17. ලක්‍ෂ 5 ක් ණයට අරන් නොදුන්න නිසා ප්‍රේතයකු ඇවිත් කරපු කරදර

01.05.2015

මිනිස්සු තමන්ගේ වුවමනා පිරිමසා ගන්නට අතමිට හිඟ වූ විට අනුන්ගෙන් ණය තුරුස් ඉල්ලා ගනිති. මුදල් හිමියාට නොවඳිනා වැඳුම් වැඳ දහසක් පොරොන්දු දී ණය ඉල්ලා ගනිති. ඒ මුදලින් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගනිති. ඉන් පසුව ඒ ණය සඳහා මාස්පතා පොලිය ගෙවන්නේ කැමැත්තකින් නොවේ. මුදල් හිමියා දැකීමත් අප්‍රිය දර්ශනයක් වෙයි. ඒ මිනිසුන්ගේ හැටියකි. ගත් ණය ආපසු දීම මහත් කරදරයක් සේ සලකති. එදා දහසක් පොරොන්දු දී අරගත් මුදල නොගෙවා අතැර හරින්නට ඇත්නම් යැයි සිතති. ගත් ණය ආපසු නොගෙවූ අය මරණයෙන් පසු බල්ලන්, හරකුන් වී ඉපිද ආත්ම සිය දහස් ගණන් ණය ගෙවති.

බන්දුමතී ගම්පහ ප්‍රදේශයේ පනස් අට හැවිරිදි ගෘහණියකි. ඇගේ සැමියා තිලකසිරි රජයේ නිලධාරියෙකි. ඔවුන්ගේ නිවෙසේ රාත්‍රියට සද්ද බද්ද ඇහෙන්නට විය. පවුලේ අය හීනෙන් බියට පත්ව කෑගසාගෙන අවදි වූහ. නිවෙසේ අඳුරු තැන්වල ඡායාවක් එහා මෙහා ගමන් කරන අයුරු පෙනෙන්නට විය. නිවෙසේ ආහාරපාන ඉක්මනින් නරක් වී ආහාරයට නුසුදුසු තත්ත්වයට හැරෙයි. තිලකසිරි ගමටම බලපුළුවන්කාරයා ලෙස හැසිරුණත් වචනය වැරැදුණොත් ඔහුගේම දරුවන් කෝපාවිෂ්ටව ඔහුට පහර දෙන තත්ත්වයක් උදා විය.

ගෙදර පවතින අමනුෂ්‍ය දෝෂවලින් මිදෙන්නට ශාන්ති කර්ම ගණනාවක් සිදු කළත් සතියකට දෙකකට වඩා නිවී හැනහිල්ලේ ඉන්නට නොහැකි විය. යළිත් පෙර පරිදිම දුක්ගැහැට හඹා එන්නට විය.

තිලකසිරි තමන්ටත් පවුලේ අයටත් උදා වී ඇති තත්ත්වය තම ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. මව්බිම පාඨකයකු වූ එක් නිලධාරියෙක් පත්‍රයේ පළ වන “මළවුන්ගේ හෝරාව” විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු තිලකසිරිට කීවේය. දිනක් තිලකසිරි බන්දුමතී කැටුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියේය. එහිදී ආධ්‍යාත්මීය ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තම පවුලට එළැඹ ඇති දුක් කරදර විස්තර කළේය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට බන්දුමතී ප්‍රලය වූවාය. හූ කියා කෑගසන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ කෑගහන්නේ?”
“මම පියදාස”
“කවුද මේ පියදාස කියන්නේ?”
“මම මුන්ගෙ ගමේ කෙනෙක්. දුක් මහන්සිවෙලා ගොවිතැන් කර හරි හම්බ කරපු කෙනෙක්.”
“ඇයි ඉතින් මේ අයට කරදර කරන්නේ?”
“මුන්ට කරදර කරලා මදි මහත්තයෝ. මුන්ව මරාගෙන කන්න ඕනෑ. මට කරපු අසාධාරණයට.”
“මොකක්ද මේ අය තමුන්ට කරපු අසාධාරණය?”
“මුන් මගෙන් සල්ලි ගත්තා. ඒ ගත්ත සල්ලි ආපහු දෙන්නෙත් නෑ. පොලිය දෙන්නෙත් නෑ.”
“තමුන් මොකටද සල්ලි දුන්නේ?”
“මම මූව විශ්වාස කළා. මුගෙ තනතුරට ගරු කළා. ඒ විශ්වාසය උඩ තමයි දුන්නේ. මම මළාට පස්සෙ මුන් මඟඇරියා.”
“ඉතින් තමුන්ට දැන් මුදල්වලින් වැඩක් නැහැනෙ. තමුන්ට මුදල් ගන්නත් බැහැනෙ?”
“මොකක්ද මහත්තයා ඒ කතාව? ඇයි මගේ නෝනා ඉන්නේ. ඒ ගෑනිගෙ අතට දෙන්න පුළුවන්නෙ. මම දුක් මහන්සි වෙලා ගොවිතැන් කරලා උපයපු සල්ලි. මගේ දරුවන්ගෙ ප්‍රයෝජනයට දෙන්න ඕනෑනෙ”
“ඔය මුදල කීයක්ද?”
“ලක්ෂ පහක් මහත්තයා. ලක්ෂ පහක් ස්වල්පයක් නොවෙයි.”

භූතාත්මය බන්දුමතීගේ ශරීරයෙන් ඉවත් කොට ඔවුන්ට කරුණු පැහැදිලි කළේය.
“මේ භූතාත්මය, පියදාසගේ ප්‍රාණකාරයා කියන කතාව ඇත්ත නම් ඔය ගොල්ලන්ගෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. ගත් ණය ආපසු දෙන එක යුතුකමක්. ඒ අසාධාරණයට විරුද්ධවයි භූතාත්මය කරදර හිරිහැර කරන්නේ? කරුණාකර ඒ සාධාරණය ඉෂ්ට කරන්න. ගත්ත ණයත් පොලියත් පියදාසගෙ බිරියට දෙන්න. මෙතැන තියෙන්නේ සාධාරණය අසාධාරණය අතර ප්‍රශ්නයක් යැයි
ගවේෂකවරයා පැවසීය.

“මේ මහත්තයා අපි ආවේ මහත්තයාගෙන් බණ අහන්න නොවෙයි. මේ භූත දෝෂය ඉවත් කර ගන්න” යැයි තිලකසිරි නිලධාරි මානයෙන්ම පැවැසීය.
“ඇයි එහෙම කියන්නේ?” ගවේෂකවරයා ඇසීය.
“සල්ලි ගෙවන එක නොගෙවන එක අපේ වැඩක්. ඒක මහත්තයාට අදාළ නැහැ.” තිලකසිරි නැවතත් කීවේය.
“මේ……. තමුන්ගේ ලොකුකම් තමුන්ට. මට තමුනුත් එකයි. අර අසරණ භූතයත් එකයි. මම කාටවත් අසාධාරණ වැඩ කරන්නේ නෑ. මම මේ ප්‍රතිකර්ම සේවය කරන්නේ හම්බ කරන බිස්නස් එකකට නොවෙයි. අමනුෂ්‍යයාට වුණත් සාධාරණයක් ඉටු කරන්න ඕනෑ. බැරි නම් කරුණාකර පඬුරුත් අරගෙන යන්නැ”යි නාගොඩවිතාන මහතා කීවේය.

තිලකසිරි ගස්සාගෙන නැඟිට “අපි යමු යන්නැ”යි අමනාප වී යන්නට ගියේය. බන්දුමතීද බිම බලාගෙන සැමියා පසුපසින් ගියාය.
මෙසේ මාස හයක් පමණ ගෙවී ගියේය. දිනක් බන්දුමතී සිය වැඩිමහල් පුතා සමඟ නැවත අඬාගෙන ආවාය.

අනේ මහත්තයා අපේ කරදර වැඩි වුණා. මහත්තයා එක්තැන් වුණා. වකුගඩු ඉදිමිලා. වකුගඩු බද්ධ කරන්න ඕනෑයි රෝහල්වලින් කියනවා. තොවිල්වලටත් ලක්ෂ දෙක තුනක් ගියා. අනේ අපට පිහිට වෙන්න මහත්තයා. එදා අපේ මහත්තයා මොනවා කිව්වත් අසරණ අපට අනුකම්පා කර සමාවෙලා පිහිටවෙන්නැ”යි කීවාය.

“පියදාසගෙන් ගත්ත මුදලයි පොලියයි ගෙව්වද?” ගවේෂකවරයා ඇසීය.
“අනේ නැහැ මහත්තයා.”
“අපි මනුෂ්‍යයන්ට වගේම අමනුෂ්‍යයන්ටත් සාධාරණ වෙන්න ඕනෑ. ඒ ණය මුදලයි පොලියයි ගෙවලා එන්න. එතකම් බෝධිපූජා පවත්වලා මහත්තයාට සෙත් පතන්නැයි” ගවේෂකවරයා කීවේය.
“ලක්ෂ පහක ණයක් ගෙවන්නට දැනට මුදල් නැතැ”යි බන්දුමතී කීවාය.
“කරන්න දෙයක් නෑ ඔයගොල්ලො පුළුවන් කාලෙ ගෙව්වේ නෑ. එහෙම ගෙව්වා නම් ලක්ෂ ගණන් තොවිල්වලට වියදම් කරන්න වෙන්නේ නෑ. කොහොම හරි සාධාරණය ඉෂ්ට වෙන තුරු භූතයාගේ පළිගැනීම නතර වෙන්නේ නෑ. තියෙන දේපළක් විකුණලා හරි ණයත්, පොලියත් පියදාසගේ බිරියට ගෙවා ණයෙන් නිදහස් වන්නැයි කී ගවේෂක පඬුරුද ආපසු දුන්නේය.

ඔවුන් සතුව තිබූ ඉඩමක් විකුණා පියදාසගේ බිරිය සියලු මුදල ගෙවා ණයෙන් නිදහස්ව ඔවුහු ආපසු පැමිණියහ. ඒ වන විට ඇඳෙන් නැඟිටින්නට නොහැකිව සිටි තිලකසිරිද කිහිලිකරුවලින් පැමිණ සිටියේය. වකුගඩු බද්ධයක් අවශ්‍ය යැයි කී වෛද්‍යවරුන් දැන් වකුගඩු බද්ධයක් අවශ්‍ය නැතැයිද නිර්දේශ කර තිබිණි. තිලකසිරි පැමිණි හැටියේම නාගොඩවිතාන මහතාගෙන් සමාව ගත්තේය.

එදිනද ගවේෂකවරයා බන්දුමතී දිෂ්ටිගන්වා පියදාසගේ භූතාත්මය ගෙන්වීය.
“ආ……….. මහත්තයා මහත්තයාට පින් සිද්ධ වෙනවා. මුන් මගේ ගත්ත ණයයි පොලිය ආපසු මගේ නෝනාට ගෙව්වා”
“හොඳයි දැන් ඉතින් වරදට දඬුවම් කළා ඇති. මේ අයට හිරිහැර නොකර ඉවත් වෙලා යන්න”
“ඒත් මහත්තයා මුන් මගේ සල්ලි දෙන්නේ නෑ මහත්තයා නොහිටින්න. ඒ නිසා තව ටිකක් පළිගන්න ඕනෑ.”
“එහෙම කරන්න බෑ. මම තමුන්ට සාධාරණය ඉෂ්ට කළා. දැන් මම කියන දේ පිළිගන්න ඕනෑ. මේ අය කළ වැරැද්දට දුක්වින්දා. ඉඩමකුත් අහිමි වුණා. දැන් ඇති. කරුණාකර ඉවත්වෙලා යන්න ඕනෑ.”

“ම්………. ම්……… ම්……… යැයි භූතාත්මය අතෘප්තිකර බවක් දක්වද්දී ගවේෂකවරයා ශක්ති කිරණ මඟින් දවාලන්නට විය.
“එපා……… එපා……… මහත්තයා. මම යනවා. මම යනවා. මම ගමේ පන්සලේ බෝධිය ළඟට යනවා”යි කියා ඉවත්ව ගියේය.

තිලකසිරිටත්, බන්දුමතීටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා තිලකසිරි රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා දෙන්නැයි බන්දුමතීට උපදෙස් දුන්නේය.
අධික තණ්හාවට දුර්විපාක අනිවාර්ය වේ.

– මහින්ද විජේතිලක

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )