ඇමෙරිකා ඉහලම ලොක්කෙක් රහසේ ඇවිත්.. ලංකාවට භයානක යෝජනා හතරක් (4).. චීනය, ඉන්දියාව, රුසියාව රටවල් තුනම (3) කිපෙයිලු..

ඇමෙරිකා ඉහලම ලොක්කෙක් රහසේ ඇවිත්.. ලංකාවට භයානක යෝජනා හතරක් (4).. චීනය, ඉන්දියාව, රුසියාව රටවල් තුනම (3) කිපෙයිලු..


ඇමෙරිකා ඉහලම ලොක්කෙක් රහසේ ඇවිත්.. ලංකාවට භයානක යෝජනා හතරක් (4).. චීනය, ඉන්දියාව, රුසියාව රටවල් තුනම (3) කිපෙයිලු..

(03.03.2023 – 14:10 +0530 – lankacnews.com)

පෙබරවාරි 14 දා ලංකාවට රහසිගතව පැමිණි ඇමෙරිකානු දූත පිරිස අතර ඇමෙරිකානු ‘සීඅයිඒ’ සංවිධානයේ ප්‍රධානී ‘විලියම් බර්න්ස්’ ද සිටි බවට නොනිල තොරතුරු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (03) ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

සීඅයිඒ ලොක්කා ලංකාවට රහසින් ඇවිත්

පෙබරවාරි 14 දා ‘ග්ලෝබ් මාස්ටර්’ ගුවන් යානා දෙකකින් (2) ලංකාවට රහසිගතව පැමිණි ඇමෙරිකානු අමුත්තන් කවුදැයි තවමත් අබිරහසක්. ඒ අය ආගමන විගමන හෝ රේගු නිලධාරින්ගේ පරික්ෂාවට ලක් වෙන්නේ නෑ. ලංකාවට ඇතුළු වුණු බවට ගමන් බලපත්‍රවල සටහන් කරන්නේ නෑ. රට ඇතුලට එන්නේ ඇමතිවරයෙකුටත් යෑමට වරම් නැති සුවිශේෂ ප්‍රභූ පර්යන්තය හරහා. කොළඹ කරා ඔවුන් පැමිණෙන විට ඉතිහාසයේ කවදාවත් නැති විධියට අධිවේගි මාර්ගය අන් අයට වසා දමනවා. එහෙම පැමිණෙන මේ දූත පිරිස පැය විසි හතරක් (24) වත් ලංකාවේ ඉන්නෙත් නෑ. රාජ්‍ය නායකයෙකුටවත් නොලැබෙන වරප්‍රසාද සහිතව ලංකාවට ආවේ කවුදැයි අදටත් අබිරහසක්. මේ අය කවුදැයි කියන්න ලංකාණ්ඩුවවත් ඇමෙරිකානු තානාපති කාර්යාලයවත් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් අපට තිබෙන නොනිල තොරතුරු අනුව එදා රහසේ ලංකාවට ඇවිත් තිබෙන්නේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවය වන සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා විලියම් බර්න්ස්.

ඇමෙරිකාවෙන් ලංකාවට භයානක යෝජනා හතරක් (4)

පැමිණියේ කවුද කියන එකටත් වඩා වැදගත් වන්නේ ආවේ කුමකටද කියන එකයි. මේ දූත පිරිස ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානි හමු වී තිබෙනවා. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන භයානක යෝජනා හතරක් (4) ඉදිරිපත් කර තිබෙනවා. පළමු (1) යෝජනාව වන්නේ ලංකාවට ලැබෙන බුද්ධි තොරතුරු සියල්ලම ඇමෙරිකාව සමග බෙදා ගන්නා බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි. ඇමෙරිකාව වගේ බෙදුම්වාදින්ට හිතවත් රටවලට නායකත්වය දෙන රටකට අපට ලැබෙන බුද්ධි තොරතුරු ලබා දීම ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමක්. මේක වසර විස්සකට (20) වඩා පැරණි යෝජනාවක්. 2002 දී වත්මන් ජනාධිපතිතුමා අගමැති තනතුරේ සිටිය දී මෙම ව්‍යාපෘතිය පටන් ගන්නේ සීඅයිඒ සංවිධානයෙන් ලංකාවට ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස ආචාර්ය ‘ටොම් බ්‍රමන්’ එවීමෙන්. අපේ ආරක්ෂක ප්‍රධානින්ගේ දැවැන්ත විරෝධය තිබුණත් ව්‍යාපෘතිය ඉදිරියට යනවා. ඒ අතරේ ආණ්ඩුව පෙරලීමෙන් තමයි මෙම ව්‍යාපෘතිය නවතින්නේ.

ඇමෙරිකාවේ දෙවන (2) යෝජනාව තමයි ඔවුන්ගේ Biometric Immigration Control System ජීවදත්ත ආගමන පාලන පද්ධතියක් තෑග්ගක් ලෙස ලංකාවේ ගුවන් තොටුපොල වලට ලබා දීම. නමුත් ඒ දත්ත බැංකුවට ඇමෙරිකාවට ප්‍රවේශ අයිතිය දෙන්න ඕනේ. ඒ අනුව ලංකාවට එන යන සියළුම දෙනාගේ ඇඟිලි සලකුණු ඇසේ සලකුණු සහ හිසකෙස් රටාව කියන අතිශයින්ම සුවිශේෂී දත්ත ඇමෙරිකාවට ලැබෙනවා.

මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ගියොත් චීනය ඉන්දියාව සහ රුසියාව අපත් සමග අමනාප වෙන්න පුලුවන්. ඒ වගේම අපට වැඩියෙන්ම සංචාරකයින් එන ආයෝජකයින් එන රටවල් තුනක් (3) තම පුරවැසියන් ලංකාවට එවීමට අකැමැති වුණොත් එය විදේශ විනිමය අර්බූදය උග්‍ර කරවන්නක්.

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් වගේම දත්ත හුවමාරුව සිදු වන්නේ මුහුදු යටින් දුවන විදුලි සංදේශ රැහැනක් නැතිනම් Submarine Telecommunication Cable හරහා. මේ රැහැනේ යන දත්ත ලබා ගන්න දුරකතන ඇමතුම් වලට රහසේ සවන් දෙන්න අවශ්‍ය පහසුකම් ඉල්ලා තිබෙනවා. ඒ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ලංකාවට ඇති ත්‍රස්ත තර්ජන පිලිබඳ කල් තියා අනතුරු ඇඟවීමේ වගකීම ඇමෙරිකාව භාර ගන්නවාලු. 2001 දී ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකාවට එල්ල වීම පිලිබඳ මෙලෝ හසරක තොරතුරක් කලින් ලබා ගන්න බැරි වුණු සීඅයිඒ සංවිධානය ලංකාවට ඇති ත්‍රස්තවාදි අනතුරු පිලිබඳ කලින් දැනුම් දීමේ වගකීම භාර ගැනීම මේ වසරේ ලොකුම විහිළුව බවට පත් වෙන්න පුලුවන්.

ඇමෙරිකාවේ සිව්වන (4) යෝජනාව තමයි 2017 දී රනිල් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් අත්සන් කරන්න හැදූ අපේ මැදිහත්වීමෙන් හකුලා ගන්න සිදුවුණු ‘සෝෆා’ ගිවිසුම Status of Forces Agreement අත්සන් කිරීමයි. මේ සම්බන්ධයෙන් නම් ජනාධිපතිතුමා ස්ථිර වචනයක් ලබා දීලා නෑ කියලායි අපට ආරංචි. නමුත් ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න පොරොන්දු වුණාලු. මොකද 2017 කරන්න ගිහිල්ලා වින්ද දුක් ගැහැට එතුමාට සිහිපත් වෙන්න ඇති.

ඇමෙරිකා එක්සත් ජනපදය හැමදාමත් අපේ සතුරන්ගේ පිලේ සිට ගත් අපේ ඓතිහාසික සතුරෙක්. එවැනි රටකට අතිශයින්ම සංවේදි බුද්ධි තොරතුරු ලබා දීම වගේම ලංකාවට එන යන පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබා දීම ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක හෙලීමක්. ලංකාවට පැනමාවේ ඛේදනීය ඉරණම අත් කරදීමට අඩිතාලම යෙදීමක්.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය ‍
පැෆරල් සංවිධානය කියනවා මැතිවරණය සඳහා මේ වන විට අති විශාල මුදලක් වියදම් කර තියෙනවා කියලා. එහෙමනම් දැන් මැතිවරණ නොපැවැත්වීම හරහා එම මුදල් නාස්තියක් වෙනවා නේද ?

පිළිතුර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව රටේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. මුදල් නාස්තියක් වෙනවා නම් එහි වගකීම වෙන කවුරුවත් නෙවෙයි රටේ ජනාධිපතිවරයා බාරගත යුතුයි. මුදල් ලබාදෙන මුදල් අමාත්‍ය ධූරය තිබෙන්නෙත් ජනාධිපතිවරයා අතේ.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් දෙහිවල ආසන සංවිධායක අජන්ත ද සිල්වා යන මහත්වරුන්ද එක් විය.

+

+

++++++++++++++++

CIA ලොක්කා ලංකාවට රහසේම ඇවිත් ගිහින්..? ඇමරිකානු යුධ කඳවුරක් ත්‍රිකුණාමලයේ…?

(03.03.2023 – 11:20 +0530 – lankacnews.com)

පසුගිය පෙබරවාරි 14 වැනි දා ගුවන් තොටුපලට දැඩි ආරක්ෂාවක් යොදමින්, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය ජනතාවට තහනම් කරමින් ලංකාවට පැමිණියේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ (CIA) ප්‍රධානියා දැයි ‘උත්තර ලංකා සභාගයේ’ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර ජී. වීරසිංහ මහතා විමසයි.

ඒ මහතා මෙසේ ප්‍රශ්න කළේ බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වීරසිංහ මහතා මෙසේද සඳහන් කළේය :

“පහුගිය 26 වැනිදා කොළඹ නගරයේ පැවැත්වුණු, නිර්ධය ලෙස මර්දනය කරනු ලැබූ විරෝධතා ව්‍යාපාරයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා මිය ගියා. මුලින්ම අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා උත්තර ලංකා සභාගය හැටියට ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ පවුලේ ඥාතීන්ටත්, ජාතික ජන බලවේගයටත් උත්තර ලංකා සභාගයේ සංවේගය ප්‍රකාශ කරන්න. ඒ වගේම ආණ්ඩුව ගෙනියන මේ මර්දනකාරී පිළිවෙත පරාජය කරන්නට සියලු ප්‍රජාතන්ත‍්‍රවාදී බලවේග එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය නැවත නැවතත් ‘උත්තර ලංකා සභාගය’ විසින් මේ අවස්ථාවේදී අවධාරණය කරනවා.

නූලන්ඩ්ගේ ආගමනය

අපි දැක්කා මෑත කාලය තුළ විවිධ මට්ටම්වල ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් නිතර නිතර මේ රටට එන යන බවක්. අපි දැක්කා පහුගිය 2021 අවුරුද්ද අවසාන හරියේ ‘යුගදනවි බලාගාරය’, කෙරවලපිටිය තියෙන යුගදනවි බලාගාරයට ද්‍රව වායුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ අවස්ථාවේ මේකට බලහත්කාරයෙන් වගේ ඇතුල් කරනවා ඇමරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ නැමැති සමාගමක්. ඊට පස්සේ දිගින් දිගටම අපිට පේනවා ඇමරිකානු මැදිහත්වීම අපේ රටේ විදුලිබල හා බලශක්ති කේෂ්ත්‍රයට. ඒ වගේම ‘වික්ටෝරියා නුලන්ඩ්’ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය, ලංකාවට ආවා ජනවාරි මාසයේ අන්තිම හරියේ. වික්ටෝරියා නූලන්ඩ් කියන්නේ ඉතාමත්ම කුප්‍රසිද්ධ කාන්තාවක්. මොකද ඇයගේ මැදිහත්වීමෙන් ලෝකයේ බොහෝ රටවල යම් යම් දේවල් සිදුවුණා. මෑත කාලීනව හොඳම උදාහරණය තමයි ඇයගේ මැදිහත්වීමෙන් යුක්රේනයේ ඇති කරපු තත්ත්වය. ‘මයිඩාන් කුමන්ත්‍රණය’ නිසා ඇතිවූ සිදුවීම් මාලාව. ඊට පසුව යුක්රේනයේ රාජ්‍ය බලය වෙනස් කිරීම. රාජ්‍ය බලය වෙනස් කරලා අද රුසියාව සමග ගැටුම්කාරී තත්වයකට ගෙන එන්න බලපාපු තත්ත්වය සහ අද ගැටුම පවා ඒකේ තීව්‍රතාවය පවත්වා ගෙන යන්නට කෙලින්ම මැදිහත් වුණු ඇමරිකානු යුදකාමී මුහුණුවර. එහෙම නැත්නම් ඇමරිකානු මිලිටරි කර්මාන්ත සංකීර්ණයේ නියෝජිතවරිය තමයි වික්ටෝරියා නූලන්ඩ්.

රහස් ගමන

ඒ මහත්මිය ඇවිල්ලා ගියා පහුගිය ජනවාරි මාසයේ. ඊට සුමාන දෙකකට (2) පස්සේ ලංකාවේ තව අපූරු සිදුවීමක් වෙනවා. ‘ජෙඩීටර් රෝයල්’ කියලා මහත්මයෙක් ඔහු නැවත වතාවක් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂක කටයුතු පිළිබඳව ප්‍රථම සහකාර ලේකම්වරයෙක් විදියට ක්‍රියා කරන පුද්ගලයා මොහු ලංකාවට එනවා පෙබරවාරි මාසේ 14 වැනිදා රාත්‍රියේ. එන්න කලින් දවස් තුනක් 12, 13, 14 දවස් තුන (3) කටුනායක ගුවන්තොටුපල දැඩි ආරක්ෂාවක් යොදවලා, ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා මේ පුද්ගලයා එනවා ගුවන් යානා දෙකකින් (2). ඒවා සිවිල් ගුවන් යානා නෙවෙයි. ඒවා ආවට පස්සේ ඔහු ඇතුළු කණ්ඩායම සාමාන්‍ය මිනිස්සු එන විශේෂ අමුත්තන් පවා එන ආගමන විගමන මාර්ග ඔස්සේ එන්නේ නැතිව ගුවන් යානයෙන් එළියට අරගෙන අති විශේෂ අමුත්තන්ගේ පිටවීමේ දොරටුවෙන් ඔවුන් පිට කරගෙන, අධිවේගි මාර්ගය වහගෙන කොළඹට එනවා. ඇවිල්ලා ඔවුන් සාකච්ඡා කිහිපයක් පවත්වලා පසුව රටින් පිට වෙනවා. මෙතැන ප්‍රශ්න කීපයක් තියෙනවා. එක, ඔවුන්ට මේ ආගමන විගමන නීතිරීති මුකුත් බලපෑවේ නෑ. රටට ඇතුල් වෙනවා. ඊළඟට ගුවන්තොටුපලේ අති විශේෂ අමුත්තන්ගේ පිටවීමේ දොරටුවෙන් පිටත් වෙනවා. අධිවේගී මාර්ගය වහලා මේ රටට එනවා. සාකච්ඡාවෙන් පස්සේ පිටවෙලා යනවා.

අවසර කොහෙන්ද?

දැන් මේකෙන් ප්‍රශ්න ගොඩක් ඉතුරු කරනවා. මේකේ පළමුවෙනි (1) ප්‍රශ්නය, මේ පිරිසට මෙහෙම රටට ඇතුල් වෙන්න දින කීපයක ඉඳලා මෙහෙම විශාල ආරක්ෂක වැඩපිළිවෙළක් කටුනායක යොදන්න හේතුව කුමක්ද? දෙක (2), ඔවුන්ට ආගමන විගමන නීති රීතීන් බලපාන් නැතුව ගුවන් යානයෙන් එළියට අරගෙන අති විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් එළියට ආවාද? එහෙම ගත්තා නම් ඒ ඇයි? ඊළඟ ප්‍රශ්නය තමයි අධිවේගී මාර්ගය වහගෙනද මෙයාලා කොළඹට ආවේ? එහෙම ආවේ ඇයි? අධිවේගී මාර්ගය වහගෙන මේ රටට එන්න තරම් මොකක්ද ඒ තිබිච්ච තත්ත්වය? ඒ වගේම ඔවුන් සාකච්ඡා පැවැත්වූවේ මේ රටේ කවුරුන් සමගද? කළ සාකච්ඡා මොනවාද? සාකච්ඡාවට බදුන් වු කාරණා මොනවාද? ඔවුන් යම් එකඟතාවලට ගිවිසුම්වලට ආවාද? ආවනම් ඒ මොනවාද? මේ සංචාරය පිළිබඳව මේ සිදුවෙච්ච සාකච්ඡා පිළිබඳව මේ රටේ ජනතාව කරුණු දැනගත යුතු නැත්ද? මේ මහා විනිවිදභාවය ගැන ප්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශාල වශයෙන් කතා කරන ඇමරිකානු එක්සත් ජනපදය ඔවුන් මේ රටට ඇවිල්ලා මේ කරන කටයුතු ඒ රටේ ජනතාවටවත් දැනගන්න සලස්වන්නේ නැද්ද? ඔවුන් කතා කරන ඒ මහා ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය ආදී කතන්දර පුස්සක් බවට පත්වෙනවා නේද?

‘සෝෆා’ ගිවිසුම?

වීසා නැතුව ඇමරිකානු යුද හමුදාවලට රටට ඇතුල් වෙන්න අවසර දෙන වැඩපිළිවෙලක් තිබුණා ඒක තමයි අර ‘සෝෆා’ ගිවිසුම. ඒ ගිවිසුමට අත්සන් කරන්න හදද්දි විශාල විරෝධයක් ඇවිල්ලා ඒක අත්සන් කරන්න බැරි වුණා. ඒ ගිවිසුම හරහා ඕන වෙලාවක රටට එන්න අවි ආයුධ ගේන්න ගිවිසුමට අනුව පුළුවන්. ඒ ගිවිසුම අපි දන්න තරමට තාමත් අත්සන් කරලා නෑ වගේ රටට කියන්නේ. හැබැයි ඒ ගිවිසුමෙන් දෙන්නට නියමිත වරප්‍රසාද දැනටමත් ඇමරිකානු හමුදාවන් භුක්ති විඳින බවක් තමයි අපිට මේ සංචාරයෙන් පේන්නේ. එහෙම ගියාම අපිට හිතෙනවා මේ සෝෆා ගිවිසුමට ආණ්ඩුව රටට කියන්නෙත් නැතුව එළඹිලාද කියලා. මේ සියලුම දේවල් අතර අතිශයින්ම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි ‘ජේඩීටර් රෝයල්’ගේ මූලිකත්වයෙන් ආපු මේ කණ්ඩායම ඇතුලේ ඇමරිකාවේ CIA ආයතනයේ අධ්‍යක්ෂක ‘විලියම් බර්න්ස්’ හිටියද නැද්ද ප්‍රශ්නය. අපි අහන්නේ අද ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කරමින් ඉන්නවා මේ විලියම් බර්න්ස් – ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය – අපි කවුරුත් දන්න CIA ආයතනය – මේ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් තවත් රටකට යන්න තිබුණා. මාධ්‍ය වාර්තා කරනවා, ලංකාවට ඇවිල්ලා තමයි පෙබරවාරි මාසයේ 15 වැනිදා මේ නේපාලයට යන්න නියමිතව සිටියේ කියලා.

ත්‍රිකුණාමල වරාය

එහෙම නම් අපිට සැකයක් මතු වෙනවා ජේඩීටර් රෝයල්ගේ මේ කණ්ඩායම ඇතුලේ හිටපු ලොක්කා ඇත්තටම CIA ආයතනයේ අධ්‍යක්ෂකවරයාද? කරුණාකරලා මේක මේ රටට කියන්න. ඊළඟට ඒගොල්ලන්ට මොනවද අවශ්‍ය මේ රටෙන් කරගන්න. අපි අහන ප්‍රශ්නය තමයි ත්‍රිකුණාමලේ වරායේ යුද කඳවුරක් බිහි කිරීමද ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ? ඉන්දියානු සාගරයේ තියෙනවා යුද කඳවුරක් ‘ඩියෝගාෂියා’ කියලා ඇමරිකාවේ. මේ කඳවුරෙන් ඉවත් වන්න කියලා ජාත්‍යන්තර අධිකරණයකින් ඇමරිකාවට නියෝග කරලා තියෙනවා දැන් අවුරුද්දකට කලින්. ඒක නිසා මොවුන් දැන් සුදුසු ස්ථානයක් ඇමරිකානු හමුදා ස්ථානගත කිරීම සඳහා සොයමින් ඉන්නවා. මේකට මේ ඉන්දියානු සාගරයේ ත්‍රිකුණාමල වරාය තරම් ගැලපෙන තවත් තැනක් නෑ.

ඒක නිසා අපි මේ රටට ප්‍රකාශ කරනවා ඇමරිකාව ත්‍රිකුණාමලයේ යුධ කඳවුරක් පිහිටුවීමට ක්‍රියා කරමින් ඉන්නවා කියලා. ඒක මේ රටේ ජනතාව දැනගත යුතුයි. ඒක නිසා මේ රටේ ඇමරිකානු යුද කඳවුරු ඉදිකිරීමට ඉඩදෙන්න බැහැ. ‘උත්තර ලංකා සභාගයේ’ අපි කිසිසේත් ඇමරිකාවට යුද කඳවුරු පිහිටුවන්න මේ රටේ ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ අරගලයට මේ රටේ ජනතාව එක්විය යුතුයි කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරනවා. මේක තමයි අපේ නිදහස් සටන. ඇමරිකාවට අපේ රට යටත්කර ගන්නට දෙන්නට බෑ. යටත් විජිතයක් බවට පත් කරගන්නට දෙන්න බැහැ.

ත්‍රිකුණාමලය යුද කඳවුරක් පිහිටුවීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ‘උත්තර ලංකා සභාගයේ’ අපිට විතරද? ‘ජාතික ජන බලවේගය’ට, ‘සමගි ජන බලවේගය’ට මේක ප්‍රශ්නයක් නොවේද? අන්න ඒ ප්‍රශ්නය අවසාන වශයෙන් නැවත වතාවක් මතු කරමින් ඔවුන් කෙසේ ක්‍රියා කළත් ‘ලංකාවේ ඇමරිකානු යුද කඳවුරක් පිහිටුවීමට අපි ඉඩ දෙන්නේ නැහැ’ කියන දේ ප්‍රකාශ කරමින් අන්න ඒ අරගලය වටා එකතු වෙන්න කියලා මේ රටේ සමස්ත අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී, ප්‍රගතිශීලී, වාමවාදී බලවේගයන්ට ආයාචනය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය ෴

++++++++++

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *