රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වර්ජනය අද (28)

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වර්ජනය අද (28)

*********************************************

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වර්ජනය අද (28)

(28.04.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද (28) දැවැන්ත සංකේත වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා.

‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය අරගලය සංවිධාන කර ඇති අතර වෘත්තීය සමිති දහසකට (1000) අධික සංඛයාවක් මේ සඳහා එක්ව සිටින බවයි එහි නියෝජිත රවී කුමුදේශ් ප්‍රකාශ කළේ.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු සහ වෙළඳ කලාප ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පිරිස් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවාවලට බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව කාර්යාලවලින් ඉටුකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින සේවා ඉටු කර ගැනීම සඳහා විකල්ප දින සැලසුම් කර ගන්නා ලෙසයි එම සංගමය දැනුම් දුන්නේ.

මෙම වර්ජනයට සමගාමීව අද (28) මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පා ගමනක් සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය සේවය ඇතුළු ආයතනවල පැය දෙකක (2) විරෝධතා ක්‍රියාමාර්ග සිදුකිරීමට ද නියමිතයි.

වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කළේ.

එසේම, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතුවලටද බාධා එල්ල විය හැකි බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියා.

තම සංගමය අද (28) උදෑසන 09:30 ට නිදහස් චතුරස්‍රය අසලදී නිහඬ විරෝධතාවකට එක්වන බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත කියා සිටියේ.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (28) දිනයේ රාජකාරි සඳහා වාර්තා කරන බවට සේවකයන් දැනුම් දී තිබුණත් ඔවුන් නොපැමිණීම නිසා දුම්රිය සුළු ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවයි.

මේ නිසා මඟීන්ට සිදුවන අපහසුතා මඟ හරවා ගැනීමට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඉල්ලා සිටියා.

දුම්රිය ධාවනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, සාමාන්‍යයෙන් අද (28) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 80 ක් පමණ ධාවනයට සැලසුම් කර තිබුණ ද මෙතෙක් කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇත්තේ බදුල්ලේ සිට පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රිය පමණක් බවයි.

එමෙන්ම හලාවත සිට තවත් දුම්රිය කොටුව දුම්රියපළ වෙත ළඟා වෙමින් පවතින බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ ලංගම සහ පෞද්ගලික බස් රථ අද (28) දිනයේ ධාවනය කරන බවට දැනුම් දී තිබූ බවයි ෴

+++++++++++++

ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි

(28.04.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කටුනායක ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සදහන් කළේ, අද (28) දිනයේ සීමිත සේවක සංඛ්‍යාවක් රාජකාරී කටයුතු සදහා පැමිණ ඇති බවයි.

මේ වන විටත් කොළඹ වරායට භාණ්ඩ නෞකා 5 ක් පමණ පැමිණ ඇති බවත් ඒවායේ බහාලුම් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් ඔවුන් සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ අද (28) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය වන බව හිරු වාර්තාකරුවන් සදහන් කළා. මේ වන විට කොළඹ නගරයේ ද බස් ධාවනය සිදුවන අතර මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++

එළවළු තොග ලැබී නොමැති බව මැනිං වෙළද සංගමය කියයි

(28.04.2022 – 09:12 +0530 – hirunews.lk/sinhala)

කිසිදු ආර්ථික මධ්‍යස්ථානයකට අද (28) දිනයේ එළවළු තොග ලැබී නොමැති බව සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ, දීප ව්‍යාප්ත වර්ජනයට සමගාමීව අද දිනයේ එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානයට සැපයීමෙන් වළකින ලෙසට ගොවීන්ගෙන් සිය සංගමය ඉල්ලීමක් කළ බවයි ෴

+++++++++++++

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයනුත් අරගලයට

(28.04.2022 – 09:46 +0530 – hirunews.lk/sinhala)

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හල්වල සේවක සේවිකාවන් සියලු දෙනා ම ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය අසල අරගලය සඳහා තම සහයෝගය ලබා දීමට පැමිණ තිබෙනවා.

එහි සේවය කරන තරුන තරුණියන් විශාල ප්‍රමාණයක් අරගලය සඳහා සහභාගී වී අති ආකාරය දක්නට ලැබෙනවා.

අද (28) දීව ව්‍යාප්ත වශයෙන් මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මක වීමට නියමිත යි.

+++++++++++++

වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගයට පිවිස රජයට එරෙහි ව උද්ඝෝෂණයක

(28.04.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

ජිවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගැස් මිල ඉහළ දැමිම, විදුලි කප්පාදුවට එරෙහි ව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව රටපුරා දියත් කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා වතු කම්කරුවන් ද ප්‍රධාන මාර්ගවලට පිවිස අද (28) දින උද්ඝෝෂණයේ නිරත වනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයේ නියැලී සිටි අතර, රට කරවිය හැකි පිරිසකට රටේ පාලන බලය ලබා දී වත්මන් රජයට පාලන බලයෙන් ඉවත් වන ලෙසට යි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පවසන්නේ.

+++++++++++++

දිවයින ම සෙමෙන් ජනශූන්‍ය වෙයි

(28.04.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනශූන්‍ය ස්වභාවයක් දැක ගත හැකි බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මහනුවර ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව කාර්යාල සේවකයින් සහ පාසල් දරුවන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කමල් සුරවීර ප්‍රකාශ කළේ.

වර්ජනයක් ක්‍රියාත්මක වුවද රජයේ කාර්යාල වෙත සේවකයින්ගේ පැමිණීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (28) පැවැත්වෙන වර්ජනයට සහය පළ කරන බවයි එහි ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත කියා සිටියේ.

මේ අතර, ඇතැම් වෙළද කලාපවල සේවකයින් මේ වන විට විරෝධතාවල නිරත වන නමුත් නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් ප්‍රකාශ කළේ, මේ මොහොතේ වෙළද කලාප තුළ වර්ජන දියත් කිරීමෙන් ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බවයි ෴

+++++++++++++

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ම නගර වැඩ වර්ජනයට සහයෝගය දක්වා වසා දැමෙයි

(28.04.2022 – 10:21 +0530 – hirunews.lk/sinhala)

ජිවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගැස් මිල ඉහළ දැමිම, ගැස් හිඟය සහ විදුලි කප්පාදුවට එරෙහි ව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව 28 වන දින ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලු ම නගරවල වෙළෙඳසල් වසා දැමිමට වෙළෙඳ සංගම් පියවර ගෙන තිබෙනවා.

නුවරඑලිය, හැටන්, තලවකැලේ, කොටගල, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය යන නගරවල වෙලදසැල් ද වසා දමා ඇති බව යි වාර්තා වන්නේ.

හැටන් සහ නුවරඑලිය බස් නැවතුම්පොලවල්වල දිනපතා ධාවනය වන පෞද්ගලික බස් රථ ද ධාවන කටයුතුවලින් ඉවත් වි ඇති අතර, ලංගම
බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණත් එම බස් රථ වලින් ගමන් කිරිමට එතරම් මඟීන් සංඛ්‍යාවක් නොසිටි බව සඳහන්.

හැටන් සහ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලු ම පාසල්වලට ගුරුවරුන් නොපැමිණි නිසා, එම පාසල් ද වසා දමා ඇති බව යි ආරංචි වන්නේ ෴

+++++++++++++

පිටකොටුවේ ඇතැම් තොග වෙළදසැලුත් වැසේ

(28.04.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ක්‍රියාත්මක වර්ජනයට සහය පළ කරමින් පිටකොටුවේ ඇතැම් තොග වෙළදසැල් ද වසා දමා තිබෙනවා.

4 වන සහ 5 වන හරස් වීථි ඇතුළු හරස් වීථිවල වෙළදසැල් මෙලෙස වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, වර්ජනයට සහය පළ කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියළු නගරවල වෙළදසැල් වසා දැමීමට එම වෙළද සංගම් පියවර ගෙන ඇති බව හිරු වාර්තාකරු කියා සිටියා.

හැටන් සහ නුවරඑළියේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළු පාසල්වලට අද (28) දිනයේ ගුරුවරුන් නොපැමිණීම නිසා එම පාසල් වැසී ගොස් ඇති ආකාරයක් ද දක්නට ලැබුණා.

මේ අතර, වර්ජනය හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ රාජ්‍ය ආයතන සේවකයින් නිවාඩු දමා තිබූ අතර නගරවල ව්‍යාපාරික ස්ථාන රැසක් ද වසා දමා ඇති බවයි වව්නියාව හිරු වාර්තාකරු සදහන් කළේ ෴

+++++++++++++

වර්ජනයෙන් අත්‍යාවශ්‍ය සේවා රැසකට බාධා

(28.04.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද (28) ආරම්භ කළ දැවැන්ත සංකේත වර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා රැසකට බාධා එල්ල වී තිබෙනවා.

‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය අරගලය සංවිධාන කර ඇති අතර ඊට වෘත්තීය සමිති දහසකට (1000) අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු සහ අයෝජන කලාප සේවකයින් ඒ අතර වනවා.

දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න ප්‍රකාශ කළා.

මේ අතර, කටුනායක ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි කියා සිටියා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි ද කියා සිටියේ විදුලිය සැපයීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියළු රෝහල්වල ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, වර්ජනයට සහය දැක්වීමක් ලෙස ප්‍රධාන රෝහල් ඉදිරිපිට අද (28) දහවල් විරෝධතා ආරම්භ කර තිබුණා.

මේ අතර, අද (28) දිනයේ දිවයිනේ පාසල්වල කටයුතු අඩාල වී ඇත්තේ සිසුන් සහ ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන්.

මෙම වර්ජනයට සමගාමීව මේ වන විට මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පා ගමනක් ද සංවිධාන කර තිබෙනවා.

වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

ඒ, සේවකයින් රාජකාරියට වාර්තා නොකිරීම සහ පැමිණ ඇති සේවකයින් විරෝධතාවලට සම්බන්ධවීම හේතුවෙන්.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (28) දිනයේ රාජකාරි සඳහා වාර්තා කරන බවට සේවකයන් දැනුම් දී තිබුණත් ඔවුන් නොපැමිණීම නිසා දුම්රිය ධාවනය අඩාල වූ බවයි.

කෙසේ වෙතත්, අද (28) දිනයේත් සුපුරුදු පරිදි බස් රථ ධාවනය යෙදෙන ආකාරයක් දක්නට ලැබුණා.

හිරු වාර්තාකරුවන් සදහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ රැසක් ධාවනයේ යෙදෙන බවයි.

අනුරාධපුර නගරයේ බොහෝ වෙළදසැල් අද වසා දමා කළු කොඩි ඔසවා වර්ජනයට සහය පළ කර ඇති ආකාරයක් දක්නට ලැබුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු තම්සීර් හමීඩ් සදහන් කළේ.

මේ අතර, ඇතැම් වෙළද කලාපවල සේවකයින් මේ වන විට විරෝධතාවල නිරත වන නමුත් නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් ප්‍රකාශ කළේ මේ මොහොතේ වෙළද කලාප තුළ වර්ජන දියත් කිරීමෙන් ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත්, කොග්ගල හා කටුනායක අපනයන කලාපවල සේවකයින් අද (28) පෙරවරුවේ මෙම වර්ජනයට සහය පළ කරමින් විරෝධතා පෙළපාලිවල නිරත වුණා.

මේ වන විට ක්‍රියාත්මක වර්ජනයට සහය පළ කරමින් පිටකොටුවේ තොග වෙළදසැල් ද වසා දමා තිබෙනවා.

4 වන සහ 5 වන හරස් වීථි ඇතුළු හරස් වීථිවල වෙළදසැල් මෙලෙස වසා දමා ඇති බවයි.

සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ ලේකම් අනුර මාරසිංහ පැවසුවේ මෙම වර්ජනයට සහය පළ කරමින් අද (28) දිනයේදී බිත්තර ප්‍රවාහනය කිරීමේ කටයුතුවලින් ඉවත් වන බවයි.

+++++++++++++

වර්ජනයෙන් රාජ්‍ය ආයතන රැසකට බාධා – අද (28) දුම්රිය ගමන්වාර 5 ක් පමණයි

(28.04.2022 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව වහාම ඉවත් වීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් ඉදිරියේදී සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව ප්‍රකාශ කළා.

රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වයට විරෝධය පළ කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති අද (28) දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වුණා.

ඒ හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රවල කටයුතුවලට අද (28) පෙරවරුවේ සිටම එල්ල වුණේ දැඩි බලපෑමක්.

මෙරට වැඩ වර්ජනය ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය සිදුවුණේ මීට වසර 42 කට පෙර එනම් 1980 වසරේදීයි. ඉන් පසුව වෘත්තීය ක්ෂේත්‍ර විශාල සංඛ්‍යාවක් එකවර වැඩ වර්ජනයකට අවතීර්ණ වූ අවස්ථා දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව අද (28) පැවති මෙම දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය සඳහා ආර්ථික මධ්‍යස්ථාන හා වෙළඳ කලාප, රේගු, බැංකු, තැපැල්, විදුලි, ඉන්ධන, සෞඛ්‍ය, ගුරු හා වතු සේවක ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්ව සිටියා.

වැඩ වර්ජනයෙන් පොදු ප්‍රවාහන සේවා වලට බලපෑම් එල්ල වූ අතර අද (28) දිනයේ කොළඹ කොටුව දක්වා ධාවනය කර තිබුණේ දුම්රිය ගමන්වාර 5 ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

දුම්රිය නොමැතිකමින් මගීන් පත්ව සිටියේ දැඩි අපහසුතාවකටයි.

මේ අතර, පෞද්ගලික බස් රථ අද (28) පෙරවරුවේ සියයට 50 ක ප්‍රතිශතයකින් ධාවනය කෙරුණ ද මගීන්ගේ අඩුව නිසා දහවල් වනවිට එය ක්‍රමයෙන් අඩු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

දිවයින පුරා තැපැල් සේවකයින් ද මෙම සංකේත වැඩවර්ජනයට එක්ව සිටියා.

දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න ප්‍රකාශ කළා.

කටුනායක ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවූ බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැවසුවේ.

ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියළු රෝහල්වල ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුවූ බව ද වාර්තා වුණා. කෙසේ වෙතත්, වර්ජනයට සහය දැක්වීමක් ලෙස ප්‍රධාන රෝහල් ඉදිරිපිට අද (28) දහවල් විරෝධතා දියත් වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර, සිසුන් සහ ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් අද (28) දිනයේ දිවයිනේ පාසල්වල කටයුතු අඩාල වී තිබුණා.

වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි වාර්තා වුණේ.

වර්ජනයට සහය පළ කිරීමක් ලෙස දිවයිනේ ප්‍රදේශ රැසක, ව්‍යාපාරික ස්ථාන සහ වෙළඳසැල්වල කළු කොඩි ඔසවා තිබූ අතර, පිටකොටුවේ තොග වෙළදසැල් ද වසා දමා තිබුණා.

වර්ජනය ක්‍රියාමාර්ගයට සමගාමීව ජාතික වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කළ පාගමනක් මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය පොල අසලට පැමිණියා.

මෙලෙස වර්ධනයට සහය දැක්වූ වෘත්තීය සමිති සංගම් සාමාජිකයන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින් දැවැන්ත විරෝධතා පාගමනකින් ගාලුමුවදොරට පැමිණියා.

++++++++++

ප්‍රදේශ රැසක විරෝධතා – ගුවන්තොටුපල මාර්ගයත් අවහිර කරයි

(28.04.2022 – 19:14 +0530 – hirunews.lk/sinhala)

දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සමගාමීව වෘත්තීය සංගම් රැසක් විරෝධතා පාගමනින් ගාලු මුවදොර අරගල භූමියට අද (28) දහවල් ළඟා වුණා.

එසේම, දිවයින පුරා ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් විරෝධතා සංවිධාන කර තිබුණේ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින්.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන්ද ඇවරිවත්ත, අයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධාන දොරටුව අසලදී විරෝධතාවක නිරත වුණා. ඒ හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ග පිවිසුම සහ පිටවුම මෙන්ම ඇවරිවත්ත මංසන්ධියෙන් ගුවන් තොටුපල මාර්ගයද අද (28) පස්වරුවේ අවහිර වුණා.

විරෝධතාව හේතුවෙන් ගුවන් තොටුපලට යෑමට පැමිණි මගීන්ට පාගමනින් යෑමට සිදුවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සේවක සේවිකාවන් ද නිට්ටඹුව නගරය දක්වා පා ගමනින් පැමිණ ටයර් පුළුස්සමින් අද (28) විරෝධතාවයේ නිරත වුණා.

එසේම, කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 6,000 කට ආසන්න පිරිසක් එම වෙළද කලාපය ඉදිරිපිටදී රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විරෝධතාවට එක්වුණා.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අද (28) මුළුමනින්ම වසා දමා එහි වෙළඳුන් වෙළඳ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

මේ අතර, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු‍ රෝහල් කාර්ය මණ්ඩලය වැඩවර්ජනයේ නිරත නොවුව ද රෝහල් ඉදිරිපිට විරෝධතාවන්ට එක්ව සිටියා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිසුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් දිවයිනේ ප්‍රදේශ රැසක සිට විරෝධතාවලට එක්ව සිටියා.

ඒ අනුව සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසල පැවති විරෝධතාවට කලාකරුවන් පිරිසක්ද එක්ව සිටි අතර, ඔවුන් එහිදී විරෝධතාවයේ නිරතවුණා.

මේ අතර, රජයේ පරිපාලන සේවා සංගමය ද ටොරින්ටන් සිට කොළඹ පුරහල දක්වා විරෝධතා පාගමනින් පැමිණයා. විරෝධතා පා ගමනට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියද එක්ව සිටියා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටද අද (28) විරෝධතාවක් පැවති අතර, රේගු නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයද රේගු මූලස්ථානය ඉදිරිපිට අද (28) විරෝධතාවක නිරත වුණා.

මේ අතර, රිදීමාලියද්ද – ආඳාඋල්පත මංසන්ධියේ පැවති විරෝධතාවය උණුසුම් වූයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර විරෝධතාකරුවෙකුට පහරදුන් බවට චෝදනාවක් එල්ල වීමත් සමඟයි.

විරෝධතාව ප්‍රාදේශීය සභාවේ සිට රූගත කිරීම සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේදී සභාපතිවරයා විරෝධතාකරුවෙකුට පහරදුන් බව පවසමින් විරෝධතාකරුවන් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව අද (28) පස්වරුවේ වටලනු ලැබුවා.

පැය එකහමාරකට (1½) ආසන්න කාලයක් විරෝධතාකරුවන් සභාව වටලා තිබූ අතර, අනතුරුව පොලිසිය පැමිණ සභාපතිවරයා ඉන් පිටතට රැගෙන යද්දී ඔහුට විරෝධතාකරුවන් පහර දුන්නා.

එසේම, ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාව අද (28) ක්‍රියාත්මක වන්නේ 20 වැනි දිනටයි. අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන මයිනාගෝගම විරෝධතාවයද තවමත් ක්‍රියාත්මකයි.

සමගි ජන බලවේගය මහනුවරින් ආරම්භ කළ විරෝධතා පාගමනේ 03 වන දිනයද අදයි (28). එය අද (28) දංඕවිට දක්වා පැමිණියා.

මේ අතර, විරෝධතාවලට එක්වීමේදී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානි සිදුනොකරන ලෙස දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන්ට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, කලවංචිකුඩි පොලිසිය කළ පැමිණිල්ලකට අනුවයි.

එම නියෝගයට අනුව මන්ත්‍රීවරයා විරෝධතාවලට එක්වීමේදී මාර්ගයේ මැදින් ගමන් නොකළ යුතු අතර, නියෝගය අද (28) සිට දින 14 ක කාලයක් සඳහා බල පැවැත්වෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *