37. ළිඳක් නිසා ප්‍රේතියක වූ කිරිඳිවැල පොඩි නෝනා

28.07.2014

මිනිස් භවයක ඉපිද ජීවත්වෙද්දී දැඩි බද්ධ වෛරයකින් පසු වන්නෝ මරණයෙන් පසුවද ඒ වෛර සිතිවිල්ලෙන්ම පසුවෙති. ක්‍රියාකාරී වෙති. ධර්ම ශ්‍රවණය හා කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් ධර්මාවබෝධය ලබන්නෝ එවැනි තරහ මරහ වෛර අතහරිති. එසේ නොවන්නෝ අපාගාමීව ඉපිද ඒ වෛරයෙන්ම දැවි දැවී දුක් විඳිති. පළි ගනිති.

පුෂ්පා කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියකි. පනස් පස් හැවිරිදි ඇය සිවු දරු මවකි. ඇගේ ශරීරය හිටි හැටියේ වරින් වර ගැහෙන්නට විය. හීනෙන් බිය වී කෑ ගසාගෙන ඇය අවදි වූවාය. දැන් ඇය ඇවිදගත නොහැකි තත්ත්වයක පසුවන්නීය. දැනට මාස අටක පමණ කාලයක සිට නිවෙසට පහළ වෙල අද්දර පිහිටි ළිඳ අසල ඡායාවක් එහා මෙහා යන අයුරු රාත්‍රියට පෙනෙන්නට විය. ඒ සමඟ ඇගේ අසනීප තත්ත්වයද උග්‍ර විය. දීර්ඝ කාලයක සිට බෝධිපූජා පැවැත්වුවත් දෙහි කැපීම් වැනි දෝෂහරණයේ යෙදුණත් එයින් සුවයක් ලැබුණේ නැත.

ඇගේ සැමියා ‘මව්බිම’ පාඨකයෙකි. ‘මව්බිම’ පත්‍රයේ ‘සැණකෙළිය’ අතිරේකයේ ‘මළවුන්ගේ හෝරාව’ නොවරදවා කියවන ඔහු එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පුෂ්පා සමඟ ගියේය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී බිරියගේ රෝග තත්ත්වය විස්තර කළේය.

ගවේෂකවරයා පුෂ්පා වෙත ශක්ති කිරණ එල්ලකොට දිෂ්ටි ගැන්වූ විට ඇය ගැහෙන්නටත් පැද්දෙන්නටත් වූවාය. ඉන් එහා දෙයක් නොවූයෙන් ඇයට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසද බෝධි පූජාවෙන් පසු මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන ලෙසද උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේ පුෂ්පා ආවිෂ්ට වී කෑ ගසන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කෙළේය.

‘‘කවුද මේ කෑ ගහන්නේ?’’
‘‘මම පොඩිනෝනා.’’
‘‘කවුද පොඩි නෝනා කියන්නේ’’
‘‘මේකිගේ ආච්චි.’’
‘‘ඉතින් මේ කෑ ගහන්නේ මොකද?’’
‘‘මුන්ගෙන් පළිගන්න ඕනෑ. මුන් මගේ වචනය කඩ කළා. උන්ගෙන් මම පළිගන්නවා. ඒ මුන් මගේ වචනයට ඉහළින් ගිය කේන්තියටයි මම කෑගහන්නේ.’’ භූතාත්මය කීවාය.

තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙසද එහිදී මේ ආච්චි සිහිපත් කොට මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නැයිද උපදෙස් දුන්නේය.

සතියකට පසු නැවත පැමිණි දිනයේදී පුෂ්පා ප්‍රලය වූවාය. පොඩිනෝනා ආච්චිගේ භූතාත්මය කතා කරන්නට වූවාය.
‘‘මුන් මගේ ළිඳ අරුන්ට පාවිච්චි කරන්න දුන්නා. මම ඒකට විරුද්ධයි. ඒකයි මුන්ගෙන් පළිගන්නේ.’’
‘‘කාටද ඔය අරුන්ය කියන්නේ?’’
‘‘අර සෝමසිරියාට. මගේ මාමගේ පුතාට. උන්ගේ පවුලෙ අයට.’’
‘‘මොකක්ද ඔය ළිඳට තියෙන ආරවුල.’’

‘‘මහත්තයා ඔය ළිඳ මගේ. මගේ ඉඩමේ තියෙන මට අයිති ළිඳ. සෝමසිරියගේ ගෙදර අය වතුර බිව්වෙත් ඔය ළිඳෙන්. ඊට පස්සෙ අපි දෙගොල්ලො අතර ප්‍රශ්නයක් ආරවුලක් ඇති වුණා. අපි අපේ ඉඩම වෙන් කරලා කම්බි වැටක් ගැහුවා. ඊට පස්සේ උන්ට ළිඳට එන්න බැරි වුණා. උන් මැරිච්ච බළලකුගේ මළකුණක් මගේ ළිඳට ගෙනැත් දැම්මා. එදා මගේ හිතට ආපු තරහව, වෛරය දිගටම පැවැතුණා කරපු කැත වැඩේට. ඒ වෛරය මම මැරෙන වෙලාවෙත් මගේ හිතේ තිබුණේ. මම මැරිලා දැනට අවුරුදු විසි පහක් ගත වෙලා තියෙනවා.’’

‘‘දැන් මේ පුෂ්පාගේ දරුවොයි සෝමසිරියගේ දරුවොයි යාළුයි. මුන් උන්ට ළිඳ පාවිච්චි කරන්න ඉඩ දුන්නා. මම එපැයි කියපු දේ මම විරුද්ධ දේ මුන් මොකටද කළේ? ළිඳ මගේනේ. ඉතින් මුන් කෙළේ මහා අලුගුත්තේරු වැඩක්. මම දැන් මුන්ටත් ඒ ළිඳ පාවිච්චි කරන්න දෙන්නේ නෑ.’’

‘‘තමුන් ළිඳට මොනවද කළේ?’’ ගවේෂකවරයා ප්‍රේත ජීවියාගෙන් ඇසීය.

‘‘මම ළිඳට අසූචි දැම්මා. මුන් දෙගොල්ලො එකතු වෙලා ළිඳ ඉස්සා. දැනට තුන් වතාවක් ළිඳ ඉස්සා. මම තුන් වතාවෙම ළිඳට අසූචි දැම්මා.’’

හරි ඔබතුමිය හරි. වරදට දඬුවම් දුන්නා. ඔබතුමිය ඒ කාලේ බොහෝම වැදගත් විදියට ජීවත් වුණා. නම්බුකාර විදියට කාටවත් ඔළුව පහත් නොකර ජීවත්වුණා. ඒ වගේම සිල් සමාදන් වුණා. දන් පැන් දුන්නා. පින් දහම් කළා. ඒවා මතකයට නඟා ගන්නැයි කියනකොටම ප්‍රේත ජීවියා සිනාසෙන්ට වූවාය.

‘‘අන්න හරි අන්න හරි. මහත්තයා මා ගැන දන්නවා. ඒත් මුන් මගේ හැටි දන්නේ නෑ.’’

‘‘ඔව්. ඔව්. ඔබතුමිය පින් දහම් කළ කෙනෙක්. ඒ අය එදා කළේ මහා කැත වැඩක්. අලුගුත්තේරු වැඩක්. ඒකට සෝමසිරි අපායේ ගියා. අපායේ ඉපදිලා දුක් විඳිනවා. ඒ අය ඒවා අරගෙන යාවි. ඔබතුමියත් ඒ වගේ වෙන්න හොඳ නෑ. එදා තිබුණු තරහව නිසා ඔබතුමියත් අපායේ ඉපැදුණා. ප්‍රේතාත්මයක උපන්නා. වැරැදි කළ අයත් අපායේ. නිවැරැදි ඔබත් අපායේ. එහෙම වුණේ ඔය වෛරය නිසා. දැන් සෝමසිරි මැරිලා. ඒ දරුවෝ ඔබට වැරැදි කළේ නෑ. ඒ අය ඔබේ ළිඳෙන් වතුර බොන එක ‘දානයක්’ කියලා හිතන්න. එතකොට ඔය අපායෙන් මිදිලා ඔබතුමියට ලස්සන දිව්‍යාංගනාවක් වෙන්න පුළුවන්. සිල් සමාදන් වුණ හැටි, සිල් ආරක්ෂා කළ හැටි, දන් පැන් දීපු හැටි, දැනුත් මේ අයට ළිඳෙන් වතුර බොන්න ඉඩ දෙන හැටි නිතර සිහිපත් කරන්න. ඒ අය වැරැදි කළාට ඔබත් ඒ වගේ හැසිරෙන්න එපා. ඒක හොඳ නෑ. බල්ලෙක් මිනිහෙකුගේ කකුල හපා කෑවාට මිහිහත් බල්ලාව හපා කන්නේ නැහැනේ. අපි බෞද්ධයන් වශයෙන් මේ යන්නේ නිවන් දකින්න යන සංසාර ගමනක්. ඒකට තරහ මරහ වෛර අතහරින්න ඕනෑ. වතුරට වඩා ලේ ඝනකමයි. ඥාතිත්වය කියන්නේ ලේවල සම්බන්ධය. ඒක නිවන් දකින තුරු මේ සංසාර ගමනේ පවතිනවා.

කෙලෙස් නසන තුරු ඒ ඥාති සම්බන්ධය පවතිනවා. ඒ අයට දැන් වතුර බොන්න ඉඩදීමෙන් ඔබට පින් ලැබෙනවා. ළිඳක් කියන්නේ දීර්ඝ කාලයක් පවතින සම්පතක්. ඒ අය ඒ ළිඳෙන් වතුර බොන්න බොන්න ඔබට පින් පිරෙනවා. ඒ අය වතුර බොනකොට ඒ අයගේ කුසගින්න පිපාසය නිවෙනවා. ඒකට ඉඩදීමෙන් ඔබතුමියගේ සසර දුක් ගිනි නිවෙනවා. මම ඒ අයව ගෙන්වන්නම්. ඔබතුමියට වැඳලා සමාව ගන්න කියන්නම්. සමාව ඉල්ලන එක මනුෂ්‍ය ගතියක්. ඒ අයට සමාව දෙන එක දේව ගතියක්. ඊට පස්සේ හැම තිස්සෙම පින් දහම් කරන පූජ්‍යස්ථානයකට ගිහින් තව තවත් පින් කැරගනිමු’’ යි ගවේෂකවරයා ප්‍රේතියට අවධාරණය කළේය.

‘‘ඔව් මහත්තයා මම කැලණියට ආසයි. ඒ වගේ තැනකට ගියොත් හොඳයි නේද?’’යි ප්‍රේතියද කීවාය.

සෝමසිරිගේ පවුලේ අයද කැඳවාගෙන තවත් සතියකින් නැවත එන්නැයි පුෂ්පාටත් ඇගේ සැමියාටත් නියම කළේය.

ඊළඟ දිනයේ පවුල් දෙකේම දූ දරුවන් ද සමඟ පුෂ්පා පැමිණියාය. එදිනද පුෂ්පාට ආවිෂ්ට වූ පොඩිනෝනාගේ ප්‍රේතාත්මය කතා කරන්න වූවාය. සෝමසිරිගේ දරුවන්ට ‍දොස් කියන්නට වූවාය.

‘‘උඹලගේ මහ එවුන් මහා ජරා මිනිස්සු. උන් මට කළේ මහා කැත වැඩක්.’’
‘‘අනේ ආච්චියේ අපි දන්නේ නෑ. අපි නම් ආච්චිට වැරැදි වැඩ කළෙත් නෑ. කරන්නෙත් නෑ. අපේ අම්මලා තාත්තලාගෙන් වරදක් වුණා නම් සමාවෙන්න’’ යැයි සෝමසිරිගේ පවුලේ දරුවෝ පැවැසූහ.

‘‘අන්න බලන්න. මේ ළමයි ඔබතුමියට ගරු කරන හැටි’’යි ගවේෂකවරයා ප්‍රේතියගේ සිත සතුටු කළේය.
‘‘ඔව්. ඉතින් මහ එවුන් කළ වරදට මුන් මොනවා කරන්නද?’’ යි ප්‍රේතියද මැදහත් සිතින් කීවාය.
‘‘මේ පවුල් දෙකේම අය එකතු වෙලා ගෙදරට හාමුදුරු දහ නමක් වඩම්මලා සාංඝික දානයක් පිරිනමා පොඩිනෝනාට පින් අනුමෝදන් කරන්න මම නියම කරනවා’’යි නාගොඩවිතාන මහතා කීවේය.

‘‘එහෙම මදි. මම දැනට ඉන්නේ ඒ ළිඳ ළඟ. ඒ ළිඳ ළඟ මඩුවක් සාදවා එතැන තුන්වරු පිරිතක් කියන්නත් ඕනෑ’’යි ප්‍රේත ජීවියා ඉල්ලා සිටියාය.

ඒ කටයුතු මැනවින් ඉටු කළ ඔවුහු නැවත පැමිණියහ. එදිනම පුෂ්පා ප්‍රලය වී කතා කරන්නට වූවාය.

‘‘දැන් කොහොමද?’’ ගවේෂකවරයා ඇසීය.

‘‘දැන් මට සැහැල්ලුවක් දැනෙනවා. මට මෙච්චර කාලයක් ඇඳුම් තිබුණේ නෑ. මේ දරුවෝ අට පිරිකර, සිවුරු පිරිකර පූජා කළාම මට ඇඳුම් ලැබුණා. සුදු ඇඳුම් ලැබුණා. මම මෙච්චර කාලයක් හිටියේ ළිං ගැට්ටේ. මම දැන් කැලණියට යනවා. උඹලාට පින් සිද්ධවෙනවා දරුවොනේ’’යි ප්‍රේත ජීවියා ඉවත්ව ගියාය. පුෂ්පා සුවපත් වූවාය.

මතුගම – මහින්ද විජේතිලක

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )