පුත්තලම ‘ක්වාසි අධිකරණ විනිසුරුවරයා’ අල්ලසක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට

පුත්තලම ‘ක්වාසි අධිකරණ විනිසුරුවරයා’ අල්ලසක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට


පුත්තලම ‘ක්වාසි අධිකරණ විනිසුරුවරයා’ අල්ලසක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට

(24.04.2024 – 06:40 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරුවරයා රුපියල් 5000 අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලස අල්ලස් ගත් විනිසුරුවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴


උපකාරක පන්ති දේශක ‘උපුල් ශාන්ත සන්නස්ගල’ට මුල්‍ය වංචා චෝදනාවක්

(23.04.2024 – 22:22 +0530 – lankacnews.com)

උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කල ‘උපුල් ශාන්ත සන්නස්ගල’ට මුල්‍ය වංචාවක් සිදුකළ ඇති බවට චෝදනා එල්ල වී ඇත.

රුපියල් ලක්‍ෂ දහයක (10,00,000) මුදලක් තමන් විසින් සන්නස්ගලගේ ගිණුමට බැර කළ බව සඳහන් කරමින් ‘නුවන් ප්‍රදීප්’ නැමැත්තෙක් මෙම චෝදනාව එල්ල කරයි.

එම මුදල ආපසු නොවීම මත මුදල් සම්බන්ධ විශ්වාසය කඩකිරීමේ චෝදනාව ගොනු කරමින් කඳාන පොලිස් ස්ථානය වෙත ඔහු විසින් පැමිණිල්ලක්ද සිදුකර ඇත්තේ අප්‍රේල් මස 09 වැනිදාය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

+


කලිසමකින්, කමිසයකින් සැරසී කාන්තාවක් බලන්න ගිය ‘වල්සාදු’ අත්අඩංගුවට..

(23.04.2024 – 15:50 +0530 – lankacnews.com ඇසුරෙන්)

කලිසමකින්, කමිසයකින් සැරසී මෝටර් රථයක ගමන් කරමින් සිටි ‘වල්සාදුවෙක්’ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නෙල්ලිගහමුල්ල පොලිස් මාර්ග බාධකයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ලැග සිටින වයස අවුරුදු තිහක් (30) වන ‘වල්සාදුවෙකි’.

වාහනය පරීක්ෂා කරද්දී ‘වල්සාදුවා’ සතු ගමන් බෑගයේ සිවුරක්, භික්‍ෂු හැඳුනුම්පත හා ජාතික හැඳුම්පත තිබී පොලිස් භාරයට ගෙන ඇත.

තමන් ‘භික්ෂුවක්’ බවත් ඥාති කාන්තාවක් හමුවීම සඳහා ඇයගේ නිවසට ගොස් ආපසු විහාරස්ථානය බලා යමින් සිටින බවත් එම වල්සාදුවා පොලිසියට පවසා ඇත.

මේ පිළිබඳව අදාල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ටත් දැනුම් දී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පොලිසිය විසින් පවත්වමින් සිටී ෴


‘ගුණසිංහම් කසේන්ද්‍රන්’ ලංකාවේ උසම පුද්ගලයා ද?

(24.04.2024 – 09:48 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු, කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ‘ගුණසිංහම් කසේන්ද්‍රන්’ගේ උස අඩි 07 යි අඟල් 02 ක්.

ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු ‘බීබීසී සිංහල සේවය’ සමග පවසා තිබෙනවා.

හිටපු කොටි සාමාජිකයකු වූ ඔහු දෛනික කටයුතු සිදු කිරීමේදී උස නිසා තමා මුහුණ දෙන තත්ත්වයන් සහ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ගැනද බීබීසී සිංහල සේවයට පවසා තිබුණා.

“මගේ උස වැඩි නිසා මෙහෙ සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්න බැහැ. පිටරට ඒවා තමයි ගෙන්නව ගන්න වෙන්නේ.”

ත්‍රිරෝද රථ රියදුරකු වන ඔහු එම කටයුත්ත ද කරන්නේ අපහසුවෙන් බව පවසයි. ඒ ඔහුගේ උස නිසාය. බස් රථවල ගමන් කිරීමේදී ද මේ උස නිසා බලවත් අපහසුතාවන්ට මුහුණ දෙන බව ඔහු කියයි. බස් රථයක හිටගෙන යා නොහැකි බවත් එසේම ආසනයක ඉඳගෙන යෑම ද අපහසු බවත් ගුණසිංහම් කසේන්ද්‍රන් කියයි. තමා ජීවත්වන ප්‍රදේශවලදී විශේෂ පිළිගැනීමක් නොලැබුණ ද සිංහල ප්‍රදේශවලදී තමාට හොඳ පිළිගැනීමක් ලැබෙන බව ද ‘ගුණසිංහම් කසේන්ද්‍රන්’ සතුටින් සඳහන් කරයි. ඔහු දෙදරු පියෙකි. සමහරු තමන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන බවත් ඔහු කියයි ෴


මහින්ද, ලසන්ත, දුමින්ද නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කෙරේ

(24.04.2024 – 10:30 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (24) නියම කර තිබෙනවා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇති බව සඳහන් ෴

+

හිටපු ජනපති මෛත්‍රීට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

(24.04.2024 – 11:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ එම පක්ෂයේ හිටපු විධායක සභික මොන්ටිගූ සරත් චන්ද්‍ර ගොනු කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය අහෝසි වීමෙන් අනතුරුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරිම නීතීඥානූකූල නොවන බව පවසමිනුයි ඔහු පැමිණිල්ල ගොනු කර තිබුණේ.

මීට පෙර හිටපු ජනාධිපතිවරයාට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලිමෙන් අනතුරුවයි.

+


මුළු ලොවේම අවධානය ගනිමින් ‘ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි’ දිවයිනට පැමිණේ

(24.04.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)

‘ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි’ මිට සුළු මොහොතකට පෙර මත්තල ගුවන්තොටුපළට වෙත පැමිණ තිබෙනවා.

ඒ ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ‘උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය’ නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහායි.

ඒ අනුව වසර 13 කට පසු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) දිනයේ දී නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (24) පෙරවරු 11 සිට ‘හිරු ටීවී’ ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.

ඌව පළාත කේන්ද්‍ර කරගමිනින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරු‍ණේ 2011 වසරේදී.

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙමගින් මෙගා වොට් 120 ක ජල විදුලි ධාරිතාවක් එක්කෙරෙන අතර මෙම බහුකාර්ය ව්‍යාපෘතිය මගින් බදුල්ල,
බණ්ඩාරවෙල, මොණරාගල ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව මෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල පහසුකම් සැපයීමට ද නියමිතයි.

ව්‍යාපෘතිය ආරම්භයේ දී ඊට එරෙහිව එම ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ ජනතාවද විරෝධතාවල නිරත වූයේ භූගත ජලයට සහ නිවාසවලට හානි සිදුවන බවට චෝදනා කරමින්.

ව්‍යාපෘතියේ මුළු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර ඉන් ඩොලර් මිලියන 450 ක් ඉරාන රජය ණය ආධාර ලෙස ලබා දීමට නියමිතව තිබුණා.

නමුත් ව්‍යාපෘතිය ආරම්භයේ දී ඉරාන රජය ඩොලර් මිලියන 50 මුදලක් ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ඩොලර් මිලියන 450 ක් වූ සම්පූර්ණ මුදල ලබාදීමට නොහැකි වුණත් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළා.

+

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා ෴


දමිතාට සහ ඇයගේ සැමියාට ඇප

(24.04.2024 – 12:04 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැර තිබෙනවා.

රුපියල් ලක්ෂ 50 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදා හැරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවේ.

කොරියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 30 ක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ පරික්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 04 වනදා රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවා.

+


විවාදය ගැන ජාතික ජන බලවේගයට ලිපියක්

(24.04.2024 – 12:52 +0530 – hirunews.lk/sinhala)

විවාදය පැවැත්වෙන දින තීරණය කිරීමට හෙට (25) සහ අනිද්දා (26) යන දින දෙකෙන් (2) පහසු දිනයකදී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජාතික ජන බලවේගය වෙත දන්වා තිබෙනවා.

ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ ජාතික ජන බලවේගය පෙරේදා (22) යොමු කළ ලිපියේ ආර්ථික කමිටු විවාදය ගැන සඳහනක් නොමැති බැවින් එම විවාදයට ජාතික ජන බලවේගය එකඟ වන්නේද? නැද්ද යන්න පැහැදිලි කිරීම අවශ්‍ය බවයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයට දින නියම කරමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකළ අතර එමගින් අදාළ විවාදය එළඹෙන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක යොදා ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව දන්වා තිබුණා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය අප්‍රෙල් 09 වැනිදා සමගි ජන බලවේගය යෝජනා කළේ පළමුව පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය සහ දෙවනුව නායකත්ව මට්ටමේ විවාදය පැවැත්වීමටත්, එම විවාද දෙකම මැයි මාසය තුළ පැවැත්වීමට දෙපාර්ශ්වයම සාකච්ඡා කර එකවර දින නියම කිරීම කළ යුතු බවයි.

කෙසේවෙතත් අප්‍රෙල් 22 වැනිදා ජාතික ජන බලවේගය යොමු කළ ලිපියේ ආර්ථික කමිටු විවාදය ගැන සඳහනක් නොමැති බැවින් එම විවාදයට ජාතික ජන බලවේගය එකඟ වන්නේද? නැද්ද යන්න පැහැදිලි කිරීමක් අවශ්‍ය බව නලින් බණ්ඩාර පෙන්වා දෙනවා.

එම විවාද දෙක පැවැත්වීම පිළිබඳ දිනයන් සහ අනෙකුත් විධිවිධාන සැලසීම පිළිබඳ සාකච්ඡාවකට අප්‍රෙල් 25 හෝ 26 යන දින දෙකෙන් පහසු දිනයකදී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ද සමගි ජන බලවේගය ජාතික ජන බලවේගයට ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතර වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *