28. මුන්ගෙන් එකෙක් දෙන්නෙක් මරාගෙන යන්න ඕන

14.03.2015

ජයන්ත කොළඹට නුදුරු නාගරික පරිසරයක පදිංචිකරුවෙකි. හතළිස් හැවිරිදි ඔහු විවාහකයෙකි. දෙදරු පියෙකි. ඔහුගේ පවුලේ මව සහ සහෝදර සහෝදරියන් හයදෙනෙකි. මහ ගෙදර පදිංචිව සිටි මේ පිරිස අතර ඉතාම සුළු දෙයකට පවා ගහ බැන ගෙන ඔළු පළා ගැනීම නිතර සිදු විය. කෙනකු හදිස්සියකට අතමාරුවක් ඉල්ලුවත් එයට නැතැයි නොකියා වෙනස් වචන භාවිත කිරීම නිසා ගැටුම් ඇතිවී ඔළු පළා ගනිති. මේ නිසා ඔවුහු මහ ගෙදරින් වෙන්ව ඉවත්ව ගොස් පදිංචි වී සිටිති. දැන් මහගෙදර ජීවත්වන්නේ ජයන්තත් බිරියත් දරු දෙදෙනාත් මවත් පමණකි. දැන් මහගෙදර සිටින මේ දෙතුන් දෙනා සුළු දේටත් ඔළු පළා ගනිති. ඊට අමතරව නිවෙස තුළ දුර්ගන්ධයක් පවතී. රාත්‍රියට නිවෙස තුළින් “හූ” හඬක් ඇසෙයි.

“මව්බිම” පත්‍රයේ ‘සැණකෙළිය’ අතිරේකයේ සඳහන් වන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ජයන්තත්, මෑණියෝත්, බිරියත් ගියහ. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තම නිවෙසට හා පවුලේ අයට එළැඹ ඇති තත්ත්වය පැහැදිලි කළහ. මේ වෙනුවෙන් මෙතෙක් කළ තොවිල්පවිල්වලින් කිසිදු සහනයක් නොවූ බවද කීහ.

එදින නාගොඩවිතාන මහතා ප්‍රියන්ත වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඔහු ඔළුව අල්ලා ගෙන කෑ ගසන්නටත් හූ කියන්නටත් විය. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පමණක් නොව අහල පහළ නිවෙස්වලටත් ඇහෙන්නට මහ හඬින් කෑ ගසන්නටත් හූ කියන්නටත් වූ බැවින් භූතාත්මය ශරීරයෙන් ඉවත් කළේය. දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන ලෙසද ඊළඟ දිනයට සහෝදර සහෝදරියන් හයදෙනාම පැමිණිය යුතු බවද ගවේෂකවරයා කීවේය.

බෝධි පූජා අවසන් කළ ජයන්ත පවුලේ අනෙකුත් සහෝදර සහෝදරියන්ද සමඟ ඊළඟ දිනයේ පැමිණියේය. එදින ගවේෂකවරයා ඔවුන්ට ශක්ති කිරණ එල්ල කරන විට ඔවුන්ගෙන් දෙන්නා බැගින් ප්‍රලය වී කෑ ගසන්නටත් හූ කියන්නටත් වූහ. එක් අයකු නිහඬ කළ ගවේෂකවරයා අනෙක් භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ?”
“මම.”
“මම නොවෙයි නම මොකක්ද කියලයි ඇහැව්වේ?”
“මතක නෑ.”
“කවුද එව්වේ?”
“හාමුදුරුවෝ.”
“මොන හාමුදුරුවෝද?”
“මේ ජයන්ත පදිංචි ඉඩමට යාබද පන්සලේ හාමුදුරුවෝ.”
“ඒ හාමුදුරුවො මොනවද කරන්නෙ?”
“මන්තර ගුරුකම් කට්ටඩි වැඩ. ජයන්තලා තමයි ඉස්සර ඒවට උදවු කළේ.” භූතයා පැවැසීය.

මේ අය නොකියන, සඟවන දෙයක් ඇති බව මේ භූතයාගේ කතාවෙන් ගවේෂකවරයා වටහා ගත්තේය. භූතයා ශරීරයෙන් ඉවත් කොට ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

තමන්ගෙ ඉඩමට යාබද ඉඩමේ පන්සලක් තියෙනවද? ඒකෙ ඉන්න හාමුදුරුවොත් එක්ක මොකක්ද තිබුණු සම්බන්ධය? මට ඇත්ත කියන්න. ඇත්ත නොකියා හිත යට රහස් තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න ප්‍රතිකාර කරන්න මට බැහැ. වෛද්‍යවරයකුට වුණත් රෝගයකට ප්‍රතිකාර කරන්න රෝග නිධානය සොයා ගන්න ඕනෑ. ඇත්ත හංගාගෙන ප්‍රතිකාර කරන්න බැහැ. මට ඇත්ත කියන්නැයි ගවේෂකවරයා ඔවුන්ට තදින්ම අවධාරණය කළේය.

පිරිස මීයට පිම්බාක් මෙන් නිහඬව බිම බලාගෙන සිටියහ.

“කරුණාකරලා ඇත්ත කියන්න. නැත්නම් මට ප්‍රතිකාර කරන්න බැහැ. මෙතැන කාලය බොහෝම වටිනවා. ප්‍රතිකාර ගන්න පැමිණි රෝගීන් පෝලිමේ බලා ඉන්නවා. ඇත්ත කියන්න බැරිනම් ඔය භූතයන් තවදුරටත් ශරීරවල තියාගෙන කරුණාකර මෙතැනින් පිටවෙලා යන්න. මම ප්‍රතිකාර නතර කරනවා.”

පිරිසේ නිහැඬියාව බිඳිමින් ජයන්තගේ නංගී කෙනෙක් කතා කළාය.

“මහත්තයා අපේ ගෙදරට යාබද ඉඩමේ ඉන්න හාමුදුරුවෝ මන්තර ගුරුකම් කරන එක ඇත්ත. ඒ වැඩවලට උදවු කළේ අපේ අයියා. මේ ජයන්ත අයියා. ගුරුකම්වලට මිනිස්සු ගෙනැත් දුන්නෙත් අයියා. මෙතැන හුඟාක්ම සිද්ධ වුණේ නරක වැඩ. භික්‍ෂුත්වයට නොගැළපෙන අසම්මත වැඩත් සිද්ධ වුණා. ඒවාට උදවු කළෙත් අයියා. මේ හැම දෙයක්ම කළේ දෙන්නා එක්ක හවුලේ. එතැන ඉඳලා අයියා ගෙදර එන්නේ හොඳටම වෙරි වෙලා. මේ මන්තර ගුරුකම් කරන ඒවායෙන් හාමුදුරුවො ලොකු ගණන් හම්බ කළා. එයින් කොටසක් අයියාටත් ලැබුණා. අණ වින, හූනියම් කරන ඒවට විශාල ගණන් අය කළා. ඒ වගේ වැඩකින් අයියගෙ කොටස හරියට ලැබුණෙ නෑ කියලා අයියගෙ අමනාපයක් තිබුණා. මේ අතරෙ අමනාපය නොපෙන්වා අයියා අසම්මත වැඩකටත් උදවු කරලා හාමුදුරුවන්ට හොරෙන් ඒක වීඩියෝ කරලා තිබුණා. ඊට පස්සේ අර ගනුදෙනුව ගැන කතා කරලා දෙන්නා අතරේ බහින් බස් වෙලා ගහ ගත්තා. ගහගෙන ගෙදර දුවගෙන ඇවිත් කැමරාව අරගෙන ගිහින් අර වීඩියෝ එක පෙන්නලා හාමුදුරුවන්ට තර්ජනය කළා මගේ මුදල් කොටස නුදුන්නොත් මේක දායක සභාවෙ අයට පෙන්නනවා කියලා. ඒ පාර හාමුදුරුවෝ අයියා ඉල්ලපු මුදල් ප්‍රමාණය දීලා තිබුණා. එතැන ගණන රුපියල් ලක්‍ෂ පහක්. ‘උඹ ඔය සල්ලි අරගෙන පලයන්. හැබැයි උඹ බලාගනින් උඹට වෙන දේ මොකක්ද කියලා’ හාමුදුරුවො කියලා තිබුණා. ඒ තරහට හාමුදුරුවො අපට ගුරුකමක් කරලා ඇති කියලා මම හිතනවා”යි ඇය කීවාය.

“මේ කතාව ඇත්තද යි ගවේෂකවරයා ඇසීය.
ඔව්” යැයි ජයන්ත හිස වනා පිළිගත්තේය.
“මේවා කැත වැඩ. මහා පාප කර්ම, ශාසනයටත් අපහාස නින්දා වෙන වැඩවලට උදවු කරලා තමුසෙලා වගේ අයට ප්‍රතිකාර කරන්න හිත් දෙන්නෙත් නෑ.”
“අනේ මහත්තයා මෙයාගෙ වැඩ හින්දා අපටත් හැමදාම දුක් කරදර. අපි වෙනුවෙන් අනුකම්පා කරලා මේ භූත දෝෂයෙන් අපිව මුදා ගන්න.” ජයන්තගේ සහෝදරියෝ ආයාචනා කරන්නට වූහ.
“මේක බරපතළ වැඩක්. මේ පවුලේ ජීවිත කීපයක් නැති වෙන වැඩක්. එහෙම නම් මම නියම කරන විදියට නොවරදවාම කටයුතු කරන්න ඕනෑ. නැත්නම් මම ප්‍රතිකාර කරන්නේ නැහැ.”
“අනේ මහත්තයා කියන ඕනෑම දෙයක් අපි කරන්නම්” යැයි ඔවුහු පොරොන්දු වූහ.
“මේ පවුලේ හැම දෙනාම මාසයේ හතර පෝයටම සිල් සමාදන් වෙන්න ඕනෑ. තමන් කැමැති පන්සලකට ගිහින් මාස දෙකක් හතර පෝයටම සිල් සමාදන් වෙලා එන්නැ”යි උපදෙස් දුන්නේය.

මාස දෙකකට පසු මේ පවුලේ කණ්ඩායම නැවැත පැමිණියහ. එදිනද පිරිසේ දෙදෙනෙක් යක්ෂාරූඪ වූහ. ඔවුහු දෙදෙනා ගහගන්නට කෙහෙවලු පටලවා ගෙන රණ්ඩු කරන්නට වූහ.
ගවේෂකවරයා එයින් එක් අයකු නිහඬ කර අනෙකාගෙන් ප්‍රශ්න කළේය.
“මොකද මේ කරන්නේ?”
“මුන්ගෙන් එකෙක් දෙන්නෙක් ළඟදිම මරා ගෙන යන්න ඕනෑ. අපට නියම කර තියෙන දේ අපි කරන්න ඕනෑ.”
“ඇයි මෙච්චර කල් ඒක කරන්න බැරි වුණේ?”
“ඒකටත් වෙලාවක් තියෙනවා. තවම මුන්ගේ වෙලාව හොඳයි. ග්‍රහචාරෙ නරක් වුණාම එක එකාව අපි මරනවා. ළඟදිම එකෙක් දෙන්නෙක් මරාගෙන අරගෙන යනවා.”
භූතාත්මය ඒ ශරීරයෙන් ඉවත් කොට පවුලේ අයට නැවැත උපදෙස් දුන්නේය.

“පේනවා නේද ප්‍රශ්නයේ බරපතළකම? ඔය අණවින හදි හූනියම් කළාම ඒකෙ විපාක විඳින්න වෙනවා. තමුන්ට වගේම අහිංසකයන් කීදෙනෙක් ඔය හූනියම්වලින් දුක් විඳින්න ඇතිද කියලා හිතන්න. ඔය අසාධාරණ විදියට හම්බ කරපු සල්ලිවලින් මට සත පහක් එපා. හැබැයි මම කියන දේවල් කරන්න ඕනෑ. ඔය සල්ලිවලින් රුපියල් ලක්‍ෂයක් වියදම් කරන්න. කැකිරාව, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල දුප්පත් පාසල් තුනක් තියෙනවා. මම ඒවායේ ලිපින දෙන්නම්. අන්න ඒ දුප්පත් ඉස්කෝල තුනේ ඉන්න ළමයින්ට පොත්පත්, පෑන්, පැන්සල් අරගෙන ගිහින් තම තමන් අතින්ම බෙදා දෙන්න ඕනෑ. ඊට පස්සෙ ඒ පින දෙවියන්ට අනුමෝදන් කරලා ආපහු එන්න. විශේෂයෙන්ම වෛශ්‍රවණ දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ භූත දෝෂයෙන් නිදහස් කර දෙන්නැයි ඉල්ලන්න ඕනෑ. තම තමන්ගෙ ගෙවල්වලත් හැම දෙනාම උදේ හවස පන්සිල් සමාදන් වෙලා තෙරුවනට මල්, පහන් පූජා කරලා රතන සූත්‍රය හත්වර බැගින් කියා නිවෙස්වලට දුම් අල්ලන්න ඕනෑ. ජයන්ත ගෙදරට රතන සූත්‍රය විසි එක්වර බැගින් කියා දුම් අල්ලන්න ඕනෑ.

සති දෙකකට පසු ඔවුහු නැවතත් පැමිණියහ. එදිනද දෙදෙනා බැගින් ප්‍රලය වී ගහගන්නට වූහ. භූතාත්ම ශරීරවලින් ඉවත් කළ
ගවේෂකවරයා තවත් උපදෙසක් දුන්නේය.

“දැන් මේ සහෝදර සහෝදරියෝ එකතු වෙලා මහගෙදර සාංඝික දානයක් දෙන්න. විසි නමකට අට පිරිකර විස්සක් පූජා කර දෙවියන්ට පින් දෙන්න. වෛශ්‍රවණ දෙවියන්ටත් පිරිවර සේනාවටත් පින් දෙන්න. මේ අමනුෂ්‍යයෝ දෙන්නටත් පින් දෙන්න.

සාංඝික දානය පිරිනමා අවසන් කොට ජයන්ත ඇතුළු පිරිස නැවැත පැමිණියහ. එදිනද දෙදෙනෙක් ප්‍රලය වූහ. එදා ගහ ගත්තේ නැත. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“තමුන්ට මොනවද ඕනෑ?”
“මොකුත් එපා. අපට නිදහස් වෙලා යන්න ඕනෑ.”
“හාමුදුරුවො ළඟටද ආයෙත් යන්නේ?”
“නෑ. එයා ළඟට යන්න බෑ. එයා මැරුණා.”
“මොනවා වෙලාද මැරුණේ?”
“එයා අසම්මත වැඩක යෙදෙනකොට අපි දෙන්නා ඇඟට රිංගුවා. අපි දෙන්නා ගහගන්නකොට ප්‍රෙෂර් හැදිලා මැරුණා.”
“දැන් කොහේද ඉන්නේ?”

“හාමුදුරුවෝ මහා ගින්නක් මැද දැවෙනවා. ගිනියම් වුණ යකඩ තහඩුවක් උඩ ඉන්නවා. උඩිනුත් ගිනියම් යකඩ තහඩුවක්. යට තියෙන යකඩ තහඩුවෙන් පිටවෙන ගිනිදැල්වලින් යටි පතුළවල සිට හිස දක්වා දැවෙනවා. ඊළඟට උඩ තියෙන යකඩ තහඩුවෙන් නිකුත් වන ගිනිදැල්වලින් ඉහළ සිට පහළට දැවෙනවා. ඇඳගෙන ඉන්න සිවුරෙනුත් ගිනිදැල් නිකුත් වෙනවා. දෙපතුල් දැවෙන කොට උඩපැන පැන දුක් විඳිනවා. අනේ මහත්තයා අපිව නිදහස් කර යවන්න.”

භූතයන් දෙදෙනා නිදහස් කොට සොහොනකට යැවීය.

“පන්සිල් කැඩුවොත් මේ භූතයෝ දෙන්න නැවැත ඒවි. ඔය ගෙවල්වල කරන ආගමික පිළිවෙත් නොවරදවාම කරන්න.” ගවේෂකවරයා පවුලේ අයට උපදෙස් දුන්නේය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )