තෑගි දෙන බව කියා ජනතාවගේ බැංකු ගිණුම්වලට රිංගු ජාවාරම්කරුවන් ගැන CIDයෙන් අධිකරණයට වාර්තාවක්

තෑගි දෙන බව කියා ජනතාවගේ බැංකු ගිණුම්වලට රිංගු ජාවාරම්කරුවන් ගැන CIDයෙන් අධිකරණයට වාර්තාවක්


තෑගි දෙන බව කියා ජනතාවගේ බැංකු ගිණුම්වලට රිංගු ජාවාරම්කරුවන් ගැන CIDයෙන් අධිකරණයට වාර්තාවක්

(11.09.2025 – hirunews.lk)

අන්තර්ජාලය හරහා දුගී ජනතාවට උදව් කරන බව පවසමින් රු. මිලියන 12 ට අධික මුදල් සහ තෑගි ලබා දෙන බව පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනික ලෙස ලබා ගැනීමේ ජාවාරමක් මේ දිනවල බහුල වශයෙන් සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.

මේ දිනවල බහුල ලෙස අන්තර්ජාලය ඔස්සේ ත්‍යාග සහ මුදල් ලබා දෙන බව පවසමින් නයිජීරියානු කණ්ඩායමක් විසින් පවත්වාගෙන නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරමට ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව නොදැනුවත්කම නිසා හසු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශනය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වන නයිජීරියානු ජාතික ‘ක්‍රිස්ටෝප ඉකෙක්ටකානු’ 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සඳහා ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් පුද්ගලයන්ගේ සහයෝගතාවය යටතේ මෙම ජාවාරම සිදුවන බවත් එම පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

අන්තර්ජාලය හරහා දුගී ජනතාවට උදව් කරන බව පවසමින් තෑගි සහ මුදල් ලබා දෙන බවට පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරැණු දැක්වුවා.

මේ වන විට මෙම ජාවාරමට ලංකාවේ බොහෝ පිරිස් නොදැනුවත්කම මත හසු වී ඇති බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග කළා ෴


නාමල්ගේ විවාහයේ විදුලිබිල නොගෙවීම ගැන පෙත්සම විභාගයට ගැනීමට අවසර

(11.09.2025 – hirunews.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට (2) අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නා.

නීතිඥ විජිත කුමාර විසින් ගොනුකර තිබූ අතර එහි වග උත්තර කරුවන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇතුව පිරිසක් නම් කර තිබුණා.

මෙම පෙත්සම අද (11) අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධික විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සමකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බවයි.

අදාල විදුලි ගාස්තුව මේ වනවිට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් ම අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල විදුලි ගාස්තු මේ වනවිට ගෙවා අවසන් කර තිබෙන බව සදහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2 කට අධික මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුනත් ඔවුන් එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බවයි.

ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාල විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම් වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදු කරන බව පෙන්වාදෙන පෙත්සම්කරු එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අය කර ගැන ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කළා.

ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා ෴


‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලු‍තිනන් කර්නලයකු අල්ලයි

(11.09.2025 – hirunews.lk)

‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලු‍තිනන් කර්නලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මල්ලාවි යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අතර ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

‘කෙහෙල්බද්දර පද්මේ’ පසුගිය අගෝස්තු මස 28 වනදා ඉන්දුනිසියාවේදි අත්අඩංගුවට ගත්තේ ඉන්දුනිසියාවේ ආරක්ෂක අංශ හා මෙරට පොලිසිය විසින් සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී යි ෴

+++

+++

මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය ‘පානදුරේ නිලංග’ගේ බව ‘පද්මේ’ කියයි

(11.09.2025 – hirunews.lk)

මිද්දෙණියෙන් හමු වූ රසායනික ද්‍රව්‍ය ‘පානදුරේ කුඩු නිලංග’ නමැත්තාට අයත් බව ‘කෙහෙල්බද්දර පද්මේ’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

ඒ දින 90 ක රැඳවුම් නියෝග මත සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනුණු ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු කණ්ඩායම ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය සඳහා ගෙන්වන ලද බව කියන රසායන ද්‍රව්‍ය තොගයක් පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගැනුණා.

එම රසායනික ද්‍රව්‍ය ගෙන් වු කන්ටේනර් ජනවාරි මස 29 වැනිදා මිද්දෙණියට ගෙන ගොස් එහි ගොඩබාන අයුරු ඉන්දුනීසියාවේ සිටි අපරාධකරුවන්ගේ දුරකථනවලට ලැබි තිබුණු බවත් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මෙම රසායනික ද්‍රව්‍ය තොගය ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට සැඟව සිටින ‘සම්පත් මනම්පේරි’ නමැත්තාද එම දර්ශනවල දක්නට ලැබුණා.

එම රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ‘කෙහෙල්බද්දර පද්මේ’ පවසා ඇත්තේ “සර්.. මේ බඩු මගෙ නෙවෙයි. මේවා නිලංගගේ” බවයි.

වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එම රසායනික ද්‍රව්‍ය යොදාගෙන ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කළ බවත් හෙළි වී තිබෙනවා.

එම ‘අයිස් මත්ද්‍රව්‍ය’ ‘පානදුරේ කුඩු නිලංග’ට අයත් බවත් ඔහුගෙන් තමන් ඒවා මිලදී ගත් බවත් ප්‍රශ්න කිරීම්වලදී ‘පද්මේ’ පවසා තිබෙනවා.

“සර්… මේවගෙන් ‘අයිස්’ හැදුවා කිලෝ 14 ක්. ඒ 14 න් මම 10 ක් ගත්තා සල්ලිවලට. එහේ ගන්න ගනන්වලටමයි මම ගත්තේ. අනිත් 4 ‘නිලංග’ ගත්තා.”

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන උප පොලිස් පරීක්ෂකයෙකු ගම්පහ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් කියා සිටියේ එම උප පොලිස් පරීක්ෂක ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කරන අයෙකු බවයි ෴

+++

මිද්දෙණියේ සිට නුවරඑළිය දක්වා සහ එතැන් සිට කඳාන දක්වා ‘අයිස්’ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිත කළ බව කියන ලොරි රථය පොලිස් භාරයට

(11.09.2025 – hirunews.lk)

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා යොදාගන්නා බව කියනා රසායනික් ද්‍රව්‍ය, මිද්දෙණියේ සිට නුවරඑළිය දක්වා සහ එතැන් සිට කදාන දක්වා ප්‍රවාහනය කිරීමට භාවිත කළ බව කියන ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ එහි හිමිකරු කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත එය ගෙනැවිත් භාරදීමෙන් අනතුරුවයි.

මිද්දෙණියෙන් ගොඩ බා ඇති අදාළ රසායනික ද්‍රව්‍යවලින් කොටසක් නුවරඑළිය ප්‍රදේශයේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කරන බව කියන ස්ථානයට රැගෙන ගොස් ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙනවා ෴


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් පිටව යයි

(11.09.2025 – hirunews.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි විජේරාම නිල නිවසින් අද (11) පිටත් ගියා.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ කියා සිටියේ, විජේරාම නිල නිවස භාර දී ඔහු මැදමුලනේ පිහිටි සිය නිවස බලා පිටත්ව යන බවයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන්ද සිය නිල නිවෙස් රජයට ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

ඒ අනුව අදාළ කෙටුම්පත බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කරමින් සභා ගර්භයේ රැදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක ඊට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා ඊට පක්ෂව ඡන්දය ලබාදීම ද විශේෂත්වයක්.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.

එසේම හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන සහ වෙනත් සියලු‍ පහසුකම්ද ඉවත් කිරීමට නියමිතයි.

එමෙන්ම, මෙම පනත් කෙටුම්පතට ඊයේ (10) පස්වරුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබුණා.

+++

මහින්ද පිළිගන්න තංගල්ලේ මහ සෙනඟක්

(11.09.2025 – hirunews.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසින් බැහැරව තංගල්ල පිහිටි කාල්ටන් නිවෙසට අද (11) පස්වරුවේ පැමිණියා.

අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මහින්ද රාජපක්ෂ තංගල්ල නගරයට පැමිණියේ පස්වරු 05:00 ට පමණයි. තංගල්ල කාල්ටන් නිවෙස වෙත පැමිණෙන හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට සහ දැකබලා ගැනීමට පාක්ෂිකයින් සහ අධාරකරුවන් විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිටට පැමිණ සිටියා.

හිටපු ජනාධිපති මහින්ද සිය නිල රථයෙන් නිවස ඉදිරිපිට බැස මහා සංඝරත්නය හා ජනතාව පෙරටු කරගෙන කාල්ටන් නිවස තුළට පැමිණියා.

මහින්ද රාජපක්ෂට සිය කාල්ටන් නිවෙස තුළට ළඟා වීමට තරම්වත් නොහැකි වන සේ මහජනතාව රැස් කමින් එම ස්ථානයේ සිටියා.

පසුව, මහා සංඝරත්නය ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළා.

තංගල්ල රන් කොත්මලු විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉතා දෙමළියේ පඤ්ඤාරතන හිමියන් සහ දඟල වජරගිරි විහාරයේ විහාරාධිපති මිරිසේ ධම්මවංශ හිමියන් විශේෂ අනුශාසනා පැවැත්වූහ.

කෙටි උත්සව සභාවේ ස්තුති කතාව කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කියා සිටියේ ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙන මෙම සමීප නායකයාණන් සිය පෞද්ගලික නිවසක පැමිණීම දැක බලා ගැනීම සඳහා මේ රැස්වී සිටින පිරිස හදවතින්ම පැමිණි පිරිසක් බවයි ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *