27.05.2015
මිනිසා කොයිතරම් ආදරයෙන් සෙනෙහසින් තම දරු පවුල් සමඟ ජීවත් වුවද කවදා හෝ ඔවුන් අතහැර මරණයට ගොදුරු විය යුතු ය. එයින් බේරී ආරක්ෂා වීමට කිසි ම ජගතෙකුට නොහැකි ය. අහසේ සිටියත්, මුහුද මැද සිටියත්, පර්වත කුහරයක සිටියත් මරණයෙන් නම් ගැලවිය නොහැකි බව බුදු දහමේ පැහැදිලිව සඳහන් වෙයි. එහෙත් සමහරු අධික වූ තණ්හාවෙන් වස්තු සම්පත් රැස් කරන්නේ කිසි දා නොමැරෙන මිනිසුන් සේ ය. බුදු පසේ බුදු මහරහතන් වහන්සේට ද රාජරාජාදි මහා මාත්‍යයන්ට ද ධනවතුන්ට ද බලවතුන්ට ද මේ මරණය නියමිතය. එය කොයි මොහොතේ ළඟා විය හැකිදැයි කීමට නොහැකි ය.
ක්ෂණයක් පාසා ජරාවට පත් වන ශරීර කූඩුව අතහැර මරණයට පත්වන පුද්ගලයා ඉන් නික්ම යන්නේ නිකම්ම නොවේ. ලෝභයත් ද්වේෂයත් පොදි බැඳගෙන ය. ජීවත්ව සිටිය දී ස්වකීය චිත්ත සන්තානයට එකතු කැර ගන්නා වූ උපාදානස්කන්ධ සංයුතියත් සමඟ ය. මෙසේ ජීවත්වීමේ දී සිතට දැඩි සේ අල්ලාගත් වුවමනාවන් උපාදාන නම් වේ. ඒ වුවමනාව හෙවත් දැඩි සේ සිතේ බැඳුණු උපාදානය තවත් කෙනෙකු හෝ වස්තු සම්පත් හෝ සිතින් අතහැර යෑමට ඇති නොකැමැත්ත නිසා ඒවාට ආශාවෙන් ඊළඟ උපත ලබයි. එය ආදරය, ආශාව, දැඩි ලෝභය, තරහව, වෛරය, පළිගැනීමේ කැමැත්ත සේ විය හැකි ය.
තමන් විසින් සිදු කරන ලද කුසලයන්ට විපාක වශයෙන් යහපත් ආනිසංස ලබති. සිදු කළ අකුසලයන්ගේ විපාක වශයෙන් දුක්ඛදායක ආදීනව ලබති. මේ බව නොදන්නා මිනිසා තණ්හාව මූලික කොට ගෙන සංස්කාර රැස් කැර ගනිති. යම් පුද්ගලයකු හෝ අනුන් සතු වස්තුවක් දුටු විට එය තමන් සතු කැර ගැනීම සඳහා විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කරති. සාධාරණව හොඳින් නොහැකි වූ තැන අසාධාරණ වැරදි ක්‍රියා මාර්ගවලට පෙළඹෙති. ඇදුරන් සොයා ගොස් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල පිහිට පතති. මේ ක්‍රියාවල දී ඇදුරා ද සේවා දායකයා ද දෙදෙනාම අකුසල මූලික සිත්වලින් පාපයන් රැස්කැර ගනිති. මෙවැනි කටයුතුවලදී යන්ත්‍ර මන්ත්‍ර ජීවම් කිරීමේ දී සිය කාර්යය ඉටු කැර ගැනීම සඳහා අපේ පියවි ඇසට නොපෙනෙන භූතයෙකු බන්ධනය කොට ගෙන ඒ භූතයා ලවා සිය වුවමනාවන් ඉටුකැර ගැනීමට කටයුතු කරති. මේවා මහා පාපකාරී ක්‍රියාවන් ය. සමහරු තමන් කැමති අයගේ සිත් ගැනීම සඳහා ඇදුරන් ලවා කෑමවලට මතුරා කෑමට දෙති. තවත් සමහරු අකැමැති අයගෙන් පළි ගැනීම සඳහා කෑමවලට මතුරා කන්නට දෙති. කිනම් ආකාරයකින් ආහාරයක් මතුරා දුන්නත් එයට භූතයෙකු බන්ධනය වේ. ඉන් පසු ඒ භූතයා ශරීර ගතවීමෙන් පසු ඔහු ජීවත්වන්නේ ඒ ශරීරයේ රුධිරය උරා බීමෙනි. මෙය ඉතා ම බරපතළ පාපයකි. භූතයා ශරීරගතව රුධිරය උරා බොන තැන පිළිකා හටගන්නට ද බොහෝ දුරට ඉඩ ඇත.
මේ සිද්ධිය ද එවැනි කතාවකි. ඇය කොළඹ බේස්ලයින් පාරේ පදිංචි හංසලාලිනී නමැති සුරූපී තරුණියකි. විසි හැවිරිදි වියේ පසු වූ ඇය සිත් ඇද බැඳ ගන්නා කඩවසමින් යුක්ත වූවාය. ඇගේ ඥාතිවරියකගේ අවශ්‍යතාවකට ඥාතිවරියගේ තනි නොතනියට මොරටුව ප්‍රදේශයේ දේවාලයකට හංසලාලිනීට ද යන්නට සිදු විය. ඒ දේවාලයේ කපුවා ඔවුන් සමඟ කුලුපග වූ අතර ඥාතිවරියගේ අවශ්‍යතාව සඳහා දින කීපයක් ම ඇය සමඟ එම දේවාලයට යෑමට ඇයට සිදුවිය. හංසලාලිනී මේ වන විට පෙම්වතෙකු සමඟ විවාහ ගිවිස ගෙන ද සිටියාය.
හංසලාලිනීට යළිත් දිනක් ඒ ඥාතිවරිය සමඟ මොරටුවේ දේවාලයට යන්නට සිදු විය. එදින වටිනා වාහනයකින් තවත් දෙදෙනෙක් ඒ දේවාලයට පැමිණයහ. ඒ දෙදෙනා සහෝදරියක හා සහෝදරයෙකි. සහෝදරයා ලී මෝල් මුදලාලි කෙනෙකි. දැනට පනස් වැනි වියේ පසුවන මේ ව්‍යාපාරිකයා තවමත් අවිවාහකයෙකි. හංසලාලිනී දුටු හැටියේ ම ඔහුගේ සිත ඇය කෙරෙහි බැඳී ගියේය.
හංසලාලිනීත් ඇගේ ඥාතිවරියත් තම පුද පූජා කටයුතු අවසන් කොට දේවාලයෙන් පිටව ගියහ. මුදලාලි තම අදහස කෙළින්ම කපුවාට කීවේය. කෙසේ හෝ ඇය ලබා දෙන ලෙස කපුවාගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ඕනෑම මුදලක් ගෙවන්නට තමා සූදානම් බව ද කීවේය. මේ කාර්යය ඉතා අපහසු කාර්යයක් බවත් ඊට අවශ්‍ය දේවල් ගැනීමටත් එය ජීවම් කිරීමටත් කාලයක් ගත වන බැවින් ඊට රුපියල් පනස් දහසක්වත් අඩුම ගණනේ අවශ්‍ය බව කපුවා කීවේය. තවත් දෙසතියක් ඇතුළත මේ ගැහැනු ළමයා නැවත පැමිණෙන බැවින් එදිනට යමක් මතුරා ඇයට කන්නට දිය හැකි බව ද කීවේය. මුදලාලි ඒ අවස්ථාවේම රුපියල් දස දහසක අත්තිකාරම් මුදලක් ද කපුවාට දුන්නේය.
මේ අතර හංසලාලිනී සිය පෙම්වතා සමඟ විවාහ වූවාය. ඇය සැමියා සමඟ ඉතාමත් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ආරම්භ කළාය. මේ විවාහ කටයුතු නිසා සති කීපයකින් ඥාතිවරිය ද දේවාලයට ගියේ නැත. තම අවශ්‍යතාවය ඉක්මනින් ඉටු නොවීම නිසා මුදලාලි නිතර දේවාලයට ගොස් කපුවා මුණ ගැසුණේය. මේ පනස් හැවිරිදි මුදලාලි ගේ මගුල් පිස්සුව තේරුම් ගත් කපුවා එය තම වාසියට හරවා ගනිමින් ඔහුට කෙසේ හෝ ඇය ලබා දෙන බවට නැවත නැවත පොරොන්දු විය. ඇය ගැන සොයා බැලු ඔහුට මේ වන විට ඇය විවාහ වී සිටින බව දැනගන්නට ලැබුණි.
ව්‍යාපාරිකයා සොයා දිනක් ලී මෝලට ගිය කපුවා ඔහු මුණ ගැසුණේ ය.
“හරි වැඩේනෙ මුදලාලි කෙල්ල කසාද බැඳලනෙ” කපුවා කීවේය.
“කවද ද?”
“ඒ ළමයා යාළු වෙලා හිටිය කොල්ලත් එක්ක ගිය මාසෙ කසාද බැඳලා”
“ඒකට කමක් නෑ. ඒ කසාදෙ කඩලා හරි මට කෙල්ලව අරගෙන දෙනවා. නැත්නම් තමුසෙගෙ ඔය සාස්තරේ වැඩකුත් නෑ. ආ… මේක ගමන් වියදමට තියා ගන්නවා” යි අමතර රුපියල් දහසක් ද කපුවාට අත මිට මෙළෙව්වේය.
කපුවා ද කෙසේ හෝ පොරොන්දුව ඉටුකර දෙමියි පොරොන්දු වී ආපසු ආවේය.
යළිත් සතියකින් පමණ හංසලාලීනි සිය ඥාතිවරිය සමඟ දේවාලයට ආවාය. එදින ද වෙනදා මෙන් ම ඉතා හිතවත්ව කතා බස් කොට ඊළඟ සතියේ තවත් පූජාවක් තැබීමට අවශ්‍ය බව ඔවුන්ට පැවසීය. ඔවුන් ද ඊට කැමැත්ත පළකොට සතියකින් නැවත එන බව පවසා ආපසු ගියහ.
කපුවා මේ බව මුදලාලිට දැනුම් දුන්නේ ය. මේ රූමත් කෙල්ල දැක ගැනීමත් වාසනාවක් යැයි සිතූ මුදලාලි ද එදින දේවාලයට පැමිණියේය. මේ කාන්තාවන් දේවාලයට එන්නට කලින් කපුවා මුදලාලිගේ සුළැඟිල්ලෙන් ලේ ටිකක් ගෙන තෙල් කෑම වර්ගයකට මිශ්‍ර කොට මතුරා තැබුවේය.
හංසලාලිනී ද ඥාතිවරිය සමඟ දේවාලයට ආවාය. පුද පූජාවලින් පසු කැවිලි පූජා එතැන සිටින අයට දීම සිරිතකි. එහි සිටි අයට කැවිලි පලතුරු බෙදා දෙන අතර මතුරා තිබු කැවිලි වර්ගය කපුවා හංසලාලිනීට දුන්නේ ය. මේ කිසිත් නොදන්නා ඇය එය කෑවා ය.
පූජා කටයුතු අවසන් කිරීමෙන් පසු කපුවාත් මුදලාලිත් කාන්තාවෝ දෙදෙනාත් සතුටු සාමීචියේ යෙදී සිට විසිර ගියහ.
දෙසතියක් පමණ ගත වෙද්දී හංසලාලිනීට බඩේ රුදාවක් වැලඳුණි. ඒ අවස්ථාවට ඇයට සිය සැමියා පෙන්නන්නට බැරි තරම් විය. මන්නයක් ගෙන ඔහු කපා මරණ බව කියමින් පන්නන්නට වූවාය. මේ තරම් ආදරයෙන් සිටින මේ අඹු සැමි යුවලට සිදුවුණේ කුමක්දැයි පවුලේ වැඩිහිටියෝ සැලකිලිමත් වූහ. මනෝ වෛද්‍යවරයකු වෙත ඇය ඉදිරිපත් කළ ද ඇයට කිසිම රෝගයක් නැතැයි පැවසිණි. පේන කියන තැන් කරා ගියහ. ඇයට දේවාලයකින් යමක් කෑමට දී ඇතැයි ශාස්ත්‍රවලින් කියැවිණි. ඔවුන් කියන සෙත් ශාන්ති ඉටු කළ ද සුවයක් ලැබුණේ නැත.
හිටි හැටියේ හංසලාලීනිට මුදලාලිගේ ස්වරූපය මැවී පෙනේ. එවිට ඇය ලස්සනට ඇඳ පැලඳ ගෙන මොරටුවේ දේවාලය කරා ගියාය. ඇය ගැන නිතර දැඩි අවධාරණයෙන් සිටින පවුලේ අය ඇයට යන්නට හැර ඇගේ පසු පසින් ත්‍රිරෝද රියකින් ගියහ. ඇය දේවාලයට යන විට මුදලාලි ද එහි පැමිණ සිටී. මෙහිදී වහාම ඉදිරිපත් වන ඇගේ ඥාතීහු ඇය බලෙන් ම ත්‍රිරෝද රියට නංවා ගෙන ගෙදර ගෙන එති. මෙසේ කීප දිනක් ම මේ අයුරින් සිදු වෙද්දී “සිළුමිණ” පාඨකයෙකුගේ උපදෙසක් මත ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ගෙන ගියහ.
එහිදී හංසලාලිනී ප්‍රලය වූවාය.
“කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”
“මම පියදාස”
“කවුද පියදාස කියන්නෙ?”
“මම සුනාමියට අහුවෙලා මැරුණ කෙනෙක්.”
“ගම කොහේද?”
“මතක නෑ”
“ඉතින් කොහේද හිටියේ”
“මළාට පස්සේ ඔහේ අහසේ පාවෙවී හිටියා”
“මේ ළමයගෙ ඇඟට ආවේ කොහොම ද?”
“අර දේවාලෙ කපුවා පුද පුළුටු කියලා මතුරන කොට එතැනට ඇදිලා ආවා.”
“මොකක්ද බාර දීපු වගකීම?”
“මේ ළමයාගේ හිත අර නාකි මුදලාලිට කැමති කර දෙන්න”
“ඉතින් කලින් කළ සෙත් ශාන්තිවලින් සුවයක් නොලැබුණේ මොකද?”
“මේ ගෙදර තොවිල් පවිල් ශාන්තිකර්ම කරන්න හදන කොට මම ඒ බව දේවාලෙ කපුවාට කියනවා. කපුවා ඒ වෙලාවට මාව දේවාලට ගෙන්න ගන්නවා. මම මේ ළමයගෙ ඇඟෙන් අයින් වුණාම ළමයට සනීපයි. ඇදුරො සල්ලි අරගෙන යනවා. ආයෙත් සුමානෙකින් විතර මුදලාලි ඇවිත් කරදර කරන කොට මාව නැවතත් යවනවා. මා ගිය හැටියේ මේ ළමයා අසනීප වෙනවා.”
“ඒ කොහොම ද?”
“මම මේ ළමයගේ බඩවැලට රිංගලා ලේ උරා බොන කොට මේ ළමයා වේදනාවෙන් කෑ ගහනවා.”
“ඉතින් මේ ළමයා අර දේවාලෙට දුවන්නෙ මොකද?”
“ඒත් මුදලාලියා ඇවිත් කරදර කරන කොට කපුවා ජීවම් කරනවා. මුදලාලිගෙයි හංසලාලීනිගෙයි රූප ඇඳලා නම ලියපු තඹ තහඩුවට මතුරන කොට මේ ළමයා ගෙදර ඉන්න බැරුව දේවාලෙට දුවනවා.”
“ඉතින් මුදලාලිට මේ ළමයව ගෙනියන්න බැරිවුණේ මොකද?”
“ඒ ගෙදර අය මෙයා ගැන ඇහැ ගහගෙනමයි ඉන්නේ. බඩේ වේදනාව හැදුණු ගමන් ගෙදර අය දන්නවා. මෙයා ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වෙන කොට ගෙදර අය පස්සෙන් එනවා. මුදලාලිත් කාර් එක තියාගෙන බලා ඉන්නවා මෙයාව අරගෙන යන්න. ඒත් ගෙදර අය ඒකට ඉඩ දෙන්නෙත් නෑ. කපුවත් හැමදාම මුදලාලිගෙන් සල්ලි කඩා ගන්නවා. ‘මම ගෙන්නලා දෙනවා. මුදලාලිට අරගෙන යන්න බැරි වුණාට මට කරන්න දෙයක් නෑ’ කියලා සල්ලි ගන්නවා.”
“නමුත් දැන් ඔබ ඉන්නේ දුගතිගාමී ජීවිතයක. ඒකනෙ අනුන්ගෙ ලේ උරා බීලා ජීවත්වෙන්නෙ. ඔය කපුවගෙ ගැටවලට අහුවෙලා තවත් පව් කරගන්න එපා. මම මේ ළමයාට බෝධි පූජා විසි එකක් පවත්වන්න නියම කරනවා. තමනුත් ඒ අය සමඟ පන්සලට ගිහින් ඒ කටයුතුවලට අත හිත යොමුකර පිනට දායක වෙන්න ඕනෑ.”
“හොඳමයි මහත්මයා.”
දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස හංසලාලිනීටත් පවුලේ අයටත් උපදෙස් දුන්නේ ය.
දින විසි එකෙන් පසු නැවතත් ඔවුහු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියහ. එදින ද හංසලාලිනී ප්‍රලය වූවාය.
“දැන් කොහොම ද?”
“හොඳයි මහත්මයා. මේ ළමයා බෝධි පූජාව බොහෝම සද්ධාවෙන් ඉෂ්ට කළා. මමත් ඒවාට අත හිත දී සතුටු වුණා. එතකොට මම ඉස්සර ගමේ පන්සල් ගිහින් කළ පින්කම් පවා මගේ සිහියට ආවා. මගේ ගමත් මතකයට ආවා.”
“තමුන්ගෙ ගම කොහේ ද?”
“මගේ ගම ගම්පහ. ගමනක් යන්න ආපු වෙලාවෙ තමයි එදා සුනාමියට අහුවුණේ.”
“එදා මොකද තමුන්ට සිදුවුණේ?”
“විශාල ජල කඳක් ආවා. හුස්ම ගන්න බැරුව තද වුණා. එහෙමම මළා. මම වගේ දහස් ගණනක් ඔහේ පාවෙවී ඉන්නවා.”
“දැන් තමුන් මේ ළමයගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ.”
“හොඳයි මහත්තයා. මම කොහේටද යන්නෙ?”
“අර හිටපු දේවාලෙට ම යන්න.”
“බෑ… බෑ… ඌ ආයෙත් මාව බන්ධනවලට ගනීවි, මට නම් එහෙට යන්න බෑ.”
“එහෙම නම් තමුන් කැමති තැනකට යන්න.”
“මම ගමට යනවා. ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟට යනවා.”
“හොඳයි හොඳයි”
මෙය තරුණ රූබර තරුණියන්ට හොඳ පාඩමකි. අනුන්ගේ උදව්වට ගියත් තමන් කල්පනාවෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. දේවාලවල කපුවන් දෙන කෑම් බීම්වලින් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු ය.
මතුගම
මහින්ද විජේතිලක
********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )