හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි


හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

(29.10.2025 – 14:59 +0530 – sinhala.adaderana.lk)

නිල විදෙස් සංචාරයක් බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් ලක්ෂ 166 ක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවේ විමර්ශන ලබන වසරේ ජනවාරි 28 වනදා වනවිට අවසන් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ ඇප අවලංගු කරන ලෙස පැමිණිල්ල ඉල්ලීමක් කළද, කොටුව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ පෙර විනිසුරුවරියගේ ඇප නියෝගය යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු නොවන බවය.

නඩුවේ කිහිප තැනකම එවක ජනාධිපති ලේකම්වරයාගේ නම සඳහන් වුවද, ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් නොකිරීම අධිකරණයට ගැටලුසහගත බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.

නිල සංචාරයක් බව පවසමින් එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කළැයි එල්ල කෙරුණු චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉකුත් අගෝස්තු 22 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු ජනාධිපතිවරයාව එදිනම අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිලි පාර්ශ්වය කියාසිටියේ අදාළ සංචාරයේදී ඔහු දින එක හමාරක (1½) කාලයක් සඳහා රුපියල් ලක්ෂ 166 ක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් ඔහුට එම සංචාරය සඳහා එක්සත් රාජධානියේ අදාළ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ඇරියුම්පතක්ද ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයෙකු සිදුකරන සංචාර නිල සහ පෞද්ගලික ලෙස වෙන්කර නොදැක්වෙන බවත්, එබැවින් රාජ්‍ය මුදල් අවභාවියක් සිදුව නොමැති බවත් පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබූ අතර ඉදිරිපත් වූ කරුණු මත ඔහුව අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එවක කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය නියම කළාය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඒ මහතාව පසුදිනම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

අනතුරුව අගෝස්තු 26 වනදා අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වයන් පිළිබඳ නීතිඥවරුන් සිදුකළ කරුණු දැක්වීම් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරිය ඒ මහතා ඇපමත මුදා හැරීමට නියෝග කළාය.

විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා නඩුව අද (29) සවස 01:30 ට කොටුව මහෙහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

නඩු විමසීම ඇරඹීමටත් පෙර උදෑසන සිටම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතීඥයන්, දේශපාලනඥයන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.

දහවල් 12:40 ට පමණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

ඒ අනුව නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවය.

ඊට අදාළව එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළ ‘සරෝජා සිරිසේන’ මහත්මියගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙර නඩු දිනයේ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය ප්‍රශ්න කළහ.

“ස්වාමිනි, පෙර දිනයේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පැමිණිල්ලට ලැබුණේ නැහැ. මේ නඩුවේදි මුදල් අවභාවිතයක් පමණක් නොවෙයි. අධිකරණමය ක්‍රියාවලියත් අවභාවිතයට ලක්වෙලා තියෙනවා.

මොකද මේ විත්තිකරු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නැතුව, ඔහුගේ පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී.ඒ. විජේසිංහ ලවා විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගෙන් වෛද්‍ය වාර්තා අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය පිළිබඳ පැමිණිල්ලට ප්‍රශ්න තියෙනවා”.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙර දිනයේ හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නීතිඥවරුන් සිදුකළ කරුණු දැක්වීම් සහ ඔහුගේ හැසිරීම් පිළිබඳ විවේචනයක්ද සිදු කළේය.

“ස්වාමිනි, පෙර දිනයේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රෙමරත්න කිව්වේ, තමන්ගේ සේවාදායකයාගේ රෝග උත්සන්නවෙලා, බන්ධනාගාරයේ තියන්න බැහැ, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා කියලා. සාමාන්‍යයෙන් දැඩි සත්කාර හිටපු රෝගින්ව එහි ප්‍රතිකාර අවසන් වුණාම සාමාන්‍ය වාට්ටුවකට දානවා.

හැබැයි මේ සැකකරු ඇප ලබා එක දවසකින් රෝහලෙන් පිටවෙලා යනවා. ඒ යන්නෙත් රෝහලේ වෛද්‍යවරුන් එක්ක හිනාවෙලා ‘සෙල්ෆි’ ගහලා. ඊළඟට ලෝකේ මොන දැඩි සත්කාර ඒකකයේද ස්වාමිනි අසාධ්‍ය තත්ත්වයේ ඉදපු රෝගියෙක් ‘බොරිස් ජොන්සන්’ගේ පොත් කියවලා තිබුණේ. අසාධ්‍යයි කියපු මේ සැකකරු රෝහල්ගතව ඉදපු කාලය පුරාම කරලා තියෙන්නේ එක එක පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ගත්තු එක.

මේ සැකකරු නිකං සැකකරුවෙක් නොවෙයි ස්වාමිනි. පැය 36 ක් තුළ රාජ්‍ය මුදල් රු. ලක්ෂ 166 ක් අවභාවිතා කළ තැනැත්තෙක්”.

මෙහිදී කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුගේ ඇප අවලංගු කිරීමක් අපේක්ෂා කරන්නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටියේය.

එවිට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු ඇති බැවින් ඇප නියෝගය යළි සමාලෝචනය කරන්නැයි ඉල්ලා සිටියේය.

අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මේ නඩුවේ පදනම හිටපු ජනාධිපතිවරයාට ලද ආරාධනය නිල ආරාධනයක්ද ? නැද්ද ? කියන එක. ඒ ඒ ගැන විමර්ශන ඉදිරියට කරලා නැති නිසා ඒක වහගන්න දැන් මේ වෛද්‍ය වාර්තා ඇදලා ගන්නවා. මගේ සේවාදායකයාව අත්අඩංගුවට ගත්තු දවසේ පැය ගාණක් කන්නත් නැහැ; බොන්නත් නැහැ.

එදා රෑ වෙනකං ඒ වගේ තත්ත්වයක තිබ්බ නිසයි මගේ සේවාදායකයාව දැඩි සත්කාර ඒකකයට දාන්න වුණේ. නැත්නම් ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්න තරම් රෝගී තත්ත්වයක් තිබුණේ නැහැ”.

ජනාධිපති නීතිඥවරයා එසේ පැවසීමත් සමඟ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ ප්‍රශ්න කළේය.

“පෙර දිනයේ කිව්වා නේද මේ සැකකරුට හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ තියෙනවා කියලා. මරණාසන්නයි කියලා? “

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා,

“ස්වාමිනි, හෘද වස්තුවේ ධමනි අවහිරතාව තවම තිබෙනවා. නමුත් වෙනත් මාර්ගයකින් රුධිර සංසරණය සිදුවෙනවා” යැයි පැවසීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා යළි “ඇප ලැබුණාට පස්සේද? ” යැයි විමසුවා.

“නැහැ ස්වාමිනි. පෙර ඉඳලාම ධමනි අවහිරවීම තිබුණා. හැබැයි වෙනත් පැත්තකින් ලේ ගමන් කරන බව දැනගත්තා” යැයි ජනාධිපති නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

පෙරළා යළිත් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ඒ පිළිබඳ දැනගන්න පරීක්ෂණය සිදුකළේ කවදාද යන්නයි.

ඊට ජනාධිපති නීතිඥවරයා ” 2017 වර්ෂයේ ස්වාමිනි ” යැයි පිළිතුරු දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙසේ පැවසුවා.

“සැකකරුගේ ඇප සම්බන්ධයෙන් නියෝගයක් පූර්වගාමි විනිසුරුවරිය දීලා තියෙනවා. එම නියෝගය දී තිබෙන්නේ ඉදිරිපත් වූ ලේඛන ප්‍රමාණවත් යැයි සෑහීමට පත්වෙලා.

එමනිසා මෙම අධිකරණය තවදුරටත් සැකකරුගේ ඇප සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පැමිණිල්ල එදින ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය ප්‍රශ්න කරනවානම් එම වාර්තා ලබාදීමේ පදනම ගැන පමණක් අදාළ වෛද්‍යවරුන්ගෙන් මතය විමසන්න අධිකරණ සූදානම් “

මෙහිදී මෙම නීති කෘත්‍යයේ ඉදිරි විමර්ශන සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

“මේ නඩුවේ කිහිප තැනකම එවකට ජනාධිපති ලේකම්වරයාගේ නම සඳහන් වෙනවා. නමුත් ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් නොකිරීම අධිකරණයට ගැටලුසහගතයි.

ඊළඟට මේ නඩුවේ පදනම තියෙන්නේ සැකකරුගේ ප්‍රශ්නගත සංචාරය සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් නිල ආරාධනයක් තිබුණාද, නැද්ද කියන එක මත. ඒ මතයි මේ නඩුව තීරණය වෙන්නේ. මේ විමර්ශනය දීර්ඝ සංකීර්ණ විමර්ශනයක් නොවෙයි.

එබැවින් මීළඟ නඩු දිනය වෙද්දි විමර්ශන අවසන් කරලා අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන්න කියලා මා නියෝග කරනවා.”

ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව ලබන වසරේ ජනවාරි 28 වනදා යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා දින නියම කළා.

+++

+++

+


BYD ගැටළුව කඩිනමින් විසඳන්න – අභියාචනාධිකරණය රේගුවට දන්වයි

(29.10.2025 – hirunews.lk)

රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම වාහනවල ගැනුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

දැනට රේගුව විසින් රඳවාගෙන සිටින බී.වයි.ඩී. වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද අභියාචනාධිකරණය රේගුවට නියම කළා.

මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙස පෙත්සම්කර පාර්ශ්වයටත් විනිසුරුවරයා දැනුම් දුන්නා.

රේගුව විසින් රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘ජෝන් කීල්ස් සීජී සමාගම’ විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මෙලෙස ප්‍රකාශ කළා.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රඳවාගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව ඇතැයි ද සඳහන් කළා.

පෙත්සම්කාර සමාගම විසින් මෙරටට ගෙන්වනු ලැබූ වාහන පරීක්ෂණ ස්කෑන් යන්ත්‍ර පිළිබඳ වාර්තාවක් ලබන සඳුදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් රේගුව විසින් මෙම වාහන රඳවාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව කියා සිටියා ෴


ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්

(29.10.2025 – hirunews.lk)

නොවැම්බර් 03 සිට සියලුම ඉන්දියානු වීසා සැකසුම් කටයුතු කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ මහනුවර, යාපනයේ කොන්සල් කාර්යාල මගින් සිදු කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා ෴


යතුරුපැදියෙන් යමින් සිටි තරුණියගේ ලැම අත ගා දුරකතනය කොල්ල කාලා

(29.10.2025 – hirunews.lk)

යතුරුපැදියකින් යමින් සිටි තරුණියකගේ මග හරස් කර ඇගේ ලැම ප්‍රදේශය ස්පර්ෂ කර ජංගම දුරකතනය පැහැරගත් බවට පැමිණිල්ලක් ලැබුණු බව ගෝනපීනුවල පොලිසිය පවසනවා.

සිද්ධිය වී තිබෙන්නේ පෙරේදා (27) රාත්‍රී 11 ට පමණ තරුණිය වැඩ ඇරී තම යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටිය දී ගෝනපීනුවල බේරතුඩුව මාර්ගයේ යි.

ඇගේ යතුරුපැදිය හරස් කර නැවැත් වූ තවත් යතුරුපැදියක පැදිකරුවෙක් ඉන් බැස විත් ක්ෂණිකව ඇගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර තිබෙනවා.

ඉන් දැඩි සේ බියට පත් වූ තරුණිය වහා ඇගේ ජංගම දුරකතනය ගෙන තම පෙම්වතාට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කරන අතරතුර යතුරුපැදිකරු විසින් එම දුරකතනය උදුරාගෙන ඔහු පැමිණි යතුරුපැදියේ නැගී වේගයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසනවා.

පැහැරගත් ජංගම දුරකතනයේ වටිනාකම රුපියල් 144,000 ක් වන බවද පැමිණිල්ලේ සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවත් ගෝනපීනුවල පොලිසිය කියනවා ෴


වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගන්නවා නම් ‘එච්-අයි-වී’ ආසාදිතයින්ට ප්‍රශ්නයක් ඇත්තේම නෑ

(29.10.2025 – hirunews.lk)

එච්අයිවී සඳහා වෛද්‍ය ප්‍රතිකාරයන් නිසිලෙස ලබා ගැනීම මඟින් එම රෝගීන්ට සාමාන්‍ය පවුල් ජීවිතයක් ගතකළ හැකි බව ‘එච්-අයි-වී ඒඩ්ස් මර්දන වැඩසටහන’ සඳහන් කරනවා.

අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල හෝ මත්ද්‍රව්‍ය එන්නත්කර ගන්නා පුද්ගලියින් පෞද්ගලික අංශයෙන් හෝ රාජ්‍ය අංශයේ රුධිර පරික්ෂාවන් සිදුකර ගන්නේ නම් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සත්‍ය තොරතුරුම ලබා දෙන්නැයි ද එයින් වයිරසය ශරීර ගත වි ඇති පුද්ගලයින්ට ප්‍රතිකාර කිරිමට හැකි වන බවද ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

රුධිර පරික්ෂණයන් මගින් එච්-අයි-වී වයිරසය ශරීර ගත වූවන් හදුනා ගැනීමෙන් පසුව ඔවුන්ගේ අනන්‍යතාව කිසිවිටකත් තුන්වන පාර්ශ්වයකට දැන ගැනීමේ අවස්ථාවකට ඉඩ නොමැති බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

මේ වන විට අවදානම් ලිංගික කටයුතුවල යෙදෙන ඇතැම් පුද්ගලයින් පෞද්ගලික වෛද්‍ය සේවාවන් තුළින් තම රුධිර පරික්ෂාවන් කර ගැනීමට යාමේදී අසත්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කර ඇති අවස්ථාවන්ද වාර්තා වී ඇති බවත් මෙය ඉතා අවදානම් තත්ත්වයක් යැයිද ඔහු පවසා සිටියා.

මේ වන විට එච්-අයි-වී ආසාදිත කාන්තාවන් හා පිරිමින් වෛද්‍ය ප්‍රතිකාරයන් නිසිලෙස ලබා ගනිමින් නිරෝගි දරුවන් පවා බිහිකර සාර්ථක පවුල් ජිවිත ගතකරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා ෴


නාරාහේන්පිට ගින්න මැඩ පවත්වයි : සිරවී සිටි කිහිපදෙනෙකු බේරාගැනේ

(29.10.2025 – hirunews.lk)

නාරාහේන්පිට – දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්න මේ වනවිට මැඩ පවත්වා තිබෙනවා.

එසේ ඇතිවූ ගින්නත් සමග නිවාස සංකීර්ණයේ සිරවී සිටි කිහිපදෙනෙකු බේරාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

මුදාගත් පිරිස අතර විදේශිකයන් දෙදෙනෙකු (2) සිටින බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Ranil’s case. Not only this man has been deceiving the public, he has been deceiving the courts by feigning non-existant ailments. The crooked black cloakers and the crafty acolyte doctors have been re-writing the medical history, and the hiherto accepted functionality of the heart muscles blood supply, according to their own needs. The country is full of white collar crooks like this, and in foreign countries this what the country is gaining notoriety. Further, in future the courts should be cleared of these supporting ex-MPs, now jobless, trying to intimidate the courts by making statements to the public that if and when ever they return to power they would take their revenge by imposing severe punishments to those that were involved in implementing the legal process on this malingering, ex-non elected fake President for cheating the public purse through corrupt manipulation, and of course for deceiving courts with fake evidence.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *