විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
(15.10.2025 – 11:24 +0530 – sinhala.adaderana.lk)
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරුකර යවා ඇති බව වාර්තාවෙයි.
අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වසර 31 පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් ද එල්ලවී නොමැති බව පොලිස් ආරාංචි මාර්ග පවසයි.
ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට (2) ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකරනු ලැබීය.
එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට (2) ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගැනීම විශේෂත්වයකි.
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීමේ අරමුණින් ,’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් සහ ගැනියන් (දැල් ඇදීමට සහාය වන පිරිස) දැනුවත් කිරීමේ වැඩසටහන් ද දිවයින පුරා හේමාල් ප්‍රශාන්ත මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේය.
ඒ හේතුවෙන් දකුණේ බෝට්ටු ස්කිපර්වරුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒමේ කටයුතුවලින් ඈත්ව ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් බෝට්ටු කිහිපයක් ඉදිරියේදී ගොඩබිමට ගෙන ඒමට නියමිත බවද වාර්තා වෙයි.
ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව කරන ලද වැටලීමේදී දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී පාර්සල් 51 ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839 ක් සොයා ගැනුණි.
එම පාර්සල් තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 670 ක්, ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 156 ක් අඩංගු බව පොලීසිය පවසයි.
මීට අමතරව ‘හෂීස්’ කිලෝග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.
මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධික්ෂණයෙන් සිදුකළ වැටලීමක් වීමද විශේෂත්වයකි ෴
රේගුවේ හිරවුණු වාහනවලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි
(15.10.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා රේගුව විසින් BYD වාහන 1,000 කට අධික සංඛ්‍යාවක් රඳවා තබා ගැනීම නිසා වෙළඳපොළ තුළ අවිනිශ්චිතතාවයක් ඇති වී ඇති බවත්, එමඟින් දැනටමත් විදුලි වාහන සඳහා ආයෝජනය කර ඇති පාරිභෝගිකයින් අපහසුතාවයට පත් වී ඇති බවත් විදුලි වාහන හිමිකරුවන්ගේ සංගමයේ කැදවුම්කරු දීලක පිටගම්පොල පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
විදුලි වාහන ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවට තරයේ ඉල්ලා සිටින බවයි එම සංගමය පවසා සිටින්නේ.
විදුලි වාහන හිමිකරුවන්ගේ සංගමයේ කැදවුම්කරු වැඩිදුරටත් අවධාරණය කළේ, නිෂ්පාදක සහතික (Manufacturer Certificates) පිළිගැනීම රේගුව විසින් ප්‍රතික්ෂේප කිරීම සහ මෝටර් බලය සත්‍යාපනය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර පහසුකම් නොමැතිවීම නිසා පාරිභෝගික විශ්වාසය බිඳවැටී ඇති බවයි.
“මෝටර් බලය සත්‍යාපනය කළ හැක්කේ නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාරවලින් පමණයි. එවැනි පහසුකම් නොමැතිව සිදුකරන ඕනෑම දේශීය පරීක්ෂණයක් සියලු පාර්ශවයන් තෘප්තිමත් නොකරන අතර තත්ත්වය තවදුරටත් නරක අතට හරවනු ඇත” යනුවෙනුයි ඔහු පවසා සිටියේ.
විදුලි වාහන හිමිකරුවන්ගේ සංගමය රේගුවෙන් ඉල්ලා සිටින්නේ, රඳවා ගත් වාහනවල මෝටර් බලය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන රසායනාගාරවලින් වහාම පරීක්ෂණ ලබා ගන්නා ලෙසයි ෴
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට ඇප
(15.10.2025 – hirunews.lk)
ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (15) නියෝග කළා.
ඒ සැකකාර අමාත්‍යවරයාට රු. මිලියන 4 බැගින් ශරිර ඇප දෙකක් (2) සහ රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇපයක් නියම කළා.
විදේශ ගමන් තහනම්ක් ද සැකකරුට අධිකරණයේ පනවනු ලැබුවා.
සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවත් දැනුම් දුන් පසුව හඩ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකාර අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අද (15) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් කොමිස විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මනුෂ නානායක්කාර අල්ලස් කොමිසම වෙත අද (15) උදෑසන කොමිසමට පැමිණ තිබුණා.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් මින් පෙර අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඊයේ (14)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා ෴
මව්කුසේ කලල තැන්පත් කරන තාක්ෂණය ළඟදීම කාසල් රෝහලට : දැනටමත් මව්වරුන් පෝලිමේ
(15.10.2025 – hirunews.lk)
මෙරට රජයේ අංශයේ ප්‍රථම වතාවට ශරීරයෙන් පිටත කලල සංසේචනය කිරීමේ (IVF – In Vitro Fertilization) සේවාව ආරම්භ කිරීමට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල සූදානමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කරනවා.
මෙම ක්‍රියාවලිය යටතේ මවගෙන් ගත් ඩිම්බයක් සහ පියාගෙන් ලබාගත් ශුක්‍රාණුවක් විද්‍යාගාරයක් තුළදී එකතු කර, කලල වර්ධනය කර, පසුව මවගේ ගර්භාශයේ තැන්පත් කිරීමට නියමිතයි.
මෙම වටිනා සේවාව අපේක්ෂාවෙන් දැනටමත් යුවළවල 1,725 ක් පමණ සිටින බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.
දිවයිනේ කිසිදු රාජ්‍ය රෝහලක මෙම තාක්ෂණය නොමැති අතර පෞද්ගලික අංශයෙන් මෙම කටයුත්ත සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ විස්සත් තිහත් (20-30) අතර ප්‍රමාණයක් වැය වන බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය දැනට අවසාන අදියරේ පවතින අතර, අවශ්‍ය උපකරණ සහ විද්‍යාගාරයේ සැකසුම් කටයුතු බොහෝ දුරට අවසන් බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටිනවා.
කෙසේවෙතත් මේ තාක් මෙම කටයුත්ත ප්‍රමාද වී ඇත්තේ ගොඩනැගිල්කේ සුළු ඉදිකිරීම් ප්‍රමාදයක් හේතුවෙන් බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම වටිනා ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීම මත ඉතා ඉක්මනින් මහජන අයිතියට පත්වනු ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා විශ්වාසය පළ කරනවා ෴
ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට
(15.10.2025 – 23:23 +0530 – sinhala.adaderana.lk)
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98 වන ස්ථානයට පත්ව ඇත.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41 කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.
2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5 ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.
දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5 කින් පහළට පැමිණ මේ වනවිට 85 වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57 කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100 වන ස්ථානයේද, පාකිස්තානය 103 වන ස්ථානයේද පසුවෙයි.
මෙහි අවසන් ස්ථානය එනම් 106 වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24 කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය ෴
බෙලිඅත්තේ චණ්ඩි මල්ලි මගේ තාත්තව මරපු එකට සජිත්, රනිල්, රාජපක්ෂලා, නෙවිල්, තිස්ස – මුන් ඔක්කොම සම්බන්ධයි (15.10.2025)
+
This New Flying Vehicle from China Will Change Travel Forever (14.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴