මූලික අයිතිවාසිකම් කඩකළ කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75 ක් සහ තවත් 4 දෙනෙකුට රුපියල් මිලියන 50 බැගින් රජයට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකරයි

මූලික අයිතිවාසිකම් කඩකළ කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75 ක් සහ තවත් 4 දෙනෙකුට රුපියල් මිලියන 50 බැගින් රජයට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකරයි


මූලික අයිතිවාසිකම් කඩකළ කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75 ක් සහ තවත් 4 දෙනෙකුට රුපියල් මිලියන 50 බැගින් රජයට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකරයි

(27.03.2026 – 12:52 +0530 – sinhala.adaderana.lk)

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව,

  1. හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල : රුපියල් මිලියන 75 ක මුදලක් ද
  2. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත : රුපියල් මිලියන 50 ක මුදලක් ද
  3. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න : රුපියල් මිලියන 50 ක මුදලක් ද
  4. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර : රුපියල් මිලියන 50 ක මුදලක් ද
  5. වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන : රුපියල් මිලියන 50 ක මුදලක් ද

වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදල්වලින් රජයට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

Transpirancy International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් (2) ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන්ට සූරසේන ප්‍රමුඛ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

+


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ CID අත්අඩංගුවට

(27.03.2026 – hirunews.lk)

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලවයි ෴

+++

+++

RMV ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු

(28.03.2026 – 06:40 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් කමල් අමරසිංහ මහතාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ජංගම අලවි රථයකින් වැඩි මිලට ඩීසල් විකුණූ ජාවාරමක් අඹේපුස්සෙදී කොටු වෙයි

(27.03.2026 – hirunews.lk)

ඩීසල් ලීටර් 1200 ක් සමඟ නීතිවිරෝධී ලෙස ඉන්ධන අලෙවි කරමින් සිටි ජංගම අලවි රථයක් සහ පුද්ගලයෙකු අඹේපුස්ස ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.

අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ ලොරි රථයේ පිටුපස විශේෂ ටැංකියක් සකසා තිබූ බවත්, ඉන් ඩීසල් නිකුත් කරන ප්‍රමාණය මැනීමට හැකි වන පරිදි මීටරයක් ද සවිකර තිබූ බව‍යි.

සැකකරු විසින් සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා රුපියල් 100 – 150 ත් අතර අතිරේක මුදලක් අය කරමින්, ගැණුම්කරුවන් සිටින ස්ථානයටම ගොස් මෙම ඩීසල් අලෙවි කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී රථය තුළ ඩීසල් ලීටර් 1200 ක් තිබී ඇති අතර, ලොරි රථය සමඟ එහි රියදුරු ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


‘ලවර්ස් ලීප්’ දිය ඇල්ලේදී සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් පහළට ඇද වැටෙයි

(27.03.2026 – hirunews.lk)

නුවරඑළිය, ලවර්ස් ලීප් (Lovers Leap) දිය ඇල්ල නැරඹීමට ගිය 52 හැවිරිදි විදේශීය සංචාරකයෙකු, එහි ඉහළ කොටසේ පිහිටි අවදානම් සහිත ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, අද (27) උදෑසන 11:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ විදේශිකයා මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සිය බිරිඳ සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි මෙම සංචාරකයා, දිය ඇල්ලේ ඉහළ ගලක් මත සිට ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී ලිස්සා පහළට ඇද වැටී තිබෙනවා.

අනතුර පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කර ඇති අතර, ඒ අනුව නුවරඑළිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායකගේ උපදෙස් මත, පොලිස් නිලධාරීන් සහ නුවරඑළිය මහා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් දරා තුවාලකරු පහළට රැගෙනවිත් තිබෙනවා.

අනතුරින් විදේශිකයාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.


ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25% කින් ඉහළට : ටැංකි රථ වර්ජනය අවසන්

(27.03.2026 – hirunews.lk)

නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25% කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟතාව පළ කිරීමත් සමඟ, හෙට (28) සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.

පවතින ආර්ථික තත්ත්වය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරන ලෙස ඉල්ලා ටැංකි රථ හිමියන් මීට පෙර බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණා ෴


කර්මාන්ත ඇමති සහ බලශක්ති ඇමති ලෙස පවසා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්

(27.03.2026 – hirunews.lk)

කර්මාන්ත ව්‍යසායකත්ව සහ සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ නම හා රුව භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වංචනික ලෙස දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කළ බව කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (27) නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරු විදේශගතව සිට නැවත පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පිළිමතලාව පදිංචි හෙට්ටිආරච්චිගේ සුදේශ් නලින්ද අල්විස් නමැති අයෙකි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධියට අදාලව ප්‍රධාන සැකකරු වන්නේ ද මෙම සැකකරු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

එම සිද්ධියට අදාල නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවත් ඒ සඳහා මෙම සැකකරු යොමු කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.

කර්මාන්ත ව්‍යවසායකත්ව හා සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කර තිබුණා.

මෙම සිද්ධියට අදාල තවත් සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට විමර්ශන සිදු කරමින් පවතින බවත් ඊට අදාළව ඔවුන්ගේ බැංකු වාර්තා කැඳවීම සඳහාඅවසර ලබා දෙන ලෙසත් එම විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළා ෴


නලින්ද ජයතිස්ස යැයි පවසා ආධාර ලබාගත් අයෙක් රිමාන්ඩ්

(27.03.2026 – hirunews.lk)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර බැංකු ගිණුම් සදා හිමිනමකට රෝද පුටුවක් ලබා දෙන බව පවසා ආධාර මුදල් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුට ගත් සැකකරුවෙක් ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (27) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිට නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකරු විදේශගතව සිට ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පිළිමතලාව පදිංචි ‘හෙට්ටිආරච්චිගේ සුදේශ් නලින්ද අල්විස්’ නමැති අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නම ව්‍යාජව භාවිතා කරමින් බැංකු ගිණුම් සාදා හිමිනමකට රෝද පුටුවක් ලබා දෙන බවට පවසා බොහෝ ජනතාවගෙන් ආධාර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය.

සිද්ධියට අදාළව මේ වන විට රුපියල් තිස් අටදාහක (38,000) මුදලක් බැංකු ගිණුමක තිබී අනාවරණය වූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බවද විමර්ශන නිලධාරීව අධිකරණයට කරුණු දැක්වීය.

මෙම සිද්ධිය පමණක් නොව වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ, ආදී සමාජයේ වැදගත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් ආධාර මුදල් ව්‍යාජ ලෙස ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා ෴


පාර්ලිමේන්තු කාරක සභාවක් ගල් අඟුරු ටෙන්ඩරයේ රහස් සාකච්ඡාවක් ගැන වාර්තාවක් ඉල්ලයි

(27.03.2026 – hirunews.lk)

බලශක්ති අමාත්‍යවරයා මීට පෙර ගල් අඟුරු සැපයූ සමාගම සමග රුසියාවේදී පවත්වන ලද සාකච්ඡාවේ සියලු තොරතුරු ලබා දෙන ලෙසට යටිතල පහසුකම් පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව එම අධීක්ෂණ කාරක සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මීට පෙර ගල් අඟුරු සැපයූ සමාගම වන ‘පොටෙන්සියා’ සමාගම අයත් ‘ස්වෙක්’ මව් සමාගම සමඟ බලශක්ති අමාත්‍යවරයා පසුගිය වසරේ ඔක්තෝබර් 15 වෙනිදා රුසියාවේදී සාකච්ඡාවක් පැවැත් වූ බවයි. එම සාකච්ඡාව සඳහා තෙල් සංස්ථාවේ සභාපතිවරයාද සහභාගි වූ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

රුසියාවේ පැවැති බලශක්ති සතියට සහභාගි වූ ඇමතිවරයා ඊට සමගාමීව මෙම සමාගම හමුවී සාකච්ඡා කර තිබෙන බවත් රජයේ වියදමින් මෙම ගමන ගිය නිසා ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසීමක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එවැනි සාකච්ඡාවක් සිදුවී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී පිළිගත් බවත් නමුත් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් තමාට වාර්තා වී නොමැති බවත් එවැනි සාකච්ඡාවක් සිදුවී ඇති බව තමා දැනගත්තේ පසුව කියා ලේකම්වරයා පැවසූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

රුසියාවේදී පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව එම සමාගමට අතිරේක ගල් අඟුරු නැව් පහක් (5) ගෙන්වීම සඳහා දී තිබූ වගකීම ඉවත් කිරීමට ඔක්තෝම්බර් 24 වෙනිදා කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් එම සමාගම බලශක්ති ඇමතිවරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයේ දී නඩු පැවරීමට කටයුතු කර ඇති බවද අජිත් පී. පෙරේරා පවසනවා.

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් වී ඇති ගල් අඟුරු ටෙන්ඩරය ‘පොටෙන්සියා’ සමාගමෙන් ඉවත් කර ‘ට්‍රයිඩන්ට්’ සමාගමට ඔක්තෝබර් මස තිස් වැනිදා (30) ලබාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කළේ රුසියාවේදී පැවැති මෙම සාකච්ඡාවෙන් පසුව බවත් එම නිසා රුසියාවේ පැවති මෙම රහසිගත සාකච්ඡාවේ සියලු තොරතුරු දැන ගැනීමට රටට සහ ජනතාවට අයිතියක් ඇති බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.

ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් වීමට පෙර ඉල්ලීම් කරපු සමාගමක් සමග මෙවැනි රහසිගත සාකච්ඡාවක් පැවැත්වීම නීති විරෝධී බවත් එම නිසා ගල් අඟුරු ටෙන්ඩරයට අදාලව සිදු කෙරුණු මෙම සාකච්ඡාවේ සියලු තොරතුරු යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා ෴


අල්ලස් ගත්තැයි ප්‍රජා විශෝධන නිලධාරියෙක් රිමාන්ඩ්

(27.03.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාලව ඇප මත සිටි සැකකරුවෙකුට අවශ්‍ය ලිපි ලේඛන ලබාදීමේ කටයුතු කරදීම සඳහා රුපියල් දසදහසක (10,000) අල්ලසක් ඉල්ලා ලබා ගත් බව කියන වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරියෙක් ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (27) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ ඇප මත සිටින සැකකරුවෙකුට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර දීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා එම සැකකරුගෙන් රුපියල් දසදහසක (10,000) අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි.

එම අවස්ථාවේදී උපාය දූතයෙකු යවා කරන ලද වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ තම සේවා දායකයා අවුරුදු තිස් හතක (37) රාජ්‍ය සේවකයෙක් වන බැවින් මෙවැනි දූෂණ ක්‍රියාවක් සිදු නොකරන බවයි එම නිසා සුදුසු කොන්දේසි මට ඇප ලබා දෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරු ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ෴


අධි චෝදනා භාරදීමෙන් පසු බලශක්ති ඇමති ජයකොඩිට ඇප

(27.03.2026 – hirunews.lk)

අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළා.

මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල නියෝග කළේ, විත්තිකරු රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි.

එමෙන්ම, විත්තිකරුගේ ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළා.

2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමක් වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70(ආ) වගන්තිය යටතේ දුෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *