විපක්ෂයේ පක්ෂ රැසක එකමුතුවෙන් ‘මහා ජනහඬ’ විරෝධතා රැළිය නොවැම්බර් 21 වැනි දා
විපක්ෂයේ පක්ෂ රැසක එකමුතුවෙන් ‘මහා ජනහඬ’ විරෝධතා රැළිය නොවැම්බර් 21 වැනි දා
(27.10.2025 – hirunews.lk)
ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දින සවස 02:00 ට නුගේගොඩදී පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් එක්වී ඇති බව විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් අද (27) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක හිටපු අමාත්‍ය ‘උදය ගම්මන්පිල’ ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ රැසක්, සිවිල් සංවිධාන හා ස්වාධීනව කටයුතු කරන හිටපු මැති ඇමතිවරු රැසක් ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ නැංවිම සඳහා එකතුවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල :
“සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නව ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක්ම ආණුඩුවට එරෙහි මෙම විරෝධතා රැළියට සහභාගිවනවා.
ආණ්ඩුවට වසරක් සම්පූර්ණවෙලා අවසන්. මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු 1359 ක් ලබාදුන්නා. ජනතාව වෙනුවෙන් එක පොරොන්දුවක්වත් ඉටුකරළා නැහැ. ඊට අමතරව රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා. රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය ගැන කිසිදු විශ්වාසයක් නැහැ. ජනතාවගේ ආරක්ෂාව අනතුරේ. ආණ්ඩුව සිදුකරන්නේ දේශපාලන පළිගැනීම් පමණයි.
ශ්‍රී ලංකා පොලීසිය හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලීසිය බවට පත්වෙලා. එදා දෙවන ලෝක යුද්ධය වෙලාවේදී හිට්ලර් පරාජය කිරීමට ලෝකයේ සියළුම මිත්‍ර රටවල් එකතුවූයේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විපක්ෂයේ සියළුම බලවේග එක්වී ඔවුන්ගේ ආශිර්වාදය යටතේ නොවැම්බර් 21 වෙනිදා ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ විරෝධතා රැළිය නුගේගොඩදී පවත්වනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියළුම දෙනාට එදිනට ආරාධනා කරනවා.”
මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ආණ්ඩුවට තිබූ ජනමතය මේවන විට ලක්ෂ ගණනින් පහළයමින් පවතින බවයි.
ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් නොමැති බවත් ආණ්ඩුව ඒවා මගහරිමින් සිටින බවත් සාගර කාරියවසම් ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ කියා සිටියේ 76 වසරක සාපයක් ගැන ජනතා විමුක්ති පෙරමුණ විසින් කියපු බොරු ජනතාව දැන් තේරුම්ගනිමින් සිටින බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුවට විරුද්ධ පක්ෂය කිසිදු බාධාවක් නොකළද ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට හැකිවී නොමැති බවයි.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ එදා විපක්ෂයේ සිටිනවිට කිසිදු ආණ්ඩුවකට වැඩක් කිරීමට සහයෝගය ලබානොදුන් බවද මහින්ද අමරවීර සිහිපත් කළා.
මෙම අවස්ථාවට එක්වූ පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු දේශපාලන නායකයින්ගේ ආශිර්වාදය මහා ජනහඬ රැළියට තිබෙන බවයි.
“වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව” යනුවෙන් මහා ජනහඬ රැළිය නම්කර තිබෙනවා.
උදය ගම්මන්පිල, සාගර කාරියවසම්, මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩී.වී චානක, මොහොමඩ් මුසම්මිල්, අජිත් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, සාගල රත්නායක, ඇතුළු දේශපාලඥයින් රැසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා ෴
+++
+++
පොදු විපක්‍ෂය පලමු පැයේම දෙකඩ වේ.. නුගේගොඩ රැලියට සජිත්ලා නොඑන බව දැනුම් දේ..
(28.10.2025 – 03:12 +0530 – lankacnews.com)
විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නොවැම්බර් 21 දා නුගේගොඩදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට සමගි ජන බලවේගය සහභාගි නොවීමට තීරණය කර තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේ තම පක්ෂය වෙනම මතවාදයක් දරමින් විපක්ෂයේ කාර්යභාරය සිදු කරමින් සිටින බවයි.
ඒ හේතුවෙන් එම රැලියට තම පක්ෂය සහභාගි නොවන බවද ඔහු පැවසුවේය.
විපක්‍ෂ රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවටද සමගි ජන බලවේගයෙන් කිසිවෙකු එක් නොවීය ෴
+++
+
වැලිගම සභාපති ඝාතනය ඩුබායි කොන්ත්‍රාත්තුවක්
(27.10.2025 – hirunews.lk)
වෙඩික්කරු කොටුවුණේ ඩුබායි උපදෙස් අනුව දුරකතනයක් ගන්න ගිහින්
සැකකරුවන් FCID භාරයට
ඝාතකයා හඳුනා ගත්තේ බස් රියක යමින් සිටි බුද්ධි නිලධාරියෙක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ‘ලසන්ත වික්‍රමසේකර’ ඝාතනය කළේ ඩුබායි සිට ලැබුණු රුපියල් ලක්ෂ 15 ක කොන්ත්‍රාත්තුවකට බවත් ඝාතනයට පෙරාතුවම අත්පිට මුදලින් එය ඝාතකයාට ගෙවා ඇති බවත් පොලිස් විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.
ලසන්ත ඝාතනය කළ වෙඩික්කරු 26 වන දින සවස මහරගම නාවින්නේදී අත් අඩංගුවට ගැනීමත් සමග ඊට අදාල සියලු තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත අනාවරණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
‘මිදිගම රුවන්’ගේ හා ‘චූටි’ගේ සමීපතම හිතවතකු විසින් ඝාතන කොන්ත්‍රාත්තුව වෙඩික්කරුට ලබා දී ඇති බවත්, ඔවුන්ගේ සහචරයකු විසින් අදාල රු. ලක්ෂ 15 ක මුදල ලසන්ත ඝාතනයට පෙරම වෙඩික්කරු අතට පත් කර ඇති බවත් මේ වනවිට හෙළි ව තිබෙනවා.
සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු කැකිරාවේ සිට 26 වන දින කොළඹට පැමිණ පිටකොටුව ආශ්‍රිතව පැය ගණනක් සැරිසරමින් ‘අයිස් නමැති මත්ද්‍රව්‍යය’ සොයා ඇතැයි ද හෙළි ව තිබෙනවා.
පිටකොටුවෙන් ‘අයිස්’ සොයාගත නොහැකිවූ තැන ඔහු බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල ද සැරිසරා ඒවා සොයා ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
‘අයිස්’ ලබාගත නොහැකිව බලාපොරොත්තු කඩවූ වෙඩික්කරු, යළි කොටුවට පැමිණ බස්රියක නැගී හයිලෙවල් පාරේ කොට්ටාව බලා ගොස් ඇති බවද වාර්තා වෙනවා.
වෙඩික්කරුගේ සැළසුම වී තිබුණේ කොට්ටාවේ මාකුඹුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රියක නැගී මාතර බලා යාමට බවත් එය ව්‍යවර්ථ වී ඇත්තේ ඩුබායි සිට ඔහුව මෙහෙයවූ කොන්ත්‍රාත්කරු දකුණට නොයන ලෙස දුන් උපදෙසක් නිසා බැව් ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.
ඒ අනුව 26 වන දින දහවල් කොට්ටාවේ සිට බසයක නැගී මහරගම බලා පැමිණි ඔහු පැය කිහිපයක් තිස්සේ මහරගම සැරිසරමින් ගතකර ඇති බව සඳහන්.
අනතුරුව ඩුබායි සිට ලැබුණු උපදෙස් පරිදි ලසන්ත ඝාතනය කිරීමට පෙරාතුව පටන් භාවිතා කළ දුරකතනය වෙනුවට නව දුරකතනයක් මිලට ගැනීමට නාවින්නේ දුරකතන අලෙවිසලක් වෙත ගොස් තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
වෙඩික්කරු දුරකතන අලෙවිසලින් එළියට එද්දීම රාජකාරි නිමවී බස් රියකින් නිවෙස බලා යමින් සිටි බුද්ධි අංශ නිලධාරියකු ඔහුව හඳුනාගෙන ඇති බව සඳහන්.
මෙම නිලධාරියා සැණෙකින් බසයෙන් බැස සැකකරු ලුහුබඳිද්දී එය දුටු ඔහු දුවන්නට පටන් ගත් බව ද වාර්තා වෙනවා.
මෙසේ දිවයන පුද්ගලයා දුරකතන අලෙවිහළින් දුරකතනයක් සොරාගෙන පැනයන්නකු බව තේරුම්ගත් අවට සිටි පිරිස් බුද්ධි අංශ නිලධාරියාද සමග සැකකරු පසුපස හඹා ගොස් ඔහුව අල්ලාගෙන ඇති බවද විමර්ශන අංශ වෙත මේ වනවිට හෙළි වී අවසන්.
ලසන්ත ඝාතනය කළ සැකකාර වෙඩික්කරු බව පැවසෙන මොහු හමුදා සේවයේ යෙදී සිටි බවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වාර්තා වන අතරේ ඔහු ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ අයකු බවද විමර්ශන අංශ වෙත හෙළිව ඇතැයි වාර්තා වෙනවා.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ‘ලසන්ත වික්‍රමසේකර’ ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු සහ යතුරුපැදිකරු වැලිගම සිට එකම යතුරුපැදියේ නැගී පැමිණියත් අතරමගදී වෙඩික්කරු වෙනත් යතුරුපැදියක නැගී පලාගිය බව CCTV සාක්ෂි මගින් කළින් හෙළිව තිබුණා.
එසේ එන අතරමගදී වෙඩික්කරු සිය බිරිඳව යතුරුපැදියේ නංවාගෙන පැමිණ ඇති බවත් මේ වනවිට විමර්ශන අංශ වෙත අනාවරණය වී තිබෙනවා.
ඔවුන් ඒ ආකාරයට වැල්ලවාය මහියංගනය පසුකරමින් කැකිරාව දක්වා පැමිණ ඇති බවද මේ වනවිට හෙළිව තිබෙනවා.
ඒ එන අතරමගදී ලසන්ත ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ පැදිකරු මහියංගනය ආසන්න පෙදෙසක සිය යතුරුපැදිය සඟවා තිදෙනාම (3) වෙඩික්කරුගේ යතුරුපැදියේ නැගී කැකිරාව දක්වා පැමිණ ඇති බවද විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
එමෙන්ම වෙඩික්කරුට ඝාතන කොන්ත්‍රාත්තුව වශයෙන් ලැබුණු රු. ලක්ෂ 15 න් රු. ලක්ෂ 12 ක මුදලක් වෙඩික්කරුගේ බිරිඳ සතුව තිබී විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම ඝාතනයට අදාල විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවන ලද අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් මගින් සඳහන් කර සිටින්නේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති අතර එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබන බවයි ෴
+++
වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන්ට රැඳවුම් නියෝග
(27.10.2025 – hirunews.lk)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාට (6) රැඳවුම් නියෝග ලබා දී තිබෙනවා.
ඒ පැය 72 ක කාලයක් සඳහා බවයි පොලිසිය සඳහන් කළේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය නිල කාමරය තුළ රැඳී සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 22 වැනිදායි.
වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් යතුරුපැදියකින් පළායන අයුරු සහ අතරමගදී ඔවුන් වෙන් වෙන් යතුරුපැදිවලින් ගමන් කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස කැකිරාව පොතානේගම, නිවාස 50 ප්‍රදේශයේ කමතක් සඳහා භාවිත කර අත්හැර දැමූ නිවසක සැඟව සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි සිටි තවත් සැකකරුවෙකු (1) පොලිස් නිලධාරීන් සමග පොරබදා පළාගොස් තිබූ බවත්, ඔහු වෙඩික්කරු බවට සැකකෙරෙන බවත් පොලිසිය සඳහන් කළා.
එදින සවස් කාලයේ ඔහු රාජගිරිය ප්‍රදේශයටත් අනතුරුව පස්වරු 6 ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයටත් පැමිණ තිබුණා.
සවස 06:30 ට පමණ ඔහු ත්‍රිරෝද රථයකින් මහරගම දෙසට ගමන් කරමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් ඔහු ලුහුබැඳ තිබෙනවා.
අනතුරුව ඔහු සවස 06:45 ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැණුනා ෴
+++
වැලිගම සභාපති ඝාතකයා ඇල්ලුවේ AI තාක්ෂණයෙන්
(27.10.2025 – hirunews.lk)
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කර කට්ටි පනිමින් සිටි වෙඩික්කරු මහරගම නාවින්නේ පිහිටි දුරකතන අලෙවිහලකින් එළියට එන මොහොතේ බුද්ධි නිලධාරියකුට හඳුනාගැනීමට හැකිව ඇත්තේ පරීක්ෂණ අංශ ‘කෘත්‍රිම බුද්ධිය’ (Artificial Intelligence) උපයෝගී කරගෙන තිබූ නිසා බව වාර්තා වෙනවා.
ඊට හේතුව වෙඩික්කරු අල්ලාගැනීමට මොහොතකට පෙර බස් රියක යමින් සිටි බුද්ධි නිලධාරියා ඔහු එක්වනම හඳුනාගත්තේ ඒ වනවිටත් රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශවල මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු විමර්ශන අංශවල නිලධාරීන්ට කෘත්‍රිම බුද්ධිය යොදා තැනූ වෙස් මාරු කරගත් සැකකරුගේ විවිධ ස්වරූප සහිත පින්තූර ආකෘති ඔස්සේ ඔවුන් දැනුවත් කර තිබූ නිසා බවද අනාවරණය වෙනවා.
ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම්වලට ලැබුණු වෙඩික්කරුගේ සේයාරුව ‘AI තාක්ෂණය’ ඔස්සේ කොණ්ඩය කපා රැවුල වවා, රැවුල කපා, තට්ටය ගා ආදී වශයෙන් ව්විධ ස්වරූපවලට නිර්මාණය කර ඉහත විමර්ශන නිලධාරීන්ට ඒවා පෙන්වා ඔවුන්ගේ මනසට කාවද්දා තිබෙනවා.
ඒ ව්මර්ශන මෙහෙවරේ ප්‍රතිපලයක් ලෙස ඉහත බුද්ධි නිලධාරියාට වෙඩික්කරුව පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබුණු බවද සඳහන්.
ඒ අනුව වහාම බස් රියෙන් එළියට පැනගත් එම බුද්ධි නිලධාරියා තම ප්‍රධානීන්වද දුරකතනයෙන් දැනුවත් කරමින් වෙඩික්කරු පසුපස හඹා යද්දී ඒ අවට සිටියවුන්ගේ සහ මොහොතකින් එතැනට ළඟා වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේද සහායෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කට්ටි පනිමින් සිටි වෙඩික්කරු කොටු කර ගැනීමට වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඝාතනයට පෙර සිටම වෙඩික්කරු භාව්තා කළ ජංගම දුරකතනයේ මෙන්ම සිම්පතක ජාල විශ්ලේෂණයද හේතු වූ බවයි විමර්ශන තොරතුරු මගින් හෙළිවෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴