මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට තවත් රෝගීන් 49 ක් – ගල්කිස්ස, අනුරාධපුර, බෝමිරියෙනුත් නව ආසාදිතයින්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට තවත් රෝගීන් 49 ක් – ගල්කිස්ස, අනුරාධපුර, බෝමිරියෙනුත් නව ආසාදිතයින්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට වගකිවයුත්තේ කවුද ? මෛත්‍රී පාස්කු කොමිසමේදී හෙළි කරයි

බොරු සාක්ෂි ගෙතූ ශානිලාගේ පැටිකිරිය ජනපති කොමිසමේදී එළියට

*********************************************

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට තවත් රෝගීන් 49 ක් – ගල්කිස්ස, අනුරාධපුර, බෝමිරියෙනුත් නව ආසාදිතයින්

(13.10.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (13) 1446 දක්වා ඉහළ ගියා.

ඒ, නව ආසාදිතයින් 49 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟයි. ඔවුන් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කර්මාන්තශාලාවේ සාමාජිකයින් 32 කු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 17 දෙනෙකු සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම කොරෝනා වෛරසය ආසාදිත තරුණියක සහ ඇගේ 70 හැවිරිදි මිත්තණිය පසුගිය 11 වනදා අනුරාධපුර – ඇලයාපත්තුව ප්‍රාදේශීය රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් එහි වෛද්‍යවරයෙකු, හෙදියක සහ කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකු (2) නිරෝධායනයට යොමුකර තිබෙනවා.

විහාරමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගෙන් 16 හැවිරිදි තරුණියගේ මව සීදූව ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක සේවය බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර, කොල්ලුපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් 7 දෙනෙකු ද ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා. එම ආසාදිතයින් අතරින් එක් අයෙකුගේ බිරිඳක් රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සේවය කිරීම හේතුවෙන් එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.

ඔවුන්ගෙන් තවත් අයෙකු ගල්කිස්ස, පිරිවෙන පාරේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ අලෙවි කළමනාකරුද වනවා.

පොලීසිය පැවසුවේ ඔහුගේ බිරිඳ කළුබෝවිල රෝහලේ සේවය කරන වෛද්‍යවරියක වුවත් ඇය මේ දිනවල ප්‍රසූත නිවාඩු ලබා නිවසට වී සිටින බවයි.

මේ අතර කඩුවෙල – පහළ බෝමිරිය ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. කිරිබත්ගොඩ – මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අදාළ තැනැත්තියට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් කොරෝනා ආසාදනය වී ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඒ සමඟ ඇයගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙකුද නිරෝධායනය ලක් කර තිබෙනවා.

කොරෝනා ආසාදිත පුද්ගලයින් 3 දෙනෙකු සංචරණය කර ඇති බව කියන බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් 6 ක් තාවකාලිකව වසා දැමීමට ද අද පියවර ගැනුනා.

මේ අතර මාලදිවයිනේ සිට මීට මාස හතරකට (4) පෙර මෙරටට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු කහවත්ත – වැල්ලදුර ප්‍රදේශයේ නිවසට පැමිණි පුද්ගලයෙකුට යළි කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

ඒ, යළි විදෙස් ගතවීම සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ඔහුට වැළඳී ඇති බවට තහවුරුවීම හේතුවෙන්.

මේ අතර මහනුවර – පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය සඳහා යොමුකර තිබෙන රැඳවියන් පිරිසක් රාජකාරියේ යෙදී සිටි නිලධාරීයෙකුට පහරදී සිරමැදිරි තුළින් ඉවතට පැමිණ පලායාමට උත්සහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (12) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. දෙපාර්තමේන්තුව මගින් ලබා ගත යුතු සේවාවක් ඇත්නම් 1970 දුරකථන අංකයට අමතන ලෙසයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

***************************************

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ලමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යාංශය යේදී ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පති වශයෙන් බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය අද (13) සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

මේ අතර මෙම පත් කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙක් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා ෴

මුලතිව් මුරිප්පු ප්‍රදේශයේ තේක්ක දැව ජාවාරමක් සිදු වන බවට ලැබුණු තොරතුරක් පිළිබඳව සොයා බැලීමට ගිය හිරු මුලතිව් ප්‍රාදේශීය වාර්තාකරු එස්.තවසීලන් මහතාට සහ තවත් මාධ්‍යවේදියෙකුට කිසියම් පිරිසක් පහර දී තිබෙනවා.

සිද්ධිය පිළිබඳව ඔවුන් ඊයේ (12) මුලතිව් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා ෴

*********************************************

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට වගකිවයුත්තේ කවුද ? මෛත්‍රී පාස්කු කොමිසමේදී හෙළි කරයි

(13.10.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ජීවිත සිය ගණනක් බිලිගත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට වගකිවයුත්තේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන සිව්දෙනා (4) බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ පාස්කු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

එහිදි වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් හිටපු ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර මහතාගේ පොලිස්පති තනතුරට නොහොඹිනා ක්‍රියා රැසක් ජනපති කොමිසමට මුල්වරට හෙළිකළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ ඊයේ (12) සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ දෙවන (2) දිනටයි.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ජත්‍යන්තරය තුළ අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ මෙරට අභ්‍යන්තරයේ නැගි එම පිළිබද ඔබ ඇතුළු ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කර තිබියදිත් මෙරට තුළ ඉස්ලාම් අන්තවාදි ක්‍රියා සිදුවීම වළක්වා ගැනීමට ඔබගේ පාලන කාලය තුළ රජය අසමත් වුණේද යන්නයි.

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“මට බෞද්ධ අන්‍තවාදය පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. ඒ සදහා විවිධ උපක්‍රම භාවිත කළා. ඇතැම් විට මහනායක හිමිවරුන් මාර්ගයෙනුත් අදාළ උපදෙස් ලබාදුන්නා. නමුත් මුස්ලිම් අන්තවාදින් පාලනයට මට හැකියාවක් තිබුණේ නැහැ. මුස්ලිම් අන්තවාදි සංවිධානවල පිරිස් මම සෘජුව මුණගැසුනේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන සහ විදෙස් තනාපති කාර්යාල එම අන්තවාදි සංවිධාන වෙනුවෙන් පෙනී සිටිම නිසා රජයක් ලෙස අපි ඒවා මර්දනයට උත්සහ දැරීමේදි අසීරුතාවයන්ට මුහුණ දුන්නා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබ 2015 ජනාධිපතිවරණයට පිවිසියේ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස නේද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“එවැනි එකඟතාවයක් හෝ කිසිදු සාකච්ඡාවක් ඇතිව තිබුණේ නැහැ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් මත සාක්ෂි දෙමින් ඔබ 2015 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමෙදි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු වන බවට පොරොන්දු වූයේ යැයි සාක්ෂි දී ඇත්නම් ඔබ එය පිළිගන්නවාද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“එය සම්පුර්ණ බොරුවක් ස්වාමිනි”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“නමුත් 2015 ජනාධිපතිවරණයේදි ඔබට අවශ්‍ය කරන ජනමතය ගොඩනැගිමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවද ඔහු සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කියා සිටියා”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“ඒක දේශපාලන වේදිකාවේ සිදුකරන කතාවක් විතරයි. මැතිවරණය දින්නම එක එක කතා කියනවා. ඒ කියන්නේ හදන්නේ එතුමාගේ ශක්තියෙන් මම ජනාධිපති වුණා කියලනේ. ජනාධිපති වුණාට පස්සේ ආණ්ඩු කරනකොට වුණ මහබැංකු මංකොල්ලයෙන් තමයි රනිල් වික්‍රමසිංහව මට දේශපාලන යක්ෂයෙක් වගේ පෙනුනේ. පස්සෙයි මට තේරුණේ මම නොගැලපෙන විවාහයක් කරගෙන අමාරුවේ වැටුණා කියලා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“2015 ජනාධිපතිවරණයේදි සහරාන් හෂීම් ඔබට සහයෝගය දැක්වුවා නේද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“මම ඒ ගැන දැනුවත් නැහැ. 62 ලක්ෂයක් ඡන්දේ දුන්න පිරිසෙන් කවුද සහයෝගය දුන්නේ, කවුද සහයෝගය දුන්නේ නැත්තේ කියන එක මම දන්නේ නැහැ. නමුත් සංවිධාන සහ වෘත්තිය සමිති 49 ක් ගිවිසුම් ගතවෙලා මට වැඩ කළා. එවායේ හිටපු ප්‍රධාන දේශපාලන නායකයින්ව පමණයි මම දන්නේ.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“යහපාලන රජය තුළ තිබු දේශපාලන ඝට්ඨනය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වු බවට රාජ්‍ය නිලධාරින් මේ කොමිසම හමුවේ සාක්ෂි දී ඇත්නම් ඔබ එය පිළිගන්නවාද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“දේශපාලන ගැටුම හේතුවෙන් ත්‍රිවිඩ හමුදාවට සහ ආරක්ෂක අංශවලට බලපෑමක් එල්ල වු බව මම විශ්වාස කරන්නේ නැහැ. එම ඝට්ඨනය ආරක්ෂක කවුන්සලයටද බලපෑම් එල්ල කළේ නැහැ.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් පොලිස්පති කරුණු ඉදිරිපත් කළාම ඒ පිළිබද විවෘත විමර්ශන කරන්න එපා නිලන්ත ‘මොනිට’ කරාම ඇති කියලා ඔබ කියලා තියෙනවා නේද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“මම එය සම්පුර්ණෙන් ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනි. විවෘත පරීක්ෂණයක් හෝ කිසිදු විමර්ශනයක් කිසිම ආකාරයකින් කරන්න එපා කියලා මගේ කටින් පිටවෙලා නැහැ. එය සම්පුර්ණෙන්ම අසත්‍යයි.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබ ජනාධිපතිවරයා ලෙස සිටි කාලය තුළ ජාතික ආරක්ෂක කවුන්සලය සතිපතා පැවැත්වුවාද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“රට තුළ සාමාන්‍ය තත්ත්වයක් පැවති නිසා ආරක්ෂක කවුන්සලය මාස්පතා පැවැත්වුවා.”

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු :

“2019 වර්ෂය තුළ ආරක්ෂක කවුන්සල කීයක් ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණාද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“ජනවාරි 14 සහ පෙබරවාරි 19 යන දෙදින තුළ පමණක් ජාතික ආරක්ෂක කවුන්සලය පැවැත්වුවා. යළි ආරක්ෂක කවුන්සලය රැස්වුයේ අප්‍රේල් 22 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසුවයි.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ජාතික ආරක්ෂක කවුන්සලයට අගමැතිවරයා නොකැදවුයේ ඇයි ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“නෛතිකව අගමැතිවරයා ජාතික ආරක්ෂක කවුන්සලයට කැදවිය යුතු යැයි නියමයක් නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සුදුසු පුද්ගලයින් ආරක්ෂක කවුන්සලයට කැදවිය හැකියි.”

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබගේ ධූර කාලය තුළ කාටහරි ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගි වීම තහනම් කර තිබුණද ?

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“තහනම් කළේ නැහැ. යම් යම් හැසීරිම් නිසා එන්න එපා කිව්වා. පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ ධුර කාලය තුළ නොයෙකුත් විවේචනයන්ට ලක්වුණා. එයා ජාතික ආරක්ෂක කවුන්සලයට ආපුවාම ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා එක ඔබ ඔබ ඉන්නවා. ගන්න තීන්දු තීරණ මොනවත් දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සල රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව හමුවෙලා කිව්වා ‘පූජිත් ආරක්ෂක කවුන්සලයේ වැඩකටයුතුවලට අවධානය දෙන්න කියලා. ඔහොම ඉන්න එපා’ කියලා. මොකද ඔහු කිසිම දවසක ජාතික ආරක්ෂක කවුන්සලයේදි පොලිස්පතිගේ වගකීමක් ලෙස කරුණු දැක්වීමක් හෝ ඉදිරිපත් කිරීමක් කරලා නැහැ.

තව ගොඩාක් දේවල් තියෙනවා එයා ගැන කියන්න. 2018 මහනුවර ඇසළ පෙරහැරේදි නැටුවා. එකට මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් දුන්නා. දවස් දෙකකට පස්සේ මම ගෙන්නලා ඇහුවා ‘පූජිත් දියවඩන නිලමෙට නැට්ටුවෝ මදිවෙලාද ඔයා නැටුවේ’ කියලා. ඊට පස්සේ ආයෙත් දවසක් මාතර ඉස්කෝලෙකට ගිහින් ළමයි ඉස්සරහා ටීචර්ස්ලාගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා. තව තියෙනවා. පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සන්දර්ශනයක් ලැස්ති කරලා තිබ්බා. පූජිත් ඒකෙදි මගෙන් ඇවිල්ලා ඇහුවා. ‘සර් මම සිංදුවක් කියන්නද’ කියලා. මමත් ඉතිං ඔන්න ඕහේ හා කිව්වා. පූජිත් එතන හිටපු පොලිස් නිලධාරියෙකුගේ අතේ පණිවුඩයක් යැව්වා. නිවේදකයා එනවුන්ස් කරලා කිව්වා ඊළගට පොලිස්පති සින්දුවක් කියනවා කියලා. පස්සේ පූජිත් වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා. දෙකක් කිව්වා. සමාන්‍යයෙන් ජනප්‍රිය ප්‍රසිද්ධ ගායකයෙකුත් සින්දු 03 ක් කියලා වේදිකාවෙන් බැහැලා යනවා. එත් පූජිත් එකක්, දෙකක්, තුනක් නෙමේ සින්දු හයක් (6) කිව්වා. එත් නැවැත්තුවේ නැහැ. තව ටිකක් හිටියනං මිනිස්සු හූ කියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා. මම වාහනයට නගිනවා දැකලා සින්දු කියන එක නවත්තලා ඇවිල්ලා පූජිත් මගෙන් ඇහුවා ‘සර් මම සිංදු කිව්වා ලස්සනයිද?’ කියලා. මම කිව්වා ‘හොඳ හින්දා තමයි මම මේ යන්නේ..’ කියලා. ඔන්න ඔය වගේ හැසීරිමක් තමයි පොලිස්පතිගේ තිබ්බේ ස්වාමීනි.”

මෙහිදී කොමිසන් සභාව තුළ රැස්ව සිටි පිරිසට සිනහවක් ඇති වූ අතර ඒ වනවිටත් එම සාක්ෂියට සවන් දීමට පැමිණ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශාලාවේ කෙළවර අසුනක හිඳ ගෙන සිටියා.

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“පොලිස්පතිවරයාගේ මෙවැනි ක්‍රියාකලාප නිසා මම අගමැති රනිල්ට කිව්වා හම්බෙලා කතාකරන්න ඕනේ කියලා. පස්සේ රනිල්, තලතා, මංගල, මලික් ඇතුළු පස්දෙනෙක් (5) ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාප ගැන සාකච්ඡා කළා. පූජිත්ට එන්න කියලා උපදෙස් දුන්නා. කොහොම වුනත් අපි එකට වැඩ කළා. ඔය ‘මාව හම්බෙන්න බැ… කෝල් කරන්න බැහැ..’ කියන කතා අමූලික බොරු. මොන උත්සවයකට ගියත් මම වාහනයෙන් බහින්න කළින් පූජිත් දොර ගාව. මම PSO ට කියනවා පූජිත් ජයසුන්දර මහත්තයට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න දොර ඇරගන්න බැහැ කියලා. ඉතින් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරු දිගින් දිගටම ලැබි තිබියදිත් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරින් එය නොලසලකා හරිමින් තම වගකීම පැහැර හැර ඇති බව මට පේනවා ස්වාමීනි “

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“කව්ද වගකීම් පැහැර හැරි නිලධාරින් ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“වගකීම ගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ප්‍රහාරයක් පිළිබද තොරතුර පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලබාදීම සිදුකර ඇත්තේ කවුද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“නිලන්ත ජයවර්ධන හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“එසේනම් ඔබ ප්‍රහාරය වළක්වා නොගැනීමේ නම් ලැයිස්තුවේ ඇයි ඒ නම නැත්තේ ?”

එම ප්‍රශ්නය ඇසීමත් සමග හිටපු ජනාධිපතිවරයා සුළු මොහොතක් නිහඩව සිටි අතර පසුව සභාපති විනිසුරුවරයා එම ප්‍රශ්නය නැවත යොමු කළා.

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“ප්‍රධාන වශයෙන්ම වගකිවයුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ලද තොරතුර පිළිබද ප්‍රධාන වගකීම ඇත්තේ කාටද ?”

මෛත්‍රීපාල සිරිසේන – හිටපු ජනාධිපති :

“කවුරුන් හෝ කෙසේ හෝ එම තොරතුර මට දැන්විය යුතුව තිබුණා. ඒ කියන්නේ හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස් සහ නිලන්ත ජයවර්ධන යන හතරදෙනාම (4) මේකට වගකියන්න ඕනේ ස්වාමීනි.”

අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීම එළඹෙන 14 වෙනිදා පස්වරුව තෙක් කල් තැබුණා.

ඉන් පසුව ඊයේ (12) රාත්‍රීයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ හිටපු නීතිය හා සාමය අමාත්‍යවරයකු වන රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය හිටපු අමාත්‍යවරයාගෙන් විමසුවේ සහරාන් හෂීම් සහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් පොලිස්පතිට දුන් බුද්ධි වාර්තා ඔබට ලබා දී ඇත්ද යන්නයි.

එවැනි කිසිදු වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර තමන්ට ලබාදී නැති බවත් එය ලබාදීම පොලිස්පතිගේ වගකීමක් බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළා.

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් යම් හේතුවක් මත වරෙන්තු ලැබ අතුරුදන් වී සිටි බවත් වරෙන්තු නිකුත් වීමට හේතුවක් තමන් නොදැන සිටි බවයි.

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“පූජිත් ජයසුන්දර මහත්මයා විසින් විෂය භාර ඇමති වුණ ඔබට මේ තොරතුරු නොදීම ගැන ඔබ ඇහුවෙ නැත්ද පොලිස්පතිගෙන් ?”

රංජිත් මද්දුමබණ්ඩාර – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

“ඒත් එක්කම තමයි ඔය කාලේ ප්‍රශ්න ගොඩාක් ඇවිත් තිබුණේ. අර නාලක කුමාර හෙළිකරපු හිටපු ජනාධිපති ඝාතන සැලැස්ම එහෙම එළියට ආවේ ඒ කාලෙ. ඉතින් අපි ඒ ගැන තමයි වැඩි අවධානයක් දුන්නේ. ඒවත් එක්ක මේ අනිත් දේවල් ඔක්කොම යටගියා.”

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

“මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කොමිසමට කිව්වා ඔහු යටතට නීතිය හා සාමය අමාත්‍යාංශය ගත්තට පස්සෙ කවුරුත් නොකරපු දෙයක් ඔහු කළා කියලා. ඒ තමයි දිවයිනේ සියලු ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් මාසිකව ගෙන්වලා සාකච්ඡා පැවැත්වුවා කියලා. ඔබලා එවැන්නක් කළේ නැත්ද ?”

රංජිත් මද්දුමබණ්ඩාර – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

“මාසෙකට සැරයක් අපිට ඒ නිලධාරින් රැස්කරන්න ඕනෙ වුණේ නැහැ. මොකද අපි සතිපතා රැස්වුණානෙ. සමහර වෙලාවට සති දෙකකට වතාවක් රැස්වුණ අවස්ථාත් තිබුණා.”

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

” ඔබ නීතිය හා සාමය අමාත්‍ය ධූරයෙන් 2018 ඔක්තෝබර් 26න් පසු ඉවත් වුණා. ඔබ හිතන විදියට කියන්න මෙලෙස ත්‍රස්ත ක්‍රියා ඇති වී බෝම්බ පුපුරණ තත්ත්වයක් උදා වුනේ කොහොමද ?”

රංජිත් මද්දුමබණ්ඩාර – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

“මේකට සම්බන්ධ ගොඩක් දේවල් සිදුවෙලා තිබුණා. මාවනැල්ල බුදුපිළිම කැඬීම, කබීර් හෂීම් මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්ට වෙඩි තැබීම, වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම ආදී ගොඩක් දේවල් හොයාගෙනත් ඒ සම්බන්ධයෙන් හරියට ක්‍රියාත්මක වුණානම් මේක වළක්වා ගන්න තිබුණා. ඒ වගේම තොරතුරු ලැබිලත් හරියට ක්‍රියාත්මක වුණේ නැති බව පෙනී යනවා.”

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :

“ඔබටත් ප්‍රහාරයට පෙර තොරතුරු ලැබුණා ද ?”

රංජිත් මද්දුමබණ්ඩාර – හිටපු නීතිය හා සාමය අමාත්‍ය :

“නැහැ. පස්සෙ දැනගත්තා ඇමති ආරක්ෂක අංශවලට ලැබුණා කියලා. මං ඔවුන්ගෙන් ඇහුවම කිව්වා ‘සර් ලැබුණා, ඒත් ඒක සාමාන්‍ය තොරතුරක් විදියටයි ලැබුණේ’ කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ස්වාමීනි. යහපාලනය කරන්න ආපු අපේ ආණ්ඩුවේ වැරදි ගොඩක් තිබුණා. හොරු අල්ලන්න ආවට ඒකට මොකද වුණේ ? යහපාලන ප්‍රතිපත්තියේ වරද නෙවෙයි පුද්ගලයන් ක්‍රියාත්මක වුණ ආකාරයෙ වැරැද්දක් තමයි වුණේ. සහරාන් හොද අවස්ථාවක් කර ගත්තා ඒ තත්ත්වය බෝම්බ පුපුරවා ගන්න.”

*********************************************

බොරු සාක්ෂි ගෙතූ ශානිලාගේ පැටිකිරිය ජනපති කොමිසමේදී එළියට

(13.10.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

ශානි අබේසේකර ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවශ්‍යතාව පරිදි අසත්‍ය සාක්ෂි ලබානොදීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 67 ක කාලයක් සී.අයි.ඩී. භාරයේ තමන් රඳවා තබාගත් බව යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ සැරයන් අනුර ජයලත් මහතා ප්‍රකාශ කළා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධව සැරයන් අනුර ජයලත් මහතා ජනපති කොමිසමට පැමිණිලි කර තිබුණා.

තමන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ රියදුරකු වශයෙන් එවකට සේවය කළ බවත් යුද හමුදාවට අයත් තමන් පැදවූ වෑන් රථයෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා රාජගිරිය ප්‍රදේශයේ සිට ගිරිතලේ යුද හමුදා කඳවුරට රැගෙන ගොස් ඇති බව පවසමින් සී.අයි.ඩි. ය තමන් අත්අඩංගුවට ගත් බවයි අනුර ජයලත් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන යන මහත්වරුන් විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ යැයි අසත්‍ය සාක්ෂි ලබා දෙනලෙස ශානි අබේසේකර ප්‍රමුඛ CID නිලධාරීන් දිගින් දිගමට තමන්ට බලපෑම් කළ බව අනුර ජයලත් මහතා කොමිසමට කියා සිටියා.

අසත්‍ය සාක්ෂි ලබා ගැනීමට උපක්‍රම වශයෙන් CID නිලධාරීන් තමන් ඇතුළු යුද හමුදා බුද්ධි නිලධාරීන්ට මත්පැන් පවා ලබාදී කෙසේ හෝ බොරු සාක්ෂි ලබා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ නමුත් කිසි විටෙකත් තමන් ඔවුනට අවශ්‍ය බොරු සාක්ෂි ලබා නොදුන් බවත් වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් කොමිසම හමුවේ ඔහු ප්‍රකාශ කළා.

සැරයන් අනුර ජයලත් මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුව දින හැට හතක් (67) තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව සී.අයි.ඩී. භාරයේ රඳවා තබා ගත් බවත් අවසානයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත නොකර තමන්ව මුදාහැරිය බවයි.

කරුණු සලකා බැලූ සභාපති විනිසුරුවරයා එම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවන් ලෙස හිටපු CID අධ්‍යක්ෂක ශානි අබේසේකර උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස්ට වගඋත්තරකරුවන් ලෙස ලබන 17 වෙනිදා ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කළා .

මේ අතර වසර ගණන් හිරේ නොයා දින දෙක තුනකින් ගෙදර යන්න නම් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිට වරද පටවන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බව වී අලෙවි මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී සහ මෙහෙයුම් නිලධාරී කේ.ඒ.වී.එස්. පෙරේරා මහතාද දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රථම වතාවට සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

***************************************

මහනුවර බුවැලිකඩ ප්‍රදේශයේදී මාස එකහමාරක් (1½) වයසැති කුඩා බිළිඳියක් ඇතුළු තුන් දෙනෙකුට (3) මරු කැදවූ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කඩාවැටුනු ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නැමැත්තා ලබන 27 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

ඒ ඔහු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මෙහිදී විමර්ශන සිදුකරන මහනුවර පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ කඩාවැටුණු ගොඩනැගිල්ලට යාබදව පිහිටා ඇති නිවෙස්වල ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාව සහිත CCTV දර්ශණ මකා දමා ඇති බවට සැක මතුවී ඇති බවයි.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න ඇතුලු නීතීඥ මඩුල්ලක් පෙනී සිටි අතර, අදාළ ගොඩනැගිල්ල නෛතික රාමුවක් තුළ ඉදිකළ බවට සනාථ කළ හැකි ලියකියවිලි අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමයේ සමස්ත නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියා.

අගතියට පත් පාර්ශවය සහ විත්තිය පාර්ශවයේ නීතිඥවරුන්ගේ දිර්ඝ වාද විවාදයන්ට සවන්දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නිවස මහල් දෙකකට (2) ගොඩනැගීම සඳහා අවසර ගෙන එය මහල් 5 කට ඉදිකිරිමෙන් බරපතල ගැටළු රැසක් මතු වී ඇති හෙයින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර වගකිව යුතු පාර්ශව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ෴

***************************************

නීත්‍යානුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා යළි පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

වරෙන්තුවක් ලබාගෙන ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, අද වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළ අතර, අදාළ නියෝගය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට ගිය අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව අදාළ නියෝගය පරිදි රිෂාඞ් බදියුදින් මන්ත්‍රීවරයාව වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන ලෙස නීතිපතිවරයා පොලීසියට උපදෙස් ලබාදුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ කොළඹ සහ මන්නාරම පිහිටි නිවාස වෙත රහස් පොලිසියේ කණ්ඩායම් දෙකක් (2) යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා ෴

***************************************

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබෙනවා.

බදු ඉවත් කිරීම හේතුවෙන් අද (13) රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200 කට, බී ලූණු කිලෝව රුපියල් 100 කට සහ සීනි කිලෝව රුපියල් 85 කට මිලට ගැනීමට හැකිවනු ඇති.

මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500 කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150 කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර තිබෙනවා.

එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසෙන බවයි නාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

***************************************

ඊ.ටී.අයි. ආයතනයේ මුල්‍ය අක්‍රමිකතා ඇතුළු තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට අනාවරණ වීම හේතුවෙන් ඒ පිළිබද කඩිනමින් නිතීමය පියවර ගැනීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යොමුකිරීම සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවු බවයි.

ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය ඇතුළුව ඊ.ටී.අයි. ආයතනයේ දේපළ විකිණිම නීතිවිරෝධි ආකාරයට සිදුව ඇති බව එම කොමිසන් සභාවේදී පසුගියදා අනාවරණ වුණා.

එහිදි ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊ.ටී.අයි අධ්‍යක්ෂවරුන් රහස්‍ය ගිණුම හරහා තැන්පතුකරුවන්ගේ මුදල් මිලියන ගණනින් අවභාවිත කර ඇති බවටයි අනාවරණ වුණේ.

එම කොමිසම හමුවේ ඊ.ටී.අයි ප්‍රධානීන් මහබැංකුවේ හිටපු නිලධාරීන් මෙන්ම තැන්පත්කරුවන්ද අවස්ථා කිහිපයකදී සාක්ෂි ලබාදී තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *