‘රතු නිවේදන’ නිකුත් කළ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 04 ක් විදෙස් රටවලදී අත්අඩංගුවට

‘රතු නිවේදන’ නිකුත් කළ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 04 ක් විදෙස් රටවලදී අත්අඩංගුවට


‘රතු නිවේදන’ නිකුත් කළ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 04 ක් විදෙස් රටවලදී අත්අඩංගුවට

(20.01.2025 – 07:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 04 දෙනෙකු ‘ජාත්‍යන්තර පොලිසිය’ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සහ තවත් රටවල් 03 කදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ. ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ නම් හෙළි නොකිරිමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මෙරට අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී විදෙස් රටවලට පළාගොස් සිටින අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුවක් ‘ජාත්‍යන්තර පොලිසිය’ වෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර, ඒ අනුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, ඇප මත මුදාහැර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුෂංඛ’ හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත්තේ මෙවන් පසුබිමකයි.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළදී දිවයින පුරා සිදුවූ වෙඩිතැබීම් 08 න් 06 ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදු වී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

සිදු වූ එම වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ආසන්නතම සිදුවීම ඊයේ (19) ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එහිදී 24 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (02) විසින් ගල්කිස්ස – සිරිපාල මාවතේ අවන්හලක් අසළ මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර ඉන් එක් සැකකරුවෙකු ගිනි අවිය ද සමඟ දෙහිවල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. යතුරු පැදිය අත්තිඩිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය ඊයේ (19) සොයා ගත්තා.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි ‘සවිදු තරූෂ’ යන 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු දැනට ඩුබායිහි සැගව සිටින අපරාධ කල්ලි සාමාජික ‘කොස් මල්ලී’ නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ අපරාධ කල්ලි නායක ‘බඩෝවිට අසංක’ගේ පාර්ශවයෙන් බවටද පොලිසිය සැක පළ කරනවා.

මේ අතර, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු (02) මියයෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඉන් එක් අයෙකු දැනට යුද හමුදාවේ සේවයේ නිරතවන පුද්ගලයෙකු බවත්, අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙකු බවයි ෴


බහාලුම් (කන්ටේනර්) අර්බුදය දිගටම

(20.01.2025 – 07:18 +0530 – hirunews.lk/sinhala)

වරාය තුළ බහාලු‍ම් රථ ප්‍රමාණය අවම වීම හේතුවෙන් යළි දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ‘ලංකා වාප්පු සේවා සංගමය’ පවසනවා.

එහි සභාපති රංජිත් ලියනාරච්චි සඳහන් කළේ, බහාලු‍ම් නිෂ්කාශන ‍ප්‍රමාදය අවම කිරීමට නම් රේගු පරීක්ෂණ සඳහා නව අංගනයක් අවශ්‍ය බවයි.

කොළඹ වරායේ ආනයනික බහාලු‍ම් නිෂ්කාශන කටයුතුවල ‍ප්‍රමාදය හේතුවෙන් ඇති වූ දිගු බහාලු‍ම් පෝලිම් තවදුරටත් දක්නට ලැබෙනවා.

දින ගණනක් දිගු පෝලිම්වල රැඳී සිටින බහාලු‍ම් රථ රියැදුරන් චෝදනා කරන්නේ රේගුව පැය 24 ම සේවා ලබා දෙන බව පැවසුවද එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර, බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ වන විට බහාලු‍ම් රථ රියැදුරන්ගේ ද හිඟයක් පවතින බවයි.

+


ආන්දෝලනාත්මක නඩු පැවරීම් කිහිපයක් ජනවාරි අගදී – ජනපති

(20.01.2025 – 19:49 +0530 – sinhala.adaderana.lk)

රටේම කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බේරුවල නගරයේ ඊයේ (19) පස්වරුවේ පැවති ජාතික ජනබලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

“හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස පිළිබඳ තීන්දුවක් ගන්නවා. මම ලියුමක් දෙන්න හිතාගෙන මටනම් විශ්‍රාම ගියාම ගෙවල් එපා කියලා. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3 ක් දෙන්න ඕනේ. පඩියෙන් 1/3 ක් කියන්නේ රුපියල් 30,000 ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු. 30,000 ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර තක්සේරුව රු. ලක්ෂ 46 යි. එක්කෝ රු. 30,000 ට වෙන ගෙදරක යන්න. නැතිනම් ඉතුරු රු. ලක්ෂ 45 ගෙවන්න.”

“හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් රු. කෝටි 70 ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60 ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවාලු. තර්ජනයක් තියෙනවානම් ආරක්ෂාව දෙනවා.”

ඩීසල් රු. 300 ට වඩා පහළ ගියේ අපේ ආණ්ඩුවෙන්. හැබැයි සෑම මාසෙම අඩු කරන්න බැහැ. ඩීසල්වලට තියෙන බද්ධ අඩු කරන්න බැහැ. තෙල් සංස්ථාව රු. කෝටි 90,000 ක් ණයයි. විකුණන තෙල් ලීටරය ගානේ ණය ගෙවනවා. බද්ධ අයින් කරන්න වෙන්නේ ණය ගෙවපුවාම.”

“ආරම්භයේදීම ඉන්දියාවේ සංචාරය කළා. සාම්පූර් බලාගාරය හදන්න එකඟ වුණා. ගිවිසුම ගැහුවේ අවුරුදු 20 කට. බලාගාරයේ අයිතිය 50% ට 50%. කලින් විදුලිය දෙන්න හිටියේ ඒකකයක් ඩොලර් සත 07 ට. ඩොලර් සත 5 යි 97 ට ගන්න සාකච්ඡා අවසන් කළා. දැන් ඒ බලාගාරය අපි හදනවා.”

“තෙල් ටැංකි 99 ක් තියෙනවා. අපි ටැංකි 24 ක් අරගෙන IOC එකට 14 ක් දුන්නා තව තෙල් ටැංකි 61 ක් ඉතුරුයි. අපි ඉන්දියානු සමාගමත් එක්ක එකතු වෙලා එතන පුළුවන් නම් තෙල් පිරිපහදුවක් දලා. තෙල් පිරිපහදු කරලා මේ ගබඩාවල ගබඩා කරලා ලෝකෙට තෙල් විකුණමු කියාල.”

“චීනයෙන් නැවත නොගෙවිය යුතු ඩොලර් (?) දසලක්ෂ විසිදහසක (20,000) ප්‍රධානයක් දුන්නා. වරාය නගරයේ සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකරනවා. හම්බන්තොටට තෙල් පිරිපහදුවක් හම්බවෙනවා. මැදපෙරදිග සමඟ සාකච්ඡා කරනවා ආණ්ඩුවෙන් තෙල් ගේන්න. ඒ සාකච්ඡා වෙනුවෙන්. පෙබරවාරිවල මැදපෙරදිගට යනවා.”

“හොරුන්ට මොකද වෙන්නේ අහනවා. දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ශක්තිමත් ලෙස නඩු ගොනු කරනවා. ඉස්සර නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් හැංගුවා. ‘පෝද්දල ජයන්ත’ට පහරදීමේ වෛද්‍ය වාර්තා නැහැ. වේගයෙන් නඩු පවරනවා. කලබලවෙන්න එපා. නඩු කිහිපයක් ජනවාරි අග වැටෙනවා.”

+


ත්‍රිකුණාමලය ටැංකි ගැන ජනපති කියන්නේ අමූලික බොරු..- හිටපු තෙල් ඇමති උදය ගම්මන්පිල

(20.01.2025 – 15:00 +0530 – lankacnews.com)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිලිබදව සිය ආණ්ඩුවේ අළුත් වැඩක් ලෙසින් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය මින් වසර තුනකට (3) පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බව ‘පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි.

මේ සම්බන්ධ ගිවිසුම 2022 වසරේ අත්සන් කල බවත් එවකට එයට දැඩිව බාධා කලේ ‘ජාතික ජන බලවේගය’ බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටීයි.

‘පිවිතුරු හෙළ උරුමය’ නායකයා මේ බව සදහන් පකර සිටියේ අද දින (20) ‘පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ’ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නීතිඥ උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

විදුලි බිල අඩු කිරීමේ ගෞරවය සමූපකාර ඡන්දදායකයින්ටයි

ජනපතිවරණ සමයේ දී ජනාධිපතිතුමා කිව්වේ ‘ඉතාම කෙටි කාලයකින්’ විදුලි බිල 1/3 කින් අඩු කරනවා කියලා. එතුමා ඒක කියලා නිකන් හිටියේ නෑ. රුපියල් නවදාහක (9000) විදුලි බිල හය දහස (6000) දක්වා අඩු වෙනවා කියමින් උදාහරණත් සමග අපට පැහැදිලි කර දුන්නා. නමුත් ආණ්ඩුව පත් වී මාස හතරක් (4) වුණත් ‘ඉතාම කෙටිකාලය’ උදා වුණේ නෑ. විදුලි බිල අඩු කළ යුතුයි කියන දැවැන්ත මහජන පීඩනය නිසාම මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කිරීමට මහජන අදහස් ගත්තා. එහිදී ජනතාව නම් ඉල්ලුවා පොරොන්දු වූ පරිදි 1/3 මිල අඩු කරන්න කියලා. නමුත් විදුලි බල මණ්ඩලය කිව්වේ බිල අඩු කරන්න පුළුවන් 3% කින් විතරයි කියලා. ඒ අතරේ බලශක්ති ඇමතිතුමා කිව්වා බිල අඩු කරන්න නොවේ 37% කින් වැඩි කරන්නයි වෙලා තිබෙන්නේ කියලා.

මේ සියල්ලටම ඇහුම්කන් දීලා මහජන උපයෝගිතා කොමිසම 20% කින් විදුලි ගාස්තු අඩු කරන්න නිර්දේශ කලා. මීට කලින් නම් මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුවේ මතයට කීකරු නොවුණොත් සභාපති අස් කරලා හරි මට්ටු කරනවා මිස කොමිසම කියන දේ කරන්නේ නෑ. නමුත් ඔය අතරේ හෝමාගම, මොරටුව, කැළණිය, අගුණුකොලපැලැස්ස සහ බේරුවල වගේ මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරපු මැතිවරණ කොට්ඨාශ වල පැවැති ‘සමූපකාර සමිති නිලවරණයන්’ ගෙන් මාලිමාවට අන්ත පරාජයක් අත් වුණා. පොරොන්දු සිහිපත් කිරීමෙන් රත් නොවුණු අනුර කුමරුගේ පඬුපුල් අසුන ‘සමූපකාර ඡන්ද ප්‍රතිඵලය’ දැකලා රත් වෙන්න පටන් ගත්තා. අනුර කුමරුගේ පඬුපුල් අසුන විතරක් නොවේ ආණ්ඩුවේ නායකයන්ගේ හිස් මොළ මේ දැවැන්ත පරාජය හමුවේ රත් වෙන්න පටන් ගත්තා. අන්න ඒකයි ‘අවුරුදු තුනකට (3) අඩු කරන්න බෑ’ කියූ විදුලි බිල හදිසියේම අඩු කරන්න ආණ්ඩුව තීරණය කලේ. ඒ නිසා විදුලි බිල 20% කින් අඩු කිරීමේ සමස්ථ ගෞරවය ‘සමූපකාර ඡන්ද’ වල දී මාලිමාවට අන්ත පරාජයක් අත් කරලා දුන්නු ඡන්දදායකයින්ට හිමි වෙනවා. මේ රැල්ල ඉදිරි ‘සමූපකාර ඡන්ද’ වලටත් අරගෙන ගියොත් කඩවුණු පොරොන්දු සියල්ලම මේ ආණ්ඩුවෙන් ඉටු කර ගන්න පුළුවන් වේවි කියලා ජනතාවට සිහිපත් කරනවා.

‘ඉතාම කෙටි කාලයක්’ කියන්නේ මාස හතරකට (4) බවත් 1/3 ක් ප්‍රතිශතයක් ලෙස දක්වන විට 20% ක් බවත් අපට කියා දුන් ජනාධිපතිතුමනි, ඔබට බොහොම පිං.

(youtube.com/@udayagammanpila6380)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති කියන්නේ බොරු

‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ’ තිබෙන ටැංකි 99 ලංකාවේ තෙල් ගබඩා කිරීමේ අවශ්‍යතාවයට වඩා වැඩි බවත් ඒ නිසා ටැංකි 24 ක් පමණක් ‘තෙල් සංස්ථාව’ තබා ගෙන දැනට ‘එල්අයිඕසි සමාගම’ භාවිතා කරන ටැංකි 14 ඒ අයටම භාවිතා කරන්න දීලා ඉතිරි ටැංකි 61 ‘ඉන්දියානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක්’ විදියට සංවර්ධනය කරනවා කියලා ජනාධිපතිතුමා ඊයේ (19) කටුකුරුන්දේ දී කිව්වා. ඕක ජනාධිපතිතුමාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මීට වසර 3 කට කලින් අපි ඕක කරලා ඉවරයි. මම 2020 ‘බලශක්ති ඇමති ධූරය’ භාර ගන්නා විට තෙල් ටැංකි 99 ම 2002 සිට ඉන්දියාවට දීලා තිබුණේ. එයින් ටැංකි 14 ක් පමණක් ‘එල්අයිඕසි සමාගම’ තෙල් ගබඩා කරන්න භාවිතා කළා. ටැංකි දෙකක් (2) ‘ප්‍රීමා සමාගම’ට ජලය ගබඩා කරන්න දීලා තිබුණා. ඉතිරි ටැංකි 83 ම 1945 සිටම ඒ කියන්නේ අවුරුදු 75 ක් ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් තිබුණේ. ඉන්දියාවත් එක්ක අවුරුද්දක් පුරා කේවල් කරලා ‘එල්අයිඕසි සමාගම’ භාවිතා කරපු ටැංකි 14 ඒ අයට තව දුරටත් භාවිතා කරන්න දීලා ඉතිරි ටැංකි සියල්ලම අපේ යටතට ගත්තා. මේ ගිවිසුම අත්සන් කලේ 2022 ජනවාරි 06 දා.

තෙල් සංස්ථාවේ ගබඩා පහසුකම් අවශ්‍යතාවය සපුරන්න තෙල් ටැංකි 24 ක් සංස්ථාවට පැවරුවා. ඒවායින් ටැංකි පහක (5) අළුත්වැඩියාවත් ඒ කාලයේම ඇරඹුවා. තව මාසයක් යන කොට ඒ අළුත්වැඩියා ඉවර වෙනවා. වත්මන් ඇමතිතුමා රිංගලා බැලුවේ එහෙම අළුත්වැඩියා කරමින් තිබෙන ටැංකියකට තමයි.

ඒ වගේම 2022 ජනවාරි මාසයේම අපි ‘නැව් තෙල් වෙළඳාම’ සහ ජාත්‍යන්තර වෙළඳපොලට ගබඩා පහසුකම් සැපයීමේ අරමුණින් ඉතිරි තෙල් ටැංකි 61 ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ‘ඛනිජතෙල් සංස්ථාව’ සහ ‘එල්අයිඕසි සමාගම’ අතර ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්’ නමින් නව ඒකාබද්ධ සමාගමක් ආරම්භ කලා. මීට අවුරුදු තුනකට (3) කලින් අපි සම්පූර්ණ කරපු වැඩක් තමයි දැන් ජනාධිපතිතුමා අළුත් වැඩක් විධියට රටට පෙන්වන්න හදන්නේ. ජනාධිපතිතුමාට මාව විශ්වාස නැතිනම් බලශක්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ‘තෙල් ටැංකි යළි රටට’ කියලා පොතක් තිබෙනවා. ඒ වගේම 2022 අත්සන් කළ ගිවිසුම තිබෙනවා. ඒවා බලලා මේ ව්‍යාපෘතියේ ඇත්ත ඉතිහාසය ඉගෙන ගන්න කියලා මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා. 2022 දී ‘තෙල් ටැංකි යළි රටට’ කියන මේ පොත මම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී දුන්නා. නිකමට වගේ මේ පොත කියෙව්වා නම් ඔහොම ‘බොරු විදින්න’ පෙළෙඹෙන්නේ නෑ.

බොරුවෙන් බලයට ආවා වගේම බොරුවෙන් බලය පවත්වා ගන්නයි මාලිමා ආණ්ඩුව උත්සාහ කරන්නේ. කාංචන විජේසේකර ඇමතිතුමා ගෙනාපු ‘තෙල් පිරිපහදුව’ තමන්ගේ කර ගත්තා වගේ ජානක වක්කුඹුර ඇමතිතුමා ලාභ කරපු ‘හිඟුරාන සීනි කම්හල’ තමන්ගේ කර ගත්තා වගේ අපි දැවැන්ත සටනක් කරලා ලබා ගත්ත මේ වන විටත් සංවර්ධනය කරමින් පවතින ‘තෙල් ටැංකි සංකීර්ණය’ එතුමන්ලාගේ යෝජනවක් විදියට සංවර්ධනය කිරිම ඉදිරියේදි කරන්න බලාපෙරොත්තු වෙනවා කියලා ජනධිපතිතුමා ජනතාව නොමග යවන්න උත්සහ කලේ. ඒ නිසා අනුන්ගේ දරුවන්ට හොර උප්පැන්න හදන්නේ නැතිව තමන්ගේ දරුවෙකු බිහි කර ගන්න කියලා මාලිමා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා.

2002 දී ඉන්දියාවට දීලා වසර 75 ක් තිස්සේ දිරාපත් වෙමින් තිබුණු තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට අරගෙන සංවර්ධනය කරන්න කටයුතු කරන කොට මට ලොකුම බාධාව එල්ල කලේ ‘මාලිමා’ව. 2002 දී ඉන්දියාවට දුන්නු බව හොඳටම දනිමින් ‘ඔන්න අපේ ටැංකි ඉන්දියාවට දෙනවෝ; ජාතික ආරක්ෂාව අනතුරේ’ කියමින් රට පුරා උද්ඝෝෂණ කලා. මේ බොරුව බිඳලා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනි යන්න මට විවාද දෙකක් (2) කරන්න සිදු වුණා. ‘තෙල් සංස්ථා වෘත්තිය සමිති නායකයින්’ සමග ‘හිරු නාලිකාවේ’ කළ විවාදයට මාලිමාව වෙනුවෙන් සහභාගි වුණේ ජපන් ගිහින් අතුරුදහන් වුණු හිටපු කතානායක අසෝක රන්වල මැතිතුමා. ඒ වගේම මමත් ඩී.වී. චානක ඇමතිතුමාත් දේශපාලකයින් සමග ‘දෙරණ නාලිකාවේ’ කළ විවාදයේ දී මාලිමාව නියෝජනය කලේ ‘වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස’ ඇමතිතුමා. මේ විවාද වලින් ඇත්ත රටට පෙන්වලා දීලා තමයි අපට මාලිමාව නිහඬ කර ගන්න පුළුවන් වුණේ. වසර තුනකට (3) පස්සේ ‘තමන් වැරදියි; අපි හරියි’ කියලා මාලිමාව පිලිගත්තු එක ගැන අපි සතුටු වෙනවා.

පක්ෂයේ මධ්‍යම කාරකසභික නුවන් අකලංක, මොරටුව ආසන සංවිධායක කුමාර රාජරත්න යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුව සදහා එක් විය.

(youtube.com/@udayagammanpila6380)

+


බයිපාස් එකත් කරලා කැන්සර් එකත් පරාද කරලා අද මම කොල්ලා වගේ – සෝමසිරි මැදගෙදර (19.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *