වැලිගම සභාපති මරන්න පැදිකරු ගියේ යාළුකමටලු
(29.10.2025 – hirunews.lk)
- වෙඩික්කරු නාවින්නේ දුරකතන අළෙවිහලට ගියේ ‘පවර් බෑන්ක්’ එකක් ගන්න
- යතුරුපැදිකරුගේ වයස තාම 19 ක් බව හෙළිවේ
වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමට ගිය වෙඩික්කරුට සහාය දුන් යතුරුපැදිකරු වයස අවුරුදු 19 ක තරුණයෙක් බවත්, හිතවත්කම මත මෙම ඝාතනයට සහාය දක්වා ඇති බවත් ඔහුගේ පාපොච්චාරණවලින් හෙළිව ඇතැයි පොලිස් විමර්ශකයින් සඳහන් කරනවා.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
ඊට අමතරව වෙඩික්කරුගේ බිරිඳ කැකිරාවේදී වෙඩික්කරුටත් යතුරුපැදිකරුටත් වෙඩික්කරුගේ බිරිඳටත් රැකවරණය දුන් කැකිරාවේ පදිංචිකරුවෙක් වන ‘වඩේ වෙළෙන්දා’ත්, බොරැල්ල මෙත්සර උයන නිවාස සංකීර්ණයේ සහ හල්ගහ කුඹුර ප්‍රදේශවල පදිංචි මත්කුඩු ලෝලීන් දෙදෙනෙකු (2) ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර සිටින පැදිකරු ගාල්ල හල්පේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු වයස අවුරුදු 19 ක අයෙක්. මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී සිටින ඔහු මෙම ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ වෙඩික්කරු සමග ඇති හිතවත්කම මත බවට ඔහුගේ පාපොච්චාරණයෙන් හෙළිව ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයා ඝාතනය කිරීමට ගිය වෙඩික්කරු කැකිරාවේ සිට බස් රථයකින් මහරගමත් නාවින්නත් අතර පිහිටි දුරකථන අළෙවිසලකට ගොස් තිබූ බවට ද මේ වන විට කරුණු හෙළිව තිබෙනවා.
ඔහු සතුව තිබූ අලුත්ම ජංගම දුරකතනයට ‘පවර් බෑන්ක්’ එකක් සහ ‘ඩේටා කේබල්’ එකක් ගැනීම සඳහා මොහු එම දුරකතන අළෙවිසලට ගොස් තිබූ බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
‘පවර් බෑන්ක්’ එකක අවශ්‍යතාවය ඔහුට පැන නැගී ඇත්තේ පලායමින් සිටි ඔහුගේ ජංගම දුරකථනයෙන් නිතර බැටරි බැසීම හේතුවෙන් බවත් නිතර නිතර ඩුබායි සිට ඔහුට ඇමතුම් පැමිණීමේදී දුරකතනය සක්‍රීයව තිබිය යුතු නිසා බවත් ඔහු සඳහන් කර තිබුණා.
වෙඩික්කරු කැකිරාවේ සිට පිටකොටුවට පැමිණි අවස්ථාවේදී පවා සිය ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට සිදුව තිබුණේ පිටකොටුවේ කොමියුනිකේෂන් එකකට රුපියල් විස්සක් ලබාදෙමින් බවට ඔහු ප්‍රකාශ කළ බවට වාර්තා වුණා.
එම ස්ථානය විනාඩි විස්සක – තිහක (20-30) පමණ කාලයක් ඔහුට රැඳී සිටීමට සිදුව ඇති අතර, අනතුරුව ඔහු බොරැල්ල සහස්පුර මෙත්සර උයන නිවාස සංකීර්ණයට ගොස් හෙරොයින් පානය කිරීමෙන් අනතුරුව ද නැවතත් සිය ජංගම දුරකථනය ආරෝපණය කර ඇත.
වැලිගම සභාපති ඝාතනය කිරීමට මුල් වූ හේතුව තවමත් පැහැදිළිව විමර්ශනවලින් අනාවරණය වී නැත.
එබැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සඳහා මෙතෙක් දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ පැවැති විමර්ශන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරීමට පොලිස්පතිවරයා අද (29) පියවර ගත්තා ෴
+++
වැලිගම වෙඩික්කරුගේ පෙර වැරදි සොයා විමර්ශන
(29.10.2025 – hirunews.lk)
‘වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර’ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුට ඇති වෙනත් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
මේ අතර පැය 72 ක රැදවුම් නියෝග ලබා සිටින සැකකරුවන් 06 දෙනාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීමේ හමුවේ තවත් කරුණු රැසක් ආනාවරණ වී තිබුණා.
ඒ අනුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සිදුවීමට අදාළ වෙඩික්කරු සහ ඝාතනයට පැමිණි යතුරුපැදිකරු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් වන අතර මොවුන් වැලිගම සභාපතිවරයා ඝාතනය සිදු කිරීමෙන් දින දෙකකට පසු මහියංගණය ආශ්‍රිත ප්‍රදේශයක රැදීසිටි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර වෙඩික්කරු පොලිසිය හමුවේ පාචේචාරණය කර තිබුණේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම රුපියල් ලක්ෂ 20 ක කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවයි.
අදාළ කොන්ත්‍රාත්තුව ‘ඩුබායි ලොක්කා’ නමැත්තකු විසින් ලබාදී ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
‘කොග්ගල වෙල්ලාලගේ චතුර කුමාර’ හෙවත් ‘ඩුබායි ලොක්කා’ දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මිදිගම රුවන්’ සහ ‘රොටුඹ අමිල’ යන අයගේ සමීපතමයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවිය, ‘ඩුබායි ලොක්කා’ගෙන් ලැබුණු උපදෙස් මත වෙනත් පාර්ශවයක් වෙත ලබාදුන් බව අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.
වෙඩි තැබීම සිදුකර යතුරුපැදියෙන් පලායන අවස්ථාවේදී තවත් යතුරුපැදියකින් පැමිණි පාර්ශවයක් විසින් එය ලබාගත් බවටයි ඔහු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම මෙම ඝාතනයට පෙර සහ පසු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට (2) ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ලේදී අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථ රියදුරු සහ සැකකරුවන්ට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනා (2) හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ (28) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴
කුලියාපිටියේ රැඳවියා සරමෙන් ගෙල වැලලාගෙන මියයයි
(29.10.2025 – hirunews.lk)
කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (29) දහවල් ඇඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
සැකකරු ගෙල වැලලාගෙන තිබෙන බවට දැනගත් පසු ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණා.
නමුත්, ඒ වනවිටත් සැකකරු මියගොස් සිට තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇරෑපොල සිරිපැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම සැකකරුට එරෙහිව කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධ චෝදනා රැසක් එල්ලවී තිබූ බවට වර්තා වෙනවා.
ඒ අනුව එම සිද්ධි සම්බන්ධයෙන් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි සඳහන් වන්නේ.
සැකකරුගේ දේහය මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි ෴
පොලිස්පතිව පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂය කථානායකගෙන් ඉල්ලයි
(29.10.2025 – hirunews.lk)
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සඳහන් කර සිටියේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධ ගැටළු විසඳීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙස විපක්‍ෂය කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි ෴
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
(29.10.2025 – hirunews.lk)
හෝමාගම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් (2) පැති අවියකින් පහර දි ඇතැයි තලංගම පොලිසිය පවසනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ‘උප පොලිස් පරීක්ෂක කේ. ඒ. සුමිත් ජනක පෙරේරා’ යි.
ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත්ව සිටිනවා.
තලංගම පාසල් මාවතේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයා නිවස ආසන්නයේ මාර්ගයේ ඇති මල් ගසක ඊයේ (28) මල් කඩමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනකු (2) ගෙන් එක් පුද්ගලයකු යතුරු පැදියෙන් බැස පැමිණ ‘මොනවද බලන්නේ’ කියා පහරක් ගැසූ බවත් එම අවස්ථාවේදී පැමිණිලි කරුද එම පුද්ගලයාට පහරක් ගසා ඇතැයි පොලිසිය පවසනවා.
අනතුරුව පසු පැදිකරු විසින් ඔහුගේ දකුණු පැත්තේ ඉණ ප්‍රදේශයේ සඟවා තිබූ පැති අවියක් අතට ගෙන උප පොලිස් පරීක්ෂකවරයාගේ කොන්දට ගැසූ බවත් එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා බිම වැටි ඇති බවත් පැමිණිලිකරුට පහරදුන් පුද්ගලයන් යතුරුපැදියේ නැගී ගිය බවත් එහි අංකය නුදුටු බවත් ඔහු සිය පැමිණිල්ලේ දක්වා ඇතැයි පොලිස් නිලධාරියකුු පැවසුවා.
එම පහර දීමෙන් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයේ තුවාල සිදුවී ඇති අතර දකුණු පාදය හා අත රිදෙන බව පවසා ඇති අතර රෝහල් පොලිස් මුරපොළේ නිලධාරීන් අධිකරණ වෛද්‍ය පෝරමයක් උප පොලිස් පරීක්ෂකවරයා වෙත නිකුත් කර තිබුණා.
උප පොලිස් පරීක්ෂකවරයා කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සීසීටීඊ දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරන බව තලංගම පොලිසියෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී පැවසුවා.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධගේ උපදෙස් මත විමර්ශන කටයුතු සිදු කෙරේ ෴
හෝමාගම සභාපතිට ‘හඳයා’ ගෙන් මරණීය තර්ජන
(29.10.2025 – hirunews.lk)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ‘ජාතික ජන බලවේගයයේ’ කසුන් රත්නායකට ‘හඳයා’ ලෙස හැඳින්වූ අයකු මරණීය තර්ජනය කළ බව පවසමින් ඔහු හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
සභාපතිවරයා ඉකුත් 27 වැනි දින ඔහුගේ කාර්යාලයේදී ‘මහජන දිනය’ පවත්වමින් සිටියදී දහවල් 12:33 ට පමණ කාර්යාලයේ ජංගම දුරකථන අංකයට එම ඇමතුම ලැබී ඇතැයි වාර්තා වෙනවා.
‘හඳයා’ ලෙස හැඳින්වූ පුද්ගලයා “උඹ දන්නවනේ සනාට වෙච්ච දේ ” යැයි පවසමින් සභාපතිවරයාට මරණීය තර්ජනය කර ඇතැයි ඔහු ඉකුත් 28 වෙනිදින පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්.
ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා ගෙන් මෙන්ම සභාවේ ලේකම්වරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසනවා.
අදාල තර්ජනාත්මක ඇමතුම සාමාන්‍ය දුරකථන ඇමතුමකින් ලබාගෙන ඇති බවට මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාල තර්ජනාත්මක ඇමතුම මෙරට රැඳී සිටි පුද්ගලයෙකුගෙන් වැරදීමකින් පැමිණෙන්නට ඇතැයි බොහෝදුරට සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
කෙසේ වෙතත් අධිකරණයට කරුණු වාර්තා කර දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා වැඩිදුර විමර්ශන කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
හෝමාගම මූලස්ථාන පොලිසිය විමර්ශන සිදුකරනවා ෴
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
(29.10.2025 – hirunews.lk)
මහියංගනය රජ මහා විහාරස්ථානයේ පොලිස් මුරපොලේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක්, රාත්‍රී කාලයේදී තම රාජකාරී ස්ථානය අතහැර ගොස් සිටියදී විහාරස්ථානයේ පිං කැටයක් කඩා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.
එම බරපතළ විෂමාචාරය හේතුවෙන් අදාළ නිලධාරියා ඊයේ (28) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබෙනවා.
මහියංගනය පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි මෙම නිලධාරියා, 2025 ඔක්තෝබර් මස 27 වන දින සවස 06:00 සිට පසු දින උදෑසන 06:00 දක්වා විහාරස්ථානයේ චෛත්‍ය මළුව හා ඒ අවට රාජකාරි සඳහා යොදවා තිබෙනවා.
කෙසේ වෙතත්, එම රාජකාරී කාලය අතරතුර, එනම් පාන්දර 03:30 ත් 04:30 ත් අතර කාලයේදී විහාරස්ථානයේ පිං කැටයක් කඩා එහි තිබූ මුදල් සොරකම් කර ඇති බවට විහාරස්ථානයේ භාරකාර හිමියන් විසින් මහියංගනය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. (CCTV) කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ සොරකම සිදුවූ වේලාවට පෙර සිටම, අදාළ නිලධාරියා තම රාජකාරි ස්ථානය සම්පූර්ණයෙන්ම අතහැර දමා වෙනත් ස්ථානයක රැඳී සිට ඇති බවයි.
නිලධාරියාගේ මෙම වගකීම් විරහිත විෂමාචාර ක්‍රියාව හේතුවෙන්, ඊයේ (28) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු වහාම වැඩ තහනමකට ලක් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය විසින් මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, අදාළ නිලධාරියාට එරෙහිව පවතින රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට අමතරව, සොරකමට කිසියම් සම්බන්ධයක් ඇත්දැයි යන්න පිළිබඳවද විමර්ශන සිදුවන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා ෴
ගල්කිස්ස උසාවියේ නඩු බඩු කාමරයෙන් ගිනි අවියක් ඉස්සූ රැඳවියා මාට්ටු
(29.10.2025 – hirunews.lk)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා යොදවා සිටි රැඳවියන් තිදෙනකු (3) ගෙන් අයෙක් එහි තිබූ ගිනි අවියක් සොරකම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවා.
එම රැඳවියා වැලිකඩ සිරගෙදර සිරදඩුවම් විඳින රැඳවියකු වන අතර, ගල්කිස්ස අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය ශුද්ධ කිරීමෙන් අනතුරුව මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සොරාගෙන බන්ධනාගාර බස් රථයට ගොඩවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මෙම රැඳවියා එම ගිනි අවිය බෑගයක බහා බන්ධනාගාර බස් රථයේ අසුනක් යට තබා ඇති බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ සෝදිසියේදී එය හසුව ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඒ අනුව මෙම රැඳවියා සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගනු ලබන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
+++
+
විහාරමහාදේවි උද්‍යානයේ පෝනි සවාරියක දී 6 හැවිරිදි දැරියකට අතවරයක්
(29.10.2025 – hirunews.lk)
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පෝනියකු පිට නැංවූ හය (6) හැවිරිදි දැරියක අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් ලිංගික අතවර සිදු කළ බව කියන කොළඹ මහ නගර සභාවේ සේවකයකු කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය පෝනියා පිට නංවාගෙන යන අතරතුර සැකකාර සේවකයා විසින් මෙම අතවරය සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
සිද්ධිය වී ඇත්තේ දැරිය සහ ඇගේ දෙමාපියන් මෙම මස 26 වැනිදා විහාරමහාදේවි උද්‍යානය වෙත පැමිණි අවස්ථාවේදී යි.
එදින රාත්‍රී 7 ට පමණ උද්‍යානයේ කුඩා ක්‍රීඩා පිටියේ දී දැරිය සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය පෝනියාගේ පිට මත නැගී ගොස් ඇති බවත්, පිට්ටනිය වටා රවුම් දෙකක් (2) ගිය පසු වැඩිමහල් සොයුරිය බිමට බස්සවා බාල දැරිය රැගෙන සැකකරු යළිත් පිට්ටනිය වටා ගොස් ඇති බවත් පැවසෙනවා.
එහි දී දැරියගේ පියාට ඇති වූ සැකයක් මත පරීක්ෂා කරද්දී දැරියගේ යම් වෙනසක් දැනී ඒ සම්බන්ධ යෙන් විමසීමේදී තමාට සිදු වූ අතවරය පිළිබඳව ඇය පවසා තිබෙනවා.
පසුව දැරියගේ පියා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ලද පැමිණිල්ල අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ කුරුඳුවත්ත පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (28) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම හමුවට ඉදිරිපත් කර තිබුණා.
එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප 2 ක් මත මුදාහරින ලෙස නියම කරනු ලැබුවා.
තවද, ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරුදින කුරුඳුවත්ත පොලිසිය වෙත වාර්තා කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියම කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴