සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග

සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග


සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග

(27.02.2026 – hirunews.lk)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගත් බව පොලිසිය පවසනවා.

ඒ දින 90 ක කාලයක් සඳහායි.

පසුගිය 25 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සුරේෂ් සලේ, යුද්ධය පැවැති සමයේදී රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ අතර 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වන විට මැලේසියාවේ තානාපති කාර්යාල නිලධාරියෙකු ලෙස කටයුතු කළා.

එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඔහුව එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු මේජර් ජනරාල් සුරේෂ් සලේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව’ විසින් විකාශය කරන ලද මතභේදාත්මක වාර්තා චිත්‍රපටය මගින් ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිදරව් ගණනාවක් සිදු කළ අතර එහිදී සුරේෂ් සලෙයි පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවටද කරුණු සඳහන් වුණා.

එම වීඩියෝව පදනම් කරගෙන සමාජ සහ සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා පියතුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ගොනු කර තිබුණේ එම චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.

එම පරීක්ෂණවල ප්‍රගතිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙමින් 2024 වසරේ නොවැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක බවයි.

එවැනි පසුබිමක නව රජය පත්වීමෙන් පසු 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී සුරේෂ් සලේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරෙන් විශ්‍රාම ගැන්වීමට පියවර ගනු ලැබුවා.

+++

පාස්කු ප‍්‍රහාරයට ගෝටාභය අත්අඩංගුවට..?

(27.02.2026 – lankacnews.com)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ පැහැදිලි සූදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව අවධාරණය කළේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනකදී අදහස් දක්වමිනි.

බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම හරහා හිටපු ජනාධිපතිවරයා වෙත ඉලක්කය යොමු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව විමල් වීරවංශ මෙහිදී චෝදනා කළේය.

“දැන් ඊළඟට මේගොල්ලෝ ගන්න තීරණය කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න. ඒකට තමයි සලේ මගින් ඊළඟට පොට පාදා ගන්න හදන්නේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

සහරාන් හෂීම් වැනි අන්තවාදියෙකු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කරමින් ප්‍රහාරයක් එල්ල කළේය යන්න තර්කානුකූල නොවන ‘වඳුරු කුණුහරුපයක්’ බව හිටපු අමාත්‍යවරයා පැවසීය. ගෝඨාභය රාජපක්ෂ යනු උග්‍ර බෞද්ධයෙකු බවත්, එවැනි අයෙකු බලයට පත් කිරීමට සහරාන්ලා ක්‍රියා කරනු ඇතැයි සිතීම විහිළුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර ඇතුළු පිරිසක් විසින් බොරු චෝදනා සහ කෘතිම සාක්ෂි යොදා ගනිමින් මෙම නඩු නිර්මාණය කරන බවට විමල් වීරවංශ චෝදනා කළේය.

ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව රචනා ලියා බොරු සාක්ෂි මගින් අධිකරණය හමුවේ වරදකරුවෙකු කිරීමට තරම් සුවිශේෂී හැකියාවක් ඔවුන් සතු බව ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

බුද්ධි අංශ දුර්වල කිරීම ක්‍රියාවලිය හරහා රාජ්‍යයේ ඓතිහාසික බලකනු බිඳ දැමීමට උත්සාහ කරන බවත්, වර්තමානය වන විට කිලිනොච්චිය සහ මුලතිව් වැනි ප්‍රදේශවල යුද හමුදා කඳවුරු පවා ඉවත් කරමින් පවතින බවත් විමල් වීරවංශ හෙළි කළේය.

සුරේෂ් සලේ වැනි යුද්ධයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බුද්ධි නිලධාරීන් ඉලක්ක කිරීම දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ දේශපාලනික ව්‍යාපෘතියක් බවද ඔහු පැවසීය.

සහරාන් ඇතුළු පිරිස අන්තවාදයට යොමුවන බවත්, ඔවුන් ISIS සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වන බවත් සුරේෂ් සලේ ඇතුළු බුද්ධි අංශ විසින් එවකට පැවති යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබුණ ද, ඔවුන් එය නොසලකා හැරි බව විමල් වීරවංශ මෙහිදී මතක් කර දුන්නේය.

එදා එම තොරතුරු කෙරෙහි අවධානය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනෑ තරම් හැකියාව තිබූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

අනෙක් අතට, බෝම්බකරුවන්ගේ පියා වන ඉබ්‍රාහිම් වැනි අයගේ දේපල නිදහස් කරමින් සහ ප්‍රධාන සාක්ෂිකරුවන් විදේශගත වීමට ඉඩ සලසමින් සැබෑ වගඋත්තරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටද ඔහු මෙහිදී චෝදනා කළේය.

+++

සලේ කියන්නේ දිවි හිමියෙන් රට රැකපු රණවිරුවෙක් – සලේ බේරා ගැනිමේ සටනට විමල් සැරසෙයි (27.02.2026)

+++

මිනීමරු ත්‍රස්තවාදියෝ ඉන්නේ මාලිමා රජය එක්ක – සලේ ගැන ගලගොඩ අත්තේ හිමිගෙන් හෙළිදරව්වක් (27.02.2026)

+++

කාදිනල් උන්නාන්සේ දැන් පාරට බහින්නකෝ – ඒකාලේ ආගමික නායකයෝ කුලප්පු කරා – තිස්සකුට්ටිට යකා වැහෙයි (27.02.2026)

+++

නි.ඇමති අරුණ ජයසේකර වහාම අයින් කරන්න – මේ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ අපි (27.02.2026)

+


අල්ලස් ගත් ක්වාසි විනිසුරුවරයෙකු ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්

(27.02.2026 – hirunews.lk)

රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) සහ පොළොන්නරුව වැඩබලන ක්වාසි විනිසුරුවරයා ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් 17 වනදා වාලච්චේන පිහිටි ක්වාසි අධිකරණ කාර්යාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් පුද්ගලයෙකුට නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් අවලංගු කරගැනීම සඳහා අවශ්‍ය වන නඩු වාර්තාවේ සහතික පිටපතක් ලබාදීමට රුපියල් 5,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම යන චෝදනාව හේතුවෙන්.

ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා ෴


ගල් අඟුරු වංචාවේ මහමොළකරුවන් හෙළි කළ යුතුයි – විපක්ෂ නායක සජිත් (27.02.2026)

+


කළුතර රබර් භාණ්ඩ ගබඩාවක ගින්නක් : වාහන කිහිපයක් සහ නිෂ්පාදන විනාශයි

(27.02.2026 – hirunews.lk)

කළුතර ප්‍රදේශයේ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක හදිසි ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙම ගින්න හේතුවෙන් රබර් නිෂ්පාදන ඇතුළු දේපළ රැසකට බරපතල හානි සිදුව ඇතැයි වාර්තා වෙනවා.

ගින්න හේතුවෙන් ගබඩාව තුළ තිබූ රබර් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

‍මීට අමතරව ගබඩාව අසල ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ගින්නට හසුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් මෙම ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් අතර, පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකා සෙබළුන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීම සඳහා දැඩි සහයක් ලබා දී ඇතැයි අප වාර්තාකරු පවසනවා.

ගින්න යාබද නිවසකට පැතිර යාමේ අවදානමක් පැවති හෙයින්, ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී එම නිවසේ තිබූ භාණ්ඩ සහ උපකරණ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+++

+


විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවෙන් නව ‘Digital Nomad’ වීසා බලපත්‍රයක්

(27.02.2026 – hirunews.lk)

ගෝලීය වශයෙන් දුරස්ථ රැකියාවල නියුතු වෘත්තිකයින් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සිය නව “ඩිජිටල් නෝමඩ්” (Digital Nomad) වීසා වැඩසටහන ඊයේ (26) නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ “සිල්ක් රූට්” (Silk Route) පර්යන්තයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්ව‍යෙන්.

මෙම නව ක්‍රමය යටතේ විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් සිය විදේශීය ආයතන වෙනුවෙන් දුරස්ථව සේවය කිරීමට අවස්ථාව හිමිවෙනවා.

ඒ අනුව, මෙම වීසා ක්‍රමවේදය මගින් වසරක කාලයක් සඳහා මෙරට රැඳී සිටීමට අවසර හිමි වන අතර, අයදුම්කරුවන් වයස අවුරුදු 18 ට වැඩි විය යුතු අතර, අවම වශයෙන් මසකට ඇමරිකානු ඩොලර් 2,000 ක විදේශ විනිමය ආදායමක් පෙන්විය යුතුයි.

එමෙන්ම, මෙරට රැඳී සිටින කාලය තුළ දේශීය රැකියාවල නිරත වීම හෝ දේශීය ව්‍යාපාර කටයුතු සිදු කිරීම සපුරා තහනම්.

තවද, වීසා හිමියන්ට තම දරුවන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීමට අවසර හිමිවන අතර, අයදුම් කිරීමේදී අදාළ විදේශිකයාගේ මව් රටින් නිකුත් කළ පොලිස් වාර්තා සහ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි.

මෙම නව වීසා වැඩසටහන යටතේ ප්‍රථම වීසා බලපත්‍ර යුක්රේන ජාතික ඩාරියා ගෝඩියෙන්කෝ (Daria Gordiienko) සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන යාරොස්ලාව් කොවෙල්චුක් (Yaroslav Kovelchuk) වෙත ප්‍රදානය කර තිබෙනවා.


‘පොලිස්පතිට කියන්න’ (Tell IGP) මහජන පැමිණිලි සේවාව යාවත්කාලීන වෙයි

(27.02.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී දැනට ක්‍රියාත්මකව ඇති ‘පොලිස්පතිට කියන්න’ (Tell IGP) ව්‍යාපෘතිය මඟින් මහජනතාව වෙත සෘජුවම යම් සිදුවීමක් සම්බන්ධව හෝ පැමිණිල්ලක් පොලිස්පතිතුමන් වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව යාවත්කාලීන කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

මෙම වැඩසටහන මේ වර්ෂයේ ප්‍රතිව්‍යුහගතකරමින් ක්‍රියාත්මක කරනු ලබන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මෙම සේවාවේදී, දේශීය මෙන්ම විදේශීය ඕනෑම පුද්ගලයෙකුට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර එය මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේද සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බව ද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරනවා.

මෙම පැමිණිලි සේවාව මඟින් මහජනතාවට, දේශීයව හෝ විදේශීයව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන තැනැත්තන් පිළිබඳව තොරතුරු මෙන්ම අපරාධ, විවිධ පැමිණිලි, රථවාහන වැරදි, මහජන පීඩා හා දූෂණ පිළිබඳ තොරතුරු සම්බන්ධව පොලිස්පතිතුමන් වෙත සෘජුවම දැනුවක් කිරීමේ හැකියාව තිබෙනවා.

මෙහිදී ලැබෙන පැමිණිලිවලට ගතයුතු ක්‍රියාමාර්ග හා ඊට අදාල විර්මශන, කොට්ඨාස භාර නිලධාරීන් මගින් නියමිත පොලිස් ස්ථානය වෙත දැනුම්දී කඩිනමින් ඒ සඳහා විමර්ශන නිලධාරීන් යොමු කිරීමට කටයුතු කරනු ලබන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලට යුක්ති සහගත සාධාරණයක් ඉටු නොවන්නේ නම් නැවත ඉහත ක්‍රම වේදය ඔස්සේම පොලිස්පතිතුමා වෙත දැනුවත් කිරීමේ හැකියාවද මෙම ක්‍රම වේදය මගින් සලසා දී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා ඇත්තේ.

( https://www.police.lk/ ) පොලිස් වෙබ් අඩවියට පිවිස එහි ස්ථාපිත ඊ සේවාව (E Service) වෙත පිවිස ‘පොලිස්පතිට කියන්න’ (Tell Inspector General Of Police) ( https://telligp.police.lk ) වෙබ් අඩවිය ඔස්සේ සහ ( telligp@police.gov.lk ) යන විද්‍යුත් කැපැල් ලිපිනය ඔස්සේ පැමිණිලි හෝ තොරතුරු මෙම සේවාව වෙත යොමු කර මහජනතාවට මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *