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් (2) මෙම වෙඩිතැබීම කර පලා ගොස් තිබුණි.

වෙඩික්කරුවන් පලා ගිය බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී පොලීසිය විසින් පසුව සොයා ගනු ලැබීය.

පොලීසිය ඊයේ (15) ප්‍රකාශ කළේ මෙ වන විට ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු (4) හඳුනාගෙන ඇති බව ය.

+++

+++

නීතිඥවරු නෑ; නඩු කටයුතු අඩාලයි

(16.02.2026 – hirunews.lk)

නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පලකරමින් නීතිඥවරු අද (16) සිය සේවා කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවල විභාගයට ගැනුණු නඩු කටයුතුවලට බාධා පැමිණ තිබුණා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලු එහි සෙසු අධිකරණවල නඩු කැඳවීමක් සිදු කෙරුණ නමුත් නීතිඥවරු කිසිවෙකුත් එම නඩු කටයුතු වෙනුවෙන් කරුණු දැක්වීමට නොපැමිණීම නිසා සියලුම නඩු කල්තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රමුඛ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සෙසු අධිකරණවල අතිරේක මහේස්ත්‍රාත්වරුන් පියවර ගෙන තිබුණා.

ඇතැම් නඩු කැඳවන අවස්ථාවන්හිදී එම නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණ භූමියේ රැඳී සිටිය නමුත් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිය සේවා දායකයන් වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදු කලේ නැත.

නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී නොසිටියද පැමිණිල්ලේ පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කොළඹ අධිකරණයේ සියලුම නඩු කටයුතුවලට සම්බන්ධ බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත අද (16) ඉදිරිපත් කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

ඇතැම් නීතිඥවරුන් විවෘත අධිකරණය තුළට ගොස් නඩු කටයුතු සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු නොකළ නමුත් ඔවුන්ගේ සේවා දායකයන්ට අදාලව මහේස්ත්‍රාත්වරුන් දෙන නියෝග කුමක් ද යන්න පිළිබඳව එම විවෘත අධිකරණවල දොරටු අසල සිට අසා සිටින අයුරුද දැක ගැනීමට ලැබුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය ලත් දිවයින පුරා විසිරී සිටින සාමාජිකයන් තුන්දහසකට (3000) අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (15) කොළඹදී සාකච්ඡාවක් පැවැති අතර අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා ඝාතනයවීමේ සිද්ධියට විරෝධය දැක්වීමක් වශයෙන් ඔවුන් අද (16) දිවයින පුරා පිහිටි අධිකරණවල නඩු කටයුතු වලින් ඉවත්වීමට තීරණයක් ගෙන තිබුණා.

මේ අතර කොළඹ අධිකරණවල මෙන් දිවයින පුරා පිහිටි සෙසු සියලුම අධිකරණවල නඩු කටයුතුවලින් නීතිඥවරු ඉවත්වීම හේතුවෙන් එම අධිකරණවල නඩු කටයුතුවලටද බාධා පැමිණ ඇති බවද වාර්තා වි තිබුණා ෴

+++

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

(16.02.2026 – 20:31 +0530 – sinhala.adaderana.lk)

අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ අදාළ වර්තමාන රජය විසින් රටේ ජාතික ආරක්ෂාව හා ජන ජීවිතයේ සුරක්ෂිතතාව ඉතා දරුණු ලෙස බිඳ දමා ඇති බවය.

සෑම දිනකම සාහසිකයින්ගේ වෙඩි පහරින් මියයාම් සහ සිද්ධිය සිදුවී ඉතා සුළු වේලාවකින් පරීක්ෂණයකින් තොරව එකී සිද්ධිය පාතාලය හා සම්බන්ධ කිරීම මගින් සාමාන්‍ය සිද්ධියක් බවට පත් කිරීමට රජය විසින් උත්සාහ දරා ඇති බවත් පොදුජන පෙරමුණේ නීතිඥයින් සිය නිවේදනය මගින් චෝදනා කර තිබේ.

මාතෘ භූමියේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම හා ජන ජීවිතය ආරක්ෂා කිරීම රජයේ අනන්‍ය සහ ප්‍රමුඛ වූ වගකීමක් බවත් පෙන්වා දෙන එම පොදුජන පෙරමුණ නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ රජය හිතාමතා හෝ නොහැකියාව නිසාවෙන් සහ වෙනත් යම් දේශපාලන අරමුණක් හේතුවෙන් එකී වගකීම්වලින් පැහැර හැර ඇති බවය.

දශක තුනක් (3) පුරාවට ඇදී ගිය යුදමය තත්ත්වය අවසන් කර උතුරේ සිට දකුණ දක්වාත් නැගෙනහිර සිට බස්නාහිර දක්වාත් මෙරට ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව නිදහසේ ජීවත්වීමේ ඉඩහරස ලබා දීමට නායකත්වය දුන් නායකයින් මෙහෙවන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥයින් ලෙස මෙම ඛේදජනක තත්ත්වය සම්බන්ධව ඉමහත් කම්පනයට පත්වන බවත් පෙන්වා දී ඇති එම සංගමය සඳහන් කර ඇත්තේ මෙය මෙරට නැවතත් ආරජිකත්වයක් කරා ගමන් ගන්නා තත්ත්වයක් ලෙස දක්නට ලැබෙන බවය.

මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව පෙර පරිදි නැවත ප්‍රතිසංවිධානය කරන ලෙසත් සාමාන්‍ය ජනතාවගේ නීතිඥවරුන් ඇතුළු වෘත්තියවේදීන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙසත් වර්තමාන රජයට බල කරන බවත් පොදුජන පෙරමුණ නීතිඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබේ ෴

+++

ඝාතනයට ලක් වූ නීතිඥයා සහ ඔහුගේ බිරිඳ පිටිගල සුදුවැල්ලවදී එකම තැන මිහිදන් කරයි (16.02.2026)

+++

බංකුවක් අරගෙන එන්න කිව්වා ටියුෂන් දෙන්න – ළඟට ඇවිත් තියලා යනකම් දන්නේ නෑ (16.02.2026)

+


සිංහලයා උපන් රටේ අසරණ වෙලා ඉන්නේ – මැදගොඩ අභයතිස්ස හිමි රට ගැන සංවේදී වෙයි (16.02.2026)

+


උතුරු නැගෙනහිරට වෙනමම පාලනයක් ඉල්ලා ප්‍රබලයෝ රැසක් සම්මුතියකට අත්සන් තබයි (16.02.2026)

+


88/89 මහණ වෙලා හිටියේ සෙට් එකම – සජබේ චරිත් JVP එකේ පැටිකිරිය දිග අරියි (16.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *