27.05.2015
තමන් අකැමැති දේ ලැබීම මෙන් ම කැමැති දේ නොලැබීම ද දුකට හේතුවකි. කායික මානසික දුක් පීඩාවලට මිනිස්සු පමණක් නොව තිරිසන් සත්තු ද අකැමැතිය. ලෙඩ රෝග දුක් කරදර එළඹෙනවාට පමණක් නොව එසේ දුකට පත්වූවෙකු උදේ පාන්දර දකිනවාට ද අකැමැතිය. එසේ ම ප්‍රසන්න වූ ජීවී අජීවී වස්තු නොලැබීම දුකකි. එවැනි දේ ධනයෙන් හෝ බලයෙන් ලබාගත නොහැකි කල ඒ සඳහා වෙනත් උපාය මාර්ග ද යොදති. මේ එවැන්නක් නිසා සිදුවූ විපතක් අනාවරණය වූ කතාවකි.
විජය බැංකු සේවයෙන් විශ්‍රාම ගත් නිලධාරියෙකි. ඔහුගේ බිරිය ධර්මා ප්‍රසන්න කඩවසම් තරුණ කාන්තාවකි. දැනට අවුරුදු කීපයක පටන්ම ඇයට ඇඟපත රුදාව හා රාත්‍රියට නින්ද නොයෑම නිසා වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොවීය. ඊට අමතරව රාත්‍රි කාලයේ නිවස තුළ බඩුමුට්ටු පෙරළන, එහා මෙහා කරන ශබ්ද ඇසෙන්නට විය.
මේ දුක්ඛදායක, බලාපොරොත්තු නොවූ, හිරිහැරයක් වූ, බිය ජනක වූ, තත්ත්වයෙන් මිදීම සඳහාත් බිරිය මුදාගැනීම සඳහාත් විජය, ධර්මා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණියේය.
මධ්‍යස්ථානයට පැමිණි සැටියේම ධර්මා සිහිසුන්ව ඇද වැටුණාය. ඉන්පසු ගවේෂකවරයා ඉදිරියේ වැඳ වැටී “අනේ මගේ දුව බේරා දෙන්නැ”යි කන්නලව් කළාය.
”කව්ද මේ ශරීරයට රිංගාගෙන සිටින්නේ?”
”මම නෝනාහාමි”
”කව්ද මේ නෝනාහාමි කියන්නේ?”
”මේ දුවගෙ අම්මා”
”තමුන් දැන් කව්ද?”
”දේවතාවියක්”
”දේවතාවියක් මේ දුඟද හමන පිළිකුල් කටයුතු ශරීරවලට රිංගනවද?”
”නැහැ. මම ජීවත්ව සිටියදී වැරදි වැඩ කළේ නැහැ. මගේ මව් පිය දෙදෙනාට වගේම නැන්ද මාමා දෙන්නටත් ගෞරව කළා. සාත්තු සප්පායම් කළා.
වෙනසක් නැතුව සැලකුවා. අනුන්ට ඊර්ෂ්‍යා කළේ නෑ. අනුන්ගේ අඩුපාඩු දොස් කතා කළේ නෑ. අනුන්ගේ හිත රිදෙන්න පරුෂ වචන කතා කළේ නෑ. ඕපාදූප හිස් වචන කතා කළේ නෑ. බොරු කීවේ නෑ. පන්සිල් පද ආරක්ෂා කළා. මම දුගතිගාමීව ඉපදුණේ නෑ. දුවට තියෙන ආදර බැඳීම නිසා ඉහළට යන්න බැරිවුණා. මා හිතාගෙන ඉන්නේ මම දේවතාවියක් කියා. පත්තිනි දේවියගෙන් අවසර වරම් අරගෙනයි ආවේ දුව ආරක්ෂා කරගන්න. මම මගේ දරුවට උදව් කරනවා.”
”මොනවාද ඔබ දුවට කළ උදව්?”
”මගේ දුවට මම උදව් කරනවා. මෙයාට හොඳට මුදල් තියෙනවා. තට්ටු තුනක ගෙයක් හැදුවා. ඒ හැම දේකටම උදව් කරනවා. පත්තිනි දේවියගේ ආශිර්වාදයෙන්.”
”පත්තිනි දේවියගෙයි ඔබෙයි සම්බන්ධය මොකක්ද?”
”මම සුමානෙකට දවසක් නවගමුවේ පත්තිනි දේවාලයේ තේවාවට ගිහින් උදව් වෙනවා. ඒ නිසා එතුමිය මට ආශිර්වාද කරනවා. එතුමිය තමයි මේ ස්ථානයට එන්නත් යොමු කළේ.”
”ඉතින් එහෙම නම් මේ දුවට ලෙඩ දුක් කරදර වෙන්නේ කොහොමද?”
”මගේ දුව බිල්ලට ගන්න බලගතු යක්ෂයෙක් බන්ධනය කරලා. රෑ දොළහටත් දවල් දොළහටත් ඒ යක්ෂයා මගේ දුව මරාගෙන යන්න එනවා. මා නිසා ඒ යක්ෂයාට දුව අරගෙන යන්න බැහැ. මම දුව ළඟ ඉඳගෙන හැමවිටම දුව බේරා ගත්තා. මේ යකා ඒ තරහට දුවගෙ ලොකු පුතාව බිලි ගත්තා. පුතා පැදපු මෝටර් සයිකලය බස් එකකට තල්ලු කරලා”
”කව්ද? මේ බන්ධනය කළේ?”
”අල්ලපු ගෙදර සුනිල්. මීට අවුරුදු පහළොවකට කලින් මගේ දුව යාලු කරගන්න ඌ උත්සාහ කළා. ඌ නිතර නිතර කරදර කරන කොට මගේ බෑණයි දුවයි පොලිසියට ගිහින් පැමිණිලි කළා. පොලිසියෙන් ඌට අවවාද කළා. ඒ ලැජ්ජාවට තමයි ඌ මේ යක්ෂ බන්ධනය කැරෙව්වේ.”
මේ විස්තරයෙන් පසු ධර්මාගේ ශරීරයෙන් නෝනහාමි ගේ භූතාත්මය ඉවත් කොට, යක්ෂයා ගේ ආත්මය ගෙන්වීය. ඔහු බොහෝම සැරපරුෂ ලෙස හැසිරෙන්නට වූ අතර වේවැල භාවිත කොට පාලනය කළේය.
”තමුන් කව්ද?”
”මම ෆයිසාල්”
”ෆයිසාල් කියන්නෙ කව්ද?”
”මම මුස්ලිම් යක්ෂයෙක්”
”කොහොමද මේ ශරීරයට රිංගුවේ?”
”රිංගුවා නොවෙයි බන්ධනය කළා. අවුරුදු පහළොවකට ඉස්සර මේකිව මරා ගෙන යන්න මට බාර දුන්නා.”
”ඇයි ඉතින් බැරිවුණේ?”
”අර නාකි ගෑනි මේකිව ආරක්ෂා කරනවා. මම එන්නේ දවල් දොළහටයි රෑ දොළහටයි. ඒ හැම වෙලාවකම අර නාකි ගෑනි කොහේ හිටියත් මේකි ළඟට ඇවිත් ආරක්ෂා කරනවා. කොයි වෙලාවෙ හරි මම මේකිව මරාගෙන යනවා”
”ඉතින් අර පුතාව මැරුවෙ මොකද?”
”අවුරුදු එකහමාරකට ඉස්සර මුන් පුත්තලමෙ දේවාලෙකට ගිහින් මාව පිච්චුවා. මම ආයෙත් ආවා. අර පුච්චපු තරහට උගේ බයිසිකලය හප්පලා මැරුවා.”
මේ ගැන විජයගෙන් විමසූ විට ඒ සියල්ල සත්‍ය බව අනාවරණය කළේය. “විශාල ඉඩමක ඉඩම් කට්ටි කීපයක් මැද කට්ටිය මිලට ගෙන ගෙයක් හදාගෙන පදිංචිව සිටිනවා. වටේම ඉඩම් කට්ටිවල ඉන්නේ එකම පවුලේ නෑදෑයෝ. අවුරුදු පහළොවකට විතර ඉස්සර අල්ලපු ගෙදර මිනිහා මගේ බිරියට අයුතු යෝජනාවක් කර තිබුණා. ඒ කාලෙ බිරිය හරිම ලස්සනයි. එයා විතරයි ගෙදර හිටියේ. අර මිනිහගෙන් කරදර නිසා අපි පොලිසි ගියා. ඒකට ඒ මිනිහා නයි වෛර වුණා. දවසක් රෑ අපේ මුළු ගේම හෙල්ලුම් කෑවා. එදා ඉඳල තමයි මගේ නෝනා අසනීප වෙන්න ගත්තේ. තොවිල් පවිල්වලට දැනට ලක්ෂ විස්සකට වඩා වියදම් කළා. අපි පුත්තලමේ දේවාලයකට ගිහින් පිළිවෙතක් කළා. ඊට පස්සෙ තමයි පුතා බයිසිකලය හැපිලා මැරුණේ”යි අතීත විස්තරය පැවසුවේය.
දින දහහතරක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.
එදින ද යක්ෂයා දරුණුවට හැසිරෙන්නට වූ බැවින් ආධ්‍යාත්මික ශක්තියෙන් යක්ෂයා පිච්චුවේය. එහෙත් ඔහු ධර්මා අතහැර යන්නට අකැමැති විය. නැවතත් බෝධි පූජා පවත්වමින් දින දෙකක් ගෙන්වා යක්ෂයාට තරවටු කොට පිච්චුවේය.
අන්තිම දිනයේ යක්ෂයා ඇය අතහැර යෑමට කැමැති විය.
”තමුන් යනවද? අදත් පුච්චන්නද?”
”එපා .. එපා. මම යන්නම්”
”කොහේට ද යන්නේ?”
”කියන තැනකට යන්නම්”
”එහෙනම් කලින් හිටපු තැනටම යන්න පුළුවන්”
නැවතත් නෝනාහාමිගේ භූතාත්මය ගෙන්නුවේය.
”දැන් කොහොමද?”
”දැන් සතුටුයි. මහත්තයට පින්සිද්ධ වෙන්න දැන් මගේ දුවට අනතුරක් නෑ”
”දැන් තමුන් කොහේද යන්නේ?”
”මම නවගමුවට යනවා”
නිවසේ සාංඝික දානයක් දී මළගිය ඥාතීන්ටත්, විශේෂයෙන් මෑණියන්ටත් පැන් වඩා පින් දෙන ලෙස නියම කොට එදින රාත්‍රිය පුරා භික්ෂූන් වහන්සේ ලවා පිරිත් දේශනයක් පවත්වන්නට ද නියම කළේය.
මේ පිළිවෙත්වලින් නිවසේ අය සුවපත් වෙද්දී ෆයිසාල් නමැති මුස්ලිම් යක්ෂයා නිකම් සිටියේ නැත. තමන් නිදහසේ සැරිසරමින් සිටියදී මන්ත්‍ර බලයෙන් තමා බන්ධනය කළ බැවින් කීපවතාවක්ම පිච්චෙමින් දඬුවම් විඳින්නට සිදුවූයේ ඇදුරෙකු හා සුනිල් නිසා බව සිතා ඒ දෙදෙනාගෙන් පළිගන්නට අධිෂ්ඨාන කළේය.
මහ මඟ ගමන් කරමින් සිටි විනකළ ඇදුරා වාහනයකට යට වී මළේය. සුනිල් අංශබාධ රෝගය වැලඳී ඔත්පල ව එක්තැන්ව දුක් විඳී.
අනුන්ගේ වුවමනාවන් පිරිමහන්නට සුළු මුදලකට යක්ෂ බන්ධන කරන, හදි හූනියම් කරන ඇදුරෝ මෙයින් පාඩමක් ගනිත්වා. හදි හූනියම් කරන ඇදුරෝ අනිවාර්යයෙන් ම දුගතිගාමී වෙති. ඔවුන්ට කිසිදිනක නිවනක් නැත.
මතුගම
මහින්ද විජේතිලක
සිළුමිණ 2012/07/22
********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )