‘ජනපති උපදේශක ධූරයෙන් හුලංගමුව ඉවත් කරන්න’ : සංවිධාන රැසකින් ජනපතිට ඒකාබද්ධ ලිපියක්
‘ජනපති උපදේශක ධූරයෙන් හුලංගමුව ඉවත් කරන්න’ : සංවිධාන රැසකින් ජනපතිට ඒකාබද්ධ ලිපියක්
(29.03.2025 – mawbima.lk)
ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සඳහා එහි වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම සම්බන්ධයෙන් වැරැදිකරු වූ ‘අර්නස්ට් ඇන්ඩ් යංග්’ විගණන සමාගමේ මෙරට කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන අතර ජනාධිපති උපදේශක තනතුර ද දැරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි බරපතළ ගණයේ ලැදියාවන් අතර ගැටුමක් නිර්මාණය වීම මත මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සංවිධාන පවසයි.
මේ අතර, දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්කරනු ලැබීමට නියමිත බවට වාර්තා පළවෙමින් ඇතැයි ද ආර්ථික තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සිවිල් සේවයේ ප්‍රබල තනතුරක් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඔහුව පත්කරනු ලැබුවහොත් පෞද්ගලික අංශය කෙරෙහි තිබෙන රාජ්‍ය අධීක්ෂණය ඉවත් වී ශ්‍රී ලංකාවේ මහ ජනතාවට වඩා වැඩි අනිසි වාසියක් පෞද්ගලික අංශයට ලබා දීමට හේතුවන ලැදියාවන් අතර ගැටුමක් තවත් වටයකින් නිර්මාණය කරනු ඇතැයි ද එම සංවිධාන පවසයි.
විගණකාධිපතිවරයා හෙලිදරව් කළ ආකාරයට පෞද්ගලික අංශයේ 2022 වර්ෂයේදී රුපියල් බිලියන 904 ක් වූ හිඟ බදු ප්‍රමාණය 2023 වර්ෂයේදී රුපියල් බිලියන 1,066 ක් දක්වා ඉහළ යද්දී එම වර්ෂවල සුරාබදු සහ දුම්කොළ යන අංශවල හිඟ බදු ප්‍රමාණය පිළිවෙළින් රුපියල් බිලියන 5.56 සිට රුපියල් බිලියන 7.27 දක්වා ඉහළ ගොස් ඇතැයි එම ලිපියේ දැක්වේ.
2023 වර්ෂයේ වාර්ෂික වාර්තාවට අනුව 2023 දෙසැම්බර් 31 වන විට වැට් බදු හිඟ මුදල් සහ පනවන ලද දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 455 ක් වී යැයි ද අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුට අධික වියදම හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිභෝජනය පවා අත්හැරීමට සිදුවී තිබෙන තත්ත්වයක් තුළ පෞද්ගලික අංශය එම ජනතාව අධික බරක් දරමින් ගෙවන වැට් බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී ලෙස තබාගැනීමක් මෙමඟින් සිදුව ඇතැයි ද එහි චෝදනා කර ඇත.
එහෙත් දුමින්ද හුලංගමුව සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ පෙනී සිටින්නේ බදු ආශ්‍රිත වංචාවල නියැලි සිටින පෞද්ගලික අංශයේ අයිතීන් වෙනුවෙන් යැයිද එම ලිපියේ සඳහන් වේ.
එක්සත් කම්කරු සම්මේලනය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, වතු සංවර්ධනය සඳහා වූ සමාජ ආයතනය, ශ්‍රමාභිමාන කේන්ද්‍රය, ස්ටෑන්ඩ්අප් මූමන්ට් ලංකා, වතු ජනතා හඬ, අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව, මානව තත්ත්වය උසස් කිරීමේ සංවිධානය, ඉඩම් අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු පාර්ශ්ව රැසක් මෙම ලිපියට අත්සන් තබා ඇත ෴
+

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමකට
(29.03.2025 – 08:17 +0530 – hirunews.lk/sinhala)
අද (29) දිනයේ උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අමතරව ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරනවා.
මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කොට, අව් රශ්මියෙන් වැළකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ කියා සිටියේ.
එමෙන්ම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම පළාත්වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයටත් පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විශේෂයෙන් සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක තරමක තද වැසි ඇති විය හැකියි ෴
දේශබන්දුට හැංගෙන්න උදව් දුන්න කොස්තාපලයෙකු ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(29.03.2025 – 08:26 +0530 – hirunews.lk/sinhala)
වැඩ තහනමට ලක් ව රක්ෂිත බන්ධනාගාරගත සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පොලිස් කොස්තාපලයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් පෙබරවාරි 27 වනදා සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන්ට මෙලෙස සැඟව සිටීමට සහය දුන් බවට අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපලයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේ මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගත් බවයි.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළා.
කෙසේනමුත් ඔහු අධිකරණය සහ පොලිසිය මගහැර සැඟව සිටිමින් අධිකරණය වෙත තමන් අත්අඩංගුවට නොගැන්නැයි පෙත්සමක් ඉදිරිපත් කළද අධිකරණයෙන් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
පසුව ඔහු පසුගිය මාර්තු 19 වැනිදා අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴
පසුගිය වසරේ (2024) මෙරටින් ක්ෂය රෝගීන් 9200
(29.03.2025 – 09:11 +0530 – hirunews.lk/sinhala)
පසුගිය වසරේ (2024) මෙරටින් ක්ෂය රෝගීන් 9200 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය සදහන් කළේ, පිරිමි රෝගීන් 5291 ක් සහ කාන්තා රෝගීන් 3259 ක් එම වසරේ වාර්තා වූ බවයි.
එමෙන්ම, ළමා රෝගීන් ද 250 ක් සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන්.
සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2035 වන විට මෙරට ක්ෂය රෝගීන් ප්‍රමාණය සියයට 90 කින් අඩු කර ගැනීමට සහ ක්ෂය රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය සියයට 95 කින් අඩු කරගැනීම සිය අපේක්ෂාව බවයි.
සති දෙකකට (2) වැඩි කාලයක් පවතින කැස්ස, මද උණ, ශරීරයේ බර අඩුවීම, ආහාර අරූචිය, රාත්‍රීයට දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව සහ හතිය ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වනවා ෴
විදේශිකයින්ට ළමයින්ගේ අස්‍යභය දර්ශන බෙදාහැරි තරුණයෙකු අල්ලයි
(29.03.2025 – 09:19 +0530 – hirunews.lk/sinhala)
ළමුන් සම්බන්ධ අස්‍යභය දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා බෙදා හරින ලද තරුණයෙකු රාගම ප්‍රදේශයේදී ‘ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය’ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 20 හැවිරිදි රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මුහුණු පොත හරහා විදේශීය ජාතිකයින් වෙත ළමයින් සම්බන්ධ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප බෙදා හරින ලද පුද්ගලයෙකු සම්බන්ධයෙන් ‘ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය’ වෙත තොරතුරු ලැබී තිබුණා.
මෙම තොරතුරු සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුට අයත් දුරකථන වාර්තාවක් ලබාගෙන සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.
එමෙන්ම සැකකරු සන්තකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් හා පරිගණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴
භූමිකම්පාවෙන් මියන්මාරයේ මියගිය ගණන දහස (1000) ඉක්මවයි
(29.03.2025 – 10:52 +0530 – hirunews.lk/sinhala)
මියන්මාර් – මැන්ඩලේ හි හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,002 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් පුද්ගලයින් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙහි වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේටයි.
ඊයේ (28) ඇතිවූ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනයෙන් තායිලන්තයේ බැංකොක් නුවරට ද දැඩි බලපෑම් එල්ල වී තිබුණා.
විදෙස් වාර්තා සදහන් කළේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ෴
පොල් වගාකරුවන්ට සහන මිලට පොහොර ලබා දීම හෙට (30) සිට
(29.03.2025 – 11:12 +0530 – hirunews.lk/sinhala)
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය හෙට (30) සිදු කෙරෙනවා.
රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු Muriate of Potash (MOP) පොහොර මෙට්‍රික් ටොන් 27,500 ක් හා ‘එප්පාවල රොක් පොස්පේට්’, ‘යූරියා’ මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700 ක් සකස් කිරිම ‘රාජ්‍ය පොහොර සමාගම’ මේ වන විට කටයුතු කරමින් පවතිනවා.
මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු ‘පොල් වගා කිරිමේ මණ්ඩලය’ සහ ‘රාජ්‍ය පොහොර සමාගම’ විසිනුයි සිදු කරනු ලබන්නේ.
වෙළෙඳපොළේ රුපියල් 9,000 වැනි මිලක් ව පවතින කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් රුපියල් 4,000 ක සහන මිලකට ලබාදීමේ කටයුතු ඒ අනුව සිදුකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළා ෴
Myanmar (Burma) Earthquake :
https://www.google.com/search?q=myanmar+earthquake
+
කොසු ප්‍රහාරයෙන් අයෙක් ජීවිතක්ෂයට
(29.03.2025 – 18:47 +0530 – hirunews.lk/sinhala)
කොස්සකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
එම ඝාතනයට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි සපුගස්කන්ද පොලිසිය පවසන්නේ.
පහරකෑමෙන් මියගොස් ඇත්තේ කඩවත, ඉහළ බියන්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක් බවද පොලිසිය පවසනවා.
පහරදීම සිදු කළ සැකකාරියද 73 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ කාන්තාවකගේ නිවසට පැමිණ තිබෙන බවත් එහිදී ඇය සමග ආරවුලක් ඇති කරගෙන ඇති බව වාර්තා වනවා.
එහිදී කාන්තාව විසින් මොහුට කොස්සකින් පහර දී තල්ලුකර ඇති බවත් අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ මොහොතේ රෝගී වූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
අප්‍රේල් 08 සිට කැලිප්සෝ දුම්රිය නානුඔයට
(29.03.2025 – 16:20 +0530 – sinhala.adaderana.lk)
මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් ‘කැලිප්සෝ දුම්රිය’ නානුඔය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව ‘කැලිප්සෝ දුම්රිය’ ධාවනයට කටයුතු කර තිබුණි.

ඒ අනුව අප්‍රේල් මස 08 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානාඔය දක්වා දුම්රිය ධාවන කිරීමට තටයුතු කරන බව දුම්රිය සාම්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.
‘කැලිප්සෝ දුම්රිය’ දෙමෝදර ප්‍රදේශයේ මිනිත්තු 10 ක්, ඇල්ල ආරුක්කු 9 පාළම මත මිනිත්තු 10 ක් නතර කර සංචාරකයින්ට ඒ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණි ෴
මට හරි අමාරුයි මේක කරන්න… | මිහින්තලේ හිමි කලකිරීමෙන් කියයි | මිහින්තලේ හිමි බැහැදකින්න දයාසිරි යයි (29.03.2025)
+
රට වෙනුවෙන් අවදිවෙයල්ලා සිංහලයෙනි – මඩකලපුවේ හාමුදුරුවෝ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි (29.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴