විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?


විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

(14.01.2023 – 20:47 +0530 – sinhala.adaderana.lk)

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500 ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි.

මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ කරමින් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

එම විරෝධතාවට මනම්පිටිය වැලි සමාගමට අයත් වැලි ටිපර් රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයින් පිරිසක් එක් සිටී.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, වත්මන් පරිසර අමාත්‍ය ‘නසීර් අහමඩ්’ නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත් ඉංජිනේරුවරයෙකු පොළොන්නරුව කාර්යාලයට අනියුක්ත කර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වැලි ජාවාරම් සිදු කිරීම මෙහි යටි අරමුණ වී ඇති බවය.

එහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවෙක්,

“දේශපාලන බලපෑමක් නිසා තමයි මාරු කරලා තියෙන්නේ. මොකද ඒ මිනිස්සුන්ට මංකඩ ගන්න තියෙනවා අලුතින් දේශපාලනඥයින්ට කඩේ යන අයට. ඒ හින්දා තමයි ඒ මහත්තයා මාරු කරලා වෙන මහත්තයෙක්ව ඒ ගොල්ලන්ට ඕනේ විදියට දාගෙන තියෙන්නේ.”

කෙසේවෙතත් මඩකලපුව කැනීම් ඉංජිනේරුවරයා පොළොන්නරුවට අනුයුක්ත කළහොත් දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතුවලින් ඉවත් වන බව ටිපර් රථ රියදුරන් පවසයි.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ අසේල ප්‍රනාන්දු මහතා තම ආයතනයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ, පැහැදිලි හේතුවක් නොදක්වා සේවා අවශ්‍යතාවය මත බව පවසමින් කරනු ලබන මෙවැනි හදිසි මාරුවීම් තුළින් ඉංජිනේරුවරු දැඩි කලකිරීමකට පත් විය හැකි අතර කාර්යාංශය හැර යාමට එය හේතුවක් විය හැකි බවය.

ඒ අනුව, අදාළ ස්ථාන මාරුවීම් දෙක (2) අවලංගු කරන ලෙස අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා සිටී.

තම ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් පොළොන්නරුව ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, සේවා අවශ්‍යතාවක් නොමැති පසුබිමක ස්ථාන මාරුව ක්‍රියාත්මක වන්නේ නම් තමන් 2023-01-17 වන දින සේවයෙන් ඉවත් වන බවය.

+


බඩඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹු උවදුරට විසඳුමක් – අමාත්‍යංශ අනුමැතිය ලබාදීමට තීරණයක්

(14.01.2023 – 14:01 +0530 – sinhala.adaderana.lk)

බඩඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹු උවදුර මර්දනය සඳහා දේශීය ආයතනයක් විසින් සාර්ථක ජෛව කෘමිනාශකයක් නිෂ්පාදනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

‘සාරභූමි ලංකා බයෝප්‍රඩක්ට්’ ආයතනයේ සේවය කරන තරුණ ජීව විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගෙන තිබේ.

ඊයේ (13) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට මෙම නිෂ්පාදනය පිළිබඳ තොරතුරු සහිත වාර්තාවක් ඉදිරිපත් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම නිෂ්පාදනය මුළුමනින්ම පරිසර හිතකාමී වන අතර බඩඉරිඟු අක්කරයක් සඳහා මෙම කෘමිනාශකය යෙදීමට වැය යන්නේ රුපියල් 5,000 ක් බවය.

මෙය අත්හදාබැලීමේ නියැඳියක් ලෙස තිරප්පනේ ප්‍රදේශයේ බඩඉරිඟු වගාවකට යොදා තිබෙන අතර ඉන් සේනා දළඹුවා සියයට සියයක්ම විනාශ වී ඇත.

ඒ අනුව, සේනා දළඹු හානිය පවතින වගාවන්ට මෙම නිෂ්පාදනය යෙදීම සඳහා අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ අතර වී වගා කර ඇති ගොවිජනපද බොහෝමයක ගොයම් ගස් කහ පැහැගැන්වෙන ‘නෙමටෝඩා’ හෙවත් ‘මූල ගැටිති වටපණු රෝගය’ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු ව ඇත.

මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර පරික්ෂා කිරීම්වලදී කොම්පෝස්ට් පොහොර සාම්පලවල තිබි ‘නෙමටෝඩා’ හෙවත් ‘මූල ගැටිති වටපණු රෝගය’ බහුල වශයෙන් පවතින බවට තහවුරු වී තිබේ.

රසායනික පොහොර තහනම් කරනු ලැබිමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මගින් ගොවි ජනතාව වෙත බෙදාහැරීමට කටයුතු කිරීමේදී විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කර ඇති ද යන්න පිළිබඳ සැකයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම ‘මූල ගැටිති වටපණු රෝගය’ මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

+


+

+


රුපියල් කෝටි 10 ක වන්දිය ගෙවන්න මට කොහෙත්ම ආර්ථිකයක් නෑ – මෛත්‍රීපාල සිරිසේන

(15.01.2023 – 18:00 +0530 – sinhala.adaderana.lk)

පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු ඒ අදහස් පළ කළේ අද (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

+


යාපනය උණුසුම් – විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර

(15.01.2023 – 15:34 +0530 – sinhala.adaderana.lk)

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, යාපනය විශ්වවිද්‍යාලයේ සිට පාගමින් විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලීසිය විසින් අරසඩි හන්දිය ප්‍රදේශයේ දී විරෝධතාවය නවත්වා ඇති බවය.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර ද එල්ල කර තිබේ.

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද (15) යාපනයට ගොස් සිටී.

+


සායනික අපද්‍රව්‍ය වළ දැමීමට ගිය අනුරාධපුර රෝහලේ සේවකයින් 26 දෙනෙක් විෂ වායුවක් අඝ්‍රාණය වී රෝහලේ

(15.01.2023 – 12:06 +0530 – mawbima.lk)

අනුරාධපුර ශික්ෂණ රෝහල් භුමියේ ගොඩගැසී ඇති සායනික අපද්‍රව්‍ය වළ දැමීමට යාමේදී ඊයේ (ජන. 14) පෙරවරුවේ විෂ වායුවක් අඝ්‍රාණය වීමෙන් ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් එම රෝහලේ පෞද්ගලික පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවන් 26 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඉන් 17 දෙනෙකු ඊයේ (14) සවස් වනවිට සුව අතට හැරි තිබු අතර රෝගීවූ කාන්තාවන් 9 දෙනෙක් අද (ජන. 15) පෙරවරු කාලය වනවිට ත් ප්‍රතිකාර ලබමින් සිටියහ.

එම රෝහලේ දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,500 ක පමණ ප්‍රමාණයක් එක්වන අතර ඒවා දහනය කරනු ලබන යන්ත්‍රය ක්‍රියාත්මක කරවීමට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොලැබීම නිසා කලක සිට එම සායනික අපද්‍රව්‍ය මෙලෙස ගොඩ ගැසී ඇති බව එහි සේවකයෝ පවසති.

ඒ අනුව, රෝහල් පාලනාධිකාරියේ බල කිරීම මත බැකෝ යන්ත්‍රයක් මගින් විශාල වළක් කපා පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවන් 113 දෙනෙකු යොදා ගනිමින් එම රෝහල් භුමියේ ගොඩ ගැසී තිබෙන සායනික අපද්‍රව්‍ය වලදැමීම සඳහා කසල තෝරා වෙන් කිරීමේ කටයුතු කරමින් සිටියදී කසල තුළින් හැමූ දුර්ගන්ධයක් සමග ඔවුන්ගෙන් පිරිසකට එම විෂ වායුව අඝ්‍රාණය වී තිබේ.

එහිදී රෝගාතුර වී සිහිසුන්ව තැන තැන ඇද වැටුණු පවිත්‍රතා සේවක සේවිකාවන් 26 දෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගනු ලැබ තිබිණි.

මේ පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහල පිටුපස පදිංචිව සිටින ජනතාවගෙන් ද දැඩි විරෝධයක් එල්ල වෙමින් පවති.

රෝහලෙන් බැහැර කරන සායනික අපද්‍රව්‍ය මුසුවූ අප ජලය අනුරාධපුර නගරයේ පිහිටි පොන්නාරම්කුලම වැවට මුසු වී අනතුරුව ඇළ මාර්ගයක් ඔස්සේ මල්වතු ඔයට ගලා බසී.

අනතුරුව එම ජලය අනුරාධපුර පුජා නගරය හරහා මල්වතුඔය ඔස්සේ තන්තිරිමලේටත් ඉන්පසු මන්නාරම යෝධ වැවට ත් පසුව මුරුක්කන් හරහා මහ මුහුදට ත් එකතු වේ.

මේ පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර කියා සිටියේ, රෝහල් භුමියේ ගොඩ ගැසී තිබූ දිරාපත්ව ඇති කසළ තෝරා වෙන් කර වළ දැමීමට උත්සහ කිරීමේදී ඇමෝනියා වායුව අඝ්‍රාණය වීම නිසා ඇතිවූ ආසාත්මිකතාව නිසා රෝගාතුර වූ සියලු දෙනා ම මේ වන විට සුවය ලබා ඇති බව ය.

එම කසළ රෝහල් භුමියේ වළ දැමීමට කිසිවෙකුගේ අවසරයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ත් හෙතෙම පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහල භුමියේ අවිධිමත් ලෙස ගොඩ ගසා තිබෙන සායනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීමට එරෙහිව රෝහල් පාලනාධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ පැවසීය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *