රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජාතික ගුරු ව්‍යාපාරයෙන් බරපතළ චෝදනා..

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජාතික ගුරු ව්‍යාපාරයෙන් බරපතළ චෝදනා..


රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජාතික ගුරු ව්‍යාපාරයෙන් බරපතළ චෝදනා..

(26.10.2025 – lankaleader.com)

අධ්‍යාපන ඇමතිවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රමුඛ වත්මන් හිතුවක්කාරී මාලිමා පුනරුද ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් මේ රටේ අධ්‍යාපන විශේෂඥයින්ගේ හා ප්‍රාමානික දැනුමක් ඇති බුද්ධිමතුන්ගෙන් කරුණු නොවිමසා විධිමත් අධ්‍යයනයකින් හෝ පර්යේෂණයකින් තොරව හිතුවක්කාරී ලෙස තීන්දු තීරණ ගනිමින් 2026 පාසැල් වාරය ආරම්භයේ සිට මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් ඇති කරන්නට සූදානමින් සිටින බව ‘ජාතික ගුරු ව්‍යාපාරයේ’ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම චෝදනා කළේය.

ඔහු මෙම චෝදනාව ඇතුළු වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඉතා වැදගත් සංවේදී කාරණා කීපයක් එළිදරව් කළේ අද (26) පෙරවරු දහයට බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. 2026 පාසල් වර්ෂය ආසන්නයේදී මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බවත්, එහිදී බැරෑරුම් සාකච්ඡාවකින් තොරව කටයුතු කිරීම ගැටලුකාරී බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික ගුරු ව්‍යාපාරයේ උප සභාපති සුරංග සිරිවර්ධන සහ උප ලේකම් විජයපාල තන්තිරිගේ යන මහත්වරුන් ද සහභාගි වූහ. පවතින අධ්‍යාපන ක්‍රමයේ ගැටලු පිළිගත් බෝදරගම මහතා, එය දරුවන්, ගුරුවරුන්, දෙමවුපියන් සහ රැකියා වෙළෙඳපොළ තෘප්තිමත් නොකරන බව පැවසීය. “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. නමුත් මෙය ඕනෑම ආකාරයකින් කළ හැකි දෙයක් නොවෙයි. ජාතියක අනාගතය තීරණය කරන බැරෑරුම් කාරණයක්,” යි ඔහු අවධාරණය කළේය.

ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති සහ සෙසු සාමාජිකයින් කවුදැයි රටට හෙළි කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරියගෙන් ඉල්ලා සිටි බෝදරගම මහතා, අනුකමිටු සාමාජිකයින් සහ විෂය මාලා සකස් කළ ප්‍රවීණයින් පිළිබඳ තොරතුරු ද රජය විසින් තවමත් අනාවරණය කර නොමැති බව පැවසීය. “අධ්‍යාපන ඇමැතිතුමිය මේක අරගෙන සොෆ්ට්වෙයා ප්‍රසන්ටේෂන් එකක් සමඟ රටවටා ඇවිදිනවා. නමුත් මෙය පසුගිය රජයන් ආරම්භ කළ ක්‍රියාවලියක් බව ඇමැතිතුමියම කියලා තියෙනවා. මෙය අඳුරේ අතපත ගෑමක්,” යි ඔහු විවේචනය කළේය.

නව ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පාසල් කාලය උදේ 07:30 සිට සවස 02:00 දක්වා දීර්ඝ කිරීම ගැන ද බරපතළ ප්‍රශ්න මතු කළ ඔහු, මෙම තීරණය ගත්තේ කවුද යන්නත්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් හෝ ගුරු සේවයේ ප්‍රවීණයින්ගේ උපදෙස් ලබාගත්තේද යන්නත් විමසීය. “මෙය හිතුවක්කාරී සහ අත්තනෝමතික තීරණයක්. අපි මෙය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා,” යි ඔහු පැවසීය.

එසේම, වාර විභාග නැති කිරීම සහ සාමාන්‍ය පෙළ විභාගය විෂය හතකට සීමා කිරීම ගැන ද විවේචන එල්ල කළ බෝදරගම මහතා, පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ ගැටලු පිළිගත්තද, මෙම වෙනස්කම් තුළින් ඊට වඩා විශාල ගැටලු ඇති වන බව පෙන්වා දුන්නේය. “කාගෙන් විමසීමකින්ද මෙය කළේ? වහාම රටට හෙළි කළ යුතුයි,” යි ඔහු ඉල්ලීමක් කළේය.

අවසානයේදී, ජාතික ගුරු ව්‍යාපාරය වෙනුවෙන් අනෙකුත් ගුරු සංගම්, විද්වතුන් සහ දෙමවුපියන්ට ආරාධනා කළ ඔහු, මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ මහා චිත්‍රය හඳුනාගෙන බැරෑරුම් සංවාදයක් ගොඩනැගීමට එකතු වන ලෙස ඉල්ලා සිටියේය. “කෑලි කෑලිවලට නොව මහා චිත්‍රයට අවධානය යොමු කරන්න,” යි ඔහු අවධාරණය කළේය.

මෙහිදී බෝදරගම මහතා මාධ්‍ය වෙත කරුණු දක්වමින් කරන ලද සම්පූර්ණ කතාව මෙසේය :

“මම සඳුන් බණ්ඩාර බෝදරගම. ප්‍රධාන ලේකම්, ජාතික ගුරු ව්‍යාපාරය. අද මම සමඟ මෙම මාධ්‍ය හමුවට සහභාගි වනවා ජාතික ගුරු ව්‍යාපාරයේ උප සභාපති සුරංග සිරිවර්ධන සහෝදරයා. ඒ වගේම ජාතික ගුරු ව්‍යාපාරයේ උපලේකම් විජයපාල තන්තිරිගේ සහෝදරයා. අද දවසේ මේ විශේෂිත මාධ්‍ය සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ වෙන්නෙම අපි දන්නවා 2026 නව පාසල් වාරය නැත්නම් නව පාසල් වර්ෂය ආරම්භ වීමට තව ඉතිරි වෙලා තියෙන්නේ මාස දෙකකට ආසන්න කාල සීමාවක්. එතකොට අපිට මේ වෙනකොට දැනුවත් තොරතුරු තමයි. එහෙම නැත්නම් ගුරුවරු පුහුණු වීම් කරමින් ඉන්නවා මේ වර්තමාන රජය විසින් ඊනියා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මේ රට හඳුන්වලා දෙන්න.

එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ නව අධ්‍යාපන ප්‍රති සංස්කරණයක් මේ රටට අවශ්‍යයි. ඒක අපි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට පිළිගන්න කාරණයක්. මේ පවතින අධ්‍යාපන ක්‍රමය ඇත්තටම පාසල් දරුවා තෘප්තිමත් නොවන ඔහුව පීඩාවට ලක් කරන, ඒ වගේම පාසල් ගුරුවරයා තෘප්තිමත් නොවන. ඒ වගේම දෙමව්පියෝ තෘප්තිමත් නැති, ඒ විතරක් නෙවෙයි රැකියා වෙළෙද පොළත් තෘප්තිමත් නැති අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසාම අපේ රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන කාරණය ඉතා පැහැදිලියි. ඒක මේ රටේ බහුරයක් අනුමත කරන කාරණයක්.

හැබැයි අපිට තියෙන ප්‍රශ්නය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන එක මේ ඕනවට එපාවට කළ හැකි කාරණයක් නොවෙයි. මේක අතිශය බැරෑරුම් කාරණයක්. විශේෂයෙන්ම සමාජයක, එහෙම නැත්නම් ජාතියක ජීවිත සමග ඉදිරි අනාගතය තීරණය කිරීම සමඟ බැඳුණු කාරණයක්. එතකොට අපි දකින්නේ නැහැ මේ ගේන්න යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයට බැරෑරුම් සාකච්ඡාවකින් පසුව මේ රජය ඉදිරිපත් කරන්න යනවා කියන කාරණය.

එතකොට කිසිවෙක් තවම, අඩුමගානේ අධ්‍යාපන ඇමතිතුමිය එහෙම නැත්නම් අධ්‍යාපන ලේකම්, මේ අධ්‍යාපන බලධාරීන් පවා මේ ගැන නිවැරදි අවබෝධයක නැතුව කටයුතු කරන ආකාරයක් තමයි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපි නිරීක්ෂණය කරන්නේ. විශේෂයෙන්ම අපි අහනවා මේකේ කර්තෘ විදිහට අද කටයුතු කරමින් ඉන්නේ අපි දකින විදිහට අධ්‍යාපන ඇමතිතුමිය. එතුමිය තමයි මේක අරගෙන මේ අර මේ සොෆ්ට්වෙයා ප්‍රසන්ටේෂන් එකක් අරගෙන රටවටා ඇවිදින්නේ නව අධ්‍යාපන ප්‍රශංස්කරණ කියමින්.

අපි අහනවා… එතුමියගෙන් අපි අහනවා ජාතික ගුරු ව්‍යාපාරය විදිහට, මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුව මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති කවුද..? එතකොට මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ සෙසු සාමාජිකයින් කවුද..? කරුණාකරලා රටට හෙළි කරන්න.

මේක ඔය හිතන තරම් පහසු කාරණයක් නොවෙන නිසාම අපි කියන්නේ මේවා රටට හෙලි කරන්න. අද දක්වාම ඔබතුමිය හෝ අධ්‍යාපන බරධාරින් කිසිවෙක් මේ දක්වා මේ කාරණා රටය හෙළි කරලා නැහැ. ඒනිසා කරුණා කරලා මේ කාරණය රට හෙළි කළ යුතුයි. මොකද ඒ තරම්ම බැරෑරුම් කාරණයක් නිසාම මේක.

ඒ විතරක් නෙවෙයි. එතකොට මේකේ මේ අනුකමිටුවල සාමාජිකයෝ කවුද? කවුද මේ විෂය මාල සකස් කරේ? කවුද එතන ඉන්න ප්‍රාමාණික විද්වතුන්. මේ කිසිවෙක් ගැන කිසිවක් අද දක්වා තොරතුරු රට හෙළි කරලා නෑහැ. දන්න කෙනෙකුත් නැහැ. අහගෙන ගියාම අවසානයේ අධ්‍යාපන ඇමතිතුමියම කීප වතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. “අපි දන්නේ නැහැ මේ ගැන. මේක මේ අපි විසින්ම ආරම්භ කරපු ක්‍රියාවලියක් නෙවෙයි. පසුගිය රජයන් විසින් ආරම්භ කරපු ක්‍රියාවලියක්. අපි තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කර යෑම පමණයි අපි කරන්නේ” කියලා. ඒ වගේ අඳුරේ අතපත කෑමක් තමයි මේගොල්ලෝ මේ කරන්නේ.

ඒක නිසා අපි වගකීමෙන් කියනවා මේ කමිටුවල සාමාජිකව කවුද කියලා රටහි කළ යුතුමයි.

ඒ විතරක් නෙවෙයි. දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ දැන් යෝජනා වෙනවා පාසල් කාලය වැඩි කරන්න. 07:30 ට ආරම්භ කරලා හවස 02:00 දක්වා පාසල පවත්වගෙන යන්න. එතකොට අපි අහනවා කවුද මේ තීරණය ගත්තේ? එතකොට අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ මේකට සම්බන්ධ වුණාද? එහෙම නැත්නම් අධ්‍යාපන, “ගුරු අධ්‍යාපන සේවයේ” අය මේකට සම්බන්ධ වුණාද? එහෙම නැත්නම් විදුවල්පතිවරු ගුරුවරුන්ගෙන් මේ පිළිබඳ විමසුවද මේ කිසිවෙකු සම්බන්ධ කර නොගෙන ඉතාම හිතුවක්කාරී විදිහට, ඉතාම අත්තනෝමතික විදිහට ගත්තා වූ මේ තීරණ අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා වගේම විවේචනය කරනවා.

අපි කියනවා මේ පිළිබඳව ඔබ ඔයිට වඩා විද්‍යාත්මක අ පැතිකඩක ඉඳන් මේ කාරණා ඉටු, කරනවා නම්, සිදු කරනවා නම් ඒ කාරණා වහාම රටට හෙලි කරන්න කියන කාරණය. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ කියවෙන කාරණයක් තමයි මෙතනින් එහාට වාර විභාග පවත්වන්නේ නැහැ. එහෙම නැත්නම් ජාතික විභාගය විතරයි. සාමාන්‍ය පෙළ විභාගය විතරයි පවත්වන්නේ විෂය හතකට සීමා වෙච්ච. හැබැයි අපි අහනවා ඒ තීරණය ගත්තේ කාගෙන් අහලාද?

අපි පිළිගන්නවා මේ විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය ගැටලුවක් තියෙනවා කියන කාරණය. හැබැයි මේ විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමේ ගැටලුව ලිහන්න ගිහිල්ලා ඊට වඩා ගැටළු විශාල ප්‍රමාණයක් මේ කියන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ ඇති කරලා තියෙනවා කියන කාරණය මේ වෙනකොට තහවුරු වෙමින් තියෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න කරනවා කාගෙන් විමසීමකින්ද මේවා කරේ. වහාම අධ්‍යාපන ඇමතිතුමිය මේ පිළිබඳව රටට හෙලි කර යුතුයි.

එ් වගේම අපි කියනවා අනිත් මේ සම්බන්ධ උනන්දුවක් දක්වන ගුරු සංගම් වලට, ඒ වගේම මේ සම්බන්ධ උනන්දුවක් දක්වන විද්වතුන්ට, දෙමව්පියන්ට, මේ සියලු දෙනාට අපි ඉතාම ගෞරවයෙන් ජාතික ගුරු ව්‍යාපාරය විදියට ආරාධනා කරනවා, එන්න…. මෙන්න මේ ලොකු සාකච්ඡාවට. මේකේ මේ එක එක තැන් කෑලි විතරක් අල්ලගන්න එපා. පැය භාගයක් වැඩි කරහම ගුරුවරයාට මොකද වෙන්නේ කියන කාරණය ගැන කතා කරනවට වඩා ‘මෙන්න මේ මහා චිත්‍රය’ මේ මහා චිත්‍රය හඳුණාගෙන මේකට අවශ්‍ය මේ තෙරපීම, මේකට අවශ්‍ය මේ සංවාදය ගොඩනගන්න ‘ජාතික ගුරු ව්‍යාපාරය’ විදිහට අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණය අපි ගෞරවයන් යුතුව ඉල්ලා සිටිනවා”.


ලංකාවේ ගණිකාවන් 35,000 යි.. සමලිංගිකයන් 80,000 යි.. අවදානම් සමාජ චර්යා සහිත පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසකට (1,50,000) ආසන්නයි..

(26.10.2025 – lankaleader.com)

අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය ආශ්‍රිත මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් වලට සම්බන්ධ අවදානම සහිත පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසකට (1,50,000) ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බව ලිංගාශ්‍රිතව බෝවන රෝග මර්ධන ඒකකය මගින් ප්‍රකාශිත අවදානම් සමාජ චර්යා සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එම ඒකකය මගින් ප්‍රකාශයට පත් කොට ඇති පරිදි නිල වශයෙන් හඳුනාගෙන ඇති කාන්තා ගණිකාවන් 35,000 ක්ද, පිරිමි සමලිංගිකයන් 80,000 ක් ද, ඖෂධ නික්ෂේපණය කරගන්නා පුද්ගලයන් 3011 ක්ද සිටිති. මීට අමතරව වෙරළ ආශ්‍රිතව කටයුතු කරන පිරිමි ළමුන් 6000 ක්ද ලිංගික පරිවර්තනයන්ට ලක් වූ කාන්තාවන් 3500 ක්ද සිටිති. එකතුවක් ලෙස මෙම සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකට (1,50,000) ආසන්න වන අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් හරහා ‘එච්අයිවී ඒඩ්ස්’ රෝගී තත්ත්වයන් පැතිරීමේ වැඩි අවධානමක් මෙම කණ්ඩායම් තුළ පවතී බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

දැනට දිවයින පුරා එච් අයි ඒඩ්ස් ආසාදිතයන් ආසන්න වශයෙන් හයදහසකට (6000) අධික ප්‍රමාණයක් ජීවත් වන අතර මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ජීවත්වෙයි. මෙයට අමතරව ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර මාතර බදුල්ල යන දිස්ත්‍රික්කවලද ලිංගාශ්‍රිත බෝවන රෝගවල ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව පැහැදිලි වෙයි.

එසේම ‘සිපිලිස්’ හෙවත් ‘උපදංශ’ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමේදී ලිංගික පරිවර්තනයට ලක් වූ කාන්තාවන් තුළ එම රෝගී තත්ත්වය බහුල බව ද අනාවරණය වී ඇත.

මෙවන් තත්ත්වයක් තුළ පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වැදගත් වන අතර, විකෘති ලිංගික ක්‍රියාවන් ප්‍රවර්ධනය සඳහා අනුබලදීම හෝ ඒ සඳහා උපකාරී වන අන්දමට කටයුතු නොකිරීම සඳහා රජය සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුතු බවද වෛද්‍ය චමල් සංජිව මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙරටට විදේශීය සංචාරකයන් ආකර්ෂණය සඳහා මෙවැනි නරක ප්‍රචාරක කටයුතු භාවිතා කිරීම අවසානයේදී මෙරට තරුණ පරපුර අකාලේ ලිංගාශ්‍රිත බෝවන රෝග රැසකට ගොදුරු කිරීමට හේතුවක් වන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් බව ඔහු පවසයි ෴


ආඩිඅප්පගේ පුතාට ගිය රට… නුවරඑළියේ අයිස් ෆැක්ටරියක් නෑ කියන්නෙ (26.10.2025)

+

අනුරගේ පුතාට එයාලංකා ජොබ් එක දුන්නෙ කවුද ? (26.10.2025)

+

කෝටිගාණක ආණ්ඩුවේ බෙහෙත් කුණු ගොඩට… නලින්ද මේවා ගැන මුකුත්ම දන්නෙ නැද්ද ? (26.10.2025)

+

නර්ස් නෝනලාගේ යුනිෆෝම් මල්ටිෆෝම් වෙයිද ? කකුල් පේනකොට ඕගොල්ලො අවුල් වෙන්නෙ ඇයි ? (26.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *