‘හිරු’ හෙළිදරව්වෙන් අනාවරණය වුණු ඔන්ලයින් දුම්රිය ටිකට් ජාවාරම ගැන CID පරීක්ෂණ අරඹයි
‘හිරු’ හෙළිදරව්වෙන් අනාවරණය වුණු ඔන්ලයින් දුම්රිය ටිකට් ජාවාරම ගැන CID පරීක්ෂණ අරඹයි
(20.01.2025 – 13:46 +0530 – hirunews.lk/sinhala)
‘දුම්රිය දෙපාර්තමේන්තුවේ’ ඔන්ලයින් මගින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.
‘දුම්රිය දෙපාර්තමේන්තුව’ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබෙන්නේ ‘දුම්රිය දෙපාර්තමේන්තුව’ ‘මොබිටෙල් ආයතනය’ සමග ඔන්ලයින් මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව ඔන්ලයින් මාර්ගයෙන් කෙටි වේලාවක් තුළ ටිකට් පත් ලබාගෙන ඒවා වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනවා.
+
වෙඩිල්ලක් වැරදී පිපිරීයාමෙන් ‘කටුනායක ගුවන්තොටුපොළේ’ නිලධාරීන් 03 දෙනෙකුට තුවාල
(20.01.2025 – 15:29 +0530 – hirunews.lk/sinhala)
‘කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය’ ආසන්න ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීම සදහා එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ නිළධාරීන් තුන් දෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කළ ‘කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ’ නිලධාරීන්ට අද (20) දහවල් 11:45 ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක්, ගුවන් ගමන් වලට බාධා වන අයුරින් පියාසළමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබුනා.
ඒ අනුව, එම නිලධාරීන් 03 දෙනෙකු මෝටර් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස්, එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබෙනවා.
එම වෙඩිල්ල ක්‍රියාත්මක නොවී නිලධාරීන් ගමන් කළ මෝටර් රථය මතට ඇද වැටී ඇති අතර, එහිදී සිදුවූ පිපිරීමත් සමග රථයේ තිබූ තවත් වෙඩි කීපයක් පුපුරා ගොස් ගිනි ගැනීමක් සිදුව ඇති බව සදහන්.
එහිදී ‘කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ’ නිලධාරීන් අදාළ ගිනි ගැනීම මැඩ පවත්වා තිබුණා ෴
හිටපු අමාත්‍ය මනූෂගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
(20.01.2025 – 13:18 +0530 – hirunews.lk/sinhala)
දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදු කළා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 21 වන දා ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ සභාපතිවරයා විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර වලට ශ්‍රමිකයින් යොමු කිරීමකට අදාළ අත්සන් කරන ලද අවබෝධත ගිවිසුමේ ප්‍රතිපාදන වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් මේ හරහා අපරාධමය වරදක් අනාවරණය වී තිබේදැයි විමර්ශන සිදුකරන බවත් එම නිලධාරියා සඳහන් කළා.
ඒ අනුව මෙම සිද්ධියට අදාලව මේ වන විට ප්‍රකාශ 35 ක් පමණ සටහන් කරගෙන තිබෙන බවත් ඔහු පැවසුවා.
මෙම විමර්ශනයට අදාළව රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනයේ නියුතු පුද්ගලයින්ගේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරියා දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව පෙත්සම්කාර මනුෂ නානායක්කාර මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු අනාවරණය නොවන බවත් සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නා.
මෙම අවස්ථාවේදී මනුෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වන කරුණු පරීක්ෂා කර බැලීමේදී නිශ්චිත වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ආකාරයක් පෙනී නොයන අතර මොනයම් හෝ කරුණක් සොයා ගැනීම සඳහා විමර්ශන සිදුකරන ආකාරයක් පෙනී යන බවත් සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනු ඇතැයි මතුවූ බිය හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
ඒත් මෙම අවස්ථාවේදී තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ ප්‍රකාශ කරන බැවින් මීට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් තම සේවාදායකයා හෙට (21) දින ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමටද නියම වුණා ෴
ගල් ඔයෙහි ඉවුරු කැඩී යයි – කුඹුරු අක්කර 1000 ක් පමණ යටවෙයි
(20.01.2025 – 12:30 +0530 – hirunews.lk/sinhala)
ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා.
ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන්කර සිටියේ.
ගම්වාසින් චෝදනා කරන්නේ නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බවයි.
2024 ජනවාරි මාසයේ ඇතිවූ ගම් වතුර තත්ත්වය හේතුවෙන් ගල්ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳී ගියා.
ඉන් අනතුරුව ප්‍රතිසංස්කරණය කළ ඉවුර 2024 නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ නැවතත් එම ස්ථානයෙන් බිඳී ගියා ෴
තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන ගැන හෙළිදරව්වක්
(20.01.2025 – 11:48 +0530 – hirunews.lk/sinhala)
‘තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම’ පවත්වාගෙන ආයතන 21 ක් පිළිබඳව මහබැංකුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව මහ බැංකුව මෙම ආයතනය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.
1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් නහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති එම ආයතන පහතින්.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark Wo International (Pvt) Ltd
- VML International (Pvt) Ltd
- –
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group 1
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd. / Netrrix
සිමෙන්ති කොට්ට දහයකට (10) අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්
(20.01.2025 – 11:45 +0530 – hirunews.lk/sinhala)
පළමු (1) වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් (10) සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) ‘කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය’ නියම කළා.
‘අල්ලස් කොමිසම’ මගින් අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකුයි මෙලෙස අද (20) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.
සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් (10) සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලකරුට නියම කර තිබෙනවා.
පසුව එම මුදල ගෙවූ බව දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සිදුකළ ‘අල්ලස් කොමිසම’ විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා ෴
මොරටුව පොලිසිය ඉදිරිපිට නොසන්සුන්තාව සම්බන්ධයෙන් ප්‍රකාශ ගනී
(20.01.2025 – 10:18 +0530 – hirunews.lk/sinhala)
මොරටුව පොලිසිය ඉදිරිපිට ඊයේ (19) රාත්‍රීයේ ඇතුවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඊට ප්‍රදේශවාසීන් මෙන්ම පිටස්තර ප්‍රදේශවල පැමිණි පිරිස් ද ඇතුළත්.
ගම්වාසීන් කිහිපදෙනෙකු අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් බව පවසමින් පිරිසක් පැමිණ මොරටුව පොලිසිය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.
පොලිසිය සඳහන් කළේ, මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට නිර්මාණය කරමින් තිබූ තොරණක් සම්බන්ධයෙන් මතුවූ තත්වයක් මත පිරිසක් මාර්ගය අවහිර කරමින් රැදී සිටි බවයි.
ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව ද පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් කිහපදෙනෙකුද තුවාල ලැබූ අතර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
+
සතොස වෙළෙඳසැලක දැවැන්ත ගින්නක්
(20.01.2025 – 10:12 +0530 – hirunews.lk/sinhala)
බණ්ඩාරවෙල නගරයේ ධර්ම විජය මාවතේ පැරණී වෙළද සංකීර්ණයේ පිහිටි සතොස වෙළෙඳ මධ්‍යස්ථානයේ අද (20) අලුයම 04:00 පමණ ගින්නක් ඇතිවී තිබෙනවා.
එම ගින්නෙක් සතොස වෙළඳ සැලට දැඩි හානි සිදුව ඇති බවයි බණ්ඩාරවෙල පොලිසිය පවසන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයෙන් වී නැහැ.
බණ්ඩාරවෙල පොලිසිය සහ බණ්ඩාරවෙල මහ නගර සභාව එක්ව ගින්න නිවා දමා සෙසු වෙළඳසැල් කරා ගින්න පැතිර යෑම පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴
සුළි සුළඟකින් යාපනයට දැඩි බලපෑම්
(20.01.2025 – 08:22 +0530 – hirunews.lk/sinhala)
යාපනයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (19) පස්වරුවේ හමාගිය සුළි සුළඟක් හේතුවෙන් නිවාස 49 කට හානි සිදුව ඇති බව අප වාර්තාකරු පවසනවා.
ඒ හේතුවෙන් පුද්ගලයින් 248 දෙනෙකුට ආපදාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම සුළි සුළඟෙන් ගුරුනගර් ප්‍රදේශයේ දේවස්ථානයකට සහ කොලුම්පුතුරේ ප්‍රදේශයේ කෝවිලකටද දැඩි හානි සිදුව තිබෙනවා.
බොහෝ නිවාසවල හා ගොඩනැගිලිවල වහල එම සුළි සුළඟෙන් ගසාගෙන ගොස් ඇති බවත්, තවත් ස්ථාන කීපයක නිවාස මතට ගස් කඩා වැටීම නිසා නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම සුළි සුළඟින් විපතට පත් වූවන්ට සහන සැලසිමට ‘ආපදා කලමනාකරණ මධ්‍යස්ථානේ යාපනය කාර්යාලය’ හා ‘ප්‍රදේශීය ලේකම් කාර්යාලය’ පියවර ගෙන තිබෙනවා ෴
රෝහල් උපස්ථායක නාමය සාත්තු සේවක වෙයි
(20.01.2025 – 07:42 +0530 – hirunews.lk/sinhala)
‘රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්’ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට ‘සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා’ විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව ‘සාත්තු සේවකයින්’ගේ නිල ඇඳුමට ඉදිරියේදී CAREGIVER යන නිල ලාංඡනයද එක්වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ’ සභාපති සහ ‘ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ’ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. රෝයි ද මෙල් සඳහන් කළේ මෙම නිල නාමය සහ ලාංඡනය හඳුන්වා දීමෙන් පසු මෙරට ‘සාත්තු සේවක සේවිකාවන්’ ජාත්‍යාන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වන බවයි ෴
සේරුනුවර යුද හමුදා කඳවුර ඉදිරිපිටදී තවත් බිහිසුණු බස් අනතුරක් – 14 ක් රෝහලේ
(20.01.2025 – 06:44 +0530 – hirunews.lk/sinhala)
කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර කන්තලේ මාර්ගයේ, සේරුනුවර යුද හමුදා කඳවුර ඉදිරිපිටදී බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අයිනේ තිබූ ගසක වැදී මාර්ගයෙන් ඉවතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (19) රාත්‍රී 11:55 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේ බස් රථය තුළ මගීන් 48 ක් පමණ සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සේරුනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන්ගෙන් පිරිසක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත්කර ඇති අතර සිදුවීම පිළිබඳව සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴