රථවාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දෙන්න පොලීසියෙන් e-Traffic
(01.01.2025 – 16:47 +0530 – sinhala.adaderana.lk)
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ.
එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි.
මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථවාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම හැකිය.
ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන https://www.police.lk/ ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති බව පොලීසිය පවසයි.
ඒ මඟින් ‘ඔබගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි’ බව ද පොලීසිය සඳහන් කළේය.
දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607 ක රථවාහන නිලධාරීන් රාජකාරි යෙදී සිටින අතර දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරේ.
මෙම යෙදුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව පොලීසිය පවසයි.
එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇත.
එම විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.
+
නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 08 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
(01.01.2025 – 14:15 +0530 – hirunews.lk/sinhala)
නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 08 ක් සමග පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී පොලිවිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශාල වශයෙන් රජයට අයවිය යුතු බදු මුදල් වංචා කරමින් කූට ලෙස ලේඛන සකස් කර වාහන එකලස් කිරිමේ මහාපරිමාණ ජාවාරමක් සිදු කරමින් පවතින බවටත්, මෙකී ජාවාරමේදී රථයන්හි චැසි කොටස් කපා ඉවත් කර වෙනත් චැසි බද්ධ කරමින් හා එකී රථයන්හි විවිධ වෙනස්කම් සිදු කරමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ධාවනයෙන් ඉවත් කරන ලද ගර්හිත වාහන එකලස් කරමින් මෙම රථ නිපදවා ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
එම නිසා එකී වාහන භාරයට ගන්නා ලද අතර, එම වාහනවල හිමිකරු අත්අඩංගුවට ගෙන ඊයේ (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
තවද මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කිරිමේදී ඔහු විසින් තවත් රථයක් පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බවත්, එහි චැසි කොටස් හා එන්ජින් අංකය වෙනස් කර ලබා දී ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
ඒ අනුව, පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් එකී රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
+
‘නාමල් කුමාර’ රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
(01.01.2025 – 17:26 +0530 – sinhala.adaderana.lk)
අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ‘නාමල් කුමාර’ එළැඹෙන ජනවාරි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.
එම හඬපටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතෝලික සභාව විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරනු ලැබූ පැමිණිල්ලට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද හෙතෙම පැවසීය.
නාමල් කුමාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
+
+
දියේ ගිලීමෙන් තරුණයෙක් මරුට
(01.01.2025 – 15:56 +0530 – hirunews.lk/sinhala)
යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි පැදිකරු ඇලකට වැටී දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
අද (01) වැනිදා අළුයම් කාලයේ වැලිකන්ද, ගිනි දමන ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
මරණකරු වයස අවුරුදු 30 ක් වූ ගිනිදමන, නෙළුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පිරිතකට සහභාගී වීමෙන් පසු නැවත නිවසට එමින් සිටියදී අනතුර සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය විමර්ශන සිදුකරනවා ෴
මත්වතුර සාදයක අසාත්මිකතාවකින් තරුණයෙක් ජීවිතක්ෂයට
(01.01.2025 – 16:49 +0530 – hirunews.lk/sinhala)
නව වසර උදාව සැමරූ සාදයකදී පානය කළ යම් බීමක් අසාත්මික වූ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි (19) හැවිරිදි තරුණයක්.
එම තරුණයා තවත් කිහිප දෙනකු සමඟ ඊයේ (31) රතිඤ්ඤා පත්තු කරමින් නව වසරේ උදාව සමරමින් සිට තිබෙනවා.
මිතුරන් කිහිප දෙනකුගේ ආරාධනයෙන් පොල්ගස්ඕවිට හල්පිට ප්‍රදේශයේ නිවසකදී සාදය පවත්වා ඇති බවයි පැවසෙන්නේ.
එම අවස්ථාවේ තරුණයන් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වී තිබෙනවා.
එහිදී සෙසු මිතුරන් එක්ව ඔහු ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි පැවසෙන්නේ.
මේ අතරතුර එක් තරුණයකු (01) දා මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
ගංජා වැවූ සහකාර වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
(01.01.2025 – 17:55 +0530 – hirunews.lk/sinhala)
තේ වතු යායකට අයත් බංගලාවක ගංජා වගා කළ බව කියන සහකාර වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ වතු බංගාවේ සහකාර වතු අධිකාරිවරයා මෙසේ අද (01) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි ආගරපතන පොලිසිය පැවසුවේ.
මෙම සහකාර වතු අධිකාරිවරයා ඔහුගේ නිල වතු බංගලාවේ පාත්තියක් සකස් කොට එය අවාරණය කර ගංජා පැළ රෝපණය කර තිබෙන බවයි පැවසෙන්නේ.
එම ගංජා පැළ අඩි දෙකක් (2) පමණ උසට වැවී තිබූ බවයි එසේ ගංජා පැළ 11 ක් වගාකර තිබු බවත් පොලිසිය පැවසුවා.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මතයි වැටිලිම සිදුකර ඇත්තේ.
සැකකරු හෙට (02) වැනිදා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
නිවසක් තුළ පුරාවස්තු සෙවූ අයෙක් අත්අඩංගුවට
(01.01.2025 – 15:11 +0530 – sinhala.adaderana.lk)
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබේ.
ඇඹිලිපිටිය, උඩගම ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55 ක් වූ ගල්බොරැල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
වැටලීම සිදුකළ ස්ථානයේ තිබී රන් ආලේපිත බුදු පිළිම 02 ක්, කළු පැහැති ගල් මංජුසාවක්, නිල් පැහැති මැණික් බවට සැකකරන ගල් 03 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
පුද්ගල සුඛ විහරණය පිණිස රටක් පාවා දෙන්න එපා.. (01.01.2025)
+
ශිෂ්‍යත්වයේ පිටවූ ප්‍රශ්ණවලට නිදහස් ලකුණු දෙන්න යලිත් තීන්දු කරයි..
(01.01.2025 – 20:29 +0530 – lankacnews.com)
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුවෙන් පසු 5 වසර ශිෂ්‍යත්ව වභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
= මාධ්‍ය නිවේදනය =
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024
2024 සැප්තැම්බර් මස 15 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2024 හි I ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 03 ක් විභාගයට පෙර පිට වී ඇතැයි ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු අංක SC/FR 286/2024, SC/FR 287/2024, SC/FR 291/2024 හා SC/FR 294/2024 යන නඩුවලදී කරුණු ඉදිරිපත් වූ අතර ඊට අදාළව 2024.12.31 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
එම නඩු තීන්දුවේ 156-1 වගන්තිය ප්‍රකාරව හා 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත මගින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව දෙපාර්තමේන්තු විද්වත් කමිටුව විසින් ලබා දී ඇති පහත සඳහන් නිර්දේශ සළකා බලන ලදී.
- පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී මත භේදාත්මක ප්‍රශ්න තන ඉවත් කර ඇගයීම් සිදු කිරීම
- අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්රදානය කිරීම
- 1 වන ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම
ඒ අනුව ඉහත නිර්දේශ අතරින් සුදුසු විසඳුම් ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර ඇත.
මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇති විය හැකි හිතකර මෙන්ම අහිතකර බලපැම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරන ලදුව මෙම ගැටලුවට ලබා දිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම ලෙස ඉහත අංක 2 හි සඳහන් පරිදි අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්රදානය කිරීමට තීරණය කළ බව දන්වමි.
ඒ අනුව, ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබා දීමට කටයුතු සිදු කිරීමට නියමිත බව කාරුණිකව දන්වමි.
එච්.ජේ.එම්.සි. අමිත් ජයසුන්දර
විභාග කොමසාරිස් ජනරාල්
2025.01.01
+++
+
සිසුවෙකු පැදවූ වෑන් රථයට යටවී දෙදරු පියෙකු මරුට
(01.01.2025 – 21:58 +0530 – sinhala.adaderana.lk)
හලාවත වෙරළ මාර්ගයේ වැලිහේන ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ දෙදරු පියෙක්ය.
අනතුර සිදුකළ වෑන් රථය පදවා ඇත්තේ වයස අවුරුදු 15 ක සිසුවෙකු වන අතර, ඔහු අනතුර සිදුවීමත් සමග පලාගොස් තිබේ.
පසුව එම දරුවාගේ පියා පොලීසියට භාර වී ඇත.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ගම්මාන දෙකක (2) ගම්වැසියන් පොලීසියට පැමිණ ඉල්ලා ඇත්තේ වහාම වාහනය පැද වූ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එම අවස්ථාවේ ගම්වැසියන් පිරිසක් වාහනයටද පහර දී තිබේ.
කෙසේ නමුත් මේ වනවිට වාහනය පැදවූ දරුවා ද පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලීසිය පැවසීය.
අනතුර සිදුවන අවස්ථාවේ වාහනය වේගයෙන් පදවා ඇති අතර, ඒ වනවිට වාහනය පැදවූ සිසුවාගේ ළඟම ඥාතීන් පිරිසක්ද සිට ඇති බව සඳහන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴