18.03.2015
මරණාසන්න මොහොතේදී පුද්ගලයාගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් අක්‍රිය වීමත් සමඟම සිත ප්‍රබල වේ. මරණාසන්න මොහොතේ සිතේ හට ගන්නා සිතිවිලිද ඉතා ප්‍රබලව පුද්ගලයා කෙරෙහි මෙන්ම ඊළඟ භවය කෙරෙහිද බලවත් වේ. මරණාසන්නයේදී මරණයට පෙර සිතේ හට ගන්නා අරමුණු ඊළඟ ප්‍රතිසන්ධියට හේතු වේ.
මහනුවර පදිංචි නන්ද සිවිල් ඉන්ජිනේරුවරයෙකි. තිස් දෙහැවිරිදි ඔහු තවමත් අවිවාහකය. හීනෙන් බිය වී කෑගසාගෙන නින්දෙන් අවදි වීම, දරුණු හිසරදය හා ඇඟපත වේදනාව නිසා වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් ලැබුණේ නැත. මව්බිම පත්‍රය කියවන යහළුවෙක් එහි පළ වන මළවුන්ගේ හෝරාවේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු කැඳවාගෙන ගියේය. ඔවුන් සමඟ පැමිණි නන්දගේ මව නන්දට විවාහයක් හරි නොයන කතාවක්ද ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සමඟ කීවාය.
පළමු ගවේෂණයේදීම නන්ද ප්‍රලය වී අඬන්නට වූයේය. විනාඩි දහයක් පමණ ඉකිබිඳ එක දිගට අඬන්නට වූයේය. දින හතක් ගමේ පන්සලේදී බෝධිපූජා පවත්වා එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
ඊළඟට පැමිණි දිනයේ නන්ද ප්‍රලය වී කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේය.
“කවුද මේ ශරීරයට රිංගාගෙන අඬන්නේ?”
“මම ශානිකා.”
“ගම කොහෙද?”
“අම්පිටියෙ.”
“ශානිකා කියන්නෙ කවුද?”
“නන්ද යාළුවෙලා හිටියේ මා එක්ක.”
“කවදද මැරුණෙ?”
“අවුරුදු තුනකට කලින්.”
“මොනවා වෙලාද මැරුණෙ?”
“ඩෙංගු හැදිලා.”
“ඇයි අඬන්නේ?”
“මම නන්දට ආදරෙයි. නන්දත් මට ගැඹුරින්ම ආදරය කළා. අපේ සම්බන්ධය ගැන අපේ ගෙවල් දෙකේම කවුරුත් දන්නේ නෑ.”
“ඇයි ඒ?”
“අපි යාළුවෙලා අවුරුද්දකට වඩා නෑ. මට ඩෙංගු හැදුණු බව නන්ද දන්නේ නෑ. කොහොම හරි නන්ද මම ඉස්පිරිතාලෙ ඉන්න බව හොයාගෙන එනකොට මම හිටියෙ දැඩි සත්කාරයේ. කොහොම වුණත් නන්ද වාට්ටුවට ඇවිත් මගේ ඇඳ ළඟට වෙලා බලා ඉන්න බව මට දැනුණා. මම මැරුණා. නන්ද මගේ මළගෙදරටත් ආවා. අන්තිම වෙනකම්ම හිටියා. ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, නන්ද කවුරුවත් හඳුනන්නෙත් නෑ. අන්තිමට මගේ සොහොන ළඟ රෑ වෙනකම්ම අඬ අඬා හිටියා. මම නන්දට කතා කළා. මම කියන දේවල් නන්දට ඇහුණේ නෑ. මෙයා හරිම දුකෙන් හිටියේ. කළුවර වැටෙන කොට නන්ද සොහොන ළඟින් පිටවෙලා ආවා. මමත් නන්ද එක්කම ආවා. මට දුකයි. නන්දව දාලා යන්න බෑ. මම නන්ද ළඟට වෙලා ඉන්නවා. මට නන්දව ඕනෑ. මට ඕනෑ නන්ද ළඟට වෙලා ඉන්න. අනේ මට යන්න නම් කියන්න එපා”යි නැවතත් අඬන්නට වූවාය.
තවත් සතියක් බෝධිපූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.
බෝධිපූජා අවසන් කොට නන්ද නැවත් පැමිණියේය. එදින ඔහුගේ අම්මාද පැමිණියාය.
මීට පෙර කීප වතාවක් නන්ද ළඟ ගැහැනු ඡායාවක් එහා මෙහා යන බව තමන් දුටු බවත් එය ඒ තරම් ගණනකට නොගත් බවත් ඊට ප්‍රතිකාරයක් නොකළ බවත් නන්දගේ මව කීවාය.
එදිනද නන්ද දිෂ්ටි ගන්වා ශානිකාගේ භූතාත්මය ගෙන්වීය. එදිනද භූතාත්මය එක දිගට හඬන්නට වූවාය.
“ඇයි මේ අඬන්නේ?”
“මම අඬන්නේ කාරණා තුනකට මහත්මයා.”
“මොකක්ද කාරණා තුන?”
“එකක් නන්ද මා ගැන කල්පනා කරමින් තනියම දුක් වෙන එක. අනෙක් එක මා නිසා නන්ද අසනීප වීම. අනෙක් කාරණය මට නන්දව අතහැර යන්න සිදුවීම.”
“ඔව් දැන් ඔබටත් වඩා නන්ද අසරණ වෙලා. ඔබ උගත් කෙනෙක්. සාධාරණව කල්පනා කරන්න. ඔබට මොනවද වුවමනා? මෙයාව මරාගෙන ඔබ ඉන්න තැනකට ගෙනියන්නද?”
“අනේ නෑ…. නෑ…… මගේ කරුමෙට මා මළාට නන්දට එහෙම අහිතක් කරන්න මම කැමැති නෑ. ආදරය කරන කෙනෙක්ව මරාගෙන යන්නෙ කොහොමද මහත්මයා? ආදරේට මිනී මරන්න බැහැනෙ.”
“එහෙම නම් ඔබ වගේ කෙනෙක් පන්නා දමන්නත් හිතෙන්නේ නෑ මටත්” යැයි ගවේෂකවරයා කීය.
“අනේ මහත්තයා මට හිත හදාගන්න හැටියක් තේරෙන්නේ නෑ.”
“දැන් ඔබ නන්ද ළඟට වෙලා ඉන්න එකෙන් ඔබට මොනවද ලැබෙන්නේ?”
“ලැබෙන්නේ නම් දුකම තමයි. මට සිද්ධ වෙන කිසිම සෙතක් නෑ. නන්ද දුක් විඳිනවා. දැකලා මමත් දුක්විඳිනවා.”
“ඒ වගේම ඔබ හිතන්න ඔබ දැන් ශානිකා නොවෙයි. ශානිකා ඩෙංගු හැදිලා මැරුණා. දැන් ඉන්නේ පහළ මට්ටමේ භූතාත්මයක්. ලෝභ මූලික ඇලීමක් නිසා මරණයෙන් පසු පහළ මට්ටමේ තත්ත්වයකින් උපන් ප්‍රේත ජීවියෙක්. ඒ වුණත් ඔබේ දැනුම, බුද්ධිය නිසා ඔය තත්ත්වයෙන් මිදී ඉහළ උපතක් ලබන්න ඔබට පුළුවන්. දිව්‍යාත්මයකට යන්න පුළුවන්.”
“එහෙම තත්ත්වයකට පත් වුණොත් මට නන්දව බලලා යන්න පුළුවන්ද?”
“පුළුවන්. පුළුවන්.”
“එහෙම නම් මට ඒකට උදවු කරන්න මහත්මයා.”
“ඔබ පළමුවෙන් හිතන්න නන්දත් එදා හිටපු නන්දනොවෙයි. එයත් ලෙඩෙක්. මෙහෙම ගියොත් පිස්සෙක් වේවි. දැන් රස්සාවට යන්නෙත් නෑ. මෙහෙම වෙන්නේ ඔබ නිසා. ඔබ නන්ද ළඟ සිටින නිසා.”
“අනේ මහත්මයා නන්දට නරකක් වෙනවා නම් මම යන්නම්. මම මේ දුක දරාගන්නම්. ඒත් නන්දව නොදැක ඉන්න එක නම් දුකයි මහත්මයා.”
“හොඳයි මම සාධාරණ යෝජනාවක් කරන්නම්. මාස තුනක් ගත වෙන තුරු හැම සුමානෙකම සෙනසුරාදා හෝ ඉරිදා ලෙඩෙකුට දුප්පතකුට හොඳ කෑම වේලක්, කෑම පාර්සලයක් පිරිනමලා ඔබේ නමින් සුදු නෙලුම් මල් වට්ටියක් දළදා මාලිගාවට පූජා කර වැල් බෝධිය ළඟට ගිහින් ඔබට පින් අනුමෝදන් කරන්න කියලා නන්දට කියන්නම්. ඔබ වැල් බෝධීන් වහන්සේ ළඟ ඉඳගෙන පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම වැල් බෝධිය ළඟ මිනිසුන් බෝධි පූජා තියන කොට ඔබත් ඒවාට අතහිත දී පින් රැස් කර ගන්න. ඔබට අවශ්‍ය නම් ඉඳහිට ඇවිත් නන්දව පිටින් ඉඳගෙන බලා යන්නැ”යි භූතාත්මයට උපදෙස් දුන්නේය.
“මම කැමැතියි මහත්මයා වැල් බෝධිය ළඟට යන්න.”
නන්දට පියවි සිහිය ලබාදී මේ විස්තරය කීවේය. “ඒ විතරක් නොවෙයි මහත්මයා මම ඉදිරියේදී විවාහ වුණත් නූනත් ශානිකා මියගිය දිනයට මම හැම අවුරුද්දකම දානයක් දී පින් අනුමෝදන් කරන්නත් පොරොන්දු වෙනවා” නන්ද කීවේය.
මේ වන විට නන්ද බොහෝදුරට සුවපත් වී සිටි අතර ඉක්මනින් රැකියාවට යන බවත් පළමු මාසයේ වැටුපෙන් සාංඝික දානයක් පිරිනමා ශානිකාට පින් අනුමෝදන් කරන බවත් කීය.
ඒ දානයෙන් පසු නැවත පැමිණෙන ලෙසද නන්දට උපදෙස් ලැබිණි.
මාසයකට පසු දානය පිරිනමා නන්ද නැවත මිතුරා සමඟ පැමිණියේය. එදිනද ගවේෂකවරයා ශානිකාගේ ප්‍රාණකාරයා නන්දගේ ශරීරයට ගෙන්වීය. ප්‍රලය වූ භූතාත්මය සිනාසෙන්නට වූවාය.
“මහත්තයා නන්ද මා ගැන බොහෝම කරුණාවෙන් දානය හොඳට දුන්නා. මට පින් අනුමෝදන් වුණා. නන්දව මේ මධ්‍යස්ථානයට එක්කගෙන ආපු යාළුවාටත් පින් සිද්ධ වෙනවා. මම යනවා. ඔබ හැම දෙනාටම බුදුසරණයි.”
නන්දට දිනපතා පාන්දරටත් රාත්‍රි නින්දට පෙරෙත් භාවනාවක් කරන්නට අවශ්‍ය උපදෙස් දුන්නේය ෴
********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )