‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට


‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

(28.10.2025 – hirunews.lk)

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඩවත ප්‍රදේශයේදීයි.

‘ගෙනේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙසින් සැලකෙන ‘ඉෂාරා සෙව්වන්දි’ට නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දුන් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

නේපාලයේදී අත්අඩංගුවට ගත් ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු සැකකරුවන් පසුගියදා දිවයිනට රැගෙන එනු ලැබුවා ෴


පාසල් පෙල පොත් කොටස් දෙමවුපියන්ට මුද්‍රණය කරගන්න වෙයි…?

(28.10.2025 – 18:20 +0530 – lankacnews.com)

පාසල් පෙළපොත් නොමිලේ ලබා දීම රජය විසින් ක්‍රමානුකූලව අත්හිටුවීමට නව ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, 2026 වසරේදී පළමු (1) වසරේ පළමු (1) වාරය සඳහා සිංහල විෂය මාලා මොඩියුලය තුළ පමණක් QR කේත 42 ක් ඇතුළත් කර ඇති බවයි. මේ හේතුවෙන් දරුවන්ට අවශ්‍ය පාඩම් කොටස් මුද්‍රණය කරගැනීමේ විශාල බරක් දෙමාපියන්ට පැටවෙනු ඇතැයි ඒ මහතා අවධාරණය කරයි. මෙම නව ක්‍රමවේදය දෙමාපියන්ට දැඩි අපහසුතාවක් ගෙන දෙන බව ගුණවර්ධන මහතාගේ අදහසයි.

තවදුරටත් අදහස් දක්වන ඔහු අනතුරු අඟවන්නේ, මෙම තත්ත්වය අවබෝධ කර ගන්නා පෞද්ගලික අංශය ඉක්මනින්ම එම මොඩියුලයන්ට අදාළ පෙළපොත් මුද්‍රණය කොට වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, වසර ගණනාවක් තිස්සේ නොමිලේ ලැබුණු පාසල් පෙළපොත් සඳහා දෙමාපියන්ට මුදල් ගෙවීමට සිදුවන අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා රටේ අනෙකුත් බහුජන සංවිධාන සමඟ එක්ව මැදිහත් වන බවට ද ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය ෴

+++

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ දැන් ක‍්‍රියාත්මකයි.. ඒත් කොල කෑල්ලක්වත් නෑ.. අගමැතිගේ ප‍්‍රසන්ටේෂන් එක විතරයි.. – ස්ටාලින්

(28.10.2025 – 15:50 +0530 – lankacnews.com)

ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කිසිම ලියවිල්ලක් මේ වනතෙක් ඉදිරිපත් කර නැති බවත් ලබන වසරේදී (2026) ද ඉදිරිපත් කරන කරන එකක් නැති බවත් ‘ලංකා ගුරු සංගමය’ සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. 2019 අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර ගෙන ආ යෝජනාවයි මේ අය ගෙඩිය පිටින් ගේන්නේ. මේ ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ ජාතික ජන බලවේගයේ අධ්‍යාපනය ප්‍රතිපත්තිවලට පටහැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්.

ඒ වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කිසිම ලියැවිල්ලක් ලබන අවුරුද්දේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරුත් ඉදිරිපත් කරන එකක් නැහැ. තියෙන්නේ හුදු ‘ප්‍රසන්ටේෂන්’ එකක් විතරයි. පළාත් නමයට ගිහින් ‘ප්‍රසන්ටේෂන්’ එක ඉදිරිපත් කරන එකයි අධ්‍යාපන අමාත්‍යවරිය කළේ. නමුත් කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. සාකච්ඡාවක් නොතියා ‘ප්‍රසන්ටේෂන්’ එකක් විතරක් ඉදිරිපත් කරන එකේ තේරුම මොකක්ද?

මේ රටේ යම් ප්‍රතිසංස්කරණයක් කරනවා නම්, විශේෂයෙන්ම අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයකට ප්‍රතිසංස්කරණයක් ගෙන එනවා නම් මුලින්ම ඒ පිළිබඳව ජනතාවත් සමඟ සාකච්ඡා කළ යුතුයි. එවැනි සාකච්ඡාවක් අපි දැක්කේ නැහැ. ප්‍රතිසංස්කරණයක් සඳහා නියාමන ව්‍යාපෘතියක් අවශ්‍යයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා එවැනි නියාමන වැඩසටහනකුත් නෑ.

1997 ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මුලින්ම ගම්පහ දිස්ත්‍රික්කයේ නියාමන ව්‍යාපෘතියක් කළා. ඒ නියාමන ව්‍යාපෘතියේ හොඳ නරක බලලා තමයි රටේම ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ. ඒ වගේ නියාමනයක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වෙලා තියෙනවද?

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මොඩියුල යනුවෙන් අලුත් සංකල්පයකුත් හඳුන්වලා දීලා. මොඩියුල ක්‍රියාවලිය තුළින් අධ්‍යාපනයට මොකද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අත්හදා බැලීමක් නෑ. ක්‍රියාත්මක කරන ගමන් අත්හදා බැලීම් කිරීමට යාම භයානකයි. බැරිවෙලා හරි මේ ක්‍රමවේදය අසාර්ථක වුණොත් එයින් ලොකුම හානිය වෙන්නේ ඒ කාල සීමාවේ ඉන්න දරුවන්ට නේ ෴


පොලිස්පති ඉවත් කරන්නැයි කියයි.. දෙපාර්තමේන්තු විනය නියෝග කඩලා..

(28.10.2025 – 14:10 +0530 – lankacnews.com)

නව ජනතා පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍යය නිවේදනයයි =

දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහයේ අංක 01 සහා අංක 05 කඩකීරිම සිදු කල පොලිස්පතිතුමන් වහා තනතුරෙන් ඉවත් කරනු.

කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මැතිතුමාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ ඔහු විසින් කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිතුමා විසින් ලබා දුන් ආරක්ෂාව පිළිබඳව හා ජගත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ඇති වී තිබෙන තර්ජන සඳහා මුල් වී ඇති කාරණා පිළිබඳව පොලිස්පතිතුමා විසින් සිදු කල ප්‍රකාශය සම්බන්ධව නව ජනතා පෙරමුණ අපගේ ද අවධානය යොමු වී ඇත.

සංවිධානාත්මක අපරාධ සඳහා යම් සම්බන්ධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා පැවැතීම නිසා මෙවැනි තර්ජන ගොඩනැගී ඇති බවත් ඒ සම්බන්ධව විවෘත විමර්ශනයක් පවත්වන බවත් පොලිස්පතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී. තවද මහජන දේශපාලන කටයුතු නිසා නොව යම් යම් කූඨ ව්‍යාපාර ජාවාරම් පුද්ගලයන් සමග සහ සම්බන්ධ වීම තුලින් මෙම මරණ තර්ජන නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇති බව ද වැඩි දුරටත් පොලිස්පතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙලෙස කිසිදු විමර්ශනයකින් තොරව සාක්ෂි රහිතව මහජන සේවයේ නිරත වන මන්ත්‍රීවරයකු පිළිබඳව අපහාසාත්මකව කරුණු ප්‍රකාශ කිරීම තුලින් ඔහුගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර එම ප්‍රකාශය නව ජනතා පෙරමුණ විසින් දැඩි ලෙස හෙළා දකිමු.

දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහය අනුව බී-පරිශ්‍රයේ අංක 01 යටතේ ‘අපකීර්තිදායක හැසීරිම’ මෙන්ම අංක 05 යටතේ ‘බොරු කීම හෝ ඇත්ත සඟවා කථා කිරීම’ යන කරුණු දෙකම පොලිස්පතිතුමන් විසින් කඩ කර ඇති බව ඔහුගේ ප්‍රකාශය තුලින් ජනිත වේ.

ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරා දෙමින් පොලිස්පතිතුමන්ට සිතෙන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම තුල රට මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් කරා ගෙන යන සේයාවක් පෙන්නුම් කරන අතර ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව කටයුතු කරන පොලිස්පතිවරයකු සිටීම ස්වාධීන පොලීසියක පැවැත්ම ප්‍රශ්න සහගත වන බව අපි අවධාරණය කර සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රවාහය තුල මෙවැනි මාධ්‍ය සංදර්ශන අපි දැඩිව හෙළා දකින අතර රටේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් පටු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන ආණ්ඩුවේ මර්දනකාරී දේශපාලන ක්‍රියාවලියේ කොටසක් ලෙස සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධව පැන නැගී ඇති කාරණාව පිළිබඳව පොලිස්පතිතුමන් දැක් වු අදහස් ප්‍රකාශනය දැඩි ලෙස නව ජනතා පෙරමුණ විසින් හෙළා දකින අතර පොලිස්පතිතුමන් විසින් විනය සංග්‍රහය කඩකරමින් කටයුතු කිරීම පිළිබඳව නිතීමය ක්‍රයාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර ප්‍රකාශ කර සිටිමු.

මාධ්‍ය අංශය
නව ජනතා පෙරමුණ


වැලිගම වෙඩික්කරු මහ පාරේ නඩු ඇසූ පොලිස් නිලධාරීන් ගැන විමර්ශණයක් ..

(28.10.2025 – 22:22 +0530 – lankacnews.com)

වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හා බැඳුණු ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව මේ වනවිට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් විසිනි.

මහරගම, නාවින්න ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඔහුව වීඩියෝවට නගමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම තොරතුරු හෙළි කළේය.

“වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාහිර පාර්ශවයක් හෝ අපේ පොලිස් නිලධාරියකු මගින් ඡායාරූපගත කරානම් හෝ වීඩියෝ ගත කරානම් ඒ පිළිබඳව අපි විමර්ශන කරනවා. මෙලෙස අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි ඉදිරිපත් වීම එම නඩුවට අගතියක්. ඒ වගේම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශවයට මේක අගතියක් විදියට අපි සලකනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා” ෴

+++

+++

‘වැලිගම ඝාතකයා’වත් ඇන්දූ ‘කැකිරාවේ වඩේ වෙළෙන්දා’

(28.10.2025 – hirunews.lk)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ වෙඩික්කරු එම ඝාතනයෙන් පසු කැකිරාවට ගොස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට එම නගරයේ වඩේ වෙළෙන්දකුට අවස්ථා දෙකකදී රුපියල් 50,000 ක මුදලක් ලබාදී තිබූ බවට ඔහු පාපොච්චාරණය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව‍ වෙඩික්කරු මුල් අවස්ථාවේදී වඩේ වෙළෙන්දාට රුපියල් 25,000 ක මුදලක් ලබාදී තිබුණේ මත්ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා බවට ඔහු සිය ප්‍රකාශවලින් සඳහන් කර තිබුණා.

පසුව වෙඩික්කරු දෙවැනිවරට ලබා දෙනු ලැබූ රුපියල් 25,000 ක මුදල රැගෙන වඩේ වෙළෙන්දා පළා ගොස් තිබූ බවට අනාවරණය වුණා.

මෙම ඝාතනය සිදුවන්නේ ඉකුත් 22 වැනිදායි. වෙඩික්කරුත්, පැදිකරුත් දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට හු‍රුව සිටි අය වන අතර, ඔවුන් ඉකුත් 24 වෙනිදා උදෑසන වන විට රැඳී සිට ඇත්තේ මහියංගන ආශ්‍රිත ප්‍රදේශයක බවට මේ වන විට අනාවරණය වී තිබුණා.

ඩුබායි සිට වෙඩික්කරු මෙහෙයවූ අය ඔහුට දැනුම් දී තිබුණේ ඊළඟට අනුරාධපුරය බලා ගමන් කිරීමටයි.

කතරගම ඔස්සේ බුත්තල දෙසට ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරයකට පවා ඔවුන් ලක්වීමට ගොස් තිබූ බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ අතර අතරමඟදී පැදිකරු ගමන් කළ යතුරුපැදිය මඟ දමා ගොස් ඇත්තේ ඩුබායිවලින් ලද උපදෙස්වලට අනුවයි. තණමල්විල, වැල්ලවාය, මහියංගනය රිදීමාලියද්ද බකමූණ ආදී ප්‍රදේශ පහු කරමින් ඔවුන් ගමන් කර ඇත්තේ තිදෙනාම එකම යතුරුපැදියෙන්.

අතරමග විවේක ගනිමින් ගමන් කළ ඔවුන් ඉකුත් 25 වැනිදා අළුයම් කාලය වන විට අනුරාධපුර කැකිරාවට ගොස් තිබුණා.

ඒ වන විට වෙඩික්කරුට සහ පැදිකරුට දැඩිව මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබී ඇති අතර, එම අවශ්‍යතාවය සපුරා ගැනීමට උත්සාහ කර ඇත්තේ කැකිරාවේ වඩේ වෙළෙන්දා මගින්.

වෙඩික්කරු, කාලයක් කැකිරාව ප්‍රදේශයේ රැකියාවක ද නිරතව සිට ඇති අතර, වඩේ වෙළෙන්දාව දැන හඳුනාගෙන සිට ඇත්තේ එහිදී බවට අනාවරණය වී තිබුණා. වඩේ වෙළෙන්දාගේ දුරකථන අංකය වෙඩික්කරු සතුව තිබී ඇති බැවින් ඔහුට ඇමතුමක් ලබාදී නගරයේ තැබෑරුමක් අසලදී ඔහුව මුණගැසී ඇති බව සඳහන්.

එදින විවේක ගැනීම සඳහා වෙඩික්කරුටත් ඔහුගේ බිරිඳටත් පැදිකරුටත් ස්ථානයක් ලබා දී ඇත්තේ මේ වඩේ වෙළෙන්දායි.

ඒ අනුව වෙඩික්කරු සිය මිතුරා වූ වඩේ වෙළන්දාට එදින උදෑසන මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රුපියල් 25,000 ක මුදලක් ද ලබා දී ඇතැයි අනාවරණය වී තිබුණා.

එදින සවස අනුරාධපුරය බලා ගමන් කිරීමට ඔවුන් සූදානම්ව සිටියත් එම ගමන රෑ වනතුරු පමා වී ඇත්තේ තවත් රුපියල් 25,000 ක මුදලක් දී මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගෙන්වා ගැනීමට වඩේ වෙළෙන්දා පිටත් කර යවා තිබූ බැවින්.

වඩේ වෙළෙන්දා එම මුදලත් රැගෙන මගහැර පලා ගොස් ඇති බව නොදත් වෙඩික්කරු වඩේ වෙළෙන්දා පැමිණෙන තුරු දිගටම ඔවුන් සිටි ස්ථානයේ රැඳී සිට තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ වන විටත් දුරකථන ජාල විශ්ලේෂණ මගින් මොවුන්ගේ ගමන් මග නිරීක්ෂණය කරමින් සිට තිබුණා.

කැකිරාවේ ඔවුන් බොහෝ වේලාවක් රැඳී සිටින බව නිරීක්ෂණය වූ බැවින් ඉකුත් 25 දා රාත්‍රී කාලයේ වෙඩික්කරු කොටු කර ගැනීමට මෙහෙයුම ආරම්භ කිරීමට විමර්ශන අංශ යුහුසුළු වූයේ ඒ නිසායි.

යුද හමුදාව පොලිස් විශේෂ කර්ය බලකාය සහ කැකිරාව පොලිසියේ නිලධාරීන් ප්‍රදේශයේ වටකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන ස්ථාන එක වටකර එම ස්ථානයේ සිටි අය අත්අඩංගුවට ගන්නා විට වෙඩික්කරු පලා ගොස් තිබුණේ පොලිස් නිලධාරීන්ට ද පහර දෙමින්.

ඒ අනුව, ඉකුත් (26) වැනිදා අළුයම් කාලයේ කැකිරාවෙන් බස් රථයක නැගී කොළඹ පිටකොටුවට එන සැකකරු බොරැල්ල වනාතමුල්ලේ සහස්පුර නිවාස සංකීර්ණයට ගොස් ඇත්තේ මත්කුඩු ලබාගෙන එය භාවිත කිරීම සඳහායි.

ඔහුට එහි යන ලෙසත් හමුවීම සඳහා පුද්ගලයකුගේ නාමයකුත් ලබා දී ඇත්තේ ඩුබායි සිට ඔහුව මෙහෙවන පුද්ගලයන්.

බොරැල්ලේදි මත්කුඩු භාවිතා කර ඔහු කොණ්ඩය සහ රැවුල කපන්නේ ද ඩුබායිවලින් ලද උපදෙස් වලට අනුවයි.

ඒ වන විටත් ඔහුගේ ඡායාරූප මාධ්‍ය මඟින් පොලිසිය ප්‍රසිද්ධ කර ඇති බව ඩුබායි සිටින අය වෙඩික්කරුට දැනුම් දී තිබුණා.

ඒ හේතුවෙන්ම කොණ්ඩය සහ රැවුල කපා වෙස් මාරු කරගත් වෙඩික්කරු පොලිසිය විසින් නිකුත් කළ ඡායාරූපය හා බැලූ බැල්මට හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ සිට ඇත්තේ ඒ අනුවයි.

මහරගමදී ඔහුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකුගේ නිරීක්‍ෂණයට ලක්වන්නේ වෙඩික්කරු සිය ස්වරූපයේ වෙනස් කර ගත හොත් එසේ ස්වරූපයේ වෙනස්කර ගැනීමට හැකි සෑම ආකාරයක්ම AI තාක්ෂණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් සකස්කර ඒ ඡායාරූප බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත යොමු කර තිබීම නිසාය.

මේ අනුව, මෙම ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සියළු සැකකරුවන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය සඳහන් කරනවා ෴

+++

වැලිගම ලසා එළොව යැවූ වෙඩික්කරු අකුරැස්සේ රන් භාණ්ඩ අලෙවිසලක් කොල්ල කාලා (28.10.2025)

+


අජිත් රෝහණ ආන්දෝලනාත්මක කතාවක් කරයි – හැමෝම අහන්න ඕන සුපිරි කතාව මෙන්න (28.10.2025)

+


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *