ශ්‍රී ලංකාවට තවත් ලෝක ශ්‍රේණිගත කිරීමක ඉහළ ස්ථානයක්

ශ්‍රී ලංකාවට තවත් ලෝක ශ්‍රේණිගත කිරීමක ඉහළ ස්ථානයක්

*********************************************

ශ්‍රී ලංකාවට තවත් ලෝක ශ්‍රේණිගත කිරීමක ඉහළ ස්ථානයක්

(29.03.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ලොව වාර්තාගත උද්ධමනයක් ඇති රටවල් අතරින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ස්ටීව් හෑන්ක් ඔහුගේ නවතම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරමින් සඳහන් කරනවා.

සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන ස්ටීව් හෑන්ක් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින ජවන උද්ධමන වේගය ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට බලපෑම් කරන බවයි.

මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව සිදු කළ යුතු ප්‍රමුඛ කාර්යය ලෙස ඔහු නැවත වතාවක් අවධාරණය කරන්නේ, මුදල් මණ්ඩල මූල්‍ය පරිපාලන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව යොමුවිය යුතු බවට යි.

වර්ෂ 1884 සිට 1950 දක්වා එම ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ බවත් ඒ හරහා අතිශය සාර්ථක ප්‍රතිඵල මෙරට ආර්ථිකය විසින් නෙළා ගත් බවත් ඔහු සඳහන් කරනවා.

ස්ටීව් හෑන්ක් ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ ලොව වැඩිම උද්ධමන වේගයක් ඇති ලයිස්තුවේ 6 වන ස්ථානයේයි.

මෙම ලැයිස්තුවේ පළමු වන ස්ථානයේ වෙනුසුවේලාව පසු වන අතර ස්ටීව් හෑන්ක්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව එහි උද්ධමන වේගය 146% ක්.

දෙවන ස්ථානය සිම්බාබ්වේ රජය පසුවන අතර එහි උද්ධමන වේගය දැක්වෙන්නේ 134% ක් ලෙසින්.

ලෙබනනය මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන අතර එහි උද්ධමන වේගය 117% ක්.

පිළිවෙලින් තුර්කිය සහ සුඩානය මම ශ්‍රේණිගත කිරීමේ හතරවන සහ පස්වන ස්ථානවල පසු වන අතර 6 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය සටහන් වන්නේ 55% ක් ලෙසින්.

මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ස්ටීව් හෑන්ක් අවසාන වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ 2022 වසරේ ජනවාරියේ දී මෙරට භාණ්ඩ හා සේවාවන් සඳහා පැවති මිල ගනන්.

මේ අතර මෙම ලැයිස්තුවේ ඒ ඒ රටවලට අදාළ මහ බැංකු හරහා නිකුත් කරන නිල උද්ධමන වේගයන්ද සටහන් කර ඇති අතර පසුගිය ජනවාරියේදී ස්ටීව් හෑන්ක් ගේ නිගමනයන් මෙරට උද්ධමනය වේගය 55% ක් වෙද්දී ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවන්හි එම අගය සටහන් කර ඇත්තේ 14.5% ක් ලෙසින් වීමත් විශේෂත්වයක්.

මීට අමතරව යුක්‍රේනය සමග යුධ ගැටුමකට මැදි වූ රුසියාව මෙම ලැයිස්තුවේ ශ්‍රේණි ගත කිරීම් වල පහළ පැමිණ ඇති අතර ඔවුන් රැඳී සිටින්නේ අටවන (8) ස්ථානයේ යි.

රුසියාවේ උද්ධමන වේගය දැක්වෙන්නේ 44% ක් ලෙසින්.

***************************************

මාතලේ ගොවීන්ගේ තීරණය

(29.03.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අස්වැන්න අඩුවීම නිසා වෙළදපළට වී අලෙවි නොකිරීමට මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි සංවිධාන තීරණය කර තිබෙනවා.

ඔවුන් චෝදනා කරන්නේ පොහොර හිඟය හේතුවෙන් මෙවර වී අස්වැන්න අඩු වී ඇති බවයි ෴

***************************************

කොළඹ වරාය නගරයේ ආයෝජන ගැන කැබිනට් තීන්දුවක්

(29.03.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

2021 අංක 11 දරණ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන පරිදි විදේශ විනිමය පනත ඇතුළු ව දැනට මෙරට තුළ ක්‍රියාත්මක වන නීතිවලින් නිදහස් කිරීම හෝ දිරිගැන්වීම නිශ්චය කොට,ප්‍රදානය කිරීම සඳහා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට බලය පැවරී තිබෙනවා.

එකී කොමිෂන් සභාව විසින් අවශ්‍ය රීති හා නියෝග නිකුත් කරන / ප්‍රකාශයට පත් කරනු ලබන තෙක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ බල ප්‍රදේශය තුළ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා ම වෙන් වූ යාන්ත්‍රණයක් හඳුන්වා දෙමින් විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි අවශ්‍ය රෙගුලාසි හා විධාන නිකුත් කරන ලෙස එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලට විසින් අනුමත කරනු ලැබුවා.

ඒ අනුව 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 7 (1) හි විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමටත්, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා ෴

***************************************

පාඨලීගේ පෙත්සම අධිකරණය ඉවතලයි

(29.03.2022 – 14:27 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අද (29) පස්වරුවේ දී එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් අදාළ නඩු විමසීම් කොළඹ මහාධිකරණයේ දී පැවැත්වුණා.

රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට (3) එරෙහිව පවරා ඇති නඩුවේ ජනවාරි 11 වැනි දිනට නියමිත සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාඨලි චම්පික රණවක කළ ඉල්ලීම ද අභියාචනාධිකරණය ජනවාරි 10 වැනි දින දී ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති එම නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස හා එම නඩුව අවලංගු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ගොනු කර තිබූ අභියාචනා පෙත්සම එදින සලකා බැලුනේ, මේනකා විජේසුන්දර හා එස්. කුමාරත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේදීයි.

එහිදී පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා අධිකරණයෙන් එම ඉල්ලීම කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වයක් දැක්වූවා.

එම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයාට මෙන්ම අනෙකුත් විත්තිකරුවන් දෙදෙනාට (2) නොතීසි නිකුත් කරනා ලෙසට ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර එයට ද විරුද්ධත්වය දැක්වූ දිලීප පීරිස් මහතා එම ඉල්ලීමට අවසර ලබා නොදෙන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

2016.02.28 වැනිදා රාත්‍රී රාජගිරිය ප්‍රදේශයේ දී සම්පත් ගුණවර්ධන නමැති යතුරුපැදිකරු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පවරනු ලබන නඩු කටයුත්තක දී පාවිච්චි කිරීමේ අරමුණින් අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු අධිචෝදනා යටතේ එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලි චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර හා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ චෝදනා පවරා ඇත්තේ.

එලෙස පවරා ඇති නඩු විභාගය අත් හිටුවීමට මන්ත්‍රී පාඨලී යොමුකළ පෙත්සමයි මෙලෙස අද (29) දිනයේ දී කොළඹ අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ෴

***************************************

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වරද පිළිගනී

(29.03.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

බීමතින් රිය පැදවීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අධ්‍යක්ෂවරයා නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1500 ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කොට රියදුරු බලපත්‍රය මුදා හළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පසුගිය 27 වැනිදා ඔහුගේ නිළ රථයෙන් ගමන් ගනිමින් සිටියදී පොලීසිය අත්ඩංගුවට ගෙන තිබුණා ෴

***************************************

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමක යථාර්ථය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

(29.03.2022 – 14:59 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය සමඟ මෑතක දී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පිටතින් සේවය ලබාගැනීමේ දී වාර්ෂික වියදම රුපියල් මිලියන 600 ක් පමණ වන නැව් අලුත්වැඩියාව වෙනුවෙන් ඉන්දියානු රජයෙන් කිසිදු වියදමකින් තොරව පාවෙන තටාකාංගන පහසුකම ලබාදීම සඳහා ක්‍රියාත්මක වූ යෝජනාව 2015 වසරේ සිට ආරම්භ වුවක් ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඩෝනියර් නිරීක්ෂණ යානය මූලික වශයෙන් සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු, පිරික්සුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සහ විවිධ අවස්ථාවන්වල දී අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා යොදා ගැනෙනවා.

ශ්‍රී ලංකාව සතුව මෙම පහසුකම සහ තාක්ෂණය නොමැති හෙයින්, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර සිදු වූ සාර්ථක ද්විපාර්ශ්වික සබඳතාවලින් පසුව, එක් ඩෝනියර් නිරීක්ෂණ යානයක් ගාස්තුවකින් තොරව ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී ඇත්තේ.

ඒ අනුව, එම ගුවන් යානය නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති කාල සීමාව තුළ, එවැනිම ගුවන් යානයක් ඉන්දීය රජය විසින් ලබාදෙනු ලබන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් විසින් එම යානය පියාසර කරනු ලබනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ගුවන් යානා නඩත්තු ශිල්පීන් මේ පිළිබද අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගන්නා තෙක් ඔවුන් පුහුණු කිරීම සඳහා ඉන්දීය පුහුණු කණ්ඩායමක් ද දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිවැයක් කපා හැරීමට හැකිවන අතර, සමුද්‍රීය ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට අමතර දැනුමක් ලැබීමද මෙයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre in Colombo) සඳහා ඉන්දීය රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක් සමඟ එම මධ්‍යස්ථානය පිහිටුවීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

විවිධ වූ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම සඳහා කලාපයේ ක්‍රියාත්මක වන විපතට පත් යාත්‍රා පිරික්සුම් හා ගලවා ගැනීමේ සේවාවන් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සහ ඒවායේ ආරක්ෂාව සහතික කිරීමට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක්.

ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනට අයත් මුහුදු කලාපය තුළ වෙළෙඳ නෞකා සඳහා පිරික්සුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමේ වගකීම දරණ අධිකාරිය වනවා.

ජාත්‍යන්තර සමුද්‍රීය මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නිල නියෝජිත ආයතනය වන වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය විසින් ඉහත කී ශ්‍රී ලංකා සෙවුම් හා පිරික්සුම් කලාපයේ සියලු ම සෙවුම්, පිරික්සුම් හා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇති අතර, සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 1,778,062.24 ක සීමාවක් සඳහා එනම්, ශ්‍රී ලංකා භූමි ප්‍රමාණය මෙන් 27 ගුණයක සීමාවක සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සිදු කිරීමේ වගකීම දරනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි ප්‍රධාන කොටස්කරුවා වන අතර, තවත් සංවිධාන කිහිපයක සහයෝගයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රථමයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2017 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද්දක් බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ, ඉහත කී ගිවිසුම් තුන (3) අත්සන් කිරීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එයට අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙමගින් යටිතල පහසුකම් දියුණුකිරීම සහ සංවර්ධනය සමඟ සබැඳි ආර්ථික සහ ආරක්ෂක වශයෙන් ප්‍රතිලාභ අත්වීම හැර, ස්වෛරී දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක අවදානමක් හෝ තර්ජනයක් ඇති නොවන බව වැඩිදුරටත් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළා ෴

***************************************

වික්ටෝරියා නූලන්ඩ් කොළඹ වරායේ සංචාරයක

(29.03.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් (දේශපාලන) වික්ටෝරියා නූලන්ඩ් කොළඹ වරායේ සංචාරයක නිරත ව තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටියේ, කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නාවික මෙහෙයුම් මැදිරියට පැමිනි ඇය එහි සිට කොළඹ වරාය නිරීක්ෂණය කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය වන ජූලී ජේ චන්ග් ද එක්වුණා.

***************************************

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට කටයුතු කරනවා – ප්‍රසන්න රණතුංග

(29.03.2022 – 15:13 +0530 – hirunews.lk/sinhala)

රක්ෂණ ආවරණ ගැටළුවක් හේතුවෙන් අත් හිටවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ සදහා විකල්ප රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කළ කොළඹ – මොස්කව් සෘජු ගුවන් ගමන් පෙරේදා (28) සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කෙරුණා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා රක්ෂණය කර ඇති බ්‍රිතාන්‍ය ගුවන් සමාගම රුසියාවට ගමන් කරන ශ්‍රී ලංකන් ගුවන් යානා රක්ෂණය අවලංගු කිරිමට ගත් තීරණය ඊට හේතු වුණා.

මෙය ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ තිරණයක් නොවන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර සිදුවීමක් හේතුවෙන් අදාළ ගුවන් සමාගමට මුහුණ පෑමට සිදු වු තත්ත්වයක් බව අවධාරණය කරන ඇමතිවරයා රුසියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අත් හිටුවීම රජයට සිදු වූ බලපෑමක් නිසා සිදු වු බවටත්, රුසියාවට එරෙහිව ගත් තීරණයක් බවටත් පළවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය වරයා කියා සිටියා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව හා රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේ පසුගිය වසරේ ජුලි 31 වනදායි.

සතියකට ගුවන් ගමන් වාර 02 ක් කොළඹ හා මොස්කව් අතර ඒ අනුව ක්‍රියාත්මක කෙරුනා ෴

***************************************

රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය ඇරඹේ

(29.03.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලබාදුන් උපදෙස් අනූව මෙම තීරණය ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමද මෙහි තවත් අරමුණක්.

දැනට දේශීය පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් වීමට නියමිත අතර එතැන් සිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමටයි නියමිතව ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව, වසරකට වාහන ලක්ෂ 05 ක් පමණ මෙරට ලියාපදිංචි කරන අතර අවම වශයෙන් වසරකට වාහන අංක තහඩු ලක්ෂ 10 ක පමණ ඇනවුමක් විදෙස් රටවලට ලබාදෙනවා.

මේ අනුව විදේශයන්ට ඇදීය වසරකට රුපියල් මිලියන 600 ක පමණ මුදලක් මෙරට තුල ඉතිරි වන බවයි රජය පෙන්වා දෙන්නේ ෴

***************************************

ඉන්දීය විදේශ ඇමතිගෙන් ආචාර්ය හර්ෂට මල් මිටක්

(29.03.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවේදී ජයශංකර් පැවසුවේ ඉන්දීය සහයෝගයෙන් ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන්රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බවයි.

ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව පැවසූ ජයශංකර් 1990 සුවසැරිය මෙරට ආරම්භ කිරීමට සිදුකළ කැපවීම වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වාට විශේෂ ස්තුතියක්ද පිරිනැමුවා.

මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා ෴

***************************************

අද (29) දින පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේ දී සියලු ලංසු ඉවත දැමේ

(29.03.2022 – 18:06 +0530 – hirunews.lk/sinhala)

අද (29) දින කැඳවුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ඉදිරිපත් කර තිබුණු සියලු ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කළ බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසනවා.

කල් පිරීමේ කාල සීමාවන් දෙකක් (2) යටතේ රුපියල් මිලියන 45,000 ක වටිනාකමකින් යුත් බැඳුම්කර ප්‍රමාණයක් අද (29) වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණද ලංසු සියල්ල ප්‍රතික්ෂේප වීම හේතුවෙන් එම බැඳුම්කර කිසිවක් පිරිනැමුණේ නැහැ.

මෙහිදී රුපියල් මිලියන 25,000 ක් ඉලක්ක කර ගනිමින් වසර තුනකට (3) එනම් 2025 මාර්තු පහළොස් වන (15) දින කල්පිරෙන පරිදි 10.25% ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ එක් නිකුතුවක් සිදු කෙරුණා.

අනෙක් නිකුතුව සඳහා 2029 මැයි 01 දින කල්පිරෙන අයුරින් 13% ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 20,000 ක බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් මෙහිදී පිළිවෙලින් රුපියල් මිලියන 29,092.00 සහ රුපියල් මිලියන 29,855.00 බැගින් වූ ලංසු ලැබී තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *