33. අඩු මාසෙන් ඉපදුණු දරුවාගේ ඇඟට ලේසියෙන්ම රිංගූ ප්‍රේතයා

11.03.2015

රණංජය කැකිරාවේ පදිංචි ‍දොළොස් හැවිරිදි පාසල් දරුවෙකි. ඔහුගේ පියා රට රැකියාවකට ගොස් සිටී. මව මාලතීය. තිස් හැවිරිදි ඇය සුරූපීය. වයස අවුරුදු 22 කට 23 කට වඩා පෙනෙන්නේ නැත.

රණංජය හිටිහැටියේ පිහිය අරගෙන පවුලේ අය මරන්නට තැත් කරයි. පස්සෙන් පන්නයි. අයියාත් නංගීත් දෙදෙනා නිතර ඔහුට බයෙන් ජීවත් වෙති. අම්මාටද පහරදෙයි. ඇගේ ඇඳුම් ඉරා දමයි. ඔවුහු රාත්‍රියට රණංජයගෙන් ඈත්ව වෙනම කාමරයක ‍දොර අගුළු දාගෙන නිදා ගනිති. රණංජය නිතරම සිටින්නේ තරහවකිනි. ඔවුන් ජීවත් වන ඉඩමේම තවත් ගෙයක ආච්චිත් මාමාගේ පවුලේ අයත් ජීවත් වෙති. ඔවුන්ටද පිහියෙන් ඇන මරනවා යැයි නිතර තර්ජනය කරයි. අම්මාටත් අනිත් අයටත් තිත්ත කුණු හරුපයෙන් බැනවදී.

ඔහුද හීනෙන් බිය වී කෑගසාගෙන අවදි වෙයි. කිසි පිරිසුදුකමක් නැත. නෑමක් ඇඟ සේදීමක් තබා දත් මැදීම පවා නොකරයි. ඔහුගේ මව ඔහු මානසික වෛද්‍යවරයකු වෙත ගෙන ගියාය. එය මානසික රෝගයකැයි ප්‍රතිකාර කළත් කිසිදු සුවයක් ලැබුණේ නැත. ඇදුරන් ගෙන්වා ශාන්තිකර්ම ගණනාවක් කළද වෙනසක් වූයේ නැත. කිනම් ශාන්ති කර්මයක් කළත් සතියක් ඉක්ම යන විට තත්ත්වය තිබුණාටත් වඩා දරුණු විය.

‘මව්බිම’ පත්‍රයේ මළවුන්ගේ හෝරාව විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු ඥාතියකුගෙන් දැනගත් මාලතී සහෝදරයකු සමඟ රණංජය එහි කැඳවාගෙන ආවාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සමඟ දරුවාගේ තත්ත්වය පැහැදිලි කළාය.

ගවේෂකවරයා රණංජය වෙතට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු කෑගසන්නටත් බිම පෙරැළී දඟලන්නටත් විය. ඔහු පාලනය කළ ගවේෂකවරයා ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේද රණංජය ආවිශ්ට වී කෑගසන්නට විය. බිම පෙරැළී දඟලන්නට විය.
“මම යන්නේ නෑ. තොපි කොහොමද මාව එළවන්නේ” යි කියමින් කුණුහරුපයක්ද කීවේය.
“කට වහපං……” යැයි ගවේෂකවරයා වේවැල පෙන්වීය.
“කියපං උඹ කවුද?”යි ගවේෂකවරයා නැවැත ඇසීය. “මම කළුසුමනෙ. මම මුන්ව කනවා. මුන්ව මරාගෙන කනවා. රීරි බොනවා. බඩවැල් ඇදගෙන කනවා.”
“ඔය තරම් වෛරයකින් පෙළෙන්නේ මොකද?”
“මුන්ගෙ ලොක්කා තමයි මාව මැරුවේ.”

ලොක්කා යනු රණංජයගේ සීයාය. ඔහු ප්‍රදේශයේ නමගිය කසිප්පු ව්‍යාපාරිකයෙකි. තම ව්‍යාපාරවලට බාධාවක් වූ කරදර වූ සුමනදාස (කළු සුමනෙ) නමැත්තාට ලොක්කා පිහියෙන් ඇන මරා දමා ඇත. ඒ මීට අවුරුදු පහළොවකට ඉහතදීය. ඒ මිනීමැරුම පිළිබඳ නඩුවක් උසාවියේ විභාග විය. නඩුව අවසන් වන්නට පෙර ලොක්කාටද තවත් කෙනෙක් පිහියෙන් ඇන මරා දැමීය. ඒ මිනීමැරුමෙන් පසුව ලොක්කාගේ බිරිය ගෙවල් ‍දොරවල් අතහැර දරුවන් සමඟ ගමෙන් පිටව ගියාය. වෙනත් ගමක පදිංචි වූවාය. මේ තොරතුරු මාලතීගෙන් දැනගත් ගවේෂකවරයා භූතාත්මයෙන් නැවැත ප්‍රශ්න කළේය.

“තමුන් මෙච්චර කල් කොහේද හිටියේ?”
“මම හිටියේ මුන්ගෙ ළඟමයි. ගම අතහැරලා කැකිරාවට එනකොට මමත් ආවා. මම මුන්ව මරාගෙන කනවා.”
“ඇයි මේ ළමයාගෙ ඇඟට රිංගුවේ?”
“මුන්ගෙන් පළිගන්න.”

භූතයාගේ වෛරය යන්තමින්වත් වෙනස් වී නැති බව වටහාගත් ගවේෂකවරයා තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙස යළිත් උපදෙස් දුන්නේය.

බෝධි පූජාවලට ගිය අවස්ථාවේදී රණංජය මාලතීට පහර දුන්නේය. මාලතී සිය සහෝදරයන්ගේ උදවු ඇතිව කෙසේ හෝ ඉවසීමෙන් බෝධි පූජා අවසන් කොට නැවැත පැමිණියාය. එදිනද රණංජය ප්‍රලය වූ අතර ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“ලොක්කා පිහියෙන් ඇනලා කළු සුමනෙව මරනකොට මේ දරුවා ඉපදිලත් නෑ. ඉතින් මේ ළමයගෙ ඇඟට රිංගාගෙන කරදර කරන එක වැරැදියි නේද?”
“මම මුන්ගෙ ඇඟට රිංගගන්න උත්සාහ කළා. ඒත් බැරි වුණා. මේ කොලුවගෙ ඇඟට තමයි රිංගන්න පුළුවන් වුණේ. මම දැන් මූ ලවා මුන්ගෙන් පළිගන්නවා.”
“මේ ළමයාගේ ඇඟට රිංගන්න පුළුවන්කම ලැබුණේ කොහොමද?”
“මූ දුර්වලයි. මූ උපන්නෙ අඩු මාසෙන්. දවසක් මූ අඬනකොට මට රිංගගන්න පුළුවන්කම ලැබුණා.”
“ඔය වෛරය හිතේ තියෙන තුරු තමුන් ද්වේෂයෙන් දුක්විඳිනවා. තමුන් දැන් ඉන්නේ දුගතිගාමී ආත්මයක. කරුණාකර මේ ශරීරයෙන් ඉවත්වෙලා හොඳ තැනකට යන්න.”
“බෑ….. බෑ…… මුන්ව මරාගෙනම මිසක් මම යන්නෙ නෑ. මට පිහියෙන් ඇනලා මරපු පළිය අරගෙන මිසක් මම යන්නේ නෑ.”
“ඉතින් තමුන්ට පිහියෙන් ඇන්න ලොක්කත් පිහියෙන් ඇනුම් කාලා මැරුණා. එයාටත් විපාක ලැබුණා. ඒකෙන් හිත දාගන්න.”
“බෑ….. බෑ…. මාව මරපු පළිය මමම ගන්න ඕනෑ. ලොක්කගෙන් බැරි නම් සනුහරෙන් පළි ගන්නවා.”

මෙය සන්සිඳ විය නොහැකි වෛරයක් බව ගවේෂකවරයා වටහා ගත්තේය. ප්‍රේතයාගේ වෛරී චේතනාව අබිබවා යන චේතනාවකට යොමු කළ යුතු බව තේරුම්ගෙන ප්‍රේතයාගේ වෛරී මතකය යටපත් වන තුරු කිරණ ශක්තියෙන් පිච්චුවේය.

පිච්චෙනවා, පිච්චෙනවා, දැවිල්ලයි, දැවිල්ලයි…. එපා….. එපා… කියන තුරු පිච්චුවේය.
එහෙත් විනාඩි දහයක් පමණ පුච්චා රණංජය කාමරයෙන් පිට කොට වෙනත් රෝගීන් දෙදෙනකුට ප්‍රතිකාර කොට යළිත් රණංජය කැඳවා භූතාත්මය ආවිශ්ට කොට තවත් විනාඩි දහයක් පිච්චුවේය. කෑගසන තුරු පිච්චුවේය. මෙසේ තුන් වරක්ම යළි යළි පිච්චුවේය.

මේ වන විට ප්‍රේතයා ඉතාම දුර්වල තත්ත්වයකට පත්ව සිටියේය. පිච්චෙන වේදනාව නිසා වෛරී සිතිවිලි යටපත් වී ගියේය.

ගවේෂකවරයා යළි ප්‍රශ්න කළේය.
“තමුන්ගෙ නම මොකක්ද?”
“මතක නෑ.”
“ඇයි මේ ළමයාගෙ ඇඟට ආවේ?”
“දන්නේ නෑ.”
“මේ ළමයාව අතහැරලා යනවාද?”
“මම කොහේද යන්නේ?”
“ඉතින් ඔතන ඉන්නේ මොකටද?”
“ඒත් දන්නේ නෑ.”
“එහෙනම් බුදුන් වඳින්න යන්න.”
“මම බුදුන් වඳින්න දන්නේ නෑ.”
“දෙවි කෙනෙක් වෙන්න කැමැතිද?”
“ඒ මොකටද?”
“දැන් තමුන් ඉන්නේ දුර්වල ප්‍රේත ආත්මයක. කන්න බොන්න නෑ. දුක්විඳිනවා. දෙවියෙක් වෙන්න හිතන්න. ඒ වගේ දෙවියෙක් වුණාම සැප විඳින්න පුළුවන්. ආහාරයට අමෘතය ලැබෙනවා. ලස්සන දිව්‍යාංගනාවො ලැබෙනවා. දෙවියෙක් වුණාම ඒ සැප විඳින්න පුළුවන්.”
“දෙවියක් වෙන්න මොනවද කරන්න ඕනෑ”යි භූතයා ඇසීය.

“පෙර අකුසල් නිසා ප්‍රේතයෙක් වී ඉපදුණු කෙනකුට එක සැරේටම දෙවියෙක් වෙන්න බෑ. තමන් තුළ ශ්‍රද්ධාව ගොඩනැඟිලා කුසල් සිත් පහළ වෙන්න ඕනෑ. බුදුන් වඳින්න ඕනෑ. මෛත්‍රි කරුණා ගුණ වඩන්න ඕනෑ.”

“දෙවියෙක් වෙනවා නම් බුදුන් වඳින්නම්.”

“මම මේ අයට තවත් දවස් දහහතරක් බෝධි පූජා නියම කරනවා. ඒ අයත් එක්ක බෝධි පූජාවට ගිහින් ගාථා කියන හැටි ඉගෙන ගන්න. ඒ අයත් එක්ක බුදුන් වඳින්න. බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන වැඳගෙන ඉන්න. ආපසු ගෙදර යන්න එපා. බෝධීන් වහන්සේ ළඟට තවත් අය ඇවිත් වන්දනා කරනකොට ඔබත් වන්දනා කරන්න. දවස් දහහතර ඉවර වෙලා මේ අය එනකොට ඔබත් එන්න”යි භූතාත්මයට නියම කළේය.

බෝධි පූජා දහහතර නිමා කොට නැවැත එන්නැයි රණංජයගේ පවුලේ අයටද උපදෙස් දුන්නේය.

ඊළඟට ඔවුන් පැමිණි දිනයේද රණංජය ආවිශ්ට විය. මේ වන විට රණංජයගේ නපුරුකම් සියල්ල දුරු වී ඇති බවද මාලතී කීවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“දැන් කොහොමද?”
“මම දැන් බුදුන් වඳිනවා මහත්මයා. මට ඉක්මනින් දිව්‍ය ලෝකෙ යන්න ඕනෑ. මම මේ කොල්ලත් එක්ක යන්නෙ නෑ. බෝධිය ළඟටම යනවා. මට එතැන හොඳයි. ඉක්මනින් දෙවියෙක් වෙන්න ඕනෑ. දිව්‍ය සැප විඳින්න ඕනෑ”යි කියා භූතාත්මය ඉවත්ව ගියේය.

මෙහිදී සිදු කළේ භූතාත්මය දැඩි සේ අල්ලාගෙන වෛරී සිතිවිලි යටපත් වන තරමට ඊට වැඩි වේදනාවක් දී වෙනත් බලාපොරොත්තුවක් ආශාවක් ඇති කිරීමය. භූතාත්මය දිව්‍ය සැප ලැබීමේ තණ්හාවෙන් බුද්ධ වන්දනාවේ යෙදීමට පුරුදු විය. ඒ කාලය තුළ ආහාර සඳහා ගත් අපද්‍රව්‍ය වෙනුවට මල් පහන් සුවඳ දුම්මල සුවඳ ආඝ්‍රාණය කරන්නට පුරුදු විය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )