දින දෙකකට (2) වඩා උණ නම් බලාගෙනයි – ඩෙංගු උණ හා මී උණට අමතරව ඉන්ෆ්ලුවන්සා රෝගයත් …
දින දෙකකට (2) වඩා උණ නම් බලාගෙනයි – ඩෙංගු උණ හා මී උණට අමතරව ඉන්ෆ්ලුවන්සා රෝගයත් …
(25.10.2025 – hirunews.lk)
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු උණ රෝගය හා මී උණ රෝගයන්ට අමතරව ඉන්ෆ්ලුවන්සා රෝගයත් පැතිර යන බැවින් දින දෙකකට (2) වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ සඳහන් කරනවා.
සීත කාලගුණයත් සමඟ ඉන්ෆ්ලුවන්සා රෝගයේ වර්ධනයක් දැකි හැකි බැවින් එය නියුමෝනියා තත්තවයක් දක්වා වැඩිදියුණු වීමේ අවදානමක් පැවතිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙනවා.
විශේෂයෙන්ම කුඩා දරුවන් සීත කාලවලට ඔරොත්තු දෙන ලෙස ඔවුන්ගේ ජීවන රටාව හැඩ ගැස්වීමට දෙමාපියන් කටයුතු කළ යුතු යැයිද පතිරගේ සඳහන් කරනවා.
දරුවන්ට සීත ආහාර නොදීමට, සීතල වතුර ස්නානය කිරීමට නොදීමට, වැස්සේ සෙල්ලම් කිරිම නොදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවද හෙතෙම පෙන්වා දෙනවා.
දින දෙකකට (2) වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇඳ විවේකය ගැනීම ඉතාමත් වැදගත් යැයිද පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට තමා අවට පරිසරය පිරිසිඳුව තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කරනවා.
මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් මදුරු ඝණත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි.
2025 වසර තුල අද (25) දිනය වන විට ඩෙංගු රෝගීන් 40,956 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 22 ක් සිදුව ඇති බව ඇය පෙන්වාදේ.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, යාපනය, මඩකලපුව, නුවර, කුරුණෑගල , කෑගල්ල ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරනවා ෴
BYD වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නෑ – BYD සමාගම
(25.10.2025 – hirunews.lk)
චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම, සිය සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නොවන බවට පැහැදිලි කර තිබෙනවා.
එමෙන්ම, දැනට මෙරට ධාවනය වන කිසිදු BYD මාදිලියකට මෙම තත්ත්වය බලපාන්නේ නැති බවටයි එම සමාගම මෙරට පාරිභෝගිකයින්ට සහතික වී ඇත්තේ.
BYD සමාගම විසින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීමක් ලෙස, BYD Tang සහ Yuan Pro වාහන 115,000 ක් පමණ ආපසු කැඳවීමට මෑතකදී නිවේදනය කර තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් BYD සමාගම සඳහන් කළේ, මෙම ආපසු කැඳවීම අදාළ වන්නේ, 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කරන ලද විශේෂිත BYD Tang වාහන සඳහා පමණක් බවයි.
තවද, 2021 පෙබරවාරි 6 සිට 2022 අගෝස්තු 05 අතර නිෂ්පාදනය කරන ලද ඇතැම් Yuan Pro විදුලි වාහන සඳහා පමණක් බවයි.
මෙම විශේෂිත මාදිලි ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී හෝ අලෙවි කර නොමැති බවයි සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ඇති සියලුම BYD වාහන ආනයනය, බෙදාහැරීම සහ සේවා සැපයීම සිදු කරනු ලබන්නේ සන්නාමයේ බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (Pvt) Ltd හරහා පමණයි.
දේශීයව අලෙවි කරන වාහනවලට පුළුල් ‘නිෂ්පාදක වගකීම්’ ආවරණයවන බවත්, ඉහළම ප්‍රමිතියේ සේවාවක් සහ රැකවරණයක් සහතික කිරීම සඳහා විදුලි වාහන පුහුණුව ලත් කාර්මික ශිල්පීන් සහිත අලෙවියෙන් පසු පහසුකම්වලින් සහාය දක්වන බවත්, සමාගම අවධාරණය කර තිබෙනවා.
‘BYD සමාගම ලොව පුරා සිටින සියලුම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, විනිවිදභාවය සහ වගකීම් සහගත ක්‍රියාමාර්ග වෙනුවෙන් කැපවී සිටින’ බවයි එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා පාරිභෝගිකයින්ට 011 212 5125 ඇමතීමට හෝ info.jkcg@keells.com වෙත විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකියි ෴
එන්ජිමේ ඇති වූ ගින්නකින් රජරට රැජින දහයියාගමදී නවතී
(25.10.2025 – hirunews.lk)
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය එන්ජිමේ හටගත් ගිනි ගැනීමක් හේතුවෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී නතර කර තිබෙනවා.
අද (25) අලුයම 05:15 ටයි මෙම දුම්රිය අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබුණේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ පසුව එහි සිටි මගීන් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය වෙත යොමු කළ බවයි.
+++
+
අධ්‍යක්ෂ ජනරාල්ට ලේකම්වරයා දුන් සේවා දිගුව ඇමති අවලංගු කරයි
(25.10.2025 – hirunews.lk)
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එච්.පි. නිරෝෂාන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර තිබූ අතර, එය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබෙනවා.
බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදෙස් ගතව සිටි කාලයේදී ඔහුට නොදන්වා මෙම සේවා දිගුව ලබා දී ඇති බවයි.
කෙසේවෙතත් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙම සේවා දිගුව ලබා දී ඇති බැවින් එය වහාම අවලංගු කරන ලෙසටයි අමාත්‍යවවරයා උපදෙස් දී ඇත්තේ.
ඒ අනුව මේ වන විට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පවතින බවයි වාර්තා වන්නේ ෴
ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් ආපසු ගන්න තායි රජයේ පිරිසක් දිවයිනට
(25.10.2025 – hirunews.lk)
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි ලෙස ලබා දුන් ඇතින්නන් දෙදෙනා (2) නැවත ගෙන්වා ගැනීම සඳහා තායි රජය ඔක්තෝබර් 28 වැනි දින ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වනවා.
තායිලන්තයෙන් තෑගි ලෙස ලබා දුන් ‘ප්ලායි ප්‍රාතු පා’ සහ ‘ප්ලායි ශ්‍රීනාරොං’ නම් වන එම ඇතින්නන් දෙදෙනා (2) නැවත ඉල්ලා සිටීම වෙනුවෙන් තායි නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචාර්ට් චොම්ක්ලින් වහාම ශ්‍රී ලංකාවට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.
‘Reclaim Thai Elephant’ කණ්ඩායම විසින් මෙම ඇතින්නට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම සඳහා නැවත ගෙන්වා ගන්නා ලෙස රජයට නිල ලිපියක් ඉදිරිපත් කිරීමත් සමඟ මෙම පියවර ගැනීමට හේතුවී ඇති බව තායිගර් මාධ්‍ය වාර්තාව පවසනවා.
නියෝජ්‍ය අගමැති සුචාර්ට් පවසා ඇත්තේ, අගමැති අනුතින් චාන්විරකුල් සහ අනෙකුත් තායි රජයේ ආයතන තත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, මෙම ගැටලුව නොසලකා හැර නැති බවයි.
අගමැතිවරයා, ඇතින්නන් නැවත ගෙන්වා ගැනීම සඳහා සියලුම අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්ට අනුමැතිය ලබා දී තිබෙන බව ද සඳහන්.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගත විය හැකි බව සුචාර්ට් සඳහන් කරනවා.
මේ අතර, සුචාර්ට්, නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් සමඟ, ඇතින්නන්ගේ සෞඛ්‍යය හා ජීවන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අඛණ්ඩව සිදුවන අතරතුර නිසි රැකවරණයක් ලබා දෙන ලෙස දේශීය භාරකරුවන්ට උපදෙස් දීම ද මෙම කණ්ඩායමේ අරමුණයි.
ජාතික වනෝද්‍යාන, වනජීවී සහ ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අත්තාපෝන් චාරොන්චන්සා ද මෙම ගමනට එක්වන බව තහවුරු කර තිබෙනවා.
සාකච්ඡා සාර්ථක වුවහොත්, මීට පෙර ශ්‍රී ලංකාවට තෑගි කළ තවත් ඇතෙකු වූ ‘ප්ලායි සක් සුරින්’ 2023 දී නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේදී භාවිතා කළ ආකෘතියම අනුගමනය කිරීමට නිලධාරීන් සැලසුම් කරනවා.
+++
+
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
(25.10.2025 – hirunews.lk)
දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් මෙරටට කේරල ගංජා ජාවාරමේ යෙදුණු මහා පරිමාණ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
එම සැකකරු සමඟ කේරල ගංජා කිලෝ 10 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ‘ගනේමුල්ල සංජීව’ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව සැපයූ ‘ආනන්දන්’ නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මෙම සැකකරු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් එම සැකකරු කේරල ගංජා මෙරටට ආනයනය කරන අතරතුරදී පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගියාද යන්න සොයා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය සඳහන් කරනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර, පොලිස් සැරයන් 71285 මංජුල, පොලිස් කොස්තාපල්වරුන් වන 3122 උදයංග, 73198 පියරංජන, 94786 ප්‍රේමචන්ද්‍ර යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴
රන් පැහැ සමාධි බුදු පිළිම 7 ක් සමග දෙදෙනෙක් (2) අල්ලයි
(25.10.2025 – hirunews.lk)
පෞරාණික වටිනාකමින් යුතු නිධානයකින් ලබා ගත් බවට සැක කරන රන් පැහැති සමාධි බුදු පිළිම හතක් (7), ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 13,920 ක් සමග පුද්ගලයන් දෙදෙනකු (2) ඊයේ (24) අලුයම අත් අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේය් අගලඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32, 34, වයසේ පසුවන දෙදෙනකු (2) යැයි පොලිසිය සඳහන් කරනවා.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිළධාරින් වෙස්වලාගෙන ගොස් මෙම වැටලීම සිදුකර තිබුණා.
එහිදී අගලඔය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුගේ නිවසේ බුදු කුටියේ වන්දනා මාන කිරිමට තබා තිබු අනුරාධපුර ප්‍රදේශයේ නිධානයකින් ගත් බව කියන මෙම රන් පැහැති පෞරාණික වටිනා කමින් යුතු කුඩා සමාධි පිළිම හත (7) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේම, සැකකරු සන්තකයේ තිබු ‘අයිස් මත්ද්‍රව්‍ය’ 7,170 සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් හෙළි කරගත් තොරතුරු මත අගලඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අනෙක් සැකකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලි ග්‍රෑම් 6,750 ක් සමග අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය ෴
මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
(25.10.2025 – hirunews.lk)
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ තඹ කිලෝ 40 ක් පමණ වන වටිනා ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් ඉකුත් (22) වැනිදා දින රාත්‍රි සොරාගෙන ගොස් තිබෙනවා.
එම කෞතුකාගාරයේ දොරක් කඩා එම බුදු පිළිමය සොරකම් කරගෙනගොස් ඇති බව, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ පැවසූවා.

ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයේ චෛත්‍ය කැණිම් සිදු කළ අවස්ථාවේ එහි තිබී හමු වු බුද්ධ ප්‍රතිමාවක් එලෙස සොරකම් කර ඇති බවත්, තඹ ලෝහයෙන් සකස්කරන ලද එම පිළිම වහන්සේ කිලෝ 40 ක් පමණ බර එකක් බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.
කෞතුකාගාරය පිටුපසින් ඊට ආසන්නයේ ගසකින් කෞතුකාගාරයේ වහලය මතට නැඟ ඉහළ මාලයේ දොරක් කඩා කෞතුකාගාරයට ඇතුළු වී, එහි පහත මාලයේ තිබූ බුද්ධ ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇති බවත්, මාස කිහිපයක සිය කෞතුකාගාරයේ සීසීටිවි කැමරා ද අක්‍රියව තිබු බවත්, කෞතුකාගාරයේ පිටුපස තිබු කැමරාවක රාත්‍රි 01:00 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු (2) ස්කූටියකින් ගමන්කරන ආකාරය සටහන්ව ඇති බවත් උන්වහන්සේ පවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය විමර්ශන කටයුතු ආරම්භකර තිබුණා.
රජමහා විහාරස්ථානය දෙපස ගම්මානවල දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වු හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනා පිරිසක් සිටින බැවින්, නිරන්තරයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේ සොරකම් රැසක් සිදුවන බවත්, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් මෙම සොරකම් වලට සම්බන්ධ බව විහාරාධිපති හිමියන් පැවසුවා.
මහියංගණ රජමහා විහාරස්ථානයේ පොලිස් මුරකුටියක් හා යුද හමුදා කඳවුරක් තිබුණද එම නිළධාරින්ගෙන් රජමහා විහාරස්ථානයට අවශ්‍ය පරිදි ආරක්ෂාවක් නොලැබෙන බවට වාර්තා වෙයි.
එහි ආරක්ෂාව සඳහා අවශ්‍ය නිළධාරින් එම ආයතනයන්හි අවම ප්‍රමාණයක සිටිම හේතුවෙන් රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සපුරාලීමට නොහැකිව ඇති බවත්, වගකිවයුතු බලධාරින්ගේ මැදිහත්වීමකින් විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියා ෴
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ නැතිවූ මුදල් පසුම්බිය …
(25.10.2025 – 10:21 +0530 – sinhala.adaderana.lk)
නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් නම් කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබේ.
පසුව එම මුදල් පසුම්බිය තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබියදී අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් සමන්මී යන නිලධාරීනියන් විසින් සොයා ගෙන තිබුණි.
පසුව එම මුදල් පසුම්බියේ හිමිකාරිණිය වූ විදෙස් කතව අගමැති ආරක්ෂක කොට්ඨාසයට කැඳවා එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත්‍ර ද සිල්වා මහතා එම මුදල් පසුම්බිය ලබාදී ඇත.
එහි ලංකාවේ මුදල් රුපියල් 6,000 ක් හා මෙරට මුදලින් රු. ලක්ෂ 6 ක් පමණ වටින යුරෝ, අමෙරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදි විදෙස් මුදල් තිබී තිබේ ෴
නිරාගමික රාජ්‍යයක් බිහිකරන්න තොපිට ඉඩ දෙන්නේ නෑ ! – වෙඩි කෑවත් බුද්ධ ශාසනය රැක ගන්නවා බොලව් ! (25.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴