මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක භූකම්පනයක්

මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක භූකම්පනයක්


මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක භූකම්පනයක්

(28.03.2025 – 12:37 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ සාගිං නගරයේ රිච්ටර් මාපක 7.7 ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

ඉන් දේපල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12 කට පමණ පසු, රිච්ටර් මාපක 6.4 ක තවත් පසු කම්පනයක් සිදුව තිබෙනවා බවද සදහන්.

එම පසු කම්පනයෙන් තායිලන්තයේ – බැංකොක් නගරයට ද දැනී තිබුණා. බැංකොක් නගරයේ ගොඩනැගිලි සෙලවීමක් සිදුව තිබූ අතර, එම ගොඩනැගිලිවලින් ඉවත්ව ජනතාව දිව යන ආකාරයද විදෙස් වාර්තාවල දැක්වුණා ෴

+++

මියන්මාර භූකම්පනයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 10,000 ක් විය හැකි බවට අමෙරිකාවෙන් ඇස්තමේන්තුවක්

(28.03.2025 – 20:29 +0530 – hirunews.lk/sinhala)

වසර 69 කට පසු මියන්මාරයට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක ප්‍රබල භූකම්පනය හේතුවෙන් එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම භූකම්පනය තායිලන්තයට ද දැනී තිබූ අතර එරට බැංකොක් අගනුවරින් ජීවිත හා දේපොළ හානි රැසක්ද වාර්තා වුණා.

මෙම කම්පනයේ ප්‍රබලත්වය අනුව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඇස්තමේන්තුගත කර ඇත්තේ මරණයට පත්විය හැකි සංඛ්‍යාව 10,000 ක් තරම් ඉහළ යාමට ද ඉඩ ඇති බවයි.

මෙරට වේලාවෙන් අද (28) පස්වරු 01:30 ට පමණ මධ්‍යම මියන්මාරයේ සගායිං නගරය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක දරුණු භූකම්පනයක් හටගත්තා.

මෙම කම්පනයේ අපකේන්ද්‍රය පිහිටා තිබුණේ කිලෝමීටර 10 ක් පොළොව අභ්‍යන්තරයේයි.

මෙම කම්පනයෙන් පසුව රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක දෙවැනි කම්පනයකුත් වාර්තා වුණා.

මෙහි ප්‍රබලත්වය කොතරම්ද කිවහොත් එය තායිලන්තයේ බැංකොක් අගනුවරටත් බලපා තිබුණා.

මියන්මාරයේ සගායිං නගරයේ සිට කිලෝමීටර් 16 ක් වයඹ දෙසින් හටගත් මෙම භූ කම්පනය 1956 වසරෙන් පසු එනම් වසර 69 කට පසු එරටට බලපෑ ප්‍රබලම භූකම්පනය බව වාර්තා වනවා.

මිලියනයක පමණ ජනගහනයක් සිටින මියැන්මාරයේ මැන්ඩලේ නගරය ඇතුළු තවත් නගර කිහිපයකට මෙම භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.

මියන්මාරයේ මැන්ඩලා නගරයේ තිබූ වසර 90 ක් පැරැණි පාලමක්ද විනාශ වී තිබුණා.

භූ කම්පනයත් සමග මියන්මාරයේ කලාප 06 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම ප්‍රබල භූ කම්පනය කිලෝ මීටර් 1200 ක් පමණ මුරින් පිහිටි තායිලන්තයටද දැනී තිබුණා.

එමෙන්ම නිරිත දිග චීනයේ නගර ගනණාවකටද භූකම්පනය දැනී තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මිලි‍යන 17 කට අධික පිරිසක් ජීවත්වන තායිලන්තයේ බැංකොක් නගරයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණු අතර එරට ගුවන් කලාප සියල්ලම වසා දැමීමටද පියවර ගැණුනා.

කම්පනයේ බලපෑමෙන් බැංකොක් හි මහල් නිවාස සංකීර්ණ රැසකටම හානි සිදුව තිබූ අතර මහල් 30 කින් සමන්විත ඉදිකරමින් පැවති මහල් ගොඩනැගිල්ලක්ද මෙලෙස කඩා වැටුණා.

එම අවස්ථාවේ සේවකයින් 400 කට අධික පිරිසක් එහි සිට ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

එහි සිටි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 81 දෙනෙකු තුවාල ලබා ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

භූකම්පනය තවත් ගොඩනැගිලි රැසකට දැනුණු ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබූ අතර එම ගොඩනැගිලිවල සිටි ජනතාව දිවි බේරා ගැනීම සඳහා දිවයන අයුරු ද දක්නට ලැබුණා.

භූකම්පනයත් සමග තායිලන්තයේ මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි පිහිණුම් තටාකයක ජලය පිටතට ගලන ආකාරයද විදෙස් මාධ්‍යවල දැක්වුණා.

එම ජල ප්‍රවාහය හේතුවෙන් සිදුවූ ආපදාවන්ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

මෙම ආපදාව වාර්තාවන්නේ 06 වැනි බිම්ස්ටෙක් සමුළුවද රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් බැංකොක් නුවරදී ලබන 04 වැනිදා ආරම්භ වීමට සැලසුම් කර ඇති පසුබිමකයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට එක්වීමට නියමිතව තිබූ අතර මතුව ඇති තත්ත්නයත් සමග එම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් පවතින්නේ සැකයක්.

මෙම භූ කම්පනය සිදු වූ මියැන්මාරයේ 2021 වසරේ සිට පවතින්නේ මිලිටරි පාලනයක්.

ඒ හේතුවෙන් එරට මාධ්‍ය සහ පරිපාලන බලයට සීමා පනවා ඇති බැවින් මෙම විපත සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන්නේ ද අල්ප වශයෙන්.

කෙසේ වෙතත්, අමෙරිකානු භූ විද්‍යාසමීක්ෂන ආයතනය පවසන්නේ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය අනුව ඇස්තමේන්තු කෙරෙන ජිවිත හානි සංඛ්‍යාව 10,000 ඉක්මවනු ඇති බවටයි.

මේ අතර, බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ තායි බලධාරීන් සමඟ මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටීන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මේවනවිට ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධ කිසිදු හානිදායක සිදුවීමක් වාර්තා වී නොමැති බවයි අනාවරණ වන්නේ.

කෙසේවෙතත් හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 81 249 8011 හදිසි දුරකථන අංකය ඔස්සේ සම්බන්ධවන ලෙසට ද උපදෙස් ලබා දි තිබෙනවා.

‘තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධ කිසිදු හානිකර සිදුවීමක් වාර්තා වී නැහැ’- බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය.

‘හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 81 249 8011 හදිසි දුරකථන අංකය මගින් සම්බන්ධ වන ලෙස උපදෙස්’ – බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය.

+

+

+

+

https://www.google.com/search?q=myanmar+earthquake

+


එප්පාවලදී හිමි නම ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

(28.03.2025 – 15:30 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ හුදකලා විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කළ බවට සැක පිට එම විහාරස්ථානයේ හිමි නමට අයත් ත්‍රීරෝද රථය පැද වූ තරුණයකු සැක පිට එප්පාවල පොලිසිය අත්අඩංගුව ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් හා යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක්.

ඔහු මීට දින කීපයකට ඉහතදී ඝාතනයට ලක් වූ හිමිනමගේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සේවයට පැමිණ ඇති අතර පසුගිය 23 වැනි දින පස්වරුවේ හිමිනම සමග බහින්බස් වීමක් ඇති වී පොල්ලකින් උන්වහන්සේට පහරදී උන්වහන්සේගේ ජංගම දුරකථන දෙක (2) ද රැගෙන විහාරස්ථානයේ ත්‍රීරෝද රථයෙන් එප්පාවල දෙසට ගොස් තිබෙනවා.

පසුව ඔහු අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා ගමන් කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඔහු සතුව ස්වාමීන්වහන්සේගේ දුරකථනයක් පැවතීම හේතුවෙන් එම දුරකථන විශ්ලේෂණ වාර්ථා අනුව සැකකරු සිටින ස්ථාන හදුනාගෙන,
ඔහු කටුනායක ප්‍රදේශයේදී අත්අඩගුවට ගැනීමට එප්පාවල පොලිසිය සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදු වූ විහාරස්ථානය වෙත ඊයේ (27) පෙරවරුවේ සැකකරු රැගෙන ආ අතර, ත්‍රීරෝද රථයෙන් යමින් සිටියදී පලුගස්වැව ප්‍රදේශයේදී ස්වාමීන් වහන්සේගේ දුරකථනයක්, ඒ.ටී.එම්. කාඩ්පත් කීපයක් ඇතුළු ලිපි ලේඛණ කීපයක් විසි කර දැමූ ස්ථානයක් ද පොලීසිය විසින් පරික්ෂා කර එම ස්ථානයේ තිබී ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථනය, බැංකු කාඩ්පත් හා ලිපි ලේඛණ කිහිපයක් ද සොයා ගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක් වූයේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු ‘විලච්චියේ ප්‍රේමරතන’ නම් හැටනව (69) හැවිරිදි ස්වාමීන් වහන්සේ නමක්.

ස්වාමීන් වහන්සේගේ හිසෙහි හා මුහුනෙහි බරපතල කැපුම් තුවාල පැවති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක් වූ හිමිනම මෙම විහාරස්ථානයේ තනිව වැඩවාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

පසුගිය දා (25) පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිළිබදව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක දැනුම්වත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඝාතනය වූ විහාරාධිපති හිමියන්ගේ හැදුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛණ කීපයක්ද විහාරස්ථානයට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට විසි කර දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, අද (28) පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+

+


සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් උපාධිධාරීන් පිරිසට ඇප

(28.03.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවී සිටියදී අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ’ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ ‘සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ සංගමයේ’ ලේකම් නදුන් හේවාවිතාරණ ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 25 දෙනා ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ෴


පාසල් ළමයින් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදුන් වවුචරයේ කාලය දීර්ඝ කෙරේ

(28.03.2025 – 15:48 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමයින් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදුන් රු. 6,000 ක වවුචරයේ වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මින් පෙර එහි වලංගු කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණා ෴


දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්

(28.03.2025 – 16:11 +0530 – hirunews.lk/sinhala)

අද (28) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පොලිස් වසමේ 32-7R කණුව ආසන්නයේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මෙම අවස්ථාවේ බස් රථයේ රියදුරු හා තවත් පුද්ගලයකු සිට ඇති අතර, ගින්නෙන් ඔවුන්ට කිසිඳු හානියක් සිදුව ඇත්තේ නැහැ.

දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකිව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවයි.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *