මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ වෙනසක්

මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ වෙනසක්

*********************************************

මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ වෙනසක්

(22.10.2022 – 16:35 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇති බව විභාග කොම්සාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ II වැනි ප්‍රශ්න පත්‍රය පළමුවත්, I වැනි ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබා දීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය වර්ෂවල කාලසටහන සම්බන්ධයෙන් පුළුල්ව අධ්‍යනය කර මෙම තීරණයට එළඹි බවයි අදාල නිවේදනය හරහා විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18 වැනිදා පැවැත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් සැලසු කර ඇති අතර, එහි II වැනි ප්‍රශ්න පත්‍රය (බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 60 කි) පෙරවරු 09:30 සිට පෙරවරු 10:45 දක්වා පැය 01 යි මිනිත්තු 45 ක් ද, I වැනි ප්‍රශ්න පත්‍රය (වරණ තුනකින් සම්විත බහුවරණ ප්‍රශ්න 40 කි) පෙරවරු 11:15 සිට දහවල් 12:15 දක්වා පැය එකක (01) කාලයක් පැවැත් වීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ ෴

***************************************

මාස අට (8) ට ළමා හිංසන පැමිණිලි 7,500 ක් – වැඩිම සංඛ්‍යාව කොළඹින්

(22.10.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ මාස අට (8) තුලදී ළමා හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 7568 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩි පැමිණිලි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ දරුවන්ට පහරදීම්, ලිංගික හිංසන, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම් මෙන්ම යාචක වෘත්තියේ යෙදවීම ඇතුළු පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, මහනුවර, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කවලින් ළමයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් ද දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ළමා හිංසනයන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර, දරුවන් 8721 ක් පමණ මෙරට පරිවාසභාරයේ සිටින බව සඳහන්.

එමෙන්ම අධිකරණය හරහා ළමා නිවාස වෙත භාර දෙන දරුවන් ප්‍රවාහනය කිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් පවතින අතර ඊට විසඳුමක් තවමත් අපේක්ෂාවෙන් සිටින බවයි සමස්ත ලංකා පරිවාස නිලධාරින්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

++++++++++

මව්පිය සෙනෙහස අහිමිවූ දරුවා අසල්වැසි නිවසක අපාදුක් විඳියි

(22.10.2022 – 13:21 +0530 – sinhala.adaderana.lk)

වසර 4 ක් පුරා දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙමින් වදහිංසා කළ සිදුවීමක් කැලණිය දිප්පිටිගම ප්‍රදේශයෙන් වාර්තා විය.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම දරුවා හැදී වැඩුණු නිවසේ සිටි හිමිකරුවන් විසින් දරුවාට පහරදී බැල මෙහෙවරකම් සිදුකරගෙන ඇති බවය.

මෙම දරුවාගේ මව දෙවැනි විවාහයක් කරගැනීමත් සමග ස්වාමිපුරුෂයා දරුවාට ඇති අකමැත්ත හේතුවෙන් ඔහුව අසල්වැසි නිවසකට භාරදීමට, මව කටයුතු කර තිබේ.

ඒ මීට වසර 4 කට පෙරය.

එතැන් සිට කැලණිය දිප්පිටිගම ප්‍රදේශයේ අසල්වැසි නිවසක ජීවත් වූ මෙම දරුවා ඒ නිවසේ කාන්තාවගෙන්, ඇගේ ස්වාමියාගෙන් සහ දියණියගෙන් පහරකෑම්වලට ලක්වී ඇත.

එමෙන්ම සිය අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගනිමින් නිවසේ බැල මෙහෙවරකම් සිදුකිරීමටද සිදුවී ඇත්තේ මෙම දරුවාටය.

එලෙස දුක්ඛිත ජීවිතයක් ගත කළ මෙම දරුවාගේ හැසිරීමේ යම් වෙනසක් දුටු පාසල් ගුරුවරුන් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.

එහිදී ගුරුවරුන්ට දැනගැනීමට හැකිවී ඇත්තේ දරුවා පහරදීම් හා වදහිංසාවලට නිරන්තරයෙන් ලක්වී ඇති බවය.

කැලණිය දළුගම ශාන්ත ප්‍රැන්සිස් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මෙම දරුවා කඳුළු සලමින් තමා මුහුණදුන් අමිහිරි සිදුවීම් පවසා තිබුණි.

“කරදරයක් නොවී වහ බෝතලයක් අරගෙන බීපං කිව්වා..” යනුවෙන් ද දරුවා එහිදී පවසා තිබුණි.

මේ පිළිබඳව දරුවාගේ මව ද පාසලට ගෙන්වා දැනුවත් කළද ඇය ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ඇති අතර පසුව අදාළ කාන්තාව දැනුවත් කිරීමටද ගුරුවරුන් කටයුතු කර ඇත.

එහිදී අදාළ කාන්තාව ගුරුවරුන්ට ද තර්ජනය කර ඇති බව වාර්තා විය.

අනතුරුව ගුරුවරුන් පෑලියගොඩ පොලීසිය දැනුවත් කළ අතර එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පැමිණ දරුවා ව ඊයේ (21) පොලීසියට රැගෙන ගොස් තිබුණි.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ දරුවා දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස පහරකෑම්වලට ලක්වී ඇති බවය.

දරුවා ජීවත් වූ නිවසේ කාන්තාවද පෑලියගොඩ පොලීසියට පැමිණි අතර ඇයගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබේ.

මේ වනවිට දරුවා පොලිස් ආරක්ෂාව මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන පෑලියගොඩ කාන්තා හා ළමා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක තමරා දුෂාන්ති ද සිල්වා මහත්මිය පැවසුවේ එම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව නිවැසියන් සහ ඔහුගේ මව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවය ෴

***************************************

මත්පෙති සහ මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණ තරුණියන්ගේ සාදයක් වටලයි

(22.10.2022 – 19:33 +0530 – sinhala.adaderana.lk)

රටෙහි උගත් තරුණ පිරිස් ඉලක්ක කර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණි.

උකුස්සාගේ අද (22) අනාවරණය ඒ පිළිබඳවය.

රාගල නකල්ස් කඳු වැටියට ආසන්නයේ පිහිටි නිවාඩු නිඛේතනයක නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහිතව මුදල් ගෙවා ඇතුළත් වියහැකි සාදයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට රහසිගත තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මෙහෙයුමක් ආරම්භ කරන්නේ ‘අද දෙරණ උකුස්සා’වද සම්බන්ධ කරගනිමිනි.

අනතුරුව අප මැදියම් රාත්‍රියේ අදාළ ස්ථානයට ළඟා වනවිට සාදය ආරම්භ වී තිබුණි.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් සාදය පැවැත් වුණු ස්ථානයට කඩාවැදුණු අතර ඒ වනවිටත් එහි සිටි සියලුම දෙනා මත්වී පසුවිය.

එහි සිටි තරුණයෙකු එම අවස්ථාවේදී තමන් සතුව තිබූ මත් පෙත්තක් විසි කළ අතර එය සුරාබදු නිලධාරීන් සොයාගෙන තිබුණි.

මෙම ස්ථානයේදී කොකේන් ඇතුළු තවත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සුරාබදු නිලධාරීන්ට සොයාගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී අනාවරණය වූයේ ඔවුන් කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන පිරිසක් බවය.

මෙහිදී තරුණියන් දෙදෙනෙකු (2) සහ තරුණයන් 29 දෙනෙකු සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

තරුණයන් ඉලක්ක කර සිදුකරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙනි.

***************************************

දේශීය කර්මාන්ත පද්ධතිය අනතුරේ – කළ යුත්තේ කුමක්ද?

(22.10.2022 – 17:05 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ කර්මාන්ත පද්ධතියේ නවෝදයක් ඇති වන්නේ 1970 දශකයේ දී කර්මාන්ත සංවර්ධන පනත මගින් සිදු කළ සුවිශේෂී රාජ්‍ය මැදිහත් වීම සමඟය. එම යුගයේදී විදේශීය ආධාර යොදාගනිමින් රාජ්‍ය අයිතිය යටතේ මහා පරිමාණ කර්මාන්තශාලා ප්‍රමාණයක් ආරම්භ විය. කැලණි ටයර්, ඔරුවල වානේ, තුල්හිරිය පේෂකර්ම, පුත්තලම සිමෙන්ති ආදී වශයෙන් එම කර්මාන්ත ශාලා මගින් ආර්ථිකයට සුවිශේෂී උපායමාර්ගික දායකත්වයක් සපයනු ලැබීය. එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස 77/78 වසරේ දී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වෙළඳ අතිරික්තයක් පෙන්විය හැකි විය. එම ක්‍රියාවලිය තුළ කර්මාන්ත සංවර්ධන පනත යටතේ පිහිටුවනු ලැබූ කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක් ආශ්‍රිත කර්මාන්තකරුවන් ගෙන් සමන්විත උපදේශක කමිටු මගින් රාජ්‍ය තීන්දු තීරණ වලට මැදිහත්වීමේ හැකියාව කර්මාන්තකරුවන්ට ලැබුණි. ඒ නිසා දේශීය පුද්ගලික කර්මාන්තකරුවන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලැබුණු අතර ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹුණි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන වල දියුණු පරිපාලකයින් ගේ මැදිහත්වීම මත නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය වර්ධනය වූ අතර අපනයන වෙළෙඳපොළ පුළුල් විය. ආයෝජන සඳහා ම වෙන් වූ සංවර්ධන බැංකු මගින් එම ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රාග්ධනය සහන පොලියට ලබා ගත හැකි විය. නමුත් 1977 න් පසු පසුව ආරම්භ වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ ආරක්ෂණවාදී රාජ්‍ය මැදිහත්වීම් අවම වූ අතර වෙළඳාම දිරිමත් කිරීමේ නාමයෙන් ආනයන දිරිමත් කෙරුණි. එම ක්‍රියාවලිය තුළ විශාල වශයෙන් බදු වංචා සිදු වූ අතර රාජ්‍ය ආදායම් අහිමි විය. රාජ්‍ය මැදිහත් වීම ක්‍රමයෙන් අතහැරීම තුළ දේශීය කර්මාන්ත පද්ධතියේ කඩා වැටීම ආරම්භ විය.

ඉන්පසුව 90 දශකයේ දී පළාත් සභා ශක්තිමත් කිරීමේ නාමයෙන් හඳුන්වා දුන් කර්මාන්ත ප්‍රවර්ධන පනත මගින් පිහිටුවනු ලැබූ උපදේශක සභාව මගින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ ආංශික උපදේශක කමිටු වල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට ඉඩ සැලසුණි. අවසානයේ දී එම ආයතනයේ සමස්ත දායකත්වයද සීමා කෙරිණි. ඉන්පසුව 2000 දශකයේ දී ඉන්දියාව සමඟ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් දේශීය කර්මාන්ත පද්ධතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ඉන්පසුව දේශීය කර්මාන්ත පද්ධතිය කඩාවැටීමේ නරකම දශකය ආරම්භ වන්නේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා යටතේ ය. එම යුගයේදී කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත 3000 ක් පමණ වැසී ගිය බවට වාර්තා පළ විය. විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට සහ පොල්තෙල් කර්මාන්තයට නරක කල දසාවක් උදා විය. එම කාලයේ දී විශාල වශයෙන් බදු සහන දෙමින් පාම් තෙල් ආනයනකරුවන් දිරිමත් කෙරුණු අතර පොල්තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කර විකිණීම නීතිගත කිරීමට පාරිභෝගික අධිකාරි පනත යටතේ ම ඉඩ සැලසුණි. එසේම සංවර්ධන බැංකු පද්ධතිය අකර්මණ්‍ය කිරීම තුළ කර්මාන්තකරුවන්ට සහන පොලියට ණය ලබා ගැනීමේ හැකියාව සීමා විය. අවසානයේදී වැසී ගිය සහ වැසී යාමට ආසන්න කර්මාන්තශාලා බැංකු විසින් වෙන්දේසි කිරීම ද ආරම්භ විය. ඊට විසඳුම් ලෙස වාණිජ බැංකු විසින් ඉහළ පොලියට ණය ලබා දීම සහ ඊනියා ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කර්මාන්තකරුවන් තවදුරටත් ණයකාරයන් බවට පත් විය. ඒ අතර දේශිය නිෂ්පාදනවලට වෙළඳපොළ පුළුල් කිරීම සඳහා රජය රටේ ප්‍රධාන මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට ප්‍රමුඛතාවය ලබාදීම වැනි විසඳුම් හඳුන්වා දුන්නද එම ප්‍රමුඛතාවය අනිවාර්ය නොකිරීම නිසා ඒ මගින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණි.

එම ක්‍රියාවලියේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස රටේ වෙළෙඳ හිගය එනම් අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 10 ක් දක්වා වර්ධනය විය. ඇගළුම් කර්මාන්තය මහා කර්මාන්තයක් ලෙස හුවා දැක්වුවද අපනයන ආදායමෙන් 80% ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වේ. අපනයන වර්ධනය කළ යුතු බවට මන්තරයක් ජපකළ ද කර්මාන්තකරුවාට අපනයන වෙළෙඳපොළ පුළුල් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍යමය සහාය ලැබුණේ නැත. එහිදී ඉලක්ක සහගතව සහ හඳුනාගත් උපාය මාර්ගික වශයෙන් වැදගත් කර්මාන්ත සඳහා විශේෂ මැදිහත්වීමක් සිදු කළේද නැත. ඛනිජ වැලි නිස්සාරණය මගින් වටිනා ලෝහ නිෂ්පාදනය කිරීම වෙනුවට ඒවා වැලි ලෙස තුට්ටු දෙකට අපණයනය කෙරුණි. මිනිරන් වලින් කළු රත්තරන් හෙවත් ග්‍රෑෆින් නිපදවීම වෙනුවට ඒවා කළු ගල් මෙන් අපනයනය කරනු ලැබුණි. ඒ ආකාරයට කර්මාන්ත ක්ෂේත්‍රයේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට දීර්ඝ කාලීන උපාය මාර්ගික ප්‍රවේශයක් අනුගමනය නොකිරීම තුල එනම් රටක් ලෙස නඩත්තු කළ ආර්ථික මොඩලය තුල වත්මන් අර්බුදය ට ගොදුරු වූ බව පිළිගැනීමට සිදුවේ.

වත්මන් ආර්ථික අර්බුදයේ මූලික ප්‍රකාශනය වන ඩොලර් සංචිත සිදී යාම නිසා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ලබා ගත නොහැකි වී ඇත. ඒ අතර 2018 දී සම්මත කළ නව විදේශ විනිමය පනත මගින් කළු වෙළඳපල දිරිමත් කෙරෙන බැවින් අපනයන ආදායම් කූට ලෙස කළු වෙළදපොළ තුළ රඳවා ගැනීමට හැකියාව ලැබී ඇති බැවින් තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇත. ඊට අමතරව මුදල් අච්චු ගැසීම මගින් මුදල් සැපයුම වැඩි කිරීම නිසා සහ රුපියල අවප්‍රමාණය කිරීම නිසා වර්ධනය වන උද්ධමනය පාලනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවී ඇත. ඒ තුළ කාරක ප්‍රාග්ධන පිරිවැය වැඩිවීම සහ ණය සහ පොලී වාරික වැඩිවීම නිසා කර්මාන්තකරුවාගේ ගෙල අන්තයටම සිරවී ඇත. ආර්ථිකයේ විශේෂිත ක්ෂේත්‍ර උදාහරණයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තය, බිඳ වැටීම නිසා ද වෙළඳපල හැකිලීමක් ද සිදු වී ඇත. උද්ධමනය සහ රැකියා අහිමි වීම ආදී හේතු නිසා සමස්තයක් ලෙස වෙළඳපල හැකිලීමක් සිදුවන නිසා කර්මාන්තකරුවාට තවදුරටත් වෙළඳපොළ අහිමි වේ.

නීතිගරුක කර්මාන්තකරුවන් කළු වෙළදපොළෙන් වැඩි මිලට ඩොලර් ලබාගැනීමට මැලිවන ඔවුනට මහ බැංකුවේ මැදිහත්වීම මත බැංකු පද්ධතිය මගින් යම් ප්‍රමාණයක් හෝ ඩොලර් ලබාදෙන්නේ නැත. නමුත් බහු ජාතික සමාගම්වලට කිසිදු ගැටළුවක් නොමැතිව අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව එම සමාගම් විශාල වශයෙන් බදු වංචා කරන බවද රේගුවට රහසක් නොවේ. කෙසේ වෙතත් කළු වෙළදපොල හරහා අමුද්‍රව්‍ය ආනයනය කරන දේශීය කර්මාන්තකරුවන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බහුජාතික සමාගම් විසින් යම් ක්ෂේත්‍ර වල වෙළඳපල අත්පත් කර ගන්නා අතර මාධ්‍ය ආයතන වල ගෙල සිර කිරීම මගින් විශාල වට්ටම් සහිතව ප්‍රචාරණයේ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බව දැක ගත හැක. එම ක්‍රියාවලය තුළ දේශිය කර්මාන්තකරුවන්ගේ තරග කිරීමේ හැකියාව බැඳ වැටේ.

මෙම තත්වයට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත පද්ධතිය නගාසිටුවීම සඳහා අර්බුදය උත්සන්න වී මාස 6 කට අධික කාලයක් ගත වී තිබියදී පවා කිසිදු උපායමාර්ගික සැලසුමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. එම තත්ත්වය තුළ පුහුණු ශ්‍රමිකයන් අහිමි වීම සහ නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තත්වපාලන ක්‍රියාවලිය බිඳ වැටීම ආදිය නිසා බොහෝ කර්මාන්ත ආශ්‍රිතව නැවත නැගී සිටීමේ හැකියාව ද අභියෝගයට ලක්වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවේ බලපෑම මත නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් පුළුල් කිරීම සහ ‘එක්ටා’ ගිවිසුම අත්සන් කිරීම ආදී කොන්දේසි ඉටු කළහොත් දේශීය කර්මාන්ත පද්ධතිය සහමුලින්ම බිඳ වැටීම වැලැක්විය නොහැක. මෙම තත්ත්වයට මුහුණදීම සඳහා අහඹු මැදිහත් වීම් හෝ පැලැස්තර විසඳුම් වෙනුවට උපාය මාර්ගික සැලසුමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා ‘මව්බිම ලංකා පදනම’ සහ ‘ජාතික සංවිධාන’ ලෙස රටට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා සම්පිණ්ඩනයක් ලෙස ගෙන අටවැදෑරුම් උපායමාර්ග රාමුවක් ඉදිරිපත් කළ හැක.

  1. ඒ අතුරින් පළමුවැන්න අමුද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමුඛතා පදනම මත නිදහස් කිරීම සඳහා මාසිකව ඩොලර් සංචිත ප්‍රමාණයක් නිදහස් කිරීමය. එහිදී අපනයන ආදායම්, රැකියා සුරක්ෂිතතාවය, දේශීය වෙළඳපොල කොටස සහ අදාල නිෂ්පාදනවල අත්‍යවශ්‍යතාවය යන සාධක සැලකිල්ලට ගනිමින් ප්‍රමුඛතා පදනම තීරණය කළ හැක.
  2. දෙවැන්න වහාම කර්මාන්ත සංවර්ධන පනත යටතේ ආශික උපදේශක කමිටු 20 ක් පත්කර ඉලක්ක සහගත ව ගැටලු විසඳීම සඳහා කර්මාන්තකරුවාගේ දායකත්වය සක්‍රීයව ලබා ගැනීමය.
  3. තුන්වැන්න භාණ්ඩාගාරය මගින් පොලී සහනාධාර ලබාදීම මගින් සංවර්ධන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ බැංකු මඟින් දේපල වෙන්දේසි කිරීම් තාවකාලිකව අත්හිටුවීම ය.
  4. හතරවැන්න දේශීය නිෂ්පාදනවලට තරගකාරී විකල්ප නිෂ්පාදන ආනයනය සීමා කිරීම සඳහා දේශීය නිෂ්පාදන පිරිවැය අනුව නිර්ණය කරනු ලබන වෙළඳපළ මිලට වඩා ආනයනික නිෂ්පාදන වල මිල 10% කින් ඉහළ මට්ටමක පවතින ලෙස විශේෂ පරිභෝජන බදු පැනවීම ය. එම ක්‍රමවේදය තාවකාලිකව ආනයන අත්හිටුවීමට වඩා දීර්ඝ කාලීනව ඵලදායි වේ.
  5. පස්වැනි උපාය මාර්ගික ප්‍රවේශය නිමි නිෂ්පාදන ආනයනය වෙනුවට අමුද්‍රව්‍ය ආනයනය දිරිමත් කිරීම මගින් දේශීය වටිනාකම් එකතු කිරීම වර්ධනය කිරීමය. උදාහරණයක් ලෙස පොල්තෙල් සහ පාම් තෙල් ආනයනය වෙනුවට කැබිලි කළ වියළි පොල් මද ආනයනය දිරිමත් කිරීම සඳහා නිමි නිෂ්පාදන වල ආනයන බදු ඉහල දැමීම සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා බදු සහන ලබා දීමය.
  6. හයවැනි උපායමාර්ගික ප්‍රවේශය ලෙස වෙළෙඳපොළ මිල විකෘතීන් වැළැක්වීම සඳහා ආනයන සඳහා ලබාදී ඇති අයුතු බදු සහන නැවත පැනවීම, විකල්ප බාල ද්‍රව්‍ය මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා ප්‍රමිතීන් ඉහළ දැමීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම ආනයන බදු වංචා වැළැක්වීම සඳහා ආවේක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම ආදී ක්‍රියාමාර්ග වැදගත් වේ. එම ක්‍රියාවලිය තුළ කුඩා තීරණ මගින් මහා ප්‍රතිඵල අත්පත් කරගත හැක. උදාහරණයක් ලෙස සංයුතිය වෙනස් කළ නිෂ්පාදනයක් වන මේදය ඉවත් කළ කිරිපිටි ආනයනය අත්හිටුවීම මගින් එම අවශ්‍යතාවය දේශීයව සපුරන අතර රට, බටර් වලින් ස්වයංපෝෂිත කළ හැක. එසේම කිරිමේදය ඉවත් කර ඒ වෙනුවට පාම් තෙල් මිශ්‍ර කළ කිරිපිටි ආනයනයට ඉඩ නොදීම මගින් වෙළඳ පොළ මිල විකෘතීන් නිවැරදි කළ හැකි අතර දේශීය කිරි කර්මාන්තය ආරක්ෂා කළ හැක.
  7. හත්වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ රජය රටේ විශාලතම මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ලබාදී ඇති ප්‍රමුඛතාවය අනිවාර්ය කිරීම ය.
  8. අටවැනි ප්‍රවේශය හඳුනාගත් උපායමාර්ග කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා උපාය මාර්ග කර්මාන්ත ආරක්ෂා කිරීමේ නව නීතිමය රාමුවක් හඳුන්වාදීමය. ඒ සඳහා දැනට පවතින කර්මාන්ත ප්‍රවර්ධන පණත සංශෝධනය කළ හැක. වටිනාකම් එකතු කිරීමේ දාමයට බහුතර සුළු නිෂ්පාදකයින් දායකවන කර්මාන්ත (උදාහරණක් ලෙස කිරි කර්මාන්තය), දේශීය සන්නාමය ආරක්ෂා කරගත යුතු කර්මාන්ත (දේශිය ඹෟෂධ වර්ග සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය, පොල් මද ආශ්‍රිත මෙන්ම තේ සහ රබර් ආශිත වටිනාකම එකතු කිරීමේ කර්මාන්ත ආදිය) උපායමාර්ගික කර්මාන්ත ලෙස සැලකිය හැක. එහිදී ‘ආරක්ෂණවාදය’ ජාතික ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මගින් විශ්වවිද්‍යාලවල සේවය කරන ලෝක වෙළඳ සංවිධානයේ ‘ගිරව්’ අවුස්සා ගැනීමට අවශ්‍ය නැත. රටට අවශ්‍ය වන්නේ එම ප්‍රතිපත්තියේ අරමුණ නීති මගින් ඉටුකර ගැනීමය. දැන් සිදුවන ආකාරයට සංයුක්ත උපායමාර්ගික ප්‍රවේශයකින් තොරව පැළැස්තර විසදුම් ඉදිරිපත් කරමින් යන ගමන තුළ දේශීය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගැනීමට නොහැකි ආකාරයට බිඳ වැටීම වැළැක්විය නොහැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *