BYD වාහන ගැන කමිටු වාර්තාව ළඟදීම : නීතිපති අධිකරණයට දන්වයි

BYD වාහන ගැන කමිටු වාර්තාව ළඟදීම : නීතිපති අධිකරණයට දන්වයි


BYD වාහන ගැන කමිටු වාර්තාව ළඟදීම : නීතිපති අධිකරණයට දන්වයි

(15.09.2025 – hirunews.lk)

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

තමන් විසින් ආනයනය කළ ‘බී.වයි.ඩී. වාහන’ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ‘ජෝන් කීල්ස් සීජී සමාගම’ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (15) කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද (15) අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වාහන ආනයනයකරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින්ට මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ජෝන්ස් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය දැඩි විරෝධය පළ කළා.

ඇය සදහන් කළේ මෙම නඩුකරයට මැදිහත්වීමට අතරමැදි පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවයි.

මෙවැනි නඩුකරයකට මැදිහත් විය නොහැකි බව දැක්වෙන තීන්දු ගණනාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරිය එම නඩු තීන්දුවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හරහා නිකුත් වන තීන්දුවෙන් මෙරට වාහන ආනයනයේ නිරත 446 දෙනෙකුට බලපෑම් සිදුවන බව පැවසුවා.

පෙත්සම්කාර සමාගම අනීතික සහ අක්‍රමිකතාවන්ගෙන් සමන්විත වන ආකාරයට මෙම වාහන ආනයනය කර තිබෙන බවත් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීම වළක්වා ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශවය තමන් මෙම නඩු කටයුත්තට මැදිහත් වලක්වා ගැනීම සඳහා විරෝධය පළ කරන බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සඳහන් කර සිටියා.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්ම වර්ධන මහතා අධිකරණය යොමුවේ කරුණු දක්වමින් මේ වන විට ආනයනය කර බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ක් ද එසේත් නැත්නම් 150 ක් ද යන්න නිගමනය කිරීම සඳහා විශේෂඥ තාක්ෂණ කමිටුවක් පත් කර තිබෙන බව පැවසුවා.

මහාචාර්යවරුන් වන වයි.එම්.ආර්. අමරසිංහ , ජේ.පී. කරුණාදාස යන මහත්වරුන්ගෙන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකුගෙන් එම කමිටුව සමන්විත බවත් ඔහු පෙන්වා දුන්නා.

එම කමිටුව විසින් අදාල මෝටර් රථවල මෝටරයේ ධාරිතාව පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් එහි වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම නඩුකරයට පාදක වන ගැටළුව නිරාකරණය කර ගැනීමට හැකියාව සැලසෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 22 වනදා දක්වා කල් තැබීමටද අභියාචනාධිකරණය නියම කළා ෴


විදුලි සේවකයින් හෙට (17) සහ අනිද්දා (18) ලෙඩ නිවාඩු

(16.09.2025 – hirunews.lk)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිද වැටීම්, යාවත්කාලීන කිරීම්, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදුකරන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.

එසේම, අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව හෙට (17) සහ අනිද්දා (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වීමට විදුලි වෘත්තීය සමිති තීරණය කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ කොළඹ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ නව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා රැකියා සුරක්ෂිතභාවයට කිසිදු හානියක් නොවන අතර, ඊට එකඟ නොවන පිරිසට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්විය හැකි බවයි ෴

+++

අද (15) රෑ 12 න් පස්සේ ආණ්ඩුවට උණ ගැනෙයි ? 21,000 ක් මිනිස්සු කොළඹට එයි

+


නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්

(16.09.2025 – 07:07 +0530 – sinhala.adaderana.lk)

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණි.

අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවය.

එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර පක්ෂය ද මහජනතාව ද තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් සිදුවන කටයුත්තක් තමා විසින් සිදුකර නොමැති බවද ඔහු පවසයි.

නීතීඥවරයෙකු ලෙස ද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටින අතර, එම නිදහස දුෂ්ඨ ලෙස අවභාවිතා කිරීම, එය දිනාගැනීමට අනේකවිධ කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයක් බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙයි.

අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් හඳුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් වැඩිදුරටත් දැනුම් දී තිබේ ෴

+++

එයාගේ බඩ දැක්කමත් සතුටුයි | එතුමා එහෙම කරන්නේ නෑ, චී චී චී | රට කැළඹූ චෝදනා ගැන කාවින්ද කට අරියි (16.09.2025)

+


නිදි යහනේ සිදුවු ඝාතනය – සැමියා සැකපිට අත්අඩංගුවට

(15.09.2025 – 20:48 +0530 – sinhala.adaderana.lk)

නිදි යහනේ මියගොස් සිටි කාන්තාවගේ මරණය ඝාතනයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.

ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා අද (15) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි එක් දරු මවකි.

ඇය ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරන සේවා නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටි අයෙකි.

දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පසුගිය 13 වන දින කාන්තාවක් නිදි යහනේ සිටියදී මිය ගොස් ඇති බව පොලීසියට තොරතුරු ලැබී තිබුණි.

ඇයගේ සැමියා පොලීසියට ප්‍රකාශ කොට තිබුණේ, තම බිරිඳ විභාගයක් සඳහා පාඩම් කරමින් සිට සවස 4 ට පමණ නින්දට ගිය බවත් රාත්‍රී නවයට පමණ අවදි කරවන ලෙස දැනුම් දුන් බවය.

ඒ අනුව රාත්‍රියේ බිරිඳ අවදි කිරීමට ගියද ඇය අවදි නොවීම නිසා අසනීප තත්ත්වයක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේවයට ඇමතුමක් ලබා දුන් බවද ඔහු පොලීසියට ප්‍රකාශ කොට තිබුණි.

ගිලන් රථ සේවයෙහි පැමිණි අය විසින් තම බිරිඳ මියගොස් ඇති බව ප්‍රකාශ කළේ යැයි ද සැකකරු වැඩිදුරටත් පොලීසියට ප්‍රකාශ කොට තිබුණි.

කෙසේවෙතත් පොලීසියට අදාළ මරණය සම්බන්ධයෙන් ඇති වු සැකය මත මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර ඒ අනුව පරීක්ෂණ පවත්වා තිබේ.

අද දින දඹුල්ල රෝහලේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ.එන්.සී. සේනාරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

එහිදී මරණයට හේතුව හිසට සිදුවු බරපතළ හානි හේතුවෙන් ඇති වු අභ්‍යන්තර ලේ වහනය බවට අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් අඹුසැමි යුවළගේ අවුරුදු 5 ක කුඩා දරුවාගේ ඇති සැකකටයුතු හැසිරීම හා දරුවා දැඩි ලෙස බියට පත්ව සිටීම ආදි කරුණු හේතුවෙන් මෙම මරණය පිළිබඳව තව තවත් සැක ඇති වූ බව පොලීසිය පවසයි.

ඒ අනුව සැමියාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සිදුකළ ආකාරය ගැන තොරතුරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


මහනුවර ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ නවතා තිබූ වාහන 6 මතට ඒ අසල තිබූ විශාල ගසක් කඩාවැටීමෙන් අද (15) දහවල් සිදුවූ අනතුර.

+


Hiru TV Salakuna Live | Rohan Samarajiva & Shamindra Ferdinando | Episode 497 | 2025-09-15

+


කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) පැය 09ක ජල කප්පාදුවක්

(16.09.2025 – hirunews.lk)

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

එම නිසා අනිද්දා (18) පෙරවරු 10:00 සිට එදින පස්වරු 07:00 දක්වා පැය 09 ක කාලයක් සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ,වැල්ලම්පිටිය. ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ සඳහායි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ ෴


නි. පොලිස්පති YouTube වීඩියෝවකට එරෙහිව පොලිසි යයි ..

(16.09.2025 – 12:00 +0530 – lankacnews.com)

තමන්ට අපහාස කරමින් සහ කීර්ති නාමයට හානි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවක් සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම වීඩියෝව, කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පදනම් විරහිත සහ ද්වේෂ සහගත තොරතුරු ඇසුරින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා චෝදනා කරයි. අනුරාධපුරයේ හෝටලයක් සහ වෙනත් ප්‍රදේශ කිහිපයක නිවාස හා වෙළෙඳසල් පවත්වාගෙන යන බවට මෙම වීඩියෝව මගින් වැරදි තොරතුරු ප්‍රචාරය කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව මීට පෙරද විවිධ චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, මුදල් වංචා කිරීම සහ කුරුණෑගල මාධ්‍යවේදියෙකුට මරණීය තර්ජන කිරීම වැනි සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවතින බවද සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි ෴


නුදුරේම ලොව මුස්ලිම් ජනගහනය ක්‍රිස්තියානින් ඉක්මවා යයි (16.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *