30. යක්‍ෂණියට මිනිහා පැටලෙයි, නුවන් යැයි සිතා රත්නසිරිගේ ඇඟට රිංගයි

14.03.2015

“ආ… පෝ…යි…. තොපිව මරා ගෙන කන්න ඕනෑ. අපොයි තොපේ ලේ බොන්න ඕනෑ. පිරිමි සංහතියෙන්ම පළිගන්නවා. මට කරපු අපරාදෙට. මාව විනාශ කළා. මාව නැති කළා. මම තොපේ ලේ බොනවා…. ලේ බොනවා… ලේ බොනව,….”යි රත්නසිරිට ආවේශ වූ යක්ෂණියක් මන්තරයක් මතුරන්නා සේ එක දිගට කියාගෙන යයි.
“මොකක්ද කිව්වේ?” ආධ්‍යාත්මීය ගවේෂකයා අසයි.
“ඇයි යකෝ කන ඇහෙන්න නැද්ද? ලේ බොනවා. ලේ බොනවා… තොපේ රීරි බොනවා… රීරි මාංසෙ කනවා…. පිරිමි සංහතියෙන්ම පළිගන්නවා….”
“මේ කාටවත් වරදක් නොකරන මගෙනුත්?”
“ඔව් යකෝ මට කොයි එකත් එකයි පිරිමි.”
“ඇයි ඔය තරම් වෛරයක් පිරිමි එක්ක?”
“අරූ මාව විනාශ කළා. මාව නැත්තටම නැති කළා. මගේ බඩට දරුවෙක් දීලා පැනලා ගියා. පළිගන්නවා… පළිගන්නවා… ලේ බොනවා… රීරි මාංස කනවා… අනේ! මාව නැති කළා… ඉහි… ඉහි….”යැ යි පොළොවේ හිස ගසා ගනිමින් යක්ෂණිය නොනවත්වා හඬන්නට පටන් ගත්තාය.

—————

රත්නසිරි රත්නපුර ප්‍රදේශයේ ගම්මානයක පදිංචි තිස් හැවිරිදි විවාහකයෙකි. එක්දරු පියෙකි. මාස තුනක පමණ කාලයක සිට කෑම අරුචියෙන් පෙළීම නිසා ශාරීරිකවද දුර්වල විය. සවස හයේ සිට කෑ ගසන්නට පටන් ගනී. දුවන්නට පටන් ගනී. මහා රාත්‍රියට මුළු ගමම දෙවනත් වන අයුරින් ‘හූ’ කියයි. තුන්වරක්ම ගඟට පැන සිය දිවි හානි කර ගන්නට තැත් කළේය. පවුලේ ඥාතීන් ඔහු කෙරෙහි නිතරම ඇස ගසා ගෙන සිටින නිසා තුන් වතාවේම ජීවිතය බේරා ගන්නට ඔහුට හැකි විය. ඔහු මූල්‍ය ආයතනයකට සම්බන්ධව රැකියාව කළත් මේ තත්ත්වය නිසා දැන් රැකියාවද අහිමි වී ඇත.

ඔහු සුවපත් කර ගන්නට විවිධ ශාන්තිකර්ම සිදු කළත් ආරක්ෂා විධි පැනවූවත් කිසිදු ගුණයක් ලැබුණේ නැත. රත්නසිරිගේ තරුණ බිරිය ‘මව්බිම’ පත්‍රයේ පළවන මෙම විශේෂාංගය කියවා ඇගේ මවුපියන් දෙදෙනා ද කැටුව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා රත්නසිරි කැඳවාගෙන ආවාය. එහිදී ආධ්‍යාත්මීය ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරිපිටදී රත්තසිරිට ආවිශ්ට වූ යක්ෂණිය පිරිමින්ගෙන් පළිගන්නා බව කියමින් අඬා වැටෙන්නට වූවාය. ප්‍රථම දිනයේ රත්නසිරි ව්‍යාකූල සිතින් හැසිරෙන්නට වූ බැවින් ගමේ පන්සලේදී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.

දෙවැනි දිනයේ ද රත්නසිරි තුළින් මතු වූ යක්ෂණිය අඬන්නට වූවාය. නොනවත්වා අඬන ඇඬිල්ල පාලනය කරන්නට වේවැල පාවිච්චි කළේය. එයින් අඬන වේගය වැඩි වූ බැවින් ආධ්‍යාත්මීය කිරණ ශක්තියෙන් පාලනය කරන්නට යෙදුණි.

“මම තොපිව මරාගෙන මැරෙනවා” යි දත් සපන්නට වූ අතර හිටිහැටියේ සිහිසුන්ව වැටුණි.

ගමේ පන්සලේ හාමුදුරුවන්ට දන් වේලක් පන්සලටම ගෙන ගොස් පූජා කොට සතියකින් නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

තුන්වැනි දිනයේ ද ප්‍රලය වූ නමුත් වෙනදා තරම් දරුණු නොවීය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?”

“දන්නේ නෑ”

“මොකක්ද නම?”

“මතක නෑ”

“කවද්ද මළේ?”

“මතක නෑ”

“ඇයි මේ හැම දෙයක්ම මතක නැත්තේ?”

“මම මැරුණේ වෛරයෙන්. වෛරයෙන් හිත පිරිලා. පළිගන්න තුරු වෙන කිසි දෙයක් මතකයට එන්නේ නෑ.”

ගවේෂකයා මෛත්‍රි සිතුවිලි ගොඩනඟා ශක්ති කිරණ යොමු කෙළේය. යක්ෂණිය හඬන්නට වූවාය.

“ඉහි… ඉහි…. මුං මාව නැති කළා..”

“කවුද නැති කළේ?”

“නුවන්…. නුවන්… “ඌ මාව විනාශ කළා. වල් පරයා…”

“තමුන්ගෙ ගෙවල් කොහෙද?”

“මතක නෑ… ම්… ම්… මුහුදේ සද්දය ඇහෙනවා ගෙදරට…”

“කොයි කාලෙද ඔය සිද්ධිය?”

“මතක නෑ… ම්… ම්.. සුනාමිය මතකයට එනවා…”

“හොඳයි මම කියන දේ හොඳට අහගෙන ඉන්න. ඒවා හිතෙන් කියවන්න… බුදු ගුණ අනන්තයි… බුදු ගුණ අනන්තයි…. බුදු ගුණ අනන්තයි… ඒ බුදුගුණ බලයෙන් මම සුවපත් වෙම්වා… මම ….. සුවපත් වෙම්මා….. මම… සුවපත් වෙම්වා.” යි ඇගේ මනස එක්තැන් කරන්නට ගවේෂකවරයා උත්සාහ කළේය.

“අසාධාරණයි. මේ මහ පොළොව නුහුලන අපරාධයක්. අසාධාරණයක්.”

“අපි ඔබට ඔය දුකෙන් නිදහස් වෙන්න උදවු කරන්නම්. කතා කරන්න.”

“මහත්තයා ඌ වල් පරයා….. නුවන් මාව රැවැට්ටුවා… මගේ බඩට ළමයෙක් දුන්නා… ඌ මාව සමන් දේවාලයටත් එක්ක ගෙන ගියා.”

“ඔබ මොනවද කළේ?”

“ගාමන්ට් එකක මැහුවා. ඌ මාව ගොඩාක් තැන්වල එක්ක ගෙන ගියා. අන්තිමේ මාව රැවැට්ටුවා.”

“අන්තිමට මොකද වුණේ?”

“දවසක් තරුණ ගෑනියෙක් මාව හොයාගෙන මම වැඩකරන තැනට ආවා. අනේ… නංගියේ… මම නුවන්ගෙ වයිෆ්. මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. අනේ.. මගේ දරු පවුල නැති කරන්න එපා… කියලා මට වැන්දා… ඒ වෙලාවෙ මට ලෝකෙම කැරකෙනවා වගේ දැනුණා. මට සිහිය එනකොට ඒ ගෑනි ගිහින්. මම මේ ගැන නුවන්ට කිව්වා. නුවන් බිම බලාගෙන ඉඳලා අපි දෙන්නා කොහේ හරි ගිහින් ජීවත්වෙමු කිව්වා. මේ වෙනකොට මගේ බඩේ දරුවෙක්. මටත් වෙන කරන්න දෙයක් නෑ. මමත් ඌට එකඟ වුණා. උගේ ළඟ සල්ලි නෑ කියලා ගෙයක් කුලියට ගන්න මගේ රත්තරන් බඩු ටික ඔක්කොම ගෙන්න ගත්තා. මූ ගෙයක් කුලියට ගත්තාය කියලා හෙට උදේ 9.00 ට ඇඳුම් ටිකත් අරගෙන රත්නපුරේ කළු පාලම ළඟට එන්න කිව්වා.

මම කියපු වෙලාවට කළු පාලම ළඟට ගියා. 9.00 ඉඳලා දවල් 12.00 වෙනකම් හිටියා. ඌ ආවේ නෑ. මම යාළුවෙකුගේ ගෙදරට ගිහින් ඉඳලා ඊට පහුවදාත් ඒ වෙලාවට ගියා දෙයියනේ… මූ එදත් ආවේ නෑ. මූව හොයාගෙන යන්න මුගේ ගෙවල් තියෙන දිහාව දන්නෙ නෑ. මට ආපුහු ගෙදර යන්නත් බෑ. මම මහා හොරකුට වල් පරයකුට රැවටුණු බව තේරුණා. තෝව කනවා, තොගේ රීරි මාංස කනවා, ලේ බොනවා… කියාගෙන කළු පාලෙමන් පහළට පැන්නා. එච්චරයි බුදු මහත්තයෝ මට මතක. ඒ පාලමෙන් පහළට පනින කොටම සිහිය නැතිව ගියා. අවුරුදු ගණනකට පස්සෙයි මට සිහිය කල්පනාව ඇති වුණේ. එදා ඉඳලා මම ඌව හොයනවා.”

“ඉතින් කාගෙද වරද?” ගවේෂකයා ඇසීය.

“නුවන්ගෙ… නුවන්ගෙ තමයි වරද…?”

“හරි නුවන් තමයි අපරාධය කළේ. ඒත් මේ හරියට ගමක් රටක් දන්නෙ නැතුව මිනිහකුට රැවටිලා තමන්ගේ වටිනා කියන හැම දෙයක්ම ඌට දීලා පිරිමි සංහතියටම වෛර කළාම හරිද?”

“ම්… ම්… ඒකත් ඇත්ත තමයි…”

තවත් දින හතක් බෝධි පූජා පවත්වන ලෙස රත්නසිරිට උපදෙස් දී යක්ෂණියට ද ඒ බෝධි පූජාවට ගොස් අත හිත යොමු කරන ලෙස නියම කෙළේය.

ඊළඟ දිනයේද රත්නසිරි ප්‍රලය විය.

“දැන් කොහොමද? අතීතය මතකද?”

“ඔව් මහත්තයා”

“මොකක්ද තමුන්ගෙ නම?”

“ඉනෝකා”

“ඉතින් ඉනෝකාට නුවන්ගෙන් වරදක් වුණා කියලා ඇයි මේ රත්නසිරිගෙ ඇඟට රිංගුවේ?”

“මුගෙත් ෆේස් කට් එක ටිකක් නුවන්ගෙ වගෙයි. මම නුවන්ව අල්ල ගන්න කළු පාලම ළඟට වෙලා කාලාන්තරයක් හිටියා. නුවන්ටත් තිබුණෙ කළු පාට බයික් එකක්. ඒකෙන් තමයි අපි එක එක තැන ඇවිද්දෙ. මුගෙත් බයික් එක ඒ වගේමයි. හැඩරුවත් ටිකක් ඒ වගේ නිසා මම මුගේ බයික් එකට නැග්ගා. එදා රෑ මූ යාළුවොත් එක්ක බීලා රෝස් කරපු කුකුළු මස් කාලා ඇවිත් කළු පාලම ළඟ නතර වෙලා වමනය කළා. ඒ තෙල් බැදුම් සුවඳත් උරාගෙන මම මුගේ බයික් එකේ පිටිපස්සේ ෂීට් එකේ වාඩිවෙලා ආවා. මූ ගෙදරට ඇවිත් වෙරිමරගාතේ වැටුණා. මම මුගේ ඇඟට රිංගුවා.”

“මේ නුවන් නෙවෙයි නම් ඇයි රත්නසිරිව අතහැරලා නොගියේ?”

“මූත් ගෑනිව රවට්ටනවා. හොරට ගෑනු ළගට යනවා. මූට දඬුවම් කරන්න මූ ළඟ නැවතුණා” යි භූතාත්මය කියන විට රත්නසිරිගේ බිරිය ලේන්සුවෙන් මුහුණ වසා ගෙන හඬන්නට වූවාය. ඇගේ මවුපියෝ බිම බලාගත්හ. තවත් දින දහ හතරක්, විහාර මන්දිරයකට ගොස් මල් වට්ටි දහ හතරක් පූජා කොට එන්නැයි රත්නසිරිට නියම කළේය. යක්ෂණියද ඒ මල් වට්ටිවලට අත ගසා බුදුන් වඳින්නැයි නියම කෙළේය.

මෙසේ මල් පූජාව ආරම්භ කළ දිනයේ රත්නසිරිගේ බිරිය දරුවාත් රැගෙන සිය මවුපියන්ගේ නිවෙසේ පදිංචියට ගිය බවත්, එසේ සිදු වූයේ එදා යක්ෂණිය කී කතාව නිසා බවත් රත්නසිරි ගවේෂකවරයා වෙත දුරකතනයෙන් දැනුම් දුන්නේය. ඊළඟට පැමිණෙන දිනයට කෙසේ හෝ බිරිය කැඳවා ගෙන එන ලෙසට ගවේෂකවරයා රත්නසිරිට උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේද නාගොඩවිතාන මහතා රත්නසිරිට දිෂ්ටි ගැන්වීය.

“දැන් කොහොමද?” යක්ෂණියගෙන් ඇසීය.

“විහාරයට ගියාට පස්සේ සිත ටිකක් සන්සුන් වුණා.”

“හැබෑද? දැන් තමුන් කල්පනා කරගන්න තමුන් අමාරුවේ වැටුණේ තමන්ගේම මෝඩකම නිසා. ගමක් රටක් පදිංචි තැනක් නොදන්නා කෙනෙක් එක්ක අවලමේ ඇවිදින්න ගිහින් අමාරුවේ වැටුණා මදිවාට තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්තු රත්තරන් බඩු ටිකත් හොරාට රැවටිලා දුන්නා. දැන් පිරිමි සංහතියට වෛර කරන්නෙත් තමන්ගෙ මෝඩකමට. ඒ වගේම අනුන්ගෙ පවුල් ප්‍රශ්න තමන්ට වැඩක් නෑ. තමුන් අනාථ වුණා මදිවට අනිත් අයගෙ පවුල් අනාථ කරන්න දෙන්න බැහැ. දැන් තමුන්ට ඒ හොරාත් නෑ. මවුපියොත් නෑ. තමුන්ට පුළුවන් නම් නුවන්ව හොයාගෙන ගිහින් ඕනෑ දෙයක් කළාට අපට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ අහිංසක පවුල් විනාශ කරන්න හදන්න එපා” යි යක්ෂණියට අවවාද කොට පන්නා දැමීය.

රත්නසිරිගේ බිරියත් ඇගේ මවුපියනුත් ඇමැතූ නාගොඩවිතාන මහතා “සමහර අමනුෂ්‍යයෝ හරියට බොරු කියනවා. අමනුෂ්‍යයන් කියන දේවල් පිළිගන්න එපා. මේ පුංචි දරුවා වෙනුවෙන් නුවණ මෙහෙයවා කටයුතු කරන්න. ඒ මෝඩ ගෑනි අමාරුවේ වැටිලා සියදිවි හානි කරගෙන දුගතිගාමී වෙලා අනුන්ගේ පවුල් අවුල් කර එයින් සතුටක් විඳින්නයි හදන්නේ. ඕවාට රැවටෙන්න එපා. වෙනදා වගේම සමඟියෙන් ජීවත් වෙන්න”යැයි උපදෙස් දුන්නේය.

සුරාපානය කිරීමත්, බීමත්ව රාත්‍රි ඇවිදීමත් (නොකල්හි වීථි සංචාරය) මේ කාරණා දෙකම පිරිහීමේ මාර්ග ලෙස බුදු දහමේ සඳහන් වෙනවා. අද සිට ඒවා අත්හළ යුතු බවත්, නැතහොත් යළිත් යක්ෂණිය පරණ පුරුද්දට ආපසු පැමිණිය හැකි බවත් රත්නසිරිට අවවාද කරමින් පැවැසීය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )