පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල් වීරවංශ ගෙන් චෝදනා

පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල් වීරවංශ ගෙන් චෝදනා


පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල් වීරවංශ ගෙන් චෝදනා

(29.10.2025 – hirunews.lk)

වත්මන් රජය පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා දෙක උවමනාවෙන්ම උපක්‍රමිකව පාඩු ලබන තත්ත්වයකට පත්කර ඉන්දියානු සමාගමකට කුණුකොල්ලෙට විකිණීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (29) බත්තරමුල්ල සිය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ :

පැලවත්ත සීනි සමාගමට අයත් සේවකයන් විසින්ම වගා කරන හෙක්ටයාර 47 ක කොටසක් පසුගිය සැප්තැම්බර් 30 දා ගින්නකින් විනාශ වුණා.

මෙම ගින්නෙන් මෙට්‍රික් ටොන් 3,000 ක උක් නිෂ්පාදනය පිළිස්සුණා.

කර්මාන්ත විශේෂඥයන්ට අනුව, ගින්නෙන් පැය 72 ක් ඇතුළත එම උක් කපා ඇඹරීමෙන් හානිය අවම කළ හැකිව තිබුණා.

නමුත් සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය එම ක්‍රියාමාර්ගයට බාධා කළ බව බවත් එමඟින් සිදුවූ පාඩුව රුපියල් මිලියන 111.2 ක බවත් මෙම සාකච්ඡාවේදී හෙළි වුණා.

මේ ආකාරයටම සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වගා බිම් කඩක් ගින්නට හසුවී විනාශ වූ අතර එයින්ද රුපියල් මිලියන 360.62 ක පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දුන් විමල් වීරවංශ මෙම ආයතන දෙකෙන්ම සිදුව ඇති මුළු පාඩුව රු. මිලියන 641.81 බව පෙන්වා දුන්නා.

සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේදී ශාලා දෙකේ (2) වාර්ෂික නඩත්තු කටයුතු සිදුකරනු ලබන පෙබරවාරි මාසයේදී නැවත වැඩ ආරම්භ කෙරෙනවා.

නමුත් මේ වන විට යන්ත්‍රෝපකරණ සඳහා අමතර කොටස් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැහැ.

එමගින් ශාලා දෙක (2) ලබන පෙබරවාරි මාසයේදී වැඩ ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බවත්, එමගින් තවදුරටත් පාඩු වැඩිකර ආයතන ඉන්දියානු සමාගමකට විකිණීමට පරිසරය සකස් කරමින් සිටින බවටත් චෝදනා කෙරෙනවා.

පාඩුව තක්සේරු කළ විශේෂඥ නිලධාරීන්ට දඬුවම් ලබා දෙමින්ද රජයේ ජේ.වී.පී. වෘත්තීය සමිති නායකයාට මාසිකව රු. ලක්ෂයකට අධික ඕ.ටී. මුදල් ගෙවීම මගින් වෘත්තීය සමිතිය ‘හීලෑ’ කර තබාගෙන සිටින බවටද චෝදනා එල්ල වුණා.

පර්යේෂණ නිලධාරීන්ගේ වෛද්‍ය දීමනා නතර කර තිබියදී මෙම ඕ.ටී. ගෙවීම සිදුකර ඇති බවත් විමල් වීරවංශ පෙන්වා දුන්නා.

උක් ගොවීන්ගේ ආර්ථික සම්පත වන මෙම ආයතන ආරක්ෂා කිරීම සඳහා ජා.නි.පෙ. වෘත්තීය සමිති ගොවි සංවිධාන සහ දේශපාලන නායකත්වය සූදානම් බව ද විමල් වීරවංශ වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළා.

+++

+


කොට්ටහච්චිගේ නීතිඥ සහතිකය ප්‍රසිද්ධ කළ යුතුයි – උදය ගම්මන්පිල

(29.10.2025 – hirunews.lk)

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය අධිකරණයට අපහාස කර තිබෙන නිසා ඇය නීතිඥවරියක් දැයි යම් සැකයක් මතුවන බවත් එම නිසා ඇයගේ නීතිඥ සහතිකය ප්‍රසිද්ධ කරන ලෙසට ඇයට තමා ප්‍රකාශ කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.

අද (29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල :

“විපක්ෂය එකතු වෙන්නේ නීතියේ රැහැනෙන් ගැලවෙන්නයි කියා ‘උගන්ඩා කුමාරි’ ලෙස සුප්‍රකට නීතිඥ ‘නිලන්ති කොට්ටහච්චි’ මන්ත්‍රිවරිය ඊයේ (28) ප්‍රකාශයක් කරනවා අපි මාධ්‍යවලින් දැක්කා.

නීතියේ රැහැන ලෙස සාහිත්‍යමය ලෙස ප්‍රකාශ කරන්නේ මිනිසුන් නීතියට ගැටගසන මිනිසුන් හික්මවන නීතියේ ආධිපත්‍යයටයි.

නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය. යම් පුද්ගලයෙකු නීතියේ රැහැනෙන් ගැලවෙනවා කියන්නේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය කටයුතු කරන්නේ නෑ කියන එකයි.

විපක්ෂය සමගි වෙලා විපක්ෂයේ බලය පෙන්නුවාම අධිකරණය බියට පත්වෙලා අධිකරණය විසින් විපක්ෂයේ දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. කියන එකයි නිලන්ති මන්ත්‍රිවරිය කියන්නේ.

මේක සෘජුවම අධිකරණයට කරන ලද අපහසයක්. නැතිනම් ඒ ක්‍රමය හැරුණු විට නීතියේ රැහැනෙන් ගැලවෙන්න විපක්ෂයට හැකියාවක් නෑනේ.

විපක්ෂය සමගිය – බලය පෙන්නුවාම අධිකරණය බියට පත් වෙනවා කියන්නේ අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමක්.

අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය විනාශ කිරීමක්. 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත අමු අමුවේම උල්ලංඝණය කිරීමක්.

ඒ පනතේ 3 වන වගන්තිය අනුව අධිකරණ ආයතනයක් අගෞරවයකට හෝ අවතක්සේරුවකට ලක් කිරීම අධිකරණයකට අපහාස කිරීමක් වෙනවා.

ඒක වසර පහක (5) සිර දඬුවමක් ලැබිය හැකි වරදක්.

උගන්ඩාවේ සඟවා තිබෙන ඩොලර් ගේනවා කිව්වා වගේ මේක නිලන්ති මන්ත්‍රීවරියගේ තවත් එක් ‘ටොම් පචයක්’ කියලා මේක මග හරින්න බෑ.

අධිකරණයේ නිලධාරියෙකු ලෙස සැළකෙන නීතිඥවරියක් විසින් මේ ප්‍රකාශය කළාම සාමාන්‍ය පුද්ගලයෙකු කරනවාටත් වඩා බරපතල අපහාසයක් අධිකරණයට වෙනවා.

මොකද අධිකරණයේ නිලධාරියෙක් විදියට නීතිඥයෙක් සලකන නිසා අධිකරණ අභ්‍යන්තර ක්‍රියාදාම කරන අධිකරණය ගැන හොඳින්ම දන්නා කෙනෙක් විදියටයි නීතිඥයාව සමාජය සලකන්නේ.

නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අධිකරණයට අපහාස කිරීම පිළිබඳ දඬුවම් කිරීමේ දී ඔහු නීතිඥයෙකු වීම ගැන අධිකරණයේ විශේෂ අවධානය යොමු වුණා.

එහෙව් නීතිඥ කොට්ටහච්චි තමයි විපක්ෂය සමගි වුණොත් එයින් බියට පත්වෙලා විපක්ෂයේ අයට නීතිය ක්‍රියාත්මක වන එකක් නෑ කියන අදහස සමාජගත කරන්න උත්සහා කරන්නේ.

මේ පසුබිම යටතේ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රිවරියට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු පැවරීම වැලැක්වීමට නම් තමන් ඒ ප්‍රකාශයෙන් ඇත්තටම අදහස් කළ දේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න මන්ත්‍රිවරියට සිදුවෙනවා.

මොකද අධිකරණයට අපහාස කිරීමට වැඩියෙන්ම කටයුතු කරන්නේ නීතිඥ මන්ත්‍රිතුමියන්ලා.

මීට සති දෙකකට (2) පෙර නීතිඥ ලක්මාලි මන්ත්‍රිවරියත් ‘අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා’ කියලා ජනතාවට උපදෙස් දීම හරහා අධිකරණයට බරපතල අපහාසයක් කළා.

දැන් නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිවරිය ‘විපක්ෂය සමගි වුණොත් අධිකරණය ඒ අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නරන්නේ නෑ’ යනුවෙන් ඇගවෙන ප්‍රකාශයක් කරමින් අධිකරණයට අපහාස කළා.

ඒ නිසා අධිකරණයේ ගෞරවය තවදුරටත් කෙළසන්න මාලිමා නීතිඥ මන්ත්‍රිවරියන්ට ඉඩ දෙන්න බෑ.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති විද්‍යාලයේ දී විශේෂයෙන්ම උගන්වනවා.

‘ඒ මූලික ඉගැන්වීම ගැනවත් දන්නේ නෑ’ කියන්නේ ‘නිලන්ති මන්ත්‍රිවරිය නීතිඥයෙකු යි’ කියන එක ගැනත් සැකයක් ඇති වෙනවා.

අපිට මතකයි පසුගිය කාලයේ මාලිමා අපේක්ෂකයින් විශාල ගණනක් මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට නැති හොර ආචාර්යලා, ඉංජිනේරුවෝ, විශේෂඥ වෛද්‍යවරු, ජනාධිපති නීතිඥවරු යනාදි නැති සුදුසුකම් උලුප්පා දක්වමින් මැතිවරණයේ හිටියා කියලා පස්සේ හෙළි වුණානෙ.

හොඳම උදාහරණය අසෝක රන්වල මහතා.

මේ රටේ ගෞරවනීය තුන්වන (3) පුරවැසියා වන කථානායක තනතුරට මාලිමාව පත් කළේ පිළිගත නොහැකි ආචාර්ය උපාධියක් තිබුණු අසෝක රන්වල මහත්තයානෙ.

කවුද දන්නේ ‘නිලන්ති කොට්ටහච්චි’ කියන්නේ ‘අසෝක රන්වලගේ කාන්තා වේශයක්’ නෙවෙයි කියලා.

මේ රටට දැනගන්න නම් එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න නම් මන්ත්‍රීවරියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නීතිඥ සහතිකය වහාම සමාජ මාධ්‍යවලට එක් කරලා ‘තමා තවත් අසෝක රන්වල කෙනෙකු නොවේ’ කියා ඔප්පු කරන්න කියා අපි නිලන්ති මන්ත්‍රිවරියට දැනුම් දෙනවා.

+++

+++

නිලන්ති කොට්ටහච්චි

+


පොලිස්පතිගෙන් SDIG කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්

(29.10.2025 – hirunews.lk)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබෙනවා.

ඒ, තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපි ගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බවට වූ අනාවරණයක් මත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ සැකකාර නීතිඥවරියට රැඳවුම් නියෝග

(29.10.2025 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ල සංජීව’ නමැති අය ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නීතිඥවරිය පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නිතීවේදී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

මෙම සැකකාර නීතිඥවරිය අදාල ඝාතනයේ වෙඩික්කරුට නීතිඥවරයකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළුවීම සඳහා අවශ්‍ය දෑ සම්පාදනය කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අනුව, සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ට සහ වෙඩික්කරුට අධිකරණ ශාලාවට ඇතුළුවීම සඳහා නීතිඥවරුන් පළඳින ටයි පටි 02 ක්, රිවෝල්වරය රහසිගතව සඟවා ගෙන යාමට ‘අපරාධ නඩු විධාන සංග්‍රහය’ ඇතුළු අණපනත් සහිත පොත් දෙකක් (02), නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශණය කිරීමට භාවිත කරනු ලබන අවසර පත්‍රයක් ආදිය මෙම සැකකාර නීතිඥවරිය සැකකරුවන්ට ලබාදී තිබූ බවට කරුණු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

එමෙන්ම, නීතීඥ සංගමය මඟින් නිකුත් කළ නීතිඥ හැඳුනුම්පතක් ද සැකකාරිය මෙම අපරාධය සඳහා භාවිත කිරීමට සැකකාරියට ලබාදී දී තිබූ බවටද හෙළිවූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 55 ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක බවද පොලිසිය පවසනවා.

කොළඹ අලුත් ‍කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා නීතිඥවරයකු ලෙස පෙනී සිටි සැකකරුවෙක් විසින් අධිකරණ ශාලාවට ඇතුලු වී එම අධිකරණයේ නඩුවක් සඳහා බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කර සිටි ‘සංජීව කුමාර සමරරත්න’ නොහොත් ‘ගණේමුල්ල සංජීව’ නමැති අයට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මෙම සිද්ධියට අදාළ සැකකරු සහ සැකකාරිය මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනවා.

මෙම ඝාතනය පොලිස් අත්අඩංගුවේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා සම්බන්ධව සිදුකරන ලද්දක් බවට කරුණු හෙළිව ඇතැයි මේ වන විට විමර්ශකයින් තොරතුරු සොයාගෙන තිබුණා.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා’ නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සැකකරු විසින් සිදු කර ඇති සංවිධානාත්මක අපරාධ, නීති විරෝධී ගිනි අවි රැස් කිරීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර ගෙන යනු ලබන බවද පොලිස් මුලස්ථානය සඳහන් කරනවා ෴

+++

‘ජැෆ්නා බායි’ ‘සෙව්වන්දි’ව ලස්සනට පාවාලා දෙයි – ‘සෙව්වන්දි’ ඇතුළු පාතාල සෙට් එක ඇල්ලූ ත්‍රාසජනක මෙහෙයුම (29.10.2025)

+


ශ්‍රී ලංකන් ගුවන් යානයකදී කාර්ය මණ්ඩලයට පහරදුන් මගියෙකු අත්අඩංගුවට

(29.10.2025 – hirunews.lk)

රියාද් සිට කොළඹ බලා පැමිණි UL266 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකදී, ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශන අනුව, යානය ගොඩබැස්සවීමෙන් පසුවයි සැකකාර 28 හැවිරිදි සෞදි අරාබි ජාතික තරුණය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ගොඩබැස්සවීමට සූදානම් වෙමින් තිබූ අවස්ථාවේදී, සියලු මගීන් ආසන පටි පැළඳ අසුන් ගෙන සිටීම අනිවාර්යවන ආරක්ෂක රෙගුලාසි කඩ කරමින් සැකකරු වැසිකිළිය වෙත යාමට උත්සාහ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම අවස්ථාවේදී ගුවන් කාර්ය මණ්ඩලය මැදිහත් වී ඇති අතර, එහිදී මගියා ආක්‍රමණශීලී වී ඔවුන් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

මෙම ගැටුම වෙනත් මගීන් විසින් සිය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර ඇති අතර, එම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ගුවන් තොටුපළ පොලිසිය තහවුරු කළේ, අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි ෴


රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් වේගයත් සමග පාලනය කර ගැනීමට නොහැකිව මාලඹේ, අරංගල මගුරුඇළට පෙරලීයෑමෙන් අද(29) උදෑසන සිදුවූ අනතුරක් එහි ගමන්කල දෙදෙනෙකු (2) තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කෙරුනා :

+


මිහින්තලේ හිමි වහාම මාධ්‍ය කැඳවයි – මේ ජෙප්පො ඔක්කෝම ත්‍රස්තවාදියෝ (29.10.2025)

+


අපි බෞද්ධයෝ බොලව් ! – බාල තුප්පහි වැඩ කරන්න එපා ! – ගලිගමුවේ ඥානදිප හාමුදුරුවන්ට අපහාස කරන්න එපා ! (29.10.2025)

+


රනිල්ගේ නඩුව කොටුව උසාවියේ යද්දී – පොහොට්ටුවේ සංජීව වහාම මාධ්‍ය කැඳවයි (29.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *