රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (31) උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (31) උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්
(30.03.2026 – 15:12 +0530 – sinhala.adaderana.lk)
හෙට (31) උදෑසන 08:00 සිට දීප ව්‍යාප්ත එක් (1) දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මේ බව දැනුම් දී තිබේ.
කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින් බවත් එම සංගමය පවසයි.
මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස හෙට (31) දිනයේ දී උදෑසන 08:00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව වෛද්‍යවරයා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පවසන්නේ මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ලයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර එවැන්නක් සිදුකර නොමැති බවත්ය.
මෙම සංකේත වැඩවර්ජනය නවත්වා ගැනීමට අවශ්‍ය නම් හෙට (31) උදෑසන දක්වා කාලය තිබෙන බවද වෛද්‍යවරයා පවසයි.
කෙසෙවෙතත් හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි ෴
ප්‍රවෘත්ති නිවේදනය – විදුලි ගාස්තු සංශෝධනය (2026 – අප්‍රේල්)
(30.03.2026 – FB : Public Utilities Commission of Sri Lanka)
2026 වසරේ දෙවන (2) කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය පිරිනමන ලදී.
- මාසික පරිභෝජනය ඒකක 30 හෝ ඊට වඩා අඩු ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා ගාස්තු ඉහල යාම සියයට 4.3 කට සීමා කෙරේ. ඒ අනුව එම කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයින් සදහා මාසික විදුලි බිල්පත ඉහල යන්නේ උපරිමය රුපියල් 15 කින් පමණි.
- ගෘහස්ත අංශයේ ඒකක 31 ට වැඩි ඒකක 60 හෝ ඊට අඩු පාරිභෝගිකයින් සදහා සියයට 6.9 කින් ගාස්තු ඉහල යන අතර එම කාණ්ඩයේ මාසික විදුලි බිල්පතෙහි උපරිම ඉහලයාම රුපියල් 45 කි.
- ඒකක 61 ත් ඒකක 90 ත් අතර ගෘහස්ත කාණ්ඩය සදහා බිල්පත ඉහලයාම උපරිමය රු. 120 ක් වන අතර ප්‍රතිශතක ඉහලයාම සියයට 6.9 කි.
- මාසික විදුලි පරිභෝජනය ඒකක 91 ට වැඩි ඒකක 180 ට අඩු කාණ්ඩය සදහා සියයට 7.2 ක ප්‍රතිශතයකින් ගාස්තු ඉහල යන අතර එම කාණ්ඩයේ විදුලි බිල්පතෙහි උපරිම ඉහලයාම රු. 420 කට සීමා වේ.
ගෘහස්ත අංශයේ එක් එක පාරිභෝගික කාණ්ඩ සදහා විදුලි ගාස්තු ඉහලයාමේ ප්‍රතිශතයන් පහත දැක්වේ :
| ඒකක කාණ්ඩය | පාරිභෝගික සංඛ්‍යාව | ප්‍රතිශතක ඉහල යාම |
|---|---|---|
| 0-30 | 1,849,241 | 4.3% |
| 31-60 | 1,691,377 | 6.9% |
| 61-90 | 1,452,598 | 6.9% |
| 91-180 | 1,436,168 | 7.2% |
| 180 ට වැඩි | 321,375 | 25.3% |
- මාසික ඒකක පරිභෝජනය 180 ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සදහා විදුලි ගාස්තු ගාස්තු ඉහල නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
- එම අංශයේ මාසික පරිභෝජනය ඒකක 180 ට වඩා වැඩි ස්ථාන සදහා පමණක් සියයට 9.6 කින් ගාස්තු ඉහල දැමීමට අනුමැතිය ලබාදී ඇත.
- පොදුකාර්ය පාරිභෝගික කාණ්ඩය සදහා විදුලි ගාස්තු සියයට 8 කින් ඉහල දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.
- කර්මාන්ත අංශය සදහා ගාස්තු ඉහල යාම සියයට 8.7 ක් වන අතර
- හෝටල් අංශය සදහා ගාස්තු සියයට 9.9 කින් ඉහල දැමීමට අනුමැතිය ලබා දී ඇත.
- රාජ්‍ය ආයතන සදහා විදුලි ගාස්තුව සියයට 14.4 කින් ඉහල දැමීමට අනුමැතිය පිරිනමා ඇත. මෙම අංශ සදහා ද විදුලි ඉල්ලුම කලමණාකරණය කරමින් ගාස්තු ඉහලයාමේ බලපෑම අඩුකර ගත හැකිවන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කර ඇත.
කාර්ය බහුල කාලයන්හිදී විදුලි ඉල්ලුම කළමනාකරණය සදහා විදුලි සැපයුම් සමාගම් සහ විදුලි පාරිභෝගිකයින් දිරිමත් කිරීම සදහා ද මෙම ගාස්තු තීරණයේදී පියවර ගෙන ඇත. අනාගතයේදී ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් සදහා කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්ය අංශ වලට අඩු විදුලි ගාස්තු ක්‍රමයක් හදුන්වාදීම සදහාද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබේ.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන උපදේශනයක් පැවත්වු අතර එහිදී ඉදිරිපත් වු යෝජනාද සැළකිල්ලට ගන්නා ලදී.
වැඩිදුර තොරතුරු සදහා ජයනාත් හේරත් (අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන) 077 294 3193 අමතන්න.
බොල්ගොඩ ගඟේ බෝට්ටුවක් පෙරළී එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියක මරුට
(30.03.2026 – hirunews.lk)
බොල්ගොඩ ගඟේ දම්පේ ප්‍රදේශයේදී ඊයේ (29) සවස පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 39 හැවිරිදි දෙදරු මවක් දියේ ගිලී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ එංගලන්තයේ ගුරුවරියක ලෙස සේවය කරන, ද්විත්ව පුරවැසිභාවය හිමි ‘සමෘද්ධි අනුරුද්ධිකා වනිගසේකර’යි.
ඇය සිය සැමියා සහ දරු දෙදෙනා (2) සමඟ මීට සති කිහිපයකට ඉහතදී මෙරටට පැමිණ ඇත්තේ නිවාඩුව ගත කිරීම සඳහායි.
ලබන මස 05 වැනිදා ඔවුන් නැවත එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබූ බව ද පොලිසිය සඳහන් කරනවා.
පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ සඳහන් කළේ, මියගිය කාන්තාව ඇගේ කුඩා දියණිය, පුතු, පියා සහ ඥාති සොයුරෙකු සමඟ බොල්ගොඩ ගඟේ සිරි නරඹමින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
ගමන් කරමින් තිබූ බෝට්ටුවේ එන්ජිම එකවරම නතර වී එහි ඉදිරිපස කොටස ඉහළට එසවීමත් සමඟ පිටුපසින් ජලය පිරී බෝට්ටුව පෙරළී ඇතැයි වාර්තා වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සිටි පිරිස අතරින් ආරක්ෂිත කබා (Life Jackets) පැළඳ සිට ඇත්තේ කුඩා දරු දෙදෙනා (2) පමණක් වන අතර, එම නිසා දරු දෙදෙනා (2) ජලය මත පාවෙමින් සිට තිබෙනවා.
අනෙක් තිදෙනා (3) ආරක්ෂිත කබා පැළඳ සිට නැති බවත්, අනතුර දුටු වෙනත් බෝට්ටුවක් වහා එම ස්ථානයට පැමිණ බෝට්ටුවේ එල්ලී සිටි පිරිස සහ දරු දෙදෙනා (2) බේරාගෙන පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙන බවත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් ‘සමෘද්ධි අනුරුද්ධිකා’ යන අය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
+++

+
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ගත්ත රන් මාලයක් හොරෙන් උකස් තිබ්බාට නව පරපුරේ නිලියක් අත්අඩංගුවට (30.03.2026)
+++
+
යක්කල පෙරටුගාමී මූලස්ථානය පෙරටුගාමීන්ටම – අධිකරණයෙන් තීන්දුවක්
(30.03.2026 – hirunews.lk)
ගම්පහ යක්කල පාරේ සල්මල් උයන පිහිටි පක්ෂ කාර්යාලයක් සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන් අතර පැවැති ගැටුමට අදාළව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත් කළා.
ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න තීන්දුව ලබාදෙමින් එම පක්ෂ කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට භාරදෙන බව ප්‍රකාශ කළා.
මෙම පක්ෂ කාර්යාලයේදී පසුගිය 2025 වසරේ සැප්තැම්බර් මස දෙවැනි (02) දින දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් යක්කල පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමකට පසුව අධිකරණය විසින් එම කාර්යාලයේ පාලනය යක්කල පොලිසිය වෙත භාර දුන්නා.
ඒ සම්බන්ධයෙන් මාස දෙකක (2) කාලයක් තිස්සේ පැවති අධිකරණය කටයුතුවලින් අනතුරුව පූර්වගාමී මහේස්ත්‍රාත් සිලනී පෙරේරා මහත්මිය විසින් මෙම තීන්දුව ක් ප්‍රකාශයට පත්කර තිබිණා.
එම තීන්දුව ගම්පහ වත්මන් ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා විසින් අද (30) සවස ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී එම ප්‍රකාශ වූයේ තීන්දුවට අනුව මාස දෙකක (2) ගත වූ කාලය තුළින් පෙත්සම්කාර පාර්ශවය හැර අනිත් පාර්ශවය ඒ කාර්යාලයේ අයිතිය සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවය.
මෙම කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට භාරදීම තාවකාලික තීන්දුවක් වෙන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය වෙනුවෙන් නීතිඥ ක්‍රිෂාන් ප්‍රනාන්දු පුල්ලේ පෙනී සිටියා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ සමඟ දිනූසා තිරාණගම පෙනී සිටියා ෴
මීගමුව ප්‍රදේශයේදී අණ නොකතා ධාවනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි
(30.03.2026 – 17:30 +0530 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේදී අද (30) පස්වරුවේ මෝටර් රථයකට වෙඩිතැබීමක් සිදුකර තිබේ.
ඒ එම රථය පරීක්ෂාව සඳහා නැවැත්වීමට සංඥාකිරීමේදී එය නොනවත්වා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන්ය.
වෙඩිතැබීමත් සමග මෝටර් රථය අනතුරට ලක්ව ඇති අතර සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.
අනතුරුව මෝටර් රථයේ සිටි දෙදෙනෙකු (2) ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය ෴
කුමාර අසමජ්ජාති තක්කඩි වැඩවලට කප් ගහපු එකෙක් – සජබේ අජිත් උඩ තියාගෙන කුමාරගේ රෙදි ගලවයි (30.03.2026)
+
‘එකම හේතුව අනුර කුමාරගේ සුද්දේ’ – විදුලි බිල උඩ ගිය රහස පොහොට්ටුවෙන් එළියට දායි (30.03.2026)
+
“අනේ බිමල් ඇමතිතුමාට නම් ගල් අඟුරු මුදලාලිලා ගැන දුකයි” – ලංකාව දරුණු විදුලි අර්බුදයකට මුහුණ දෙන හැටි (30.03.2026)
+
දූෂණය නම් වරදක් සිදු කළැයි හිටපු විදුහල්පතිනියට ඇප
(30.03.2026 – hirunews.lk)
පහ වසර ශිෂ්‍යත්වය සමත් සුදුසුකම්ලත් දරුවන් සිටියදී අධ්‍යාපන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අඩු ලකුණු ලබාගත් ළමුන් කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත් කර ගනිමින් දූෂණය නම් වරද සිදුකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළා.
සැකකාරියට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන බවට නියෝග කළා.
කුලියාපිටියේ විශාඛා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි චාන්දනී රූපිකා සත්කුමාර නමැති සැකකාරිය මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවා.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2022 පහ වසර ශිෂ්‍යත්වය සමත් සුදුසුකම් ලත් ළමුන් සිටියදී 2023 හය (6) ශ්‍රේණිය සඳහා අඩු ලකුණු සහිත ළමුන් හත් දෙනකු (7) බඳවා ගනිමින් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
අදාළ ක්‍රියාව තුළින් ශිෂ්‍යත්වය සමත් ළමුන්ට අවාසියක් සිදු කරමින් තවත් පිරිසකට වාසි සිදු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද පැවසූවා.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ළමුන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි සිදුකර ඇති බවය.
ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම කියා සිටියේ පාසලේ හය (6) වසර ශ්‍රේණිය සඳහා පුරප්පාඩු 19 ක් ඇති බවට ලිපියක් සකස් කරමින් අඩු ලකුණු සහිත ළමුන් ඇතුළත් කරගැනීම සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවය.
එම අනුමැතිය ලබා ගැනීමේදී අධ්‍යාපන චක්‍රලේඛ අනුගමනය නොකරමින් අඩු ලකුණු ළමුන් සහිත ළමයින්ගේ නම් ද ඊට ඇතුළත් කර ඇති බවද පැවසූවා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට ඇප නීයම කරමින් විමර්ශන ප්‍රගතිය අගෝස්තු 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴