මෙහෙකාරිය බිය ගන්වා බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකයි

මෙහෙකාරිය බිය ගන්වා බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකයි


මෙහෙකාරිය බිය ගන්වා බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකයි

(14.06.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

බොරලැස්ගමුව – ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා විදේශීය මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

පෙරේදා (12) දහවල් පුද්ගලයන් දෙදෙනෙකු (2) පැමිණ මෙලෙස රන් භාණ්ඩ සහ මුදල් සහිත සේප්පුව රැගෙන ගොස් ඇති බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් සේප්පුව රැගෙන යන අයුරු සී.සී.ටී.වී. දර්ශන වන සටහන්ව ඇති අතර ඒ අනුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

මොවුන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත 071 859 1646 අංකයෙන් හෝ 011 215 0769 අංකයෙන් බොරලැස්ගමුව පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

+

කටුනායක නිවෙසකින් රුපියල් ලක්ෂ 18 කට වැඩි රන් බඩු සහ මුදල් කොල්ලකාලා

(14.06.2023 – 09:46 +0530 – hirunews.lk/sinhala)

කටුනායක මඩවල ප්‍රදේශයේ සොරකමේ ගිය පුද්ගලයකු නිවෙසක් මංකොල්ල කන යන ආකාරය නිවෙසේ කැමරාවේ පටිගත වී තිබුණා.

මෙම සොරකමේ ගිය පුද්ගලයා නිවසේ තිබී රුපියල් ලක්ෂ 18 කට අධික රත්තරන් බඩු සහ මුදල් රැගෙන ගොස් ඇති බව එම නිවසේ හිමිකරු පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ඇවරියවත්ත පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භය ඇති බවයි වාර්තා වන්නේ ෴

+

රට තුළ හෙක්ටෙයාර 16,000 ක් බඩඉරිගු වගා කිරීමට පියවර

(14.06.2023 – 09:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ හෙක්ටෙයාර 16,000 ක් බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ එම අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ (13) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දීයි.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙහි දී උසස් තත්වයේ දෙමුහුන් බීජ, රසායනික පෙහොර මෙන්ම බිම් සැකසීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් නැවත අයකර නොගැනීමේ පදනම යටතේ ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා ෴

+

හෙරොයින් ජාවාරමේ නිරත වූ ‘වරකාගොඩ ජෝනා’ අත්අඩංගුවට

(14.06.2023 – 09:50 +0530 – hirunews.lk/sinhala)

ටොනික් මූඩි උපයෝගී කරගනිමින් විද්‍යුත් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ වරකාගොඩ ගොඩපොරහේන ප්‍රදේශයේ පදිංචි ‘ජෝනා’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගොඩපොරහේන ප්‍රදේශයේම පදිංචි ‘ජෝනා’ නම් අනුවර්ත නාමයෙන් හැඳින්වෙන 33 හැවිරිදි අයෙකු බවත් ඔහු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහුගේ නිවසේ දීම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කළා.

සැකකරු ඉතා සූක්ෂම ලෙස ටොනික් පියන අස්සේ රුපියල් දෙදහසේ හෙරොයින් මුලක් දමා මාර්ගවල නොයෙක් ස්ථානවල තබමින් විද්‍යුත් ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදු කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මේ ක්‍රමය ඔස්සේ සැකකරු වරකාගොඩ, නෑබඩ, ඉද්දගොඩ තෙබුවන, දොඩම්ගොඩ ආදී ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවට ද තොරතුරු හෙළි වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

+

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අදයි (14)

(14.06.2023 – 10:07 +0530 – hirunews.lk/sinhala)

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අදට (14) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ ‘නිරතුරු දන්දෙමු ජීවිත සුරකිමු’ යන්නයි.

මෙරට වාර්ෂික රුධිර අවශ්‍යතාව ඒකක ලක්ෂ 4 කට ආසන්නයි. ඉන් සියයට සියයක ප්‍රමාණයම ලබාදෙනු ලබන්නේ පරිත්‍යාගශීලින් විසින් ෴

+

වෛද්‍ය මධ්‍යස්ථානයකදී කාන්තාවක් අපයෝජනය කරලා

(14.06.2023 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවක් අපයෝජනය කළ වෛද්‍යවරයකු සොයා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හතළිස් දෙහැවිරිදි (42) කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරන බව‍යි පොලිසිය පවසන්නේ.

සියඹලාපේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී මෙම අපයෝජනය සිදු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා ෴

+

ජංගම දුරකතනය භාවිත කරමින් බස් රථය පැදවූ රියදුරාට දඩ

(14.06.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මාතර කොළඹ බස් රථයක මඟීන් පටවාගෙන ජංගම දුරකතනය කනේ ගසාගෙන බස් රථය ධාවනය කළ රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් 37,500 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි හර්ෂන් නානායක්කාර නමැති 26 හැවිරිදි රියැදුරකුට මෙසේ දඩමුදල් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 08 සහ 09 යන දෙදින තුළදීම ජංගම දුරකතනය කනේ තබාගෙන ධාවනය කළ බවට චෝදනා දෙකක් (2) යටතේ අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

පළමු වරදට රුපියල් දාහත් දහස් පන්සියක් (17,500) සහ දෙවැනි වරදට රුපියල් විසිදහසක් (20,000) වශයෙන් දඩමුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයෙන් දැඩිව අවවාද කළ බවයි වාර්තා වූයේ ෴

+

හම්බන්තොට වරාය පරිශ්‍රයට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්

(14.06.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරාය පරිශ්‍රය තුල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කර තිබෙනවා.

වරායට පැමිණෙන යාත්‍රා සඳහා තීරු බදු රහිත ව්‍යාපාර සේවා සැලසීමේ අරමුණින් වෙළඳසැල් දෙකක් (2) ස්ථාපිත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම වෙළඳසැල් මගින් සුවඳවිලවුන්, චොක්ලට් ආදී ජාත්‍යන්තර තීරුබදු රහිත භාණ්ඩ රාශියක් අලෙවි කරනු ලබනවා ෴

+

ආබාධිත තරුණියක අපයෝජනය කළැයි තිදෙනෙක් (3) දැලේ

(14.06.2023 – 11:06 +0530 – hirunews.lk/sinhala)

මානසික ආබාධයකින් පෙළෙන තරුණියක අපයෝජනය කළ සැකකරුවන් තිදෙනකු (3) සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතරින් එක් අයකු මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය පවසන ආකාරයට ඔහු ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව පාළු නිවෙසකට ගෙන්වා ගත් මෙම තරුණිය සැකකරුවන් විසින් අපයෝජනයට ලක් කර තිබෙනවා ෴

+

උපාධිධාරී ගුරුවරුන් 5,500 ක් ගුරු සේවයට

(14.06.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500 කට මේ මස 16 වැනිදා නව පත්වීම් ලබා දෙන අතර ම විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් (3) ම උපාධිධාරී ගුරුවරුන් 5500 ක්, වයස 35 නොයික්ම වූ උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එහෙත් භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයාගේ අදහස් පළ කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බවත් පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් ඒ සඳහා අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසි සේත් අනුමත නොකරන බවයි ෴

+

සනත් නිශාන්ත ගෙන් සැර ප්‍රකාශයක්

(14.06.2023 – 12:06 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව පත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ තම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පිළිගැනීම ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි සනත් නිශාන්ත සඳහන් කරන්නේ.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර දැමීමට උත්සාහ කළහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම සහයෝගය ලබා නොදෙන බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තම පක්ෂ නායකයින්ට ලබා දෙන වැදගත්කම මත පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් ලෙස රැදී සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගියදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ද වර්ජනය කර තිබුණ බවයි වාර්තා වන්නේ ෴

+

ජනපතිගේ අද (14) රැස්වීමට යෑමට පොහොට්ටුවෙන් තීරණයක්

(14.06.2023 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමට සහභාගි වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ දැනුම්දීමකට අනුව අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති මෙම රැස්වීම අද (14) පස්වරුවේ පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ඒ අනුව, අද (14) පැවැත්වෙන රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙරේදා (12) දිනයේද ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැදවා තිබු නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් හැර අනෙකුත් සියලුදෙනා එම සාකච්ඡාවට සහභාගි නොවීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකර ආණ්ඩුව පාර්ශ්වයෙන් වෙන වෙනම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු නියෝජිතයන්ට එම රැස්වීමට සඳහා ආරාධනා කර තිබීම ඊට හේතු වුණා.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහභාගි වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර, ගම්පහ – උඩුගම්පොල ප්‍රදේශයේ අද (14) පැවති පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදකාරි තත්ත්වයක් පවතින බව පෙන්වීමට ඇතමුන් උත්සාහයක නිරත වෙමින් සිටින බවයි ෴

+

මෙරට සමේ පිලිකාවල වර්ධනයක්

(14.06.2023 – 12:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුද්ගලයින් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

අද (14) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර කියා සිටියේ ස්වභාවික සම ආරක්ෂා කරගෙන එය නිරෝගිව පවත්වාගෙන යාම වැදගත් බවයි ෴

+

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක්

(14.06.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි.

මේ අතර වෙළෙඳපොළේ තවමත් එළවළු මිල ගණන්වල ඉහලයාමක් පෙන්නුම් කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *