එංගලන්ත රැකියා සිහින පෙන්වා රු. ලක්ෂ 27 ක් වංචා කළ කතුන් දෙදෙනෙක් (2) දැලේ

එංගලන්ත රැකියා සිහින පෙන්වා රු. ලක්ෂ 27 ක් වංචා කළ කතුන් දෙදෙනෙක් (2) දැලේ


එංගලන්ත රැකියා සිහින පෙන්වා රු. ලක්ෂ 27 ක් වංචා කළ කතුන් දෙදෙනෙක් (2) දැලේ

(26.04.2026 – hirunews.lk)

එක්සත් රාජධානියේ එළවළු ගොවිපළක රැකියා ලබාදෙන බව පවසා හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ විසි හතකට (27) ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ මෙරට නියෝජිත කාන්තාවන් දෙදෙනෙකු (2) හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ ගනේමුල්ල සහ තඹුත්තේගම ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙක් (2).

පිළිමතලාව හෝ මහනුවර ප්‍රදේශයේ පදිංචි, ‘දූල්ලෑව’ නමැති ව්‍යාජ නමකින් පෙනී සිටින ප්‍රධාන සැකකරුගේ මෙහෙයවීම මත මෙම වංචාව සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු ලෙස සේවය කරන පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් පසුගිය 2025 වසරේ දෙසැම්බර් 04 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා.

පැමිණිලිකරුගේ එංගලන්තයේ ‍වෙසෙන ඥාතියෙකුට මුණගැසුණු සූපවේදියෙකු මාර්ගයෙන් මෙම ‘දූල්ලෑව’ නැමැත්තා හඳුන්වා දී තිබෙනවා.

තමන් එංගලන්තයේ එළවළු ගොවිපළ දෙකක (2) සහ ආපනශාලා 11 ක හිමිකරුවකු බව පවසා ඇති සැකකරු, රැකියාව සඳහා මුලින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් (1,20,00,000) ඉල්ලා ඇත.

පසුව එය රු. ලක්ෂ 30 දක්වා අඩු කර ඇති අතර, ඉන් රුපියල් ලක්ෂ 27 කට ආසන්න මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවට පැමිණිල්ල සඳහන් කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙම මුදල් ලබාගැනීම සඳහා සැකකරු ‘උණ්ඩියල්’ ක්‍රමය භාවිතා කර ඇති බවත්, තම ව්‍යාපාරවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ගේ බැංකු ගිණුම් බව පවසමින් ගම්පොල, කඩුවෙල, ගනේමුල්ල, තඹුත්තේගම සහ ගොතටුව යන ප්‍රදේශවල පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ගිණුම් අංක ලබා දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

එමෙන්ම, ගම්පොල ප්‍රදේශයේ සිල් මාතාවකට උදව් කරන බව පවසා රවටා, පැමිණිලිකරු ලවා රු. ලක්ෂයක (100,000) මුදලක් එම සිල් මාතාවගේ ගිණුමට ද බැර කරවාගෙන තිබූ බවට ද වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.

මුදල් ලබාගෙන මාස කිහිපයකට පසු, ප්‍රධාන සැකකරු මියගිය බව හැඟවෙන පරිදි ඔහුගේ දරුවන් විසින් එවන ලද කෙටි පණිවුඩ පැමිණිලිකරු වෙත එවා ඇතැයි ද වාර්තා වෙනවා.

ඉන් අනතුරුව මෙය වංචාවක් බව වටහාගත් වින්දිතයා පැමිණිලි කළ බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා (2) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබුණා.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

හොරණ සහකාර පොලිස් අධිකාරී ඊ.ඒ. ඒකනායකගේ නියෝග මත හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නාකන්දල, පොලිස් සැරයන් (58653) ජයන්ත, (71385) සංජීව, (71389) අසංක සහ කාන්තා පොලිස් සැරයන් (2015) දිලීපා යන නිලධාරීන් මෙම වැටලීමට එක්වුණා ෴


ඩිජිටල් තාක්ෂණයන් හී ප්‍රශස්ත භාවිතය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ

(27.04.2026 – 10:36 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවා දුරස්ථව සැපයීමේ දී ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රශස්ත භාවිතය පිළිබඳව ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දී තිබේ.

මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුදමය තත්ත්වය හමුවේ මෙරටට බලපෑ ඉන්ධන සැපයුම් සීමාවන් හා සමස්ත බලශක්ති කළමනාකරණ අවශ්‍යතා හේතුවෙන් ජාතික ඉන්ධන තොග මත ඇති පීඩනය අවම කිරීම සඳහා රජය විසින් කාර්යාලීය සේවා සීමිතව පවත්වාගෙන යාමට මුලදි පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති රාජ්‍ය සේවය ක්‍රමාණුකූලව පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නියමයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දුරස්ථ සේවා ක්‍රමවේදයට (Remote Work) හැකිතාක් දුරට යොමු වීමේ හැකියාව සොයා බැලීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නියම කර ඇත.

ඒ අනුව, දුරස්ථ සේවා සැපයවීමට මෙන්ම සාමාන්‍ය කාර්යාලයීය කටයුතු සඳහා ද ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රශස්ත භාවිතය පිළිබඳ නිර්දේශ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අතුරු මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ. එකී මාර්ගෝපදේශ භාෂාත්‍රයෙන්ම සම්පාදනය කර ඇති අතර, ඒවා
https://mode.gov.lk/docs/guidelines යන සබැඳියෙන් බාගත කර ගත හැකි ය ෴


අර්චුනාට වැඩ වරදියි | පිස්තෝලයක් පෙන්නලා චණ්ඩි පාට් දාන්න ගිහින් | පොලිසිය අර්චුනා කුදලාගෙන ගිහින් (27.04.2026)

+


“නන්දලාල් එළියට බැහැපිය, ඩොලර් මිලියන 2.5 ගැන උත්තර දීපිය” | මහ බැංකුව ඉස්සරහා දෙවනත් වෙයි |පොල් ගහලා සාප කරයි (27.04.2026)

+


‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

(27.04.2026 – 10:59 +0530 – sinhala.adaderana.lk)

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් (5) ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පවසයි.

එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් මේ වන තෙක් සිදු කර නොමැති බවය.

ඒ හේතුවෙන් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට විවෘත ප්‍රශ්න 22 ක් යොමු කර තිබේ.

එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිතුමන් සහ කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රශ්න 22 ට විවෘත පිළිතුරු ලබාදිය යුතු බවය.

  • උපුටා ගැනීම –
  1. ජනරජයේ ජනාධිපතිතුමා, භාණ්ඩාගාරයේ ඩොලර් මි. 2.5 ක් අස්ථානගතවී හෝ මංකොල්ලකෑමකට ලක්වී ඇති බව පිළිගන්නේ ද?
  2. මේ සිද්ධිය සිදූවූ දිනය පිළිබඳ ජනාධිපතිවරයා ලෙස ඔබ වෙත කරුණු වාර්තා කර තිබුනේ ද?
  3. 2025 සැප්. 06 හෝ ඒ ආසන්න දිනක ඔබතුමන් අමාත්‍ය ධූරය දරන මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබූ බව ජනාධිතිවරයා / මුදල් අමාත්‍යවරයා ලෙස දැන සිටියේ ද?
  4. එම ප්‍රහාරය එල්ල වූ බව භාණ්ඩාගාර ලේකම් විසින් ඔබතුමන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් දැනුවත් කර තිබුණා ද?
  5. එම දැනුමත් කිරිම සිදුව තිබුනේ නම්, ඔබතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ ද?
  6. ඔබතුමන් ඩිජිටල් කටයුතු, මුදල්, ක්‍රම සම්පාදනය, ජාතික ආරක්ෂක විෂය සම්බන්ධයෙන් වන අමාත්‍යවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ සිදු වූ මංකොල්ලය පිළිබඳ වගකීම දැරිය යුතු බව පිළිගන්නේ ද?
  7. එසේ නම්, ඔබ ජාතික ආරක්ෂාවේ මුලික විෂය පථයට අයත් අංශ හතරක් (4) මේ වන විට බිඳවැටී ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බව පිළිගන්නේ ද?
  8. ඔබතුමන් භාණ්ඩාගාර ලේකම් ඔබතුමන් විසින් පත් කළ බව පිළිගන්නේ ද?
  9. මුදල් ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ / මාලිමාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පිළිගන්නේ ද?
  10. ඔහුට භාණ්ඩාගාරය හා මුදල් හා ක්‍රම සම්පාදනය සම්බන්ධයෙන් කිසිදු පුර්ව අත්දැකීමක් නොමැති බව පිළිගන්නේ ද?
  11. ඔහු විසින් මේ වන විට මුලික විමර්ශනයට අදාල පත්වීම් හා වාර්තා වෙනස් කරමින් මෙම මංකොල්ලයේ සාක්ෂි විනාශ කරමින් සිටින බව ඔබතුමන් දැන්වත්ව තිබේ ද?
  12. මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කිරීමෙන් පසුව මෙම මංකොල්ලය සිදුවු බවත්, ඉන් පසුව මුල්‍ය අපරාධයක දී අනුගමනය කළ යුතු මුලික පරිපාලන ව්‍යවහාරයන් පවා ලේකම්වරයා විසින් පැහැර හැර ඇති බව ඔබතුමන් පිළිගන්නේ ද?
  13. මෙම මංකොල්ලකෑම සිදුවූ දිනය හා එයට මහා භාණ්ඩාගාරයෙන් සම්බන්ධ වූ පුද්ගලයින් කවුරුන්ද යන්න ඔබතුමන් දන්නේ ද?
  14. මේ සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාරයේ ලේකම්, ඔබතුමන් දැනුවත් කරනු ලැබූයේ කවදාද?
  15. ‘ෆී ලෝයර්ස්’ සංවිධානය විසින් කථානායකතුමන් දැනුවත් කිරීමට පෙර මේ පිළිබඳ ඔබතුමන් දැනුවත්වූයේ නම්, මේ පිළිබඳ ඔබ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවට හෝ ජනතාව දැනුවත් නොකළේ මන්ද?
  16. සෑම මසකටම දෙවරක් හෝ එයට වැඩි අවස්ථාව දී පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණෙන ඔබතුමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවෙන් කරුණු වසන් කිරීම වරදක් බව පිළිගන්නේ ද?
  17. මේ මංකෝල්ලය සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාර ලේකම්තුමා, අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට හෝ පොලීසියට හෝ 2026 අප්‍රේල් 21 දිනට පෙර (අපගේ හෙළිදරව්වට පෙර) පැමිණිලි කර තිබේ ද?
  18. මේ පරිගණක අපරාධය පිළිබඳ පරිගණ අපරාධ හදිසි විමර්ශනය සඳහා ස්ථාපති ආයතන වෙත පැමිණිලි කරනු ලැබූයේ කවදාද? කවුරුන් විසින්ද?
  19. එසේ නොකර තිබුණා නම්, එය බලවත් වරදක් බව ඔබ පිළිගන්නවාද?
  20. මේ තරම් අක්‍රමිකතා, අතපසුවීම්, වගකීම් විරහිත බව, වංක ලෙස කටයුතු කර තිබෙන මුදල් ලේකම්වරයා කෙරෙහි ඔබට තවදුරටත් විශ්වාසයක් පවතින්නේ ද?
  21. මෙහු එම ධූරය දරණ තාක් කල් සාධාරණ විමර්ශනයක් සිදු කළ හැකි බව ජනාධිපතිතුමන් / මුදල් අමාත්‍යතුමන් ලෙස ඔබට විශ්වාසයක් පවතින්නේ ද?
  22. හර්ෂණ සුරියප්පෙරුම මහතා පුද්ගලයා වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් කර නිසි විමර්ශයක් සිදු කිරීමට අවකාශය ඔබතුමන්ලා විසින් සලසා දෙන්නේ ද?
  • උපුටා ගැනීම අවසන් –

දුම්රිය ප්‍රමාදයක්

(27.04.2026 – hirunews.lk)

අද (27) දිනයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව වාර්තා වනවා.

ඒ, තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වීමට ලොකමෝටිව් රියදුරන්ගේ සංගමය ගෙන ඇති තීරණයත් සමගයි.

එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ අප කළ විමසීමකදී කියා සිටියේ ඊයේ (26) සිට දුම්රිය ධාවනයේදී වේග සීමා ද තරයේ පිළිපදින බවයි ෴


මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතීඥයා මමයි.. මට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ.. – නීතිඥ උදය ගම්මන්පිල

(27.04.2026 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් අද (27) පවත්වන මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස මම කටයුතු කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කළ බවටත් ඒ නිසාම නීතිඥවරයා ලෙස ඔහුව මුණ ගැසීමත් තහනම් කළ බවටත් පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා. මම හිතන්නේ ඒ සියළුම මාධ්‍ය වාර්තා වැරදියි කියලා. මොකද මහෙස්ත්‍රාත්වරයෙකුට නීතිඥවරයෙකු යම් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන්න බෑ. නීතිය උගත් මහෙස්ත්‍රාත්තුමා ඒක හොඳින්ම දන්නවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තියෙන් යම් සැකකරුවෙක් වෙනුවෙන් නීතිඥවරයකු හරහා කරුණු දැක්වීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිලිඅරන් තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය අනුවත් නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සැකකරුවෙකුගේ අයිතියක්. ඒ වගේම අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තියෙන් යම් සැකකරුවෙකුට උපදෙස් ලබා දීම සහ ඔහු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥවරයෙකුගේ අයිතිවාසිකමක් ලෙසත් පිලිඅරන් තිබෙනවා. එහෙනම් අපේ රටේ නීතිය එක පැත්තකින් සැකරුවෙකුට නීතිඥවරයෙක් ලබා ගැනීම අයිතිවාසිකමක් ලෙස පිලිඅරන් තිබෙනවා. අනිත් පැත්තෙන් නීතිඥයාට සැකරුවා වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයාගේ අයිතිවාසිකමක් ලෙස පිලිඅරන් තිබෙනවා.

යම් පුද්ගලයෙකුට තමන් කැමැති නීතිඥවරයා තමන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැමැති නීතිඥවරයා තෝරා ගන්නවා වෙනුවට පැමිණිල්ල කැමැති නීතිඥයා තෝරා ගන්න වෙනවා නම් ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්. ලෝකයේ කිසිම රටකින් එවැනි තත්වයක් වාර්තා වෙන්නේ නෑ. මාව සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස පත් කලේ ඔහුගේ බිරිඳ රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට ලිපියක් ලබා දෙමින්. මම නීති වෘත්තියේ සිටින තුරු මම ඔහුගේ නීතිඥයා ලෙස කටයුතු කිරීම කිසිම අධිකරණයකටවත් පොලිසියටවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටවත් නවත්වන්න බෑ.

අපි මහෙස්ත්‍රාත්වරයාට එවැනි බලයක් තිබෙනවා කියලා මොහොතකට හිතමු. එහෙම බලයක් තිබුණත් ඒ බලය පාවිච්චි කරන්න ඔන මාව ගෙන්වලා මගේ පැත්තෙන් කරුණු අහන්නේ නැතිව මට තහනමක් පනවන්න අධිකරණයට බෑ. ඒක දෙපාර්ශවයටම සවන් දෙන්න කියන ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනියි.

මම වරදක් කළා කියමු. නමුත් මට එරෙහිව දඩුවම්දීම කරන්න මම යම් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන්න නීතිඥයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් මහෙස්ත්‍රාත්වරයාට නෑ. ඒ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒ නිසා නීතිය දනිමින් ගරු මහෙස්ත්‍රාත්තුමා එවැනි ප්‍රකාශයක් සිදුකළ බව මම විශ්වාස කරන්නේ නෑ. මාධ්‍ය වාර්තා වල බරපතල වරදක් තිබෙන බව තමයි මම විශ්වාස කරන්නේ. මම නීතිඥවරුන්ට දැනුම් දුන්නා එදා අධිකරණයේ සිදුවීම ඇතුලත් නඩු පොතේ ඇති වාර්තාවේ සහතික පිටපතක් ලබා ගන්න කියලා. අපිට ඒක ලැබුණාම ඇත්ත මොකක්ද කියලා දැන ගන්න පුළුවන්.

මම සුරේෂ් සලේ හමුවී පිටතට ඇවිත් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන නිසාත් පාස්කු ප්‍රහාරය ගැන පොතක් ලියූ නිසාත් මම සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස කටයුතු කරන්න සුදුසු නැති බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට වාර්තා කරලාලු. දිලීප පීරිස් මහත්තයා මීට කලින් නඩු වල කරලා තිබෙන නීතියට පටහැනි අතිශයින්ම දේශපාලනික ප්‍රකාශ දිහා බැලුවාම අනිවාර්රයෙන්ම එවැනි ප්‍රකාශයක් කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

සාක්ෂි ආඥා පනතේ 126 වගන්තියෙන් කියන්නේ යම් සේවාලාභියෙකු නීතිඥයෙකුට හෙලිදරව් කරන තොරතුරු ඔහුගේ එකඟතාවයකින් තොරව ප්‍රසිද්ධ කරන්නවත් අන් පාර්ශවයක් සමග බෙදා ගන්නවත් නීතිඥවරයාට බෑ කියලා. ඒ කියන්නේ සේවාලාභියාගේ රහස්ය භාවය රැකීම පෞද්ගලිකත්වය රැකීම විදිහටයි ඒක දකින්නේ. සරලවම කියනවා නම් සුරේෂ් කැමති නම් ගම්මන්පිල කැමැති නම් දිලීප ඒකට කලබල නොවිය යුතුයි කියලා තමයි ඒ වගන්තියෙන් කියන්නේ.

මම සුරේෂ් බලලා ඇවිත් ඔහුගේ නීතිඥයා විදියට ඔහුගේ තත්වය මාධ්‍යයට වාර්තා කළ බව ඇත්ත. ඒක ඔහුගේ කැමැත්තෙන් ඔහුගේ පවුලේ අයගේ කැමැත්තෙන් සිදුවුණු දෙයක්. ඒ වගේම යම් ප්‍රසිද්ධ සැකකරුවෙකුගේ තත්වය පිළිබඳ ලෝකය පුරාම මාධ්‍ය වලට කතා කරන්නේ ඔහුගේ නීතිඥයා තමයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පසුගිය සමයේ තිබුණු නඩු පිළිබඳ මාධ්‍යයට කතා කලේ ඔහුගේ නීතිඥවරිය වුණු ඇලීනා හබා. ඇලීනාට හොඳයි නම් ගම්මන්පිලට නරක වෙන්නේ කොහොමද කියලා තමයි මට දිලීපගෙන් අහන්න වෙන්නේ.

මම පාස්කු ප්‍රහාරය පිළිබඳ පොතක් ලියූ බවත් ඇත්ත. යම් චෝදනාවක් පිළිබඳ විමර්ශන අවධියේ තිබිය දී ඒ ගැන පොත් ලියන්න අදහස් ප්‍රකාශ කරන්න මට විතරක් නොවේ ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තිබෙන භාෂණයේ නිදහස. ඒ නිදහස මගෙන් උදුරා ගන්න දිලීප මහත්තයාට බෑ. චෝදනා ගොනු කිරීමේ සිට නඩු තීන්දුව ලබා දීම දක්වා කාලය තමයි අධිකරණයේ විනිශ්චයට භාජනය වී තිබෙන කාලපරිච්ඡේදය. අන්න ඒ කාලයේ නම් කිසිවෙකුට ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. “සබ් ජුඩිසී” ලෙස ලතින් භාෂාවෙන් කියන්නේ ඔන්න ඔය කාලපරිච්ඡේදයට තමයි.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *