ප්‍රොපේන් 50% යි බියුටේන් 50% යි – ගෑස් සිලින්ඩරයේ සැබෑ සංයුතිය පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි

ප්‍රොපේන් 50% යි බියුටේන් 50% යි – ගෑස් සිලින්ඩරයේ සැබෑ සංයුතිය පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි

*********************************************

ප්‍රොපේන් 50% යි බියුටේන් 50% යි – ගෑස් සිලින්ඩරයේ සැබෑ සංයුතිය පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි

(30.11.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩරයක තිබිය යුතු සංයුතියේ සැබෑ ප්‍රතිශතය කුමක් ? මෙය මේ දිනවල මෙරට ජනසමාජ ප්‍රබල ලෙස කලඹන කරුණක් වී තිබෙනවා. මෙරට සමස්ත ජනගහනයෙන් ඉවුම් පිහුම් කටයුතු සඳහා ගෑස් භාවිත කරන ප්‍රතිශතය වන්නේ, 30%කට මදක් වැඩි ප්‍රමාණයක්.

නමුත් මෙම ප්‍රතිශතයට සැපයෙන ගෑස්වල ඇති ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ දිනවල ජාතික වශයෙන් සාකච්ඡා කෙරෙන මාතෘකාවක් පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් බිහි වී තිබෙනවා.

ඒ රටපුරා තැන තැන ගෑස් සම්බන්ධ පිපිරීම් දිනපතා වාර්තා වන පසු පසුබිමක් යටතේයි.

මෙරටට ගෑස් සපයන ආයතන වසර ගණනාවක් තිස්සේ එම සංයුතිය ලෙස යොදා ගෙන තිබුණේ 80/20 ප්‍රතිශතයයි.

ඒ අනුව බියුතේන් 80% ක් සහ ප්‍රොපේන් 20% ලෙස මෙම ගෑස් සංයුතිය සකස් කර තිබුණේ ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන ගෑස් ප්‍රතිශතය එය ලෙස නිර්වචනය කරමින්.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන අනිල් කොස්වත්ත මෙම සංයුතිය වෙනස් කරමින් 50 ට 50 ප්‍රතිශතයක් ලෙස අදාළ වායූන් මිශ්‍ර කරමින් නව එල්පී ගෑස් මාදිලියක් මෙරට පාරිභෝගිකයින්ට හඳුන්වා දුන්නා.

ඔහු එම ගෑස් මාදිලිය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගත්තේ එය දහන ශක්තියෙන් අධික බව සහ ජනනය කරනා අධික තාපය හේතුවෙන් වඩාත් කාර්යක්ෂම ලෙස එදිනෙදා මුළුතැන්ගෙයි කටයුතු සිදු කරගත හැකි බවට යි.

ඊට අමතරව මෙතෙක් ගෑස් බර කිලෝග්‍රෑම් 13 ක් ලෙස පැවති ගෑස් සිලින්ඩරයේ ගෑස් පරිමාව ලීටර 18 ක් ලෙස හඳුන්වා දෙන්නටත් ඔහු කටයුතු කළේ එහි මිලත් යම්කිසි ප්‍රමාණයකින් ඉහළ දමමින්.

පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ මෙම ක්‍රියාදාමයක් සමඟ මෙරට ගෑස් වෙළෙඳ පොළේ බරපතළ පෙරළියක් සිදු වුණා.

පාරිභෝගික අධිකාරියට මේ නව හඳුන්වාදීම සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබුණු අතර විෂය භාර අමාත්‍යවරයා මැදිහත් වී මෙම නව හඳුන්වාදීම ආපසු හරවා ගන්නා ලෙසත් ලිට්රෝ සමාගමට දැනුම් දුන්නා.

මේ අතර වාරයේ ලෝක වෙළඳපොළේ සිදු වන ගෑස් මිල ඉහළ යාම සහ මෙරට විදෙස් මුදල් අර්බුදය හේතුවෙන් බරපතළ ගෑස් හිඟයක් වෙළඳපොළ තුළ මතු වුණා.

මේ සමග මෙරට අනෙක් ප්‍රධාන ගෑස් සැපයුම්කරු වන ලාෆ් සමාගම ගෑස් ආනයනය තාවකාලිකව අත්හිට වූ අතර ඒ සමගම ලිට්රෝ ගෑස් වෙත බරපතළ ඉල්ලුම් වැඩි වීමක් සිදු වනවා.

පවතින ඉල්ලුමට සරිලන ලෙස සැපයුම සකසා ගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩර ලක්ෂයක් හඳුන්වාදීමටත් කටයුතු කරන්නේ මේ අතරවාරයේයි.

ගෑස් ප්‍රශ්නය පුපුරා යාම ආරම්භ වන්නේ ඉන් අනතුරුව යි.

මීට පෙර මාස ගණනාවකට එකක් අහඹු ලෙස වාර්තා වන ගෑස් සම්බන්ධ ගිනි ගැනීම් සහ පුපුරායාම් දිනපතා වාර්තා වන්නට පටන් ගැනෙනවා.

මේ සම්බන්ධයෙන් ගෑස් සමාගම් නිදහසට විවිධ කරුණු ඉදිරිපත් කළ ද එම කරුණු දිවයිනේ තැනින් තැන සිදු වන ගෑස් සම්බන්ධ අනතුරු අඩුවක් වන්නට හේතුවන්නේ නැහැ.

මෙම අර්බුදය බරපතළ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරමින් පාර්ලිමේන්තුව තුළ දින ගණනාවක් සාකච්ඡා කෙරෙන මාතෘකාවක් බවට ද පත්වනවා.

විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා නැඟූ එක් බර බරපතළ පැනයක් වූයේ, ඇත්ත වශයෙන්ම මෙරට භාවිත වන ගෑස්වල නියම සංයුතිය කවරෙක් ද යන්නයි.

මෙම ගැටලුව හමුවේ කොස් කොළයෙන් විළි වසා ගැනීමට වෙර දරන රජයේ පාර්ශවයේ මැති ඇමැත්තන් විවිධ අඳබාල ප්‍රකාශ නිකුත් කිරීමටත් පටන් ගන්නවා.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත වැන්නන් කියා සිටියේ, ගෑස් සම්බන්ධ පිපිරීම් අද ඊයේ වාර්තා වූවක් නොවන බවත් ඕනෑ තරම් එවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත් ය.

ගෑස් සම්බන්ධ පිපිරීම් අතීතයේ වරින් වර වාර්තා වූ බව අප සැම දන්නා කරුණක් වුව ද දිනපතා ගෑස් අනතුරු පහ – හය වාර්තා වන ඉතිහාසයක් අපට නො තිබූ බව මෙම අඳබාල මැති ඇමැත්තන්ට නො තේරීම පුදුමයට කරුණක්.

රාජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු එසේ පවසද්දී කැබිනට් අමාත්‍යවරයෙකු වන වාසුදේව නානායක්කාර තවත් අඳබාල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම ගෑස් අනතුරු බහුල වීමට හේතුව ගෑස් භාවිතය ඉහළ යාම බවයි.

මෙම ගැටලුවට වරින් වර විවිධ ආකාරයේ පිළිතුරු ලැබුණ ද අද පාර්ලිමේන්තුව තුළ දී පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියේ, මේ වන විට ලිට්‍රෝ සමාගමේ ගෑස් සංයුතිය 50 ට 50 තත්ත්වයේ පවතින බවයි.

එසේ නම් තැනින් තැන සිදු වන ගෑස් ආශ්‍රිත පිපිරීම්වලට හේතුව වන්නේ මෙම නව මිශ්‍රණයත් සමග ගෑස් නල තුළ සහ උපාංගවලට ඇති කරන අධික පීඩනය ද?

ප්‍රොපේන් වායුව බියුටේන් වායුව මෙන් සිව්ගුණයක් (4) අධි ක්‍රියාකාරී සහ පීඩනයකින් යුක්තයි.

එබැවින් මේ සංයුති වෙනස සිදු කරන්නට පෙර මෙම කරුණු සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම සලකා නො බැලුවේ මන්ද?

මේ අයුරින් පාරිභෝගිකයින්ගේ ජීවිත පවා අනතුරේ හෙළීමට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද?

මේ ගැටලුවලට රජය මෙන්ම අදාළ සමාගමත් වගකිව යුතු මෙන්ම පිළිතුරු ද සැපයූ යුතුව ඇත.

එමෙන්ම මේ අනතුරු හේතුවෙන් හානි සිදු වූ සියල්ල ට හානි පූර්ණය කිරීමේ වගකීමෙන් ද රජයට සහ අදාළ සමාගමට කිසිසේත් ගැල වී යා නො හැකියි.

++++++++++++++

ගෑස් වලට ලාෆ්ස් වෙතින් මිල සූත්‍රයක්

(30.11.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට තමන් කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය කියා සිටියේ ලෝක වෙළඳපලේ මේ වන විට පවතින ප්‍රවණතාවයට අනුව ලබන මාසය වනවිට ගෑස් මිල අඩුවනු ඇතැයි ගණන් බලා ඇති බවයි.

සිය සමාගම හඳුන්වාදීමට නියමිත ස්වාධීන මිල සුත්‍රය එම මිල පහළ වැටීමත් සමඟම ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බවයි ලාෆ් සමාගමේ සභාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව සේවා සැපයීමක් සඳහා ස්වාධීන මිල සූත්‍රයක් හඳුන්වා දෙන පළමු පෞද්ගලික ආයතනය සිය ආයතනය බවත් ඔහු සඳහන් කළා.

“මෙම ස්වාධීන මිල සූත්‍රය ක්‍රියාත්මක වීමත් සමඟම ලෝක වෙළඳපලේ සිදුවන මිල උච්චාවචනයන්ට අනුව ඊට සමගාමීව ගෑස් මිල අඩු වැඩි කරන ක්‍රමයක් අනුගමනය කරන එකම සංවිධානය ලාෆ්ස් සමාගමයි” යනුවෙන් ඔහු මෙහිදී පවසා සිටියා.

එමෙන්ම මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඉවත් කර ඇති බවත්, ඒ හේතුවෙන් එම නිෂ්පාදනය සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කිරීමට අධිකාරියට නොහැකි බවත් කියා සිටි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරය ආශ්‍රිතව අනතුරක් සිදුවුවහොත් එවැනි සිදුවීම් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමේ ක්‍රමවේදයක්ද ඔවුන් සතුව පවතින බවයි ෴

++++++++++++++

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

(30.11.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු පත් කර ඇත.

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් (2) ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කමිටුවට උපදෙස් දී තිබෙනවා.

++++++++++++++

ගෙවුණු පැය විසි හතරේ (24) ගෑස් ආශ්‍රිත සිදුවීම් 20 ක්

(30.11.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළදීද දිවයින පුරා ගෑස් ආශ්‍රිත සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

මාතර – නාවිමන, මීගොඩ, අතුරුගිරිය, මීරිගම, අම්බලන්ගොඩ, කඩවත, දියතලාව, කොල්ලුපිටිය, කළුතර, කැකිරාව ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තාවී තිබෙනවා.

මෙවැනි සිදුවීම් පදනම් කරගනිමින් ඇතැම් නිවෙස් හිමියන් ගෑස් සිලින්ඩරය සහ උඳුන නිවසින් පිට ස්ථානයක තබා ඉවුම් පිහුම් කටයුතු සිදුකරන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ගෑස් ආශ්‍රිතව සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳව සොයාබලන ලෙස ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්ද ගොනුකළා.

එසේම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (30) ප්‍රමිති ආයතනය වෙත පැමිණියේ ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් ප්‍රමිති ආයතනයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට හිස් ගෑස් සිලින්ඩරයෙහි පමණක් ප්‍රමිතිය තම ආයතනය විසින් සොයා බලන බවයි.

ගෑස් සංයුතිය, රෙගියුලේටරය සහ ගෑස් බටය මෙන්ම උඳුන සඳහා ප්‍රමිතිය සොයාබැලීමට තමන්ට අධිකාරිමය බලයක් නොමැති බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝ විධිමත් ආයතනයක් විසින් තමන්ට ඒ සඳහා බලය පවරන්නේ නම් එම උපාංගවල ප්‍රමිතිය සම්බන්ධයෙන්ද සොයාබැලීමක් කළ හැකි බව ප්‍රමිති ආයතනය වැඩිදුරටත් කියා සිටියා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද ඊයේ (29) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් සොයාබැලීමට නියාමනයක අවශ්‍යතාව පවතින බවයි.

කෙසේ වෙතත් ගෑස් සංයුතිය පරීක්ෂා කිරීම සඳහා නියාමන ආයතනයක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා ෴

++++++++++++++

ජනපතිගෙන් කමිටුවට සති දෙකක් (2)

(30.11.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳ විමර්ශනයට සහ විසඳුම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයින් අටදෙනෙකු (8) ඇතුළත්.

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යයනයන් හා අදහස් විමර්ශනය කර සති දෙකක් (2) ඇතුළත වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙම කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර අදත් පාර්ලිමේන්තුවේදී ගෑස් ආශ්‍රිතව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සංවාදයට බඳුන් වූ අතර, එහිදී කථානායකවරයා, අදාළ ගැටලුවට පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල ඇමතිවරුන් නොමැතිවීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළා.

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වත් කමිටුව විසින් සම්පාදනය කරන ලද ගෑස් කාන්දුවීම් විශේෂඥ මතය ඇතුළත් වාර්තාව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට භාර දුන් බව මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පවසනවා ෴

++++++++++++++

ලිට්‍රෝ ගෑස් සංයුතිය ගැන හිරු කළ හෙළිදරව්ව

(30.11.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ පරිභෝජනය සඳහා නිකුත් කෙරෙන ලිට්‍රෝ ගෑස් සංයුතියේ වෙනසක් පසුගිය ජූලි මාසයේදී සිදුකර ඇති බව හිරු ප්‍රවෘත්ති අද (30) අනාවරණය කරගත්තා.

ඒ මුතුරාජවෙල පිහිටි එම සමාගමේ කර්මාන්තශාලාවේ අප සිදුකළ ගවේෂණයකදියී.

++++++++++++++

ලිට්‍රෝ ගෑස් ගැටලු ගැන දැනුම්දීමට හදිසි දුරකතන අංකයක්

(30.11.2021 – 21:50 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සම්බන්ධයෙන් ජනතාවට ඇති යම්කිසි ගැටලු සම්බන්ධයෙන් දැනගැනීමට සහ ඒ පිළිබඳ සමාගම දැනුවත් කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

එහි සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළේ, 1311 යන ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් පාරිභෝගික ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි ෴

******************************************

සාම සාධක කටයුතු සඳහා මෙරටින් ගුවන් හමුදා නිලධාරින් පිරිසක් මධ්‍යම අප්‍රිකාවට

(30.11.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරින් සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලගණයේ දැනට රාජකාරින්හි නියුතු සේවා පුද්ගලයින් වෙනුවට අනුප්‍රාප්තික සේවා පුද්ගලයින්ගෙන් සමන්විත ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලගණයේ සාමාජිකයින් අද (30) දින මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම බලගණය නිලධාරින් 20 දෙනෙකුගෙන් හා සෙසු නිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත වන අතර, බලගණයේ අණදෙන නිලධාරි ලෙස වින්ග් කමාන්ඩර් සම්පත් ලියනාරච්ච් නිලධාරිවරයා කටයුතු කරනු ලබන බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *